No menu items!
31.3 C
Sri Lanka
20 September,2024

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව 2022 දී වැටලීම් 8726ක් සිදුකරලා

Must read

1995 අංක 35 දරන මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරමින් නිරවද්‍ය මිනුම් ක්‍රම හා මිනුම් විද්‍යා සේවාවන් සැපයීම, අදාළ නීති හා රෙගුලාසි පැනවීම තුළින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම, අන්තර්ජාතික මිනුම් පද්ධතියට අනුකූලව ජාතික මිනුම් ප්‍රමිතීන් පවත්වාගෙන යෑම හා යාවත්කාලීන කිරීම ආදිය පිළිබඳව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වගකීම දරන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් කරයි.
කර්මාන්ත, ඉංජිනේරු, පාරසරික, සෞඛ්‍ය රැකවරණය, මහමග ආරක්ෂාව ආදි ක්ෂේත්‍රවලදී භාවිත කරන මිනුම් උපකරණ අංකශෝධනය කිරීම හා සත්‍යායනය කිරීම ද එහි පර්යේෂණාගාරය මගින් සිදුකරනු ලැබේ.
ජාත්‍යන්තර මිනුම් පද්ධතිය අනුව ශ්‍රී ලංකාවේ ජාතික මිනුම් පද්ධතිය ස්ථාපනය කිරීම හා නියාමනය කිරීම එම ආයතනයේ පරමාර්ථයකි.

‘මනා ලෙස සුරැකි පාරිභෝගික ප්‍රජාවක් සඳහා නිවැරදි හා විශ්වසනීය මිනුම්’ යන්න එහි දැක්ම වන අතර මෙහෙවර වන්නේ ‘මිනුම් මත පදනම් වු සේවා හා නියාමන ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිෂ්පාදකයන්, වෙළෙන්දන්, මිනුම් විද්‍යා හෝ වෙනත් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන්ගේ සමානත්වය හා යුක්තිය තහවුරු කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ ජාතික මිනුම් ප්‍රමිතීන් ස්ථාපනය කිරීම, පවත්වාගෙන යෑම හා ඒවා ප්‍රචලිත කිරීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම’ යන්නයි.
ශ්‍රී ලංකාවේ සම්මත වේලාව නිපදවීම සහ විකාශය සම්බන්ධයෙන් එම වාර්තාවේ මෙසේ සදහන් කරයි.

‘ශ්‍රී ලංකාවට සම්මත වේලාව සැපයීමේ පුරෝගාමියා වීමේ ගෞරවය 2011 වසරේ සිට හිමිවන්නේ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවටයි. දිවයින පුරා කාලය පිළිබඳ ඒකමිතියක් ඇතිකරනු පිණිස ජාතික මිනුම් පර්යේෂණාගාරයේ විද්‍යුත් කාලය හා සංඛ්‍යාතය පිළිබඳ විද්‍යාගාරයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ සම්මත වේලාව නිපදවීමේ කටයුතු ආරම්භ කරන ලදි. ඒ සඳහා රුබීඩියම් පරමාණු ඔරලෝසුවක් ස්ථාපිත කර එමගින් ජාත්‍යන්තර කාල ඛණ්ඩාංකවලට අනුකූල වන පරිදි ශ්‍රී ලංකාවේ නිවැරදි වේලාව සකස් කර විකාශනය කිරීම සිදුවේ.

නිවැරදි වේලාව විකාශනය සඳහා 2011 අප්‍රේල් මස අඅඅගිකඑසපැගදරට වෙබ් අඩවිය විවෘත කරන ලදි. දවසේ ඕනෑම වේලාවක මෙම වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලංකාවේ නිවැරදි වේලාව දැන ගැනීමේ පහසුව දැන් ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇත. මෙම වෙබ් අඩවිය ඇසුරෙන් තමන් භාවිත කරන ඔරලෝසුවල වේලාව නිවැරදිව සකස් කර ගන්නා ලෙස අදාළ සියලු පාර්ශ්වයකටම උපදෙස් දෙනු ලැබේ.’


එම වාර්තාවේ කාර්මික අංක ශෝධනය යටතේ සදහන් කරන්නේ කාර්මික, ඉංජිනේරු හෝ වෙනත් ආශ්‍රිත ක්ෂේත්‍රවල භාවිත වන පීඩනමාන, උෂ්ණත්වමාන, පඩි, තරාදි, දිග මැනීමේ උපකරණ, විදුලි මිනුම් උපකරණ, තෙතමනය මැනීමේ උපකරණ, පරීක්ෂණාගාර කිරුම් තරාදි ආදිය සඳහා අංක ශෝධන පහසුකම් ජාතික මිනුම් පර්යේෂණාගාරය වෙතින් ලබාගත හැකි බව හා එවැනි අංක ශෝධන සඳහා සහතිකද නිකුත් කරනු ලබන බවයි.

මාදිලි අනුමැතිය යනු කිසියම් පඩියක්, මිම්මක්, කිරුම් හෝ මිනුම් උපකරණයක් නිෂ්පාදකයකු විසින් වෙළඳපොලට එවීමට හෝ ආනයනකරුවකු විසින් ගෙන්වා විකිණීමට පෙර එය ක්‍රියාත්මක වන මිනුම් පිළිබඳ නීතිරීතිවලට අනුකූල වන්නේද යන්න සුදුසුකම් ලත් පරීක්ෂණාගාරයකින් පරීක්ෂා කරවාගෙන අනුමත කර ගැනීමයි.

මාදිලි අනුමත කිරීම තාක්ෂණික පරීක්ෂාවක් වේ. ඒ අනුව මිනුම් උපකරණයේ මූලාකෘතිය ජාතික මිනුම් පර්යේෂණාගාරයේදී සම්පූර්ණ පරික්ෂාවට ලක්කෙරේ. එහිදී මිනුම් උපකරණයේ එක් එක් කොටස් නිර්මාණය කර ඇති ආකාරය අන්තර්ජාතික නෛතික මිනුම් විද්‍යා සංවිධානයේ නිර්ණායකවලට අනුකූලද යන්න සොයා බැලේ.

පරීක්ෂණ ප්‍රතිඵල ඇගැයීම මත පදනම්ව පඩි, වාහන විමෝචන පරීක්ෂණ ඒකක සහ ඉන්ධන පිරවුම් යන්ත්‍ර ඇතුළු මිනුම් උපකරණ සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් මූලාකෘතියට අදාළ මාදිලිය සඳහා අනුමැතිය ලබාදෙනු ලැබේ. වෙළඳ වෙනත් නෛතික කාර්යයන් සඳහා භාවිතා කරන කිරුම් හෝ මිනුම් උපකරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් එම උපකරණ වෙළඳපොලට ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුය.

ජාතික මිනුම් පර්යේෂණාගාරයේ අංකශෝධන තොරතුරු යටතේ සඳහන් වන්නේ ස්කන්ධමිතික විද්‍යාගාරයේ ඒකක 297ක් 2022 දී පරීක්ෂාවට ලක්කර ඇති බවයි. එමෙන්ම මානමිතික විද්‍යාගාරයේ ඒකක 319ක්ද, උෂ්ණත්වමිතික විද්‍යාගාරයේ ඒකක 407ක්ද, සරළ ධාරා විද්‍යුතය පිළිබඳ විද්‍යාගාරයේ ඒකක 111ක්ද, විද්‍යුත් ජවය සහ ශක්තිය පිළිබඳ විද්‍යාගාරයේ එකක 62ක්ද, වායුන් පිළිබඳ විද්‍යාගාරයේ ඒකක 46ක්ද එම වසරේ පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

කාලය හා සංඛ්‍යාතය පිළිබඳ විද්‍යාගාරයේ ඒකක 33ක්ද, පරිමාමිතික විද්‍යාගාරයේ ඒකක 60ක්ද, පීඩන මිතික විද්‍යාගාරයේ ඒකක 99ක්ද, රසායනික විදන්‍ාගාරයේ ඒකක 47ක්ද, ආර්ද්‍රතාමිතික විද්‍යාගාරයේ ඒකක 28ක්ද එම වර්ෂයේ පරික්ෂාවට ලක්කර ඇත.

පඩි, මිමි, කිරුම් හා මිනුම් උපකරණ මාදිලි අනුමැතිය යටතේ 2022 වර්ෂයේදී ඉලෙක්ට්‍රොනික් කිරුම් උපකරණ 25ක් සඳහා අනුමැතිය ඉල්ලා ඇති අතර ඉන් 14ක් සඳහා අනුමැතිය ලබාදී ඇත. පාලම් තරාදි 01ක් සඳහා අනුමැතිය ඉල්ලා ඇති අතර එම වර්ගයේ සංශෝධිත උපකරණ 02ක් සදහා අනුමැතිය සඳහා ලබාදී ඇත.

එම වර්ෂයේ සත්‍යායනය කරන ලද ඒකක සංඛ්‍යාව 380,911කි. ඒ කොළඹ 57,387, ගම්පහ 29,802, කළුතර 12,725, මහනුවර 30,298, මාතලේ 11,654, නුවරඑළිය 10,305, ගාල්ල 14,629, මාතර 17,864, හම්බන්තොට 15,935, මඩකලපුව 17,164, අම්පාර 16,640, ත්‍රිකුණාමලය 4,633, කුරුණෑගල 26,418, පුත්තලම 8933, අනුරාධපුරය 18,197, පොළොන්නරුව 10,420, බදුල්ල 17,323, මොණරාගල 16,321, රත්නපුර 16,452, කෑගල්ල 12,432, මුලතිව් 1628, මන්නාරම 1588, කිළිනෝච්චිය 1456, යාපනය 7877, වව්නියාව 2835 වශයෙනි.

2022 වර්ෂයේදී එම දෙපාර්තමේන්තුව වැටලීම් 8726ක් සිදුකර ඇති අතර 2021 වර්ෂයේදී වැටලීම් 8220ක් සිදුකර ඇත. එමෙන්ම එම වර්ෂයේදී නඩු පැවරීම් 273ක් සිදුකර ඇති අතර 2021 වර්ෂයේදී වැටලීම් 137ක් සිදුකර ඇත.
එම දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂයේ ලියාපදිංචි වී ඇති කිරුම් මිනුම් උපකරණ නිෂ්පාදකයින් ගණන 16ක් වන අතර ආනයනකරුවන් ගණන 33කි. විකුණන්නන් ගණන 133ක් වන අතර අලුත්වැඩියාකරුවන් ගණන 216කි.

-ඉඳුවර බණ්ඩාර-

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි