ටී 20 ලෝක කුසලානයේ නිලධාරීන්ගේ වියදම ලක්ෂ 680යි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ගෙවූ
වියදම්වලටත් ගෙවීම් අරගෙන
ගුවන් ගමන් විස්තර නැවත සකස්කර විගණනයට දීලා
කරුණු අනාවරණය වීම් වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීම දක්වා දුරදිග ගිය 2022 ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක් ඇසුරින් පසුගිය සතියේ අපි ඔබට අනාවරණය කළෙමු.
එම අනාවරණය කිරීම්වල තිබුණේ සංක්ෂිප්තයක් පමණය. එහි ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලේකම් ඇතුළු විධායක කමිටු සාමාජිකයින් සහ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් විස්තරාත්මකව ජනතාව දැනගත යුතු යැයි අපි සිතමු. ඒ වෙන කිසිවක් නිසා නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් යනු ඒ සඳහා කෙටි කාලයකට ඡන්දයෙන් තේරී පත්වන පිරිසකගේවත්, වැටුප් ලබන නිලධාරීන්ගේවත් බූදලයක් නොවන නිසාය.
ජයග්‍රහණ ලැබුවත් නොලැබුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාය. එහෙත් මෙම විගණන වාර්තාවේ ඇති කරුණු අපට කියා පාන්නේ එසේ කැපවීම් කර ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දහදියෙන් උපදවන මුදල්වලින් එහි නිලධාරීන් සැප ගනිමින් සිටින බවය. ඒ සඳහා වූ උදාහරණ කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.
එම ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා සහාය කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු ලෙස 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුලින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබූ අතර පසුව ක්‍රීඩකයින් ආබාධයට ලක්වීම මත තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු හා පුහුණුකරුවකු ඕස්ටේ්රලියාවට ගොස් තිබේ.
ඕස්ටේ්රලියාව බලා ගිය ක්‍රීඩකයින් ඇතුළු 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ 23 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත්, නවාතැන් පහසුකම්, ආහාර හා විදේශ ගමන් සංයුක්ත දීමනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දරා තිබෙන අතර ඉතිරි 7 දෙනා සඳහා එම වියදම් දරා පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අයකරගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කරන නිලතල දරන්නන් 7 දෙනෙකු ඇතුළු විධායක කමිටු සාමාජිකයින් 14 දෙනෙකු එම තරගාවලිය නැරඹීම සඳහා ගොස් ඇති අතර ඔවුන් සඳහා ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, ගමන් රක්ෂණ, දීමනා, අභ්‍යන්තර ගමන්, නවාතැන් පහසුකම් හා තරගාවලිය නැරඹීමේ දීමනා ලෙස රුපියල් 68,237,263ක් වියදම් කර තිබේ. ආසන්න වශයෙන් එය රුපියල් මිලියන 68ක් හෙවත් රුපියල් ලක්ෂ 680කි.
ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත වෙනුවෙන් රුපියල් 2,619,872ක් ගෙවා තිබෙන අතර එම ගුවන් ටිකට් පතේ පිටපත් විගණනයට ඉදිරිපත් කර ඇත්තේ පසුවය. 2022 ඔක්තෝබර් 18 දින ීූ 468 දරන ගුවක් යානයෙන් ඔහු ආපසු පැමිණ තිබූ නමුත් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කර තිබූ ඉන්වොයිසියේ හා ගුවන් ටිකට් පතේ සඳහන් කර ඇත්තේ ඔහු 2022 ඔක්තෝබර් 20 දින ීූ 468 ගුවන් යානයෙන් ආපසු පැමිණෙන බවයි.
ඒ අනුව ඉන්වොයිසියේ, ගුවන් ටිකට් පතේ තොරතුරු හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු සමඟ නොසැසඳීමක් පැවතී ඇත. විගණකාධිපතිවරයාගේ කෙටුම්පත් වාර්තාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් පිළිතුරු අවස්ථාවේදී ගුවන් ගමන් දින වෙනස් කරන ලද ගුවන් ටිකට් පතේ පිටපතක් ඉදිරිපත් කර ඇති අතර එහි තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු සමඟ සැසැඳී ඇත.
එම ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහගේ ගුවන් ටිකට් පත වෙනුවෙන් රුපියල් 1,650,000ක් ගෙවා තිබෙන අතර එම ගෙවීම් සඳහා ගුවන් ගමන් ටිකට් පතේ පිටපතක් ලබාගෙන නැත. විගණනය කළ ඉල්ලීම අනුව පසුව 2023 මැයි 08 දින ක්‍රිකට් ආයතනය එහි පිටපතක් විගණනයට ඉදිරිපත් කර ඇත. එහි ඔහු 2022 නොවැම්බර් 05 දින ඹඛ 604 ගුවන් යානයෙන් මෙල්බර්න් බලා ගමන් කළ බව දක්වා තිබුණද, 2022 නොවැම්බර් 04 දින ඹඛ 606 ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත්තේ සිඩ්නි වෙතය.
ඒ අනුව ඉන්වොයිසියේ ඇතුළත් ගමන් කළ දිනය, ගමන් කළ ගුවන් යානය හා ගමනාන්ත ගුවන් කොටුපළ යන තොරතුරු නොසැසඳී ඇත. ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් කළ ඉන්වොයිසියේ නොවැම්බර් 06 දින මෙල්බර්න් සිට සිඩ්නි දක්වාත්, නොවැම්බර් 08 දින සිඩ්නි සිට බි්රස්බේන් දක්වාත්, නොවැම්බර් 09 දින නැවත බි්රස්බේන් සිට මෙල්බර්න් දක්වාත් ගමන් කළ බව දක්වා ඇතත් විගණනයට ඉදිරිපත් කළ ගුවන් ටිකට් පතේ එම අන්තර් ගුවන් ගමන් පිළිබඳ සඳහනක් තිබී නැත.
උප සභාපති ජයන්ත ධර්මදාසට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතට රුපියල් 2,640,000ක් ගෙවා ඇති අතර ඔහුගේ ගුවන් ටිකට් පතේ පිටපතක් විගණනය කළ ඉල්ලීමට අනුව පසුව ඉදිරිපත් කර ඇත. එහි සඳහන් විදේශ ගමන් බලපත්‍ර අංකය ඔහුගේ නොවන වෙනත් පුද්ගලයකුගේ බව නිරීක්ෂණය කර ඇත. ගුවන් බලපත් අංකයේ මෙම වෙනස සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලබාදී ඇති පිළිතුර වී ඇත්තේ එම ගුවන් ටිකට්පත නිකුත් කළ ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල් ආයතනය විදේශ ගමන් බලපත්‍ර අංකය සඳහන් කිරීමේදී සම්මතයක් ලෙසත්, ආරක්ෂක හා පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් වන හේතු මත විදේශ ගුවන් බලපත්‍ර අංකයේ අවසන් අංක හතර සඳහන් කරන බවයි.
ඔහු සම්බන්ධයෙන්ද ගෙවීම් කර තිබුණද, ඕස්ට්‍රේලියාවේ සිදුකළ අභ්‍යන්තර ගුවන් ගමන් විස්තර ඉදිරිපත් කර නැති අතර කෙටුම්පත් වාර්තාව සඳහා පිළිතුරු ලබාදීමේදී අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුලත් වෙනත් ගුවන් ටිකට් පතක් ඉදිරිපත් කර ඇත.
උප සභාපති රවීන් වික්‍රමරත්නට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් වෙනුවෙන් රුපියල් 2,155,000ක් ගෙවා ඇති අතර එම ගෙවීම සඳහාද ගුවන් ටිකට් පතේ පිටපතක් ලබාගෙන නැත. විගණනයේ ඉල්ලීම අනුව පසුව 2023මැයි 08 ගුවන් ටිකට් පතේ පිටපතක් ඉදිරිපත් කර ඇතත් එහි විදේශ ගමන් බලපත් අංකය සඳහන් කර තිබී නැත.
ගෙවීම් සඳහා ඉදිරිපත් කර ඇති ඉන්වොයිසියේ ඔහු 2022 ඔක්තෝබර් 26 දින කොළඹ දක්වා පැමිණි බව දක්වා තිබුණද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව ඔහු පැමිණ ඇත්තේ 2022 නොවැම්බර් 20 දිනය. කෙටුම්පත් වාර්තාවට පිළිතුරු ලබාදීමේදී ආගමන විගමන තොරතුරුවලට ගැලපෙන ගුවන් ටිකට් පතක් නැවත ඉදිරිපත් කර ඇත.
විධායක කමිටු සාමාජික ක්‍රිෂාන්ත කපුවත්තගේ ගුවන් ටිකට් පත සඳහා රුපියල් 983,054ක් ගෙවා ඇති අතර එම ගෙවීමට අදාළ ගුවන් ටිකට් පත විගණනයට ඉදිරිපත් කර ඇත්තේ පසුවය. එහි ඇති විදේශ ගමන් බලපත් අංකය ඔහුගේ නොවන බව නිරීක්ෂණය කර ඇති අතර සුපුරුදු පිළිතුර වී ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය සම්මතයක් ලෙස විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංක හතර පමණක් සඳහන් කරන බවය. ඔහුගේ ගෙවීම් සම්බන්ධයෙන්ද නිරීක්ෂණය වී ඇත්තේ ඉන්වොයිසියේ සඳහන් රටට පැමිණෙන දිනයත්, ගුවන් ටිකට් පතේ සඳහන් රටට පැමිණි දිනයත් වෙනස්ව පැවතීමය. අවසානයේ පිළිතුරු ලබාදීමේදී සිදුකර ඇත්තේ ආගමන විගමණ තොරතුරුවලට ගැලපෙන ගුවන් ටිකට් පතක් ලබාදීමය.
මෙම තරගාවලියේ උපදේශක පුහුණුකරු ලෙස සහභාගි වූ මහේල ජයවර්ධනට කොළඹ සිට මෙල්බර්න් දක්වා 2022 ඔක්තෝබර් 06 දිනට ගුවන් ටිකට් පතක් ලබාගෙන ඇති අතර ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවය මත එය ඔක්තෝබර් 07 ලෙස වෙනස් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 342,240ක් වැඩිපුර ගෙවා තිබේ. එහෙත් එම වැඩිපුර ගෙවූ මුදල නැවත අයකර ගැනීමට කටයුතු කර නැත. විදේශ ගමන් සංයුක්ත දීමනා ගෙවීමේදී ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට රුපියල් 6,028,830ක් ගෙවා තිබෙන අතර ඒ තරගාවලිය පැවැත්වෙන අතරතුර අවස්ථා දෙකකදී ඕස්ටේ්රලියාව බලා යෑම වෙනුවෙනි.
ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් විගණනය සඳහන් කරන්නේ, ඔහු තරග නැරඹීම සඳහා 2022 ඔක්තෝබර් 10 දින පිටත්ව ගොස් 18 දින ආපසු පැමිණ තිබෙන බවත්, නැවත නොවැම්බර් 11 සිට 13 දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට සහභාගී වීම සඳහා ඔක්තෝබර් 31 දින ගොස් නොවැම්බර් 15 දින ආපසු පැමිණ තිබෙන බවයි. දෙවන ගමනේ ගුවන් ටිකට්පත් ගාස්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදී ඇති බවයි.
ඔක්තෝබර් 08 සිට 17 දක්වා දින 10කට තරග නැරඹීම සඳහා ඔහුට දිනකට ඇමරිකානු ඩොලර් 700 බැගින් ඩොලර් 7000ක් ගෙවා තිබෙන බවත්, එහිදී වැඩිපුර ගෙවා තිබෙන එක් දිනක් සඳහා වූ ඩොලර් 700ක මුදල ඔහු 2023 අගොස්තු 14 දින ආපසු ගෙවා ඇති බවත්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් තවුන්සිලයේ රැස්වීම සඳහා දිනකට ඩොලර් 500 බැගින් දින 5කට ඩොලර් 2500ක් ගෙවා ඇති බවත්, සංයුක්ත දීමනා ලෙස එම මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවා තිබූ බවත්ය. එසේ තිබියදී එම දින 5 සඳහාද ඔහුට දිනකට ඩොලර් 700 බැගින් ලබාදී ඇති අතර එම මුදල්වලින් ඩොලර් 2100ක් 2023 පෙබරවාරි 03 දින ආපසු ගෙවා ඇති බවයි. එසේ වුවද ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමට සහභාගී වීමට හැර තරග නැරඹීමට විධායක කමිටු අනුමැතිය හිමිවී නොතිබුණ බව විගණනය සඳහන් කරයි.
භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ එම තරගාවලිය අතරතුර ඔස්ටේ්රලියාවට යෑම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් විගණනය සඳහන් කරන්නේ, ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය හා වානිජ සම්බන්ධතා කමිටු රැස්වීම සඳහා සහභාගී වීමට හා ඒ සඳහා සංයුක්ත දීමනා ගෙවීමට විධායක කමිටු අනුමැතිය හිමිවී තිබුණ බවයි. ඔහුට එම කමිටු රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් දිනකට ඩොලර් 400 බැගින් දින 5ක් සඳහා ඩොලර් 2000ක්ද, ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා දින 8ක් සඳහා දිනකට ඩොලර් 700 බැගින් ඩොලර් 5600ක්ද ගෙවා ඇති බවයි. පසුව ඔහු 2022 දෙසැම්බර් 16 දින ඩොලර් 600ක් ආපසු ගෙවා තිබේ. එමෙන්ම 2022 ඔක්තෝබර් 18 දින ඔහුට විදේශ ගමන් සංයුක්ත දීමනා ලෙස ඩොලර් 3500ක් ගෙවූ බවට ගිණුම්ගත කර පසුව 2022 ඔක්තෝබර් 24 දින එය ගිණුම්වලින් ඉවත් කර තිබූ බවයි.
ඔහුට එම මූල්‍ය කමිටු රැස්වීමට සහභාගී වීමට අනුමැතිය ලබාදී තිබුණත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය කමිටු සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය නොකරන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයාට ඒ සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බව විගණනය නිරීක්ෂණය කරයි. ඒ සඳහා පිළිතුරු වශයෙන් ක්‍රිකට් ආයතනය කියා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ගේ සමුළුව යන්න වෙනුවට අත්වැරදීමකින් මූල්‍ය හා වානිජ සම්බන්ධතා කමිටු රැස්වීම ලෙස සඳහන්ව ඇති බවයි.
ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා 2022 නොවැම්බර් 14 හා 15 දිනවල පැවති ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ගේ සමුළුව සඳහා සහභාගී වූ බව දැන්වුවද, විගණනය සඳහන් කරන්නේ එම දිනවල සාමාජික රටවල ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ගේ සමුළුව පවත්වන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී මහේෂ් බෝපගමගේට සහභාගි වන ලෙස 2022 සැප්තැම්බර් 06 දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා තිබී ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වී ඇත්තේ එම සංචාරයේ තේරීම්කරු ලෙස සහායක කාර්ය මණ්ඩල නිලධාරියකු වශයෙන්ය.
ඔහු දින 43ක කාලයක් ඕස්ටේ්රලියාවේ ගතකර ඇති අතර එහිදී ඔහුට පුහුණු තරග සඳහා දින 6ක දීමනාද, ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස දින 10ක් සඳහා ඉඳුම් හිටුම් නවාතැන් පහසුකම් සහිතව දිනකට ඩොලර් 500 බැගින් ඩොලර් 5000ක්ද ගෙවා ඇත. එහිදී පුහුණු තරග පැවැත්වූ දින 6 සඳහා ගෙවා ඇති දිනකට ඩොලර් 125ක මුදලත්, තරග පැවැත්වූ දින 4ට ගෙවා ඇති ඩොලර් 175ක මුදලත් එම දින 10ක දීමනාවෙන් අඩුකර ඔහුට ගෙවා ඇති අතර සහාය කාර්ය මණ්ඩල සාමාජිකයකුට විධායක කමිටු සාමාජික දීමනා ගෙවීම මගින් රුපියල් 1,295,395ක් වැඩිපුර ගෙවා ඇති බව විගණනය සඳහන් කරයි.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාවේදී අවස්ථා දෙකකදී ඕස්ටේ්රලියාවට ගොස් ඇති අතර ඒ වෙනුවෙන් විදේශ ගමන් දීමනා ලෙස රුපියල් 5,087,637ක් ගෙවා ඇත. ඔහුගේ එම සංචාරය ගැන නිරීක්ෂණය කරමින් විගණනය සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ දින 3ක රැස්වීම සඳහා සහභාගී වීම වෙනුවෙන් ගොස් ඔහු දින 22ක් ඔස්ටේ්රලියාවේ ගතකර ඇති බවයි. එම රැස්වීම වෙනුවෙන් දින 5ක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විදේශ ගමන් දීමනා, ගුවන් ටිකට් පත්, නවාතැන් පහසුකම් ඇතුළු සියලු දීමනා දරා තිබියදී එම දින 5 වෙනුවෙන් ඩොලර් 3500ක් හා තවත් දින 5ක් වෙනුවෙන් ඩොලර් 3500ක් ගෙවා තිබූ බවත්, එම විදේශ ගමන් සංයුක්ත දීමනාවලින් ඩොලර් 2100ක් 2023 පෙබරවාරි 03 ආපසු ගෙවා තිබුණ බවයි.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඕස්ටේ්රලියාවට ගොස් ඇති අතර ඒ ක්‍රිකට් තරග නැරඹීමට හා ඔස්ටේ්රලියානු ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානය අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම පිණිසය. ඒ සඳහා ඔහුට විදේශ ගමන් දීමනා හා රක්ෂණය ලෙස රුපියල් 3,606,803ක් වැයකර ඇත. ඔහු ඕස්ටේ්රලියාවට ගොස් කිසිදු තරගයක් නරඹා නැති අතර මධ්‍යස්ථානය අධ්‍යයනය කර වාර්තාවක්ද ලබාදී නැත.
ඒ නිසා ඔහුට ගෙවන ලද ගුවන් ටිකට්පත් ගාස්තු හා අනෙකුත් දීමනා ආපසු ගෙවන ලෙස ඉල්ලීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් ජෙරම් ජයරත්න කියා ඇත්තේ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසා ක්‍රිකට් තරග නැරරඹීමට නොහැකි වූ බවත්, ඕස්ටේ්රලියාවට යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරන ලද සියලු වියදම් එකවර වැටුපෙන් අඩු නොකරන ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහකාර ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඕස්ටේ්රලියාවට ගොස් ඇති අතර දින 10ක විදේශ ගමන් දීමනා, ගුවන් ටිකට් පත්, වීසා ගාස්තු හා රක්ෂණය ලෙස ඔහු වෙනුවෙන් රුපියල් 3,606,782ක් දරා ඇත. එහෙත් ඔහු පෞද්ගලික හේතුවක් මත දින 5කින් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ නිසා ඔහු ඩොලර් 3500ක මුදලක් රටට පැමිණ මාස දෙකක කාලයකට පසු ආපසු ගෙවා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු රැස්වීම සහභාගි විය හැක්කේ සභාපිතවරයාට හෝ ඔහු නියෝජනය කරමින් එක් අයකුට හා ප්‍රධාන විධායක නිලධාරියාට වුවද, ඒ සඳහා යෑමට සභාපති ෂම්මි සිල්වා, උප සභාපතිවරුන් වන උපාලි ධර්මදාස, රවීන් වික්‍රමරත්න, ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු අනුමැතිය ලබාගෙන තිබූ බව විගණනය සඳහන් කරයි.
ඒ සඳහා සහභාගී වන විකල්ප අධ්යක්ෂ ලෙස ලේකම් මොහාන් ද සිල්වා නම් කර තිබූ බවද, එහෙත් ඒ සඳහා ෂම්මි සිල්වා හා ඈෂ්ලි ද සිල්වා සහභාගී වී තිබූ බවද, ඒ සඳහා සහභාගී වන අයට ගුවන් ටිකට් පත්, ආහාර පාන, නවාතැන් පහසුකම් ඇතුළු සියලු වියදම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දරා ඇතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද දින 10ක කාලයක් සඳහා සම්පූර්ණ විදේශ ගමන් දීමනා ගෙවා ඇති බව විගණනය සඳහන් කරයි.
මෙම කරුණු අපට කියා පාන්නේ කුමක්ද? එම ඕස්ටේ්රලියානු සංචාරය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව එහි නිලධාරීන් ද බොහෝ අකටයුතුකම්වල නිරතව සිට ඇති බවයි. විදේශ ගමන් දීමනා ලබා ගැනීම සඳහා ගුවන් ටිකට් පත් විස්තර සම්බන්ධයෙන් සෙල්ලම් දමා ඇති බවයි. විගණනය විමසීමෙන් පසු එම විස්තර නැවත සකස් කර ලබාදීමෙන් ඒ බව මොනවට පැහැදිලි වේ. එසේම සමහරුන් තරග නැරඹීම සඳහා යැයි ඕස්ටේ්රලියාවට ගොස් පෞද්ගලික සංචාරවල නිරතව ඇති බවයි. එමෙන්ම ඕස්ටේ්රලියාවට යෑම සඳහා වැරදි අනුමැතියන් ලබාගෙන ඇති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙවූ ගෙවීම්වලටද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නැවත ගෙවීම් ලබාගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මුදල් සොයාදෙන ක්‍රීඩකයින් පිරිමැසුම්දායී පන්තියේ ගුවන් ගමන්වල යෙදෙද්දී, ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන්වල යෙදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සුරසැප විඳිමින් එම මුදල් අවභාවිත කර ඇති බව මෙම කරුණු අනුව පෙනේ. ඒ නිසා අප පසුගිය සතියේ පෙන්වා දුන් පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් 2022 ටී 20 ලෝක කුසලානයට අමතරව, අනෙකුත් තරගාවලි සම්බන්ධයෙන් මෙන්ම එහි සියලුම ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එය සිදු කිරීමට ක්‍රීඩා ඇමතිවරයා සූදානම්ද?