No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

අලුත් වැට් නිසා ගෑස් 640කින් වැඩිවේ

Must read

පෙට්‍රල් රුපියල් 62කින් හා ඩීසල් රුපියල් 59කින් වැඩ්වේ
ආබාධිත සොල්දාදුවන්ගේ භාණ්ඩ හෝ සේවාවලටත් වැට්

දැරිය නොහැකි ලෙස ඉහළ ගිය ඉන්ධන, විදුලිය, ගෑස්, ජල ගාස්තු, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලෙන්ද, සේවා මිලෙන්ද බැට කමින් සිටින ජනතාවට එළඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට වැඩිවන හා අලුතින් එක්වන අගය එකතු කළ බද්ද හෙවත් වැට් බද්දෙන් තවදුරටත් බැට කෑමට සිදුවනු ඇත. ඒ එම වැට් බදු සංශෝධනය ජනතා නියෝජිතයන් යැයි කියන ආණ්ඩු පක්ෂයේ අති බහුතරයගේ ඡන්දයෙන් දෙසැම්බර් 11 වැනිදා සම්මත වූ නිසාවෙනි. වැට් බදු සංශෝධනයට පක්ෂව ඡන්ද 100ක්ද, විරුද්ධව ඡන්ද 55ක්ද ලැබී එය වැඩි ඡන්ද 45කින් සම්මත වී තිබුණි.


එයට පක්ෂව ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගයෙන් තේරී පත්වී ආණ්ඩුවේ ඇමතිකම් දරන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර මෙන්ම වඩිවේල් සුරේෂ් ද ඡන්දය දී තිබුණි. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව කටයුතු කරනවා යැයි කියන නිමල් ලාංසාද, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්ඩීජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න ආදින් ද පක්ෂව ඡන්දය දී තිබුණි.

විරුද්ධ වී තිබුණේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජනතා සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් නියෝජනය කරන මන්ත්‍රීවරුය. ක්‍රීඩා ඇමතිකම අහිමි වූ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාද වැට් බදු සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබා දී තිබුණි. විරුද්ධ නොවුණත් ඡන්දය විමසන අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එය මගහැර තිබුණි. ඔහු එම ඡන්ද විමසීම ආරම්භයට පෙරම කීවේ ජනතාව මත තවදුරටත් බර පටවන එම වැට් බදු සංශෝධනයට විරුද්ධ බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම ඡන්ද විමසීම මගහැර යෑම ඔහු සැබෑ ලෙසම ජනතාව ගැන සිතමින් එම පනතට විරුද්ධද යන ප්‍රශ්නය මතු කරයි. මන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින අති බහුතරයක් තවමත් රාජපක්ෂවාදීන් වන නිසා හා රාජපක්ෂවරුන් කියන ඕනෑම දෙයක් ඔවුන් සිදුකරන නිසා ජනතා විරෝධී වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් මෙහෙයවීමේ හැකියාව නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට ඇති නිසාය.

රාජපක්ෂවරුන් විරුද්ධ නම් ඔවුන් සමග සිටින පිරිස් මෙසේ වැට් බදු සංශෝධනයට ඡන්දය ලබාදෙන්නේ නැත. ඒ නිසා නාමල් රාජපක්ෂගේ විරුද්ධත්වය හුදු සංදර්ශනයක් බව පෙනේ. රොෂාන් රණසිංහගේ ක්‍රියාකාරිත්වය ඊට වඩා ඉදිරියෙන් බව කිව හැකිය.

මෙම වැට් බදු සංශෝධනයෙන් ආණ්ඩුව සාක්ෂාත් කර ගැනීමට සැරසෙන්නේ බදු ආදායම මීට වඩා වැඩි කර ගැනීමටය. ඒ සඳහා මෙම වැටු බදු සංශෝධනයේ යෝජනා දෙකක් ඉදිරිපත් කරයි. එකක් දැනට වැට් බදු අය කරන භාණ්ඩ හා සේවාවලට අදාළ සියයට 15ක් වූ වැට් බදු ප්‍රතිශතය සියයට 18 දක්වා සියයට 3ක ප්‍රමාණයකින් ඉහළ දැමීමය. අනෙක වන්නේ මෙතෙක් වැට් බදු අය නොකරන ලද භාණ්ඩ හා සේවාවලට අලුතින් සියයට 18ක වැට් බදු පැනවීමය.

මෙසේ අලුතින් වැට් බදු පනවන්නේ භාණ්ඩ හා සේවා කාණ්ඩ 95කට බව ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ලේඛන අනුව පෙනී යයි. එම භාණ්ඩ හා සේවා කාණ්ඩ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතයට සෘජුවම බලපාන භාණ්ඩ හා සේවා තිබෙන බව පෙනේ.

එල්පී ගෑස්, පෙට්‍රල්, ඩීසල්, ජංගම දුරකතන, මත්පැන් නිෂ්පාදනය කරන ඊතයිල් ඇල්කොහොල්, වෛද්‍ය උපකරණ හා උපාංග, ඖෂධ හා රසායනද්‍රව්‍ය, ගිලන් රථ, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර, ඉස්සන්, පොල් තෙල්, කිරි නිෂ්පාදන, සහල් නිෂ්පාදන, රජය හෝ පළාත් සභාවක් භාවිතයට නොගත් තැපැල් හා ආදායම් මුද්දර, මැටි සෙවිලි උළු, රසායනික නැප්තා, දේශීය නිෂ්පාදිත සීනි, ආයෝජන මණ්ඩල සහන නැති දේශීය නිෂ්පාදිත රෙදි, වේවැල්, දේශීයව නිෂ්පාදනය කරන පාම් තෙල්, වියළි පොල්, රබර්, රබර් කිරි, අමු දලු, බිත්තර, දියර කිරි, නිමි සම්, ටවර් හෝල් රගහල පදනම යටතේ හෝ මධ්‍යම සංස්කෘතික පදනම යටතේ පිහිටුවා ඇති සංස්කෘතික අරමුදල් මගින් සපයන සේවා, රජයේ, පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය මට්ටමේ පුස්තකාල සේවා, පින්තාරු අලෙවි කිරීම්, ආබාධිත සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද ආයතනයක් මගින් සපයන භාණ්ඩ හෝ සේවා, සේවා යෝජකයකු විසින් තම සේවකයන්ට නොමිලේ හෝ සහනාධාර මත ලබාදෙන ආහාර සහ ප්‍රවාහන පහසුකම්, ප්‍රදර්ශනය සඳහා චිත්‍රපටි බෙදා හැරීම මෙසේ අලුතින් වැට් බද්දට ඇතුළත් වන භාණ්ඩ හා සේවා වේ.

ඒ අනුව ඉහතින් සදහන් කළ භාණ්ඩ හා සේවාවල මෙන්ම කාණ්ඩ 95ට අයත් අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල 2024 ජනවාරි 01 දින සිට අවම වශයෙන් සියයට 18ක ප්‍රතිශතයකින් වැඩිවන බව අනිවාර්යෙන්ම කිව හැකිය.

උදාහරණයක් වශයෙන් එල්පී ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් සම්බන්ධයෙන් වර්තමාන කොළඹ මිල වන (පිට පළාත්වලට යෑමේදී මෙම මිල දුර ප්‍රමාණය අනුව වැඩිවේ) රුපියල් 3565 සමග සන්සන්දනය කිරීමේදී අලුතින් ඒ සඳහා සියයට 18ක වැට් බද්දක් අයවීම මත එහි මිල රුපියල් 641කින් ඉහළ යයි.
ඒ අනුව දළ වශයෙන් එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් ලබන වසරේ මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 4200 මිලකටය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් වර්තමානයේ රුපියල් 346ක් වන අතර එයට අලුතින් සියයට 18ක් එකතුවීම යනු රුපියල් දළ වශයෙන් රුපියල් 62ක් එකතුවීමකි. ඒ අනුව ලබන වසරේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ලබා ගැනීමට සිදුවන්නේ රුපියල් 400 ඉක්මවූ මිලකටය. වර්තමානයේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 329ක් වන අතර සියයට 18ක එහි වැඩිවීම දළ වශයෙන් රුපියල් 59ක්වේ. ඒ අනුව එම ඩීසල් ලීටරයක් ලබන වසරේ මිලදී ගැනීමට හැකි වන්නේ දළ වශයෙන් රුපියල් 388ක මිලකටය.

මෙම මිල වැඩිවීම්වල අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ සැකසූ ආහාරපාන වල මිල ඉහළ යෑම, ප්‍රවාහන මිල ඉහළ යෑම හා අනෙකුත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යෑමය. ජල විදුලිය උපරිමයෙන් නොවන අවස්ථාවලදී රටේ විදුලි බල නිෂ්පාදනය ඉන්ධන මත බර තබා සිදුවන නිසා මේ වනවිට ජල විදුලියෙන් ලැබී ඇති සහනයට අනුව ලබන වසරේ විදුලි ගාස්තුවේ අඩු වීමක් සිදුවන බව කීවද සමහරවිට ඉන්ධන මිලේ ඉහළ යෑම නිසා එම සහනයද ජනතාවට නොලැබෙන්නට ඉඩ ඇත.

මහජන නියෝජිතයන් යැයි කියන වැට් බදු සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් සිදුකළේ ලබන වසරට තෑගි වශයෙන් ජනතාව තවත් ආර්ථික වශයෙන් පීඩනයට පත් කිරීමය. එවන් පිරිසක් සම්බන්ධයෙන් ඉදිරි ඡන්දයකදී කටයුතු කරන්නේ කෙසේද යන්නද ජනතාවගේ වගකීමකි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි