No menu items!
22.9 C
Sri Lanka
21 November,2024

මැතිනියක කෙරෙන් මිත්තණියක දැකිය හැකි තැනක් – සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරය

Must read

ලංකාවේ ජනප්‍රිය ප්‍රභූ පවුලක වැඩිමහල් දරුවා මෙන් ඉපිද, අගමැති බිරිඳකව සිට රාජ්‍ය නායිකාවක යන වගකීම් දරමින් රටක පාලනය ගිය කාන්තාවක කෙරෙන්ද මවක, බිරිඳක, මිත්තණියක, මිතුරියක වැනි අනුභූමිකා සජීවීව දැකිය හැකි තැනක් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඇසුරේ පිහිටා තිබේ. ඒ ලෝකයේ පළමු අගමැතිනිය හැටියට සදාකාලික බුහුමනට පාත්‍ර වන සිරිමාවෝ බණ්ඩාරනායක භූමිකාව වෙනුවෙනි. රාජ්‍ය නායිකාවක කෙරෙන් සාමාන්‍ය ආසියාතික කාන්තාවගේ ජීවිතය ගැන මිශ්‍ර අත්දැකීමක් සජීවීව ලබා ගැනීමට නම් එතැනට යෑම කළ යුතුමය. මැතිනියගේ දේශපාලනය ගැන ඇති ආකල්ප පසෙක තබමින් සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලන භූමිකාව පිටුපස පැවති අනුභූමිකාවල ඇති මිහිරිකම නැරඹීමට එහිදී ඕනෑම අයකුට හැකිය. ඒ සඳහා ඕනෑම අයකුට ඉඩ හසර කෞතුකාගාරයෙන් ලබා දී රුපියල් 20ක ටිකට්පතක් නිකුත් කරමිනි. මේ ඒ තුළ ගෙවූ පැය එකහමාරක වේලාව ගැන අත්දැකීමය.

මිත්තණියගේ භූමිකාව

ඇතුළත උඩින් බැලූ විට පෙනෙන පරිදි සැකසූ වීදුරු පෙට්ටියක් තුළ කුඩා අත් අකුරු සහිත ලිපි කිහිපයකි. ඒ අතර ළමා අතකින් හැදූ බවට හැඳිනිය හැකි තරමක කාඩ්පතකි. කාඩ්පත පිරෙන්නට ඇත්තේ ලා පැහැති වර්ණවලින් ඇඳ අවසන් කළ ළමාකම තහවුරු කෙරෙන චිත්‍රයි. චිත්‍රයේ දකුණු පසට වන්නට කුඩා ළමුන් සතරක් අත් අල්ලා සිටින අතර කාඩ්පත මැදින් ඇඳ ඇති විශාල ගසකි. වම් පස කලිසම් ඇඳගත් ගැහැනු ළමෝ දෙදෙනෙකිය. ඉහළින් ලා නිල් පැහැති අහසත් පහළින් ලා කොළ පැහැති තණ බිස්සකුත් අහස කෙළවර අඩක් පෑයූ ඉරකුත් ඇත. ඉරට පහළින් මෙසේ සඳහන්ය.

To Attammi 

Lots of Love and 

Kissesæ

– Yasodara 

තම එකම මිණිබිරිය යසෝධරා බණ්ඩාරනායක මැතිනිය වෙත යොමු කළ කාඩ්පතකි එය. එය එතැනින් නොනවතී. මෙම වීදුරු පෙට්ටිය තුළ ඇති ආකර්ෂණීයම අංගය වන්නේ ඉහත කාඩ්පතේ මෙන්ම අත්තම්මි යැයි සඳහන් කරමින් යසෝධරා කුමාරතුංග සහ විමුක්ති කුමාරතුංග සිය මිත්තණියට ලියූ ආදරය පිරි දිගු සහ කුඩා ලියුම්, කාඩ්පත් ගණනාවක් එහි බහා තිබීමයි. කාලය කොතරම් ගෙවී ඇත්ද යන සංඥා නිකුත් කරමින් මිත්තණියට යසෝධරා සහ විමුක්ති ලියූ ලිපි සහ සුබ පැතුම්පත් එහි මහජනයාට විවෘතව ප්‍රදර්ශනය කෙරෙයි. (මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික කාඩ්පත ප්‍රදර්ශනය කර ඇත්තේද ඉහත සඳහන් වීදුරු පෙට්ටියේමය.) ලෝකයේ පළමු කාන්තා අගමැති භූමිකාව හෙබවූ තැනැත්තිය, රටේ අගමැතිනිය, අගමැති බිරිය, වසර 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව, විපක්ෂ නායිකාව, ප්‍රජා අයිතිය අහෝසි වූ චරිතයක් ලෙස ගත කළ අධිවේගී ගමන මධ්‍යයේ මුණුබුරා සහ මිණිබිරිය ලියූ සටහන් කෙරෙන් මැතිනිය සිය මිත්තණියගේ භූමිකාව අත්නෑර සිටි බවට සහතිකයක් ලැබෙන්නේ මේ ලිපි ඔස්සේය.

මිත්තණියන් යනු මේ ලොව අපූරුතම සහ පුදුමාකාර භූමිකා නියෝජනයකි. ජීවිතයේ දිගු දිවීමක් අවසන සැඳෑ කාලයට එළඹෙන ගැහැනුන් කෙරෙන් මතු වෙන ආදරණීයම සහ තීරණාත්මක භූමිකාවක් වන්නේ මිත්තණියගේ භූමිකාවයි. බොහෝ අය අතර මිත්තණි මුත්තණු ගැන ඇති ආදරණීය මතකයන් බෙහෙවින් වන්නේ ඒ නිසාය. එය ලංකාව අයත් ආසියාතික රටවල මෙන්ම බොහෝ චරිත කතා ඇසුරේ විමසීමේදී ආසියාතික නොවන රටවල් ඇසුරේද මෙම භූමිකාවට ලැබෙන ආකර්ෂණීය මෙන්ම අරුමැසිවාදී තැන ඉහළය. තමන්ගේ උරුමය රැගත් දෙවැනි පරම්පරාවක් වෙනුවෙන් මිත්තණියක සොයාගන්නා කාලය පිළිබඳව ඇති පොදු කාර්යක්ෂමතාව බණ්ඩාරනායක මැතිනියටද තිබී ඇත. මුණුබුරා සහ මිණිබිරියටද එවන් බැඳීමක් තිබී ඇත. ළමාවිය යනු තරාතිරමක් නැතිව රසවත්ව ජීවිතය තුළ පවත්නා අවධියකි යන්න මෙමගින් සනාථ වේ.

Sirimavo Bandaranaike; Sri Lanka prime minister Sirimavo Bandaranaike arriving with her son Anura at London airport for the Commonwealth prime ministers conference march 3, 1961

යටත් විජිත සිලෝන්හි උපන් ශ්‍රී ලංකාවේ අගමැතිනිය

කෞතුකාගාරයට ඇතුළු වන වම් පස සිට යටත් විජිත සිලෝන් නම් රටේ උපන් (1916 අප්‍රේල් 17 රත්නපුර උපන්) සිරිමාවෝ රත්වත්තේ නම් දැරියගේ සිට තමන්ට උරුම වූ පවුල් පසුබිම තුළින් ගොඩනැගුණු සමාජ ගෞරවය පෙන්වන අංග ගණනාවක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. තරුවක් පෑයූ වග සඳහන් කරමින් ඇගේ ළමා වියේ පටන් අවධීන් ප්‍රදර්ශනය කිරීමට කෞතුකාගාරයේ ඉඩ සැකසී ඇත. එතැන් පටන් වම්පස අවසානය දක්වා ඇගේ දේශපාලන භූමිකාව පෙන්වන ඡායාරූප සහ පුවත්පත් ලිපි සංරක්ෂණය කරමින් ප්‍රදර්ශනය කර ඇත. එහි එක් තැනක ‘සිළුමිණ’ පුවත්පතක මෙසේ සඳහන් වේ. “අගමැතිනිය ගෞරව උපාධිය එපා කියයි”.

සිරිමාවෝ බණ්ඩාරනායක යනු ලෝකයේ පළමු අගමැතිනිය හැටියට නොබිඳෙන ලෝක වාර්තාවක හිමිකාරිනියකි. කාන්තාවක හැටියට රටක අගමැතිනිය වීමේ අහම්බය ඉදිරියේ නොසැලී, අභියෝගවලට මුහුණ දීමට දේශපාලනයට එළඹෙන කාන්තා චරිත වෙත මෙකී චරිතයෙන් ලැබෙන පූර්වාදර්ශයට පක්ෂ භේද හෝ මතභේදයක් නැත. සැමියා ඝාතනයට ලක්ව කාලය ගතවත්ම සිනාමුසුව ඔහු නියැලුණු ක්ෂේත්‍රයේ වැඩ කිරීමේ අභියෝගයට පිරිමින් හා කරට කර මුහුණ දුන් තැනැත්තියක වශයෙන් ඈ ගැන තහවුරු කරන ඡායාරූප කෞතුකාගාරයේ සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබේ. මැතිනිය විසින් ආයතන, සංස්ථා, සමාගම් විවෘත කිරීමේ උත්සවවල ඡායාරූප කෞතුකාගාරයේ ඈතට විහිදෙන පරිදි සංරක්ෂණය කර තිබේ. මේවා බොහොමයක් පාහේ සිංහල පුවත්පත්වල පළ කළ ප්‍රවෘත්ති වේ. ඇය මිය ගිය පසුව දෑස් දන් දීම පිණිස අත්සන් තබන අවස්ථාවක්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ දිනය, හැඳුනුම්පත් සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පළමු හැඳුනුම්පත ලබා ගැනීම, පුරපස්ලොස්වක පොහෝ දින නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශ කිරීම, 71 තරුණ නැගිටීම සමයේ ඇඳිරි නීතිය දැමීම යනාදිය ඡායාරූප ලෙස පළ කර ඇත.

ආසියාතික බිරිඳගේ භූමිකාව

අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ බිරිඳ හැටියට සිටින වකවානුවේ නිවසේ මුළුතන්ගෙය මෙහෙයවූ ආකාරය, ඈ මැහුම් ගෙතුම් කෙරෙහි නිපුණතාවක් දක්වන්නියකැයි පෙන්වන ඡායාරූප මෙහි ප්‍රදර්ශනය වේ. කාන්තාවක හැටියට ඈ වැඩියෙන් කැමැත්ත දැක්වූයේ කුමකටදැයි කිසිවෙකු අසා තිබේදැයි නොදන්නා නමුත්, මැහුම් ගෙතුම් යනාදියේ හෝ නිවසේ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට දේශපාලනයට එක් වූ ඇයට වෙලාවක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ නොහැක. රාජ්‍ය නායිකාවක හැටියට ඇගේ පැවැත්ම ඉතා කාර්යබහුල එකකි. නමුත්, වෙහෙසක ලකුණක් ඇගේ මුහුණේ එකුදු අවස්ථාවක හෝ දක්නට නැත.

කුලගෙට පිවිසීම නම් සඳහන් වීදුරු පෙට්ටියක් කෞතුකාගාරයේ ඇත. ඇගේ විවාහ මංගල්‍යයේ ඇරියුම්පත, විවාහ සහතිකය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඈට යොමු කළ ලිපි කිහිපයක් සහ ඔහුගේ මුහුණ සහිත කුඩා ඇල්බමයක් වැනි පොතක්ද තිබෙන අතර එය මැතිනිය සිය සැමියාගේ මතකයක් හැටියට තබාගත් එකක් විය හැකිය. එවකට ප්‍රභූ විවාහ උත්සවවල පරිදි නර්තන අවස්ථා සහිත උත්සව වෙනම පැවැත්වීම සඳහා නිකුත් කළ කාඩ්පතක්ද තිබේ.

පාඨශාලීය අත්දැකීම්

රත්නපුරය සිය ගම්පළාත වුවද සිරිමාවෝ මැතිනිය ඉගෙනුම ලැබුවේ කොළඹ, ශාන්ත බි්‍රජට් කන්‍යාරාම පාසලේය. එහි නම එවකට භාවිත වූයේ ීඑග ඊරසාටැඑඑැ ක්‍දබඩැබඑ ීජයදදක හැටියට බව ඇගේ පාසල් වාර අවසාන වාර්තා දෙකක සඳහන් වේ. පාසල තුළ ඇයගේ භාවිත නාමය වී තිබුණේ සිරිමා රත්වත්තේ යන්නයි. පාසලේ එක් වාරයක් අවසන් වන අප්‍රේල් මස දිනක ඇගේ වාර්තාවක (වසර දක්නට නැත) සිරිමා් රත්වත්තේ ඉංග්‍රීසි භාෂාව, අක්ෂර වින්‍යාසය, භූගෝලය, රචනා ලිවීම, ඉඳිකටු කෙරෙන් කරන වැඩ යන විෂයන්ට ඉතා දක්ෂ බව තහවුරු කරන ලකුණු සංඛ්‍යාවක් ලබා තිබේ. අනෙක් විෂයන් වන කියවීම, අංක ගණිතය (ලිවීම සහ භාවිතය), ලිවීම, ඇඳීම, ඉතිහාසය යන විෂයන්ටද ඉහළ සමත්කමක් දක්වන ලකුණු ඇය වාර්තා කර ඇත. එම වාරයේ ඇය පන්තියේ දෙවැනියා වී ඇති බව ඇගේ පාසල් වාර්තාව පෙන්වයි. මෙම පාසල් සටහන් සහ ඇගේ ඉගෙනීමට අදාළ කාරණා ප්‍රදර්ශනය කර ඇත්තේ වම්පස කෙළවරේ උපත, නැකත සහ අකුරු කරවීම යන නම සඳහන් කරමිනි. එහි ඇගේ ජන්ම පත්‍රය නොහොත් කේන්දරය සහ අනෙක් ඉගෙනුමට අදාළ සටහන් කිහිපයක්ද දක්නට ලැබේ.

විශේෂ අවස්ථා

මැතිනියගේ දියනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වූ පසුව ඇගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිනියක ලෙස ඈ ගත් නිල ඡායාරූපය, ඇගේ සහ ඇගේ පවුලේ සුහදත්වය පවත්වාගෙන ගිය තවත් රාජ්‍යතාන්ත්‍රික පවුලක් වන ඉන්දිරා ගාන්ධි එවූ ලිපි, පුතු අනුර බණ්ඩාරනායක විසින් නාමයෝජනා ලබා දීමකට පෙර අත පිරිත් නූල් බඳිනු ලබන අවස්ථාව, චන්ද්‍රිකා සහ විජය මංගල දිනයේ ගත් ඡායාරුපයක්, ප්‍රජා අයිතිවාසිකම අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට ගිය දින, එම තීන්දුවෙන් ලත් ජයග්‍රහණය ගැන සතුට දනවන අවස්ථාවක්, තෙරේසා මව්තුමිය, කච්චතිව් ශ්‍රී ලංකාවට පවරාගැනීම, ශ්‍රී ලංකාවේ අවසන් බි්‍රතාන්‍ය පාලක සෝල්බරි සාමිවරයා සමග, සෝවියට් රුසියාව සමග ගිවිසුම් අත්සන් කළ අවස්ථාද පුවත් වශයෙන් සහ මේ ඡායාරූප වශයෙන් තිබේ. චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, බකිංහැම් මාලිගය, ජපානය, වියට්නාමය, කැනඩාව, ඊජිප්තුව සමග පැවති සබදතාව ගැනද පෙන්වන ඡායාරූප ඒ තුළ ඇත. 

ඇතැම් විටක මෙම කෞතුකාගාරය සිරිමාවෝ බණ්ඩාරනායකගේ මහගෙදර ගියා වැනි හැඟීමක් පහළ කරයි. බණ්ඩාරනායක නාමයේ කීර්තිය මහජන ඡන්දයක් ඔස්සේ කාන්තාවක හැටියට ලෝකයට රැගෙන ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නමින් ඉදි කළ මෙම කෞතුකාගාරය පසුගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සමයේදී බොහෝ අය ආ ගිය තැනක් හැටියටද පෙනෙන්නට තිබිණි. මහජන චීන සමූහාණ්ඩුවේ ත්‍යාග හැටියට හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට උපහාර පිණිස 1970දී වැඩ ආරම්භ කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ප්‍රසංග, උත්සව, සම්මන්ත්‍රණ, උපාධි ප්‍රදානෝත්සව, සිනමා පහසුකම්, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ තවත් ප්‍රදර්ශන සඳහා පහසුකම් සපයන තැනක් හැටියට ප්‍රචලිත තැනකි. සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානය මෙහි නවතම ඉදි කිරීම හැටියට හැඳින්වේ. බණ්ඩාරනායක කෞතුකාගාර පදනමේ ලේකම් සුනේත්‍රා බණ්ඩාරනායක – බණ්ඩාරනායක මැතිනියගේ දෙටු දියණිය විසින් කෞතුකාගාරයේ කටයුතු සඳහා දායකත්වය දෙනු ලබයි.

සටහන : ශිවන්ති ප්‍රනාන්දු

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි