No menu items!
25.5 C
Sri Lanka
22 November,2024

කැලණි නාගයා යළි හමුවීම

Must read

මේ සතියේ මුල කතරගම පූජා භූමියේ හටගත් ගැටුම්කාරී තත්වයක් පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. කතරගම පෙරහැරට සමගාමීව සිදුවන ගිනි පෑගීම සුපුරුදු ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙනයාම මෙම ගැටුමට හේතු වූ බව කියවේ. ස්ථාන මාරුව සිදු කර ඇත්තේ ගිනි පෑගීම සඳහා දල්වන ගිනි මැළවලින් ඒ අසළ අලූතින් ඉදිවුණු චෛත්‍යයකට හානි වීම වැළැක්වීමටය. නමුත් තමන් සාම්ප්‍රදායිකව ගිනි පාගන ස්ථානය වෙනස් කිරීම නිසා ගිනි පාගන බැතිමතුන්ගේ සිත් රිදී තිබේ. “සම්ප්‍රදාය” රැකගැනීම උදෙසා  දේවාලයේ කපුවන්, බස්නායක නිලමේ හා හාමුදුරු කෙනකුන්ද සම්බන්ධ වූ ගැටුම නතර කිරීමට අවසානයට පොලිසියට මැදිහත් වන්නට සිදුවිය.

ගිනි පෑගීමේ ක්‍රියාව තුළ කිසිදු ආගමික හාස්කමක්, දේව බලයක් අඩංගු නොමැති බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රමුඛ පිරිසක් මුල් වරට ඔප්පු කළේ 1970 සැප්තැම්බර් මස කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පැවැති ප්‍රදර්ශනයකදීය. ගිනි පෑගීම හාස්කමක්ද නැද්ද යන්න නිගමනය කිරීම සඳහා ෆොන්සේකා මහතා හා ගිනි පාගන කපුවන් පිරිසක් අතර පැවති තරගයෙන් කපුවන් පැරදී පලාගියේ 1971 පෙබරවාරියේය. 

ගිනි පෑගීම දේව බලයෙන් සිදුවන හාස්කමක් නොවන බවට ප්‍රසිද්ධියේ ඔප්පු වී වසර 50කට (අඩ සියවසකට) අධික කාලයක් ගෙවී තිබේ. නමුත් ගිනි පෑගීමත් ඒ වටා ඇති මිථ්‍යා විශ්වාසයනුත් එදාට වඩා අද ශක්තිමත්ය. ප්‍රචලිතය. දේව බලය කෙසේ වෙතත් ගිනි පෑගීමට ජනතා බලයක් නම් තිබේ. චෛත්‍යයට ගින්නෙන් හානියක් වුවද ගිනි පෑගීමේ සම්ප්‍රදායේ කිසිදු වෙනසක්  නොවිය යුතු බවට බැතිමතුන් කියා සිටීමෙන් ගිනි පෑගීමට ඇති “ජන බලය” පැහැදිලි වේ.

මෙම “ජන බලයේ” පදනම මෙ රටේ පවත්නා “සිංහල-බුද්ධාගම”ට අනන්‍ය වූ ස්වභාව ධර්මයෙන් ඔබ්බට හා ඊට ප්‍රතිවිරුද්ධ වූ හාස්කම් පිළිබඳව ඇති දැඩි විශ්වාසයයි. මෙම විශ්වාසය දේව ඇදහිල්ල නිසා ශක්තිමත් වුවද එහි මුල රැඳී ඇත්තේ මෙරට බුද්ධාගමට සුවිශේෂ වූ “සිදුහත් චරිතය” පිළිබඳ කතා මාලාවෙනි. අප ළමුන් ලෙස පාසලේ බුද්ධාගම පන්තියේ උගන්නා මෙම කතා “අපේ බුද්ධාගමේ” එක් ප්‍රධාන මූලස්තම්භයකි. 

මහමායා දේවිය ගැබ් ගැනීම හා සිදුහත් උපතින් ආරම්භ වී සතර පෙර නිමිති හා මහා අභිනිෂ්ක්‍රමණයෙන් අවසන් වන මෙම රසවත් කතා මාලාව මුල් පාලි ත්‍රිපිටකයට අයත් නැත. (අටුවා කතා යනු බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසු එක්කොට ඇති කොටස්ය.) තිඛෙන අවම සඳහනක් වුවද ඒවා අප පාසලේ පන්සලේ ඉගෙන ගන්නා කතාවන් හා සම නොවේ.

සිදුහත් කුමරුන් ගිහිගෙය හැර යාම පිළිබඳ කථාව මෙයට උදාහරණයකි. තම රාහුල පුතුන් උපන් දා රෑ සිදුහත් කුමරුන් හොර රහසේ චන්න ඇමති සමග කන්ථක අසු පිටින් මාලිගාව හැරදා ගිය බව අපි උගෙන ඇත්තෙමු. මජ්ක‍ධිම නිකායේ මහා සච්චක සූත්‍රයේ, සච්චක නම් නිඝණ්ඨයාත් බුදුන් වහන්සේත් අතර ඇතිවූ සංවාදය අඩංගුය. එහි එක් තැනක  බුදුන් වහන්සේ මෙසේ කියයි. “මම සුන්දර තරුණ වියෙහි ජීවිතයේ පළමු අදියරෙහි කළු කෙස් සහිත බාල දරුවකුව සිටිමි. මව්පියන් කඳුළු මුසු මුහුණු ඇතිව නොකැමැත්තෙන් වැලපෙන අතර හිස රැවුල් සිඳ දමා කසාවත් හැඳ පොරවා ගෘහවාසයෙන් නිර්ගෘහවාසයට නික්ම ගියෙමි.” (ඉංග්‍රීසියෙන් අන්තර්ජාලයේ ඇති මෙම සූත්‍රයේ පරිවර්තනය මා උපුටා ගත්තේ මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන්ගේ බුද්ධ චරිතය පොතෙනි.) මේ වැකිය මේ ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව මජ්ක‍ධිම නිකායේ ආරියපරිසේන සූත්‍රයේද සඳහන් වේ.

අපේ පෙළපොත්වල, අපේ බණවල මේ බුදු වදන් පිළිබඳව වචනයකුදු සඳහන් නොකොට අර රහසේ මාලිගාවෙන් නික්ම යාම ගැන, හිස කෙස් අසිපතෙන් කපා අහසට විසි කළ විට දෙවියන් ඒවා රැගෙන යාම පිළිබඳව කියවෙන්නේ මන්ද? “හාස්කම්” මෙරට බුද්ධාගමේ මුල් බැසගෙන ඇත්තේ මෙවැනි විකෘතීන් හරහා නොවේද? කතරගම ගැටුම වැනි සිද්ධීන්ට මුල වනුයේ මේ “හාස්කම්” බුද්ධාගම අප දන්නා එකම ආගම වීම නිසා නොවේද?

කතරගම කෝලාහලයට සම්බන්ධ කපුවන් හා බැතිමතුන් අති බහුතරයක් සිංහල- බෞද්ධයන් වූවා නිසැකය. නමුත් ඔවුන්ට වඩා වැදගත් වූයේ දෙවියන්ගේ ගිනි පෑගීමේ සම්ප්‍රදාය විනා බුදුන්ගේ චෛත්‍යය නොවන බව වාර්තාවලින් පෙනීයයි.

“හාස්කම්” බුද්ධාගම කෙළවර වනුයේ දෙවියන් බුදුන්ව අබිබවා යාමෙන් නොවේද?

හාස්කම් විනා විසංවාදී චින්තනයක් නොමැති ආගමකින් බිහිවනුයේ “හාස්කම්” නාමයෙන් ඕනෑම බොරුවක්, විකෘතියක් හිස් මුදුනින් පිළිගන්නා ජන ප්‍රජාවකි. ප්ලාස්ටික් වතුර බෝතලයකට හිර වූ නාග ලෝකයෙන් ගෙන ආ නාග රාජයාට වැන්දේ ඒ ජනතාවයි. දේශපාලන භික්ෂුවක් නාග ලෝකයෙන් ගෙන ආ දේශපාලන පණිවුඩයක් ප්‍රචාරය කළ විට එය හිස් මුදුනින් පිළිගත්තේ ඒ ජනතාවයි. දේශපාලන-ආර්ථීක හාස්කම් අපේක්‍ෂාවෙන් වීරයකුට ඇන්දූ පඹයකු පිළිගෙන රට බංකොලොත් මාවතට යොමු කළේත් ඒ ජනතාවයි.

පුරවැසි වගවීම

මා මේ ලිපිය ලියන ජුලි 5දාට වසරකට පෙර, එනම් 2022 ජුලි 5දා උදෑසන 60 හැවිරිදි පුද්ගලයෙක් ඉන්ධන පෝලිමක මිය ගියේය. ඒ ඉන්ධන පෝලිමක සිදුවූ 14 වන මරණයයි.

එදිනම ගෝඨා ගෝ ගම ක්‍රියාකාරිකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට හා පාර්ලිමේන්තුවේ 225ට ප්‍රසිද්ධ දැනුම්දීමක් කළෝය. එනම් ජුලි 9දාට ප්‍රථම බලයෙන් හා තනතුරුවලින් ඉවත් වන ලෙසය.

ජුලි 9 දා ලක්‍ෂ ගණනක් ජනතාව නන් දෙසින් කොළඹට පැමිණ ජනාධිපති මන්දිරය වට කළහ. අනපේක්‍ෂිත ජන සන්නිපාතයෙන් ගැලවීමට ගෝඨාභය ජනාධිපතිවරයා මන්දිරයෙන් හා රටින් පලා ගියේය.

කැලණි නාග වස්තුව හා “වැඩකරන අපේ විරුවාගේ’ කතන්දරය නිමා වූයේ එලෙසය.

දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් වගවිය යුතු බව (accountable) අපි පුන පුනා කියමු. එය සැබෑය. නමුත් මෙය කාසියේ එක් පැත්තක් පමණි. කාසියේ අනෙක් පැත්ත නම් පුරවැසියන් හා ඡන්දදායකයන් ලෙස අපගේ වගවීමයි. තමන් කරන කියන දෑට දේශපාලකයා හා රාජ්‍ය නිලධාරියා වග කිව යුතුවා මෙන්ම ජනතාව වූ අප කරන කියන දෑට අප ද වගකිව යුතුය.

වැඩිහිටියකු නොවූවකු (එනම් වයස 18ට අඩුවූවකු) කරන වරදක් නීතිය හා සමාජය සලකනුයේ වැඩිහිටියකු කරන වරදකට වඩා වෙනස් ආකාරයකටය. බාල අපරාධ නම් වෙනම වර්ගයක් බිහි වී ඇත්තේ එබැවිනි. ළමයකුගේ මනස මුළුමනින්ම වර්ධනය වී නැති නිසා, හොඳ-නරක වටහා ගැනීමේ සම්පූර්ණ හැකියාවක් ළමයකුට නොමැති නිසා, ළමයකු කරන වරදකට නීතිය මෙන්ම සමාජයද දෙනුයේ අඩු බරකි. උදාහරණයක් ලෙස මරණ දඬුවම නීති පොතේ ඇති බොහෝ රටවල (ලංකාවද ඇතුළුව) මනුෂ්‍ය ඝාතනයක් කරන ළමයකුට මරණ දඬුවම දෙන්නේ නැත. ළමයකුගෙන් අපේක්‍ෂා කරන වගකීම හා වගවීම වැඩිහිටියකුගෙන් අපේක්‍ෂා කරන වගකීම හා වගවීමට වඩා ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද වෙනස්ය.

පුරවැසියන් හා ඡන්දදායකයන් ලෙස අප හැසිරෙන්නේත් දේශපාලකයා අප දෙස බලන්නේත් ඒ අයුරින්ම – එනම් අප වගවීමෙන් තොර බාලයන් ලෙස – නොවේද?

දේශපාලකයා වැරදි වුවද, ඔහුව/ඇයව තම නිදහස් ඡන්දයෙන් බලයට පත්කරන අප කිසි විටෙක වැරදි නැත. අප පත්කරන දේශපාලකයන්ට බැන අඬගසනවා විනා, ඔවුන්ව පත්කිරීම පිළිබඳව වගකීමක් අප බාරගන්නේ නැත. “අපි රැවටුණා,” “අපිව රැවැට්ටුවා,” “අපිට වැරදුණා” වැනි යෙදුම් විනා රැවටූයේ මන්ද, රැවැට්ටුවේ කොහොමද වැනි දෑ පිළිබඳව පුද්ගලික සිතා බැලීමක් හෝ සමාජ සංවාදයක් සිදුවන්නේ අහම්බෙනි.

දේශපාලකයාද කියන්නේ මේ කථාවමය. ඔවුන්ට අනුව ජනතාව වැරදි නැත. ජනතාව අහිංසකය. තමන්ගේ ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ ජනතාව වගවිය යුතු නැත.

යළි යළිත් හා සදාකාලිකව රැවටෙනුයේ බුද්ධිය නොමැත්තන්ය, කල්පනා ශක්තිය නොමැත්තන්ය, පියෙවි සිහිය නොමැත්තන්ය. පුරවැසි හා ඡන්දදායක අප ක්‍රිියාකරනුයේ මේ ආකාරයටය.

කැලණි නාගයාට තමන් රැවටුණ බව 69 ලක්‍ෂයෙන් බොහෝ දෙනෙක් පිළිගනිති. ඒ පිළිබඳව 69 ලක්‍ෂයට අයත් නොවූ පුරවැසියෝ ඔවුන්ට අපහාස උපහාසද කරති. නමුත් කැලණි නාගයාට රැවටුණේ අද්භූත දෑ සත්‍යය යැයි අවිචාරීව පිළිගැනීමට අප තුළ ඇති නැමියාව නිසායි. අපට උගන්වා ඇති / අප උගෙන ඇති, ළමා කල සිට අප විශ්වාස කරන හා විචාර බුද්ධියකින් තොරව අන්ධ භක්තියෙන් අදහන හාස්කම් ආගම මේ නැමියාවට එක හේතුවක් නොවන්නේද? (කොතරම් වැම්පයර් කථා කියෙව්වත් අපි  වැම්පයර්වරුන් සැබෑ යැයි නොපිළිගනිමු. නමුත් ප්‍රේතයන් පිළිගන්නේ, පේතවත්ථු පසුකාලීන ආගමික ප්‍රබන්ධ නිසාය.) පුරවැසියන් ලෙස, ඡන්දදායකයන් ලෙස අප ගන්නා තීරණවලට අප වගවිය යුතු බව නොපිළිගතහොත් කැලණි නාගයා වෙනත් තැනක, වෙනත් ස්වරූපයකින් ජීවමාන විය නොහැකිද?

අපේ බෞද්ධකම ගැන, මෙරට පවතින නිර්මල බුද්ධාගම ගැන ඉමහත් උජාරුවෙන් කතා කරන අපි, ධම්මපදයේ එන හා පාසලේදී කට පාඩමෙන් ඉගෙන ගත් “මනෝ පුබ්බංගමා ධම්මා” ගාථා යුගලය ගැනවත් සිතා ඇති බවක් නොපෙනේ. අප කරන හොඳ හා නරක සිරුර නොහැර යන සෙවණැල්ල හෝ ගොනා පසුපස යන කරත්තය මෙන් අප පිටුපස ලූහුබඳින බව ඉන් කියවේ.

ඡන්දදායකයාගේ වගවීමද මීට සමානය. අපි සිහි බුද්ධියෙන් තොරව, අන්ධ භක්තියෙන් හෝ බියෙන් හෝ වෛරයෙන් අපේ ඡන්ද භාවිත කරමු නම් එහි අනිටු ඵලවිපාකවලින් අපට ගැලවීමක් නැත.

LIRNEAsia ආයතනය සිදු කළ නවතම සමීක්‍ෂණය අනුව අද ලංකාවේ ජනගහනයෙන් 31%ක් පමණ එනම් ලක්‍ෂ 70ක්, දරිද්‍රතා මට්ටමෙන් පහළ ජීවත් වෙති. මේ ලක්‍ෂ 70න් ලක්‍ෂ 40ක්, දුප්පත්කමට වැටුණේ 2019න් පසුවය. ගෝඨාභය රාජපක්‍ෂ  ජනපතිවරයා බංකොලොත් කළේ රට පමණක් නොවේ. ලාංකිකයෝ ලක්‍ෂ 40ක්ද ඔහුගේ අමනෝඥ පිළිවෙත් නිසා දුප්පත්කමට පත්වූහ.

“වැඩ කරන අපේ විරුවා” මිථ්‍යාවට රැවටී 2109 හා 2020දී රාජපක්‍ෂවරුන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඡන්දදායකයන් විශාල පිරිසක් මේ ලක්‍ෂ 40 තුළ සිටිනවා නිසැකය. ඔවුන් බුද්ධිමත්ව සිතා බලා ඡන්දය භාවිත කළා නම් රටත් ඔවුනුත් දරිද්‍රතාවට පත්වන්නේ නැත. 

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ වීමට නම්, එහි සැබෑ විභවය සාක්ෂාත් කරගැනීමට නම්, තමන්ගේ හැසිරීම ගැන වගවන පුරවැසියන් හා තමන්ගේ ඡන්දය ගැන තමන්ටත් රටටත් වගකියන ඡන්දදායකයන් අවශ්‍යය. විශේෂයෙන්ම සකලවිධ අගතිගාමීත්වයෙන් බැට කා ඇති අපේ වැනි රටවල පුරවැසි/ඡන්දදායක වගවීම නොමැතිවීම අනාගත ව්‍යසනයන්ට පාර කපයි.

අද කුරුන්දිය පටලවාගෙන ජනවාර්ගික ගැටුමක් යළිත් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ එදා දොස්තර සාෆි ගර්භාෂ යුද්ධයක් සිදු කළ සමූලඝාතක ත්‍රස්තවාදියකු යන කුරිරු හා දුෂ්ට මිථ්‍යාව ජනගත කළ ගිහි පැවිද්දන්ම නොවේද? අද නතාෂා එදිරිසූරිය ප්‍රහසනවේදිනිය භාවිත කරමින් ආගමික ගැටුමක් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ එදා දෙමළ-මුස්ලිම් තර්ජනයන්ගෙන් රට ගලවා ගැනීමට සිංහල- බෞද්ධ නායකයකුගේ අවශ්‍යතාව ගැන දේශපාලන බණ කියූ දේශපාලන භික්ෂූන් හා ඔවුන්ගේ වත්මන් අනුප්‍රාප්තිකයන් නොවේද?

අතීතය හැම විටම වර්තමානය අබිබවන රටකට අතීතයක්ම විනා අනාගතයක් තිබිය හැකිද?

අනුහස් දේශපාලනය

මෙරට ධාතු වන්දනාවට සමානව කතෝලික දහම තුළද ශුද්ධවූ වස්තුන් (relics) වන්දනාව දැකිය හැක. මෙය මධ්‍යතන යුරෝපයේ ඛෙහෙවින්ම ප්‍රචලිතව පැවතුණි. ප්‍රංශයේ 9වන ලූයී රජ තම වාර්ෂික ආදායමෙන් අඩක් ගෙවා කිතුතුමන්ගේ “කටු ඔටුන්න” මිලට ගෙන පැරිසියේ පල්ලියක් ඉදිකොට එහි තැන්පත් කළේය. කටු ඔටුන්නේ ලී අලූත් පාට බව ඇතැම්හු දුටහ. රජු හා පූජකවරුන්ගේ ප්‍රතිචාරය වූයේ, ඒ අලූත් පෙනුමෙන් ඔප්පු වන්නේ එහි නොනැසෙන සත්‍යතාව විනා එය අලූත් නිර්මාණයක් (එනම් ව්‍යාජයක්) නොවන බවය.

ඇදහිල්ල, ආගමික වේවා, දේශපාලන වේවා, සාක්ෂි සාධක පිටුදකියි. මෙයට එක් උදාහරණයක් නම් පොහොට්ටු පක්‍ෂයේ අපේක්‍ෂකත්වය ලැබ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැත්වූ පළමු (හා එකම) මාධ්‍ය හමුවේදී ඔහුගේ ක්‍රියාකාරිත්වයයි. ලංකාවේ අධික ණය බර තත්වය තුළ ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයාගන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා උනන්දුවෙන් ප්‍රශ්නයට සවන් දෙන සෙයක් පෙනුණි. ඔහු හිස සැලූවේය. වම හා දකුණ බැලූවේය. පෑන සමග සෙල්ලම් කළේය. අසුනේ එහා මෙහා වූයේය. මාධ්‍යවේදියා ඔහුගේ ජාත්‍යන්තර සබඳතා ගැන ඇසූ විට ඔහු නළලේ අත තබා ගත්තේය. මාධ්‍යවේදියාගේ ප්‍රශ්න ඇසිල්ල නිමවූ වහාම පිළිතුරු සපයනු විනා ඔහු නිහඬව තම සොහොයුරු-මහින්ද රාජපක්‍ෂ මහතා දෙසට ඇඟිල්ල දිගු කළේය.

“වැඩ කරන අපේ විරුවා” යනු මිරිඟු දියෙන් ස්නානය කරන ගණයේ ගජ බින්නයක් බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය පාලනයට නුසුදුස්සකු බවත් වටහා ගැනීමට ඒ විනාඩි කිහිපයම ප්‍රමාණවත් විය. නමුත් ජනතාව එය ගණනකට නොගත්හ. ඒ වගකීමෙන් හා වගවීමෙන් තොර වූ සාමූහික තේරීමේ අනිටු ප්‍රතිවිපාක තව කොතෙක් කල් අපට අත්විඳීමට සිදුවනු ඇත්ද යන්න අවිනිශ්චිතය.

දැන් අපට රජෙකු සිටින බවත් ඒ රජුට ගැළපෙන පාර්ලිමේන්තුවක් තේරීමට ඡන්දය භාවිත කිරීම මරණ මංචකයේදී සිහිකොට සතුටු විය හැකි පිනක් බවත් මුල් පෙළේ දේශපාලන භික්ෂුවක වූ මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කළේය. කාට හෝ ඡන්දයක් දීම පිනක් වන්නේ මොන බෞද්ධ ඉගැන්වීමට අනුවදැයි කවුරුත් ඔහුගෙන් ඇසුවේ නැත. දේශපාලන අභිමතාර්ථ උදෙසා අතිශය නිර්ලජ්ජිතව බුදු දහම අවභාවිත කිරීම ගැන කවුරුත් ඔහුට චෝදනා කළේද නැත. කලක් නිහඬව සිටි ඔහු යළිත් කුරුන්දි තවලම තුළින් කලඑළියට පැමිණ ඇත.

අතීතය වර්තමානය යටපත් කරමින් සිටින බවට මෙය තවත් ඉඟියකි.

ජාතිවාදය හා ආගම්වාදය වැපිරවීම සඳහා අනුපමේය මෙහෙයක් ඉටු කළ මාගල්කන්දේ සුදත්ත හිමියන් ජපානයේ සමලිංගික බලහත්කාරයක් සිදුකළ සිද්ධියක් මේ දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කරයි. මේ පිළිබඳව හටගැනුණු විවේචනවලට එක් ප්‍රතිචාරයක් වී ඇත්තේ, භික්ෂුවක් කවර වරදක් කළද එය විවේචනය කිරීමට ගිහියන්ට අයිතියක් නොමැති බවයි. සිවුරු දරන්නා මොන තරම් දූෂිත වුවද අප ඔහුට ගරු කළ යුතු බවත් මන්ද අප වඳිනුයේ, පුදනුයේ සිවුරට බවත් කියවෙන අරුම පුදුම මතයේම දිගුවක් ලෙස ඉහත තර්කය සැලකිය හැක. මෙම තර්කය බහුතරයක් පිළිගතහොත් ටික කලක නිහැඬියාවකින් පසු යළිත් තම සුපුරුදු අගතිගාමී දේශපාලන සෙල්ලමට බැසීමට සුදත්ත හිමියන්ට හැකි වනු ඇත.

හාස්කම් බුද්ධාගමත් සිවුරු වන්දනාවත් ඉටුකරනුයේ, බෞද්ධ කොඩිය වනන දේශපාලකයන්ගේත් බලයෙන් කැබැල්ලකට ලොල් කරන දේශපාලන භික්ෂූන්ගේත්  අවශ්‍යතාවයි. මැතිවරණ වසර එළඹෙත්ම රට-ජාතිය-ආගම කරළියට ඒම උත්සන්න වනු ඇත. මේ ත්‍රිත්වයේ සූර වීර ආරක්‍ෂකයන් බවට පත්වීම සඳහා දේශපාලන නායකයන් අතරැති තරගය උත්සන්න වනු ඇත. දේශපාලන භික්ෂුවට සිවුර යනු අවියක් හා ආරක්‍ෂක වළල්ලකි. දේශපාලකයාට දේශපාලන භික්ෂුව යනු ආභරණයක් හා මෙවළමකි. මේ දෙකේ එකතුව තුළින් වෙන අන් ඕනෑම ක්‍රමයකට වඩා හොඳින් ජනතාව රැවටිය හැක. කැලණි නාගයා ඒ රැවටිල්ලේ එක් ප්‍රකාශනයක් පමණි.

ආගම හා දේශපාලනය අතර සීමා මායිම් බොඳවූ, හාස්කම් ආගම වූ රටක, දේශපාලකයකුට අනුහස් නායකත්වයක් මවා පෑ හැකි ගැලවුම්කාර චරිතයට සාර්ථකව අඳින්නට නම් ආගමික වේශයක් අත්‍යවශ්‍යය. මේ ආගමික වේශය ලබාගැනීම සඳහා බලයෙන් යම් පංගුවක් කැප කිරීමට ඔහුට / ඇයට සිදුවේ. පුරවැසියන් බැතිමතුන් ලෙස දේශපාලනය දකින, ඡන්දය භාවිත කරන රටක මෙම ගනුදෙනුව පහසුවෙන් කළ හැක. මන්ද එය සමාජයේ (මාධ්‍යද ඇතුළුව) ගවේෂණයට විශ්ලේෂණයට ලක් නොවන බැවිනි.

2022 ජුලි 9 දා අවසන් රාජපක්‍ෂවරයාද තනතුරෙන් පහවිය. නමුත් ඔහුට හා ඔහුගේ පවුලට බලයට ඒමට මග පෑදූ හැසිරීම් රටාව තවමත් අප සමාජයෙන් පහව ගොස් නැත. අයිසීසිපීආර් පනත අවභාවිතයෙන්, කුරුන්දි තවලමෙන්, ගිනි පෑගීමේ සම්ප්‍රදායක් වෙනුවෙන් හටගත් කතරගම ගැටුමෙන්, භික‍ෂුවකගේ ලිංගික අපචාරය පිළිබඳ ආගමික හා සමාජීය නායකයන් දක්වන නිහඬතාවෙන් පෙනීයන්නේ ඒ අතීතය තවමත් ජීවමාන බවය.

ලංකාව අදත් හෙටත් කැලණි නාගයාගේ රටය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි