No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

ව්‍යවස්ථා සභාව – ජනපති ගැටුම උග්‍රවේ

Must read

තනතුරුවලට පත් කිරීමට තමා විසින් යොමු කරන නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදීම පමා කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවට ජනාධිපතිවරයා නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ජනාධිපතිවරයා හා එම සභාව අතර අලුත් ගැටුමක් නිර්මාණය කර ඇත.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් එදිනම පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිත්‍ය සමාජික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇත්තේ හැම දෙයකටම එහෙයි කියන්නට නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නොවන බවත්ය. එසේම එය ජනාධිපතිවරයා කියන ලෙස සිටිය යුතු සභාවක් නොවන බවත්ය.

පොලිස්පතිවරයා පත්කිරීම සඳහා ජනාධිපතිවරයා එවන නම් දෙවරකදී එම සභාව අනුමත කළ බවත්, දෙවන වර අනුමත කිරීමේදී පැහැදිලිවම තුන්වන අවස්ථාවේ පත් කිරීම ස්ථීර පත්කිරීමක් විය යුතු යැයි පැවසූ බවත්, ජනාධිපතිවරයා එවන තාවකාලික නම් ප්‍රතික්ෂේප කළ බවත්, එම ව්‍යාකූල තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිසිසේත්ම වගකිව යුතු නැති බවත්ය.
එසේම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රට හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන බවත්, කරූ ජයසූරිය එම සභාවේ ප්‍රධානියා ලෙස සිටින අවධියේ තාවකාලික පත් කිරීම සඳහා අනුමැතිය ලබා නොදුන් බවත්, හදිසි අවස්ථාවලදී ඒ සඳහා ඡන්ද විමසීම් පවා පැවැත්වූ බවත්, එසේ ව්‍යවස්ථා සභාව ගන්නා තීන්දු තීරණ රට අකර්මණ්‍ය කිරීමක් ලෙස පිළිනොගන්නා බවත්, එම සභාව කුඹුරක් මැද සිටින පඹයකු නොවන බවත් කියා ඇත.

ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් කළ විමසීමකදී පැවසුවේ එම සභාවේ තීන්දු තීරණ ගත නොහැකි බවට ඔහු ජනාධිපතිවරයාට ලිඛිත දැනුම් දීම් කර නැති බවත්, යම් අවස්ථාවල එහි පවතින තත්වයන් පිළිබඳව දැනුම් දීම් සිදුකර ඇති බවත්ය. එමෙන්ම පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් හා විනිසුරුවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් හැර වෙනත් පත් කිරීම් සම්බන්ධයෙන් එම සභාවට යොමුකර අනුමැතිය ලබානොදුන් යෝජනා නැති බවත්ය.

කතානායකවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු ස්වාධීන සභාවක් බවය. එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සිදුකළ යුත්තේද අගමැතිවරයා බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි ජනාධිපතිවරයා කියා ඇත්තේ ව්‍යවස්ථා සභාව විසින් වැඩ බලන පොලිස්පති ලෙස සීඩී වික්‍රමරත්න මහතා තවදුරටත් එම තනතුර සඳහා පත්කිරීමට අනුමැතිය දෙන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත්, ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අමතරව ඔවුන්ගේ නඩු තීන්දු හා ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පිළිබඳවද සලකා බලන ලෙස කරන ලද දැනුම් දීමය. එසේ දැනුම් දීමට හේතු වී තිබුණේ යෝජනා කරන ලද නම් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීමය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුව සඳහා චෝදනා එල්ල වී ඇති අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නම යෝජනා කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ නඩු සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල් වූ අතර ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පුරවැසිභාවය පිළිබඳ නඩුවේ පැමිණිලිකරු පිරිසිදු දෑතින් අධිකරණයට පැමිණ නැතැයි සඳහන් කරමින් එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ලබාදුන්නේද ඔහු විසිනි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි