No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

2022 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 39,849ක් ලාභ ලබලා

Must read

අලෙවි නියෝජිතයින්ට වැඩිපුර රුපියල් මිලියන 23,576ක කොමිස් ගෙවලා
රුපියල් මිලියන 1516ක ලැබිය මුදල් කපා හැරලා

2022 වර්ෂයේ දේශීය ඛනිජ තෙල් වෙළඳපොලෙන් සියයට 86කට වැඩි සැපයුමක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපයා තිබෙන බව විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සිය 2022 වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් කරයි. එමෙන්ම එම වර්ෂයේදී රටේ සමස්ත ඛනිජ තෙල් ආනයනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4532ක් වැයකර තිබේ. විදේශ විනිමය හිඟය හේතුවෙන් නිසි ලෙස බොරතෙල් ආනයනය කිරීමට නොහැකි වීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව නිරන්තරයෙන් එම වර්ෂයේ වසා දැමීමට සිදුවී ඇති අතර එම වර්ෂයේ සමස්ත ඛනිජ තෙල් පිරිපහදු නිෂ්පාදනය සියයට 55.4ක් වී ඇත. එය කැපී පෙනෙන පහළ යෑමක් බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

එම වර්ෂයේ විශේෂත්වය වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 39,849ක දළ ලාභයක් වාර්තා කර තිබීමයි. ඛනිජ තෙල් සංස්ථාව එසේ ලාභ ලබද්දී ආණ්ඩුවද ආනයනික ඛනිජ තෙල් මගින් විශාල බදු මුදලක් අය කරන බවත්, එහි මූල්‍ය අගය අතිවිශාල එකක් බවත් අප තේරුම් ගත යුතුය. මන්ද ඉන්ධන යනුද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන නිසා හා ව්‍යාපාරික වුවමනාවන් අනුව ආනයනික සීනි සඳහා බදු අඩු වැඩි කිරීමේ සෙල්ලම් ඛනිජ තෙල් සම්බන්ධයෙන් සිදු නොවන නිසාය. අද රුපියල් 356ක මිලකට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ගන්නට සිදුවී ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය කෙසේ වෙතත් ආණ්ඩුවේ බදු ආදායමද සමඟය. ඊට අමතරව බෙදුම්කරුවන් හෙවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අධික ලෙස ලබාදෙන කොමිස් මුදලද මෙම ඉන්ධන මිල තුළ තිබෙන බව එම විගණන වාර්තාව අනුව පෙනී යයි.

2019 ජුලි 30 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව ඛනිජ තෙල්වල දේශීය වෙළඳපොළ මිල උච්චාවචනයන්ගේ බලපෑම මත බෙදුම්කරුවන්ට ගෙවනු ලබන කොමිස් ප්‍රමාණය උච්චාවචනය වීම මත ඛනිජ තෙල් සංස්ථාවට හා බෙදුම්කරුවන්ට වන අහිතකර බලපෑම බැහැර කිරීම සඳහා ඉහළ හා පහළ සීමාවන්ට යටත්ව කොමිස් ප්‍රතිශතය තීරණය කර තිබේ. ඒ 92 ඔක්ටේන් පෙට්‍රල් සඳහා ඉහළ රුපියල් 162ක් හා පහළ රුපියල් 117ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා ඉහළ රුපියල් 170ක් හා පහළ රුපියල් 128ක්, ලංකා ඔටෝ ඩීසල් සඳහා ඉහළ රුපියල් 121ක් හා පහළ රුපියල් 95ක්, ලංකා සුපර් ඩීසල් සඳහා ඉහළ රුපියල් 145ක් හා පහළ රුපියල් 110ක් වශයෙනි.

එම අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට පටහැනිව ඉහළ මිල සීමාවන් නොසලකා බෙදුම්කරුවන්ට අලෙවි නියෝජිත කොමිස් ගෙවා ඇති අතර ඒ අනුව 2022 වර්ෂයේදී අලෙවි නියෝජිතයින්ට රුපියල් මිලියන 12,410ක අලෙවි නියෝජිත කොමිස් මුදල් වැඩිපුර ගෙවා ඇත. එම වැඩිපුර ගෙවන ලද මුදල් විකුණුම් හා බෙදා හැරීමේ වියදම් යටතේ දක්වා ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරන අතර 2023 සැප්තැම්බර් 01 දිනට එසේ වැඩිපුර ගෙවා ඇති අලෙවි නියෝජිත කොමිස් මුදල රුපියල් මිලියන 23,576ක් බව වැඩිදුරටත් සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට සියයට 3ක කොමිස් මුදලක් තෙල් ලීටරයක් සඳහා ගෙවන අතර ඉහත සඳහන් කරන ලද කොමිස් මුදල් ගෙවීමේ ඉහළ හා පහළ අගයන් තීරණය කර ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට හා බෙදුම්කරුවන් යන දෙපාර්ශ්වයටම පාඩු ඇතිවීම වැළැක්වීම සඳහාය.

ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා තීරණය කර ඇති ඉහළ අගය වන ලීටරයක් සඳහා රුපියල් 162 සඳහා සියයට 3 කොමිස් මුදල රුපියල් 4.68කි. ඔක්ටේන් 95 සඳහා ඉහළ මිල වන රුපියල් 170 සඳහා එය රුපියල් 5.10ක කොමිස් මුදලකි. පෙට්‍රල්වලදී ලීටරයක් සඳහා රුපියල් 5කට ආසන්න කොමිස් මුදලක් ලැබෙන බව ඒ අනුව පෙනී යයි. එම කොමිස් මුදල සැලකිය යුතු අගයකි. මන්ද ඛනිජ තෙල් සංස්ථා බෙදුම්කරුවන්ගේ ඉන්ධන පිරවුම්හල්වල ඇති භූගත ඉන්ධන ටැංකි, මීටරය සමඟ ඉන්ධන පොම්පය ඇතුළු උපාංග ඛනිජ තෙල් සංස්ථාව සපයා ඇති ඒවා නිසා ඔවුන්ට වියදමක් ලෙස යන්නේ සේවක පඩි හා විදුලි බිල් සඳහා පමණක් වන නිසාය. වර්තමානයේ ලීටරයක් රුපියල් 356ක් වන ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා සියයට 3 කොමිස් මුදල ගණනය කිරීමේදී එය රුපියල් 10.68ක් බව පෙනේ. එමෙන්ම ඔක්ටේන් 95 ලීටරයක් සඳහා කොමිස් මුදල රුපියල් 12.69ක් බව ද පෙනේ.

ලංකා ඔටෝ ඩීසල් සම්බන්ධයෙන් ගත්කල තීරණය කර ඇති ඉහළ මිල වන රුපියල් 121 සඳහා සියයට 3ක කොමිස් මුදල ලීටරයක් සඳහා රුපියල් 3.63ක් වන අතර ඉහළ මිල රුපියල් 145ක් වන සුපර් ඩීසල් ලීටරයක් සඳහා කොමිස් මුදල රුපියල් 4.35ක් වේ. වත්මන් ඔටෝ ඩීසල් ලීටරයක මිල වන රුපියල් 356 සමඟ එම කොමිස් මුදල රුපියල් 10.68ක් වන අතර රුපියල් 431ක් වන සුපර් ඩීසල් ලීටරයක මිල සමඟ එම කොමිස් මුදල ලීටරයකට රුපියල් 12.93ක් වේ.

සයිනෝපෙක් ඇතුළු අලුතින් එන ඉන්ධන සැපයුම්කරුවන් යටතට ඉන්ධන පිරවුම්හල් හිමියන් යෑමට බැහැ යැයි කී එක් හේතුවක් වන්නේ ඛනිජ තෙල් සංස්ථාව ඔවුන් ලබාගත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට පිටින් දෙන මෙම ඉහළ කොමිස් මුදලයි. ඉන්ධන ලීටරයක් තුළ ඛනිජ තෙල් සංස්ථාවේ වියදම් පියවා ගැනීම සඳහා ඇත්තේද රුපියලකට අඩු මුදලක් බව එහි වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. එමෙන්ම ඉන්ධන බෙදා හැරීමේදී ක්ෂය වීමේ හෙවත් වාෂ්ප වීමේ අගයක්ද ඉන්ධන බෙදුම්කරුවන්ට ලබාදෙන අතර ඒ මගින් ඔවුන් තවත් අතිරේක ලාභයක් ලබන බවද එහි වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

මෙම ඉහළ කොමිස් මුදල්වල බර මෙන්ම ආණ්ඩුවේ බදුවල බරද සෘජුව හෝ වක්‍රව අවසානයේ පැටවී ඇත්තේ හෙවත් ගෙවීමට සිදුවී ඇත්තේ මහජනතාවටය. මහජනතාවට ඛනිජ තෙල් සම්බන්ධයෙන් ගෙවන්නට සිදුවී ඇති මිල ඉහත සඳහන් කළ කරුණුවලින් පමණක් අවසන් නැති බව එම විගණන වාර්තාවේ ඛනිජ තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදුකළ ගනුදෙනු කිහිපයක් පිළිබඳව දක්වා ඇති විස්තර අනුවද පෙනේ.

ඉන් එකක් වන්නේ කූප්‍රකට ඉදිරි සුරැකුම් ගනුදෙනු හෙවත් හෙජින් ගිවිසුම් නිසා නිසා රටට සිදුවී ඇති පාඩුවයි. 2007 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා ඛනිජ තෙල් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුකර ඇති හෙජින් ගනුදෙනු පිළිබඳව විගණනය පරීක්ෂණ සිදුකර තිබේ. එම හෙජින් ගනුදෙනුවලින් 2022 දෙසැම්බර් 31 දින වනවිට රටට සිදුවී ඇති මුළු පාඩුව රුපියල් මිලියන 14,028ක් බව විගණනය සඳහන් කරයි.

එමෙන්ම හෙජින් ගනුදෙනුව හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 8.6ක අයිතියක් ඉල්ලා කොමර්ෂල් බැංකුව විසින් කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවක් පවරා තිබෙන බවත්, 2022 වර්ෂය අවසානය දක්වා එම නඩුව විභාග වෙමින් පවතින බවත් විගණන වාර්තාව සඳහන් කරයි. මෙම හෙජින් ගනුදෙනුවේ මහ මොළකරුවා වන හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රට මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවකු බව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

2013 ඔක්තෝබර් 29 දිනැති අංක 38/1140 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුව ඛනිජ තෙල් සංස්ථාව සතු සියළු අලෙවි නියෝජිත පිරවුම්හල්වලින් සහ මහා භාණ්ඩාගාරය සතු වෙළෙඳුන් විසින් පවත්වාගෙන යනු ලබන පිරවුම්හල්වලින් මාසික උපයෝගිතා ගාස්තුවක් 2014 ජනවාරි 01 දින සිට බල පැවැත්වෙන පරිදි අයකර ගැනීමට තීරණය කර තිබෙන තිබේ. එම තීරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නොතිබෙන බවත්, ඛනිජ තෙල් සංස්ථාවේ හා මහා භාණ්ඩාගාරයේ පිරවුම්හල් 220ක් අතරින් එම තීරණය ක්‍රියාත්මක කර තිබෙන්නේ අලෙවිකරුවන් 11 දෙනෙකු සඳහා බවත් විගණනය සඳහන් කරයි. ඒ නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 2022 දෙසැම්බර් 31 දින වනවිට අයවිය යුතුව පැවති රුපියල් මිලියන 3416ක උපයෝගිතා ගාස්තුවක් අයකර ගැනීමට එම කාලයේදී හැකි වී නැත.

එම වර්ෂයේදී හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පැවති පිරිවිතර සංශෝධනය කරමින් හා මූල්‍ය සඛ්‍යතාව පිළිබඳ නිසි ඇගැයීමකින් තොරව ප්‍රසම්පාදන කමිටුවේ ආවරණ අනුමැතිය යටතේ දැවි තෙල් මිලට ගැනීමට තොග සමාලෝචන කමිටුව තීරණය කර ඇති අතර ඒ මගින් රුපියල් මිලියන 336ක අතිරේක ඇස්තමේන්තු ප්‍රමාද ගාස්තුවක් දැරීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදුවී තිබේ.

එම වර්ෂයේදී ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ක්‍රමිකව ඉහළ යන බව සිංගප්පූරු ප්ලැට්ස් ආයතනය මගින් පුරෝකතනය කර තිබියදී දැවි තෙල් මිලදී ගැනීමේදී ඒ පිළිබඳ විධිමත් ඇගැයීමක් සිදුකර නැති අතර පිරිවිතරවලට අනනුකූල බව පවසා ටෙන්ඩර් අවලංගු කර ඇත. නැවත එම පිරිවිතර යටතේම ගොඩබෑම් දින වෙනස් කර එම සැපයුම්කරුගෙන්ම දැවි තෙල් මිලදී ගෙන ඇති අතර ඒ මගින් ඛනිජ තෙල් සංස්ථාවට වළක්වාගත හැකිව තිබූ ඇමරිකානු ඩොලර් 368,837ක් හෙවත් රුපියල් මිලියන 73ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

එම වර්ෂයේදී ඛනිජ තෙල් සංස්ථාව විසින් සැපයුම්කරුවන් 4 දෙනෙකුගෙන් ඇණවුම් 8ක් වෙනුවෙන් ලංකා ඔටෝ ඩීසල් බැරල් 1,820,012ක් මිලදී ගෙන ඇති අතර එහිදී මිල පදනම වශයෙන් ගෙන ඇත්තේ ලංකා සුපර් ඩීසල් සඳහා වන මිල වන අතර ඒ මගින් ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 3,873ක අතිරේක පිරිවැයක් දැරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවී ඇත.

ඉන්දියානු කෙටි කාලීන ණය පහසුකම යටතේ ඛනිජ තෙල් සංස්ථාව අවස්ථා දෙකකදී ලංකා ඔටෝ ඩීසල් බැරල් 599,722ක් මිලදී ගෙන ඇති අතර ඒ සඳහාත් මිල තීරණය කිරීමට ලංකා සුපර් ඩීසල්වලට අදාළ මිල පදනම යොදා ගැනීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.6ක හෙවත් රුපියල් මිලියන 1669ක වැඩිපුර පිරිවැයක් දැරීමට සිදුවී ඇත.

2021 ජුලි 22 දින අංක 08/1252 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති අතර ඒ ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ගිණුම් පොත්වලින් රුපියල් මිලියන 1516ක් වන ලැබිය යුතු මුදල් ශේෂය කපා හැරීමටය. විගණනය සඳහන් කරන්නේ එසේ ලැබිය යුතු මුදල් කපා හැරීමට පෙර එම ශේෂ පදනම් කරගත් ගනුදෙනු සහ සිද්ධීන් සමඟ වංචනික ක්‍රියා සිදු වීමට ඇති හැකියාව ගැන අධ්‍යක්ෂ මණ්ඩලය නිසි ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි.

විගණකාධිපතිවරයා විසින් සිය 2022 වාර්ෂික වාර්තාවේ සංක්ෂිප්ත කොට දක්වන මෙම කරුණු අපට කියා පාන්නේ කුමක්ද? ඉන්ධන පාරිභෝගිකයන් විසින් ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ හා අක්‍රමිකතා නිසා වැඩිවී ඇති පිරිවැයටත් මුදල් ගෙවමින් ඉන්ධන මිලදී ගන්නා බවයි. එමෙන්ම ඉන්ධන මිල මත තීරණය වන ප්‍රවාහනය ඇතුළු අනෙකුත් සේවා හා පහසුකම් සම්බන්ධයෙන් සැබෑ පිරිවැයට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන තත්වයේ ගාස්තුවද අවසාන පාරිභෝගිකයින් වශයෙන් මේ රටේ ජනතාව ගෙවමින් සිටින බවයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි