No menu items!
19.6 C
Sri Lanka
29 January,2025

විනාශයේ සක්විතිලා සැපෙනි

Must read

යහපාලන ආණ්ඩුව රාජපක්ෂලා විවිධාකාරයෙන් විවේචනය කළේ ඇයි? යහ පාලන ආණ්ඩුව ජනතාවට ජීවත් වෙන්නට බැරි තත්වයකට රට පත් කළේ ද? රට බේරා ගන්නට තිබෙන අවසාන අවස්ථාව යයි භික්ෂූන් ජනතාව මුළා කළේ ඇයි?


යහ පාලනයක් රැයක් එළිවෙන විට උදා වේ යයි හෝ උදා කළ හැකි යයි කවුරුන් හෝ සිතුවේ ද?
යහ පාලනයක් ‘අවශ්‍ය නැත‘ යන අදහස දරමින් යහ පාලනයක් ප්‍රතිෂ්ඨාපනය වීමට එරෙහිව කටයුතු කළ අය නම් සිටිති.

දිලිත් ජයවීර


මෑතක දී දිලිත් ජයවීර තමන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට කැපවී වැඩ කළ බව පැවසීය. ගෝඨාභය සිය මිතුරෙකු බවත් – සුන්දර මිනිසෙකු බවත් පැවසීය. ගෝඨාභයට රට හරි මඟ ගෙන යන්නට නුදුන්නේ රාජපක්ෂලා බව ද අවධාරණය කළේය.


දිලිත් ජයවීරගේ අදහස් දැක්වීම කීප වාරයක් මම නැරඹුවෙමි. අවසන මට හිතුණේ ලංකාව විනාශ කර දැමීමට දිලිත් ජයවීර දැනුවත්ව පියවර ගත් පුද්ගලයෙකු බවයි.

ගෝඨාභය සුන්දර මිනිසෙක් වීම!


කවර මනුෂ්‍යයෙකු වුව සුන්දර හෝ අසුන්දර විය නොහැකිය. මනුෂ්‍යයා හොඳ – නරක යනුවෙන් කොටස් දෙකකට වෙන් කළ නොහැකිය. හැම මනුෂ්‍යයෙකු තුළම යහ ගුණ සේම දුර්ගුණ ද තිබෙන බව සත්‍යයකි. ඕනෑම කෙනෙකුට කවර මනුෂ්‍යයෙකුගේ වුව යහ ගුණ සේම දුර්ගුණ වටහා ගන්නට පුළුවන. සමහර විට කෙනෙකු තුළ ඉතා නරක අන්දමට – භයානක අන්දමට දුර්ගුණ තිබෙන බව වැටහුණත් විවිධ හේතු සාධක නිසා සම්බන්ධකම් පවත්වන තත්වයක් තිබීම යථාර්ථයයි. එනමුත් මනුෂ්‍යත්වයට හානිකර – පටහැනි දුර්ගුණ තිබෙන්නෙකු සමඟ මිත්‍ර සන්ථවයක් කෙනෙකු ඇති කර ගන්නේ නම් එය ප්‍රශ්නකාරී ය.


යම් පුද්ගලයෙකුට උන් හිටි ගමන් බලය පරිහරණය කරන්නට ලැබුණ විට – විශේෂයෙන් රාජ්‍ය බලය පරිහරණය කරන්නට ලැබුණ විට ඔහුව දකින – ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගන්නට උත්සුක වන පිරිසේ සීමාවක් නැත. ඊට අදාළ වන්නේ ‘බලය’ සන්තක ‘බලයම’ විනා අන් කිසිවක් නොවේ. බලය ඉතා තදින් නෑකම් කියන්නේ ධනයටයි. ලංකාවේ බලය සහ ධනය අතර තිබෙන්නේ ලේ නෑකමකි. යම් කෙනෙකු රාජ්‍ය බලය අභ්‍යාස කරන්නට සමත් වුණ විට ඔහු සමඟ මිත්‍ර සන්ථවයක් ඇති කර ගන්නේ අත ලෙවකන්නට නොවේ. විශේෂයෙන් ව්‍යාපාරිකයෙකු රාජ්‍ය බලය අභ්‍යාස කරන්නෙකු සමඟ මිතු දමක් ඇති කර ගැනීමට පදනම් වන්නේ ‘ධනය ඉපයීමට බලය‘ සතු ශක්‍යතා පිළිබඳ අවබෝධයම වේ.


ඒ සියල්ල අපි පසෙකින් තබමු. ගෝඨාභයගේ සුන්දරත්වය යනු කුමක් ද?


මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම නිසා ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පදවිය හිමි විය. ඔහු හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ද යුද්ධය පවතින සමයේ හමුදාවෙන් ඉවත් වී ගිය පුද්ගලයෙකි. කමල් ගුණරත්න පවසා ඇති අන්දමට මානසික අසනීපයක් නිසා හමුදාවෙන් ඉවත් වී ගිය කෙනෙකි. අමාත්‍යාංශයක ලේකම් පදවියක් ලබන්නට පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුවක් තිබිය යුතුය. ගෝඨාභයට ඒ කිසිවක් නැත. එහෙත් ඔහු පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුවක් ලද ලේකම්වරු සිය යටතට පත් කර ගත්හ. ඒ සිය සහෝදරයා විධායක ජනාධිපති බැවින් ඒ අනුහසිනි. රාජ්‍ය සේවය තුළ නීති ගරුක නිලධාරීන්ට තමන්ගේ වෘත්තීය වගකීම් හා වගවීම් රැකගෙන කටයුතු කරන්නට බැරි තත්වයක් මේ නිසා ඇති විය. පවතින්නට නම් වැරදි තීරණ ගත යුතුය, නැත්නම් නිර්භීතව ඉවත්ව යා යුතුය. එසේ කිරීමට අපහසු යථාර්ථයක් ද රටේ තිබුණ බව නොරහසකි.


දිලිත් ජයවීර සතු නොයෙක් ව්‍යාපාර ඇතත් ඔහු ප්‍රසිද්ධියක් ලබන්නේ දෙරණ මාධ්‍ය ජාලය නිසා ය. එනිසා ඔහුට මාධ්‍යකරුවන් සම්බන්ධ පොදුවේ කිසියම් හෝ හැඟීමක් තිබිය යුතු වේ. ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි සමයේ මාධ්‍යවේදීන් ඝාතනය – අත පය කඩා දැමීම – අතුරුදන් වීම යනාදි අපරාධ ගණනාවක් සිදු විය. කිසිවකට නීතිය ක්‍රියාත්මක වූයේ නැත. උත්ප්‍රාසය නම් මාධ්‍ය ආයතනයකට ගිනි තැබීම ද මෙසමයේ සිදු වීම ය. මේ කිසිවක් නොදන්නා – මේ කිසිවකට නීතිය ක්‍රියාත්මක නොවූ බව නොදන්නා බබෙකු ලෙස දිලිත් ජයවීර සැලකිය හැකි ද?


ගෝඨාභයට නඩු තිස් පහක් වැනි ගණනක් තිබුණ බවත් තමා ඒවාට පෙනී සිටි බවත් අලි සබ්රි පාර්ලිමේන්තුවේ දී පැවසීය. අලි සබ්රි ද දිලිත් ජයවීරගේ මිතුරෙකි. ඉතින් මේ දෙමිතුරන් සිසිල් පැන් බොන වෙලාවක හෝ ඒ නඩු හබ ගැන කිසිම කිසිවක් කතා නොකළේ ද? ඒ ඇතැම් නඩුවලට මහාධිකරණය අධි චෝදනා භාර දුන් බව හෝ දිලිත් ජයවීර දැන සිටියේ නැද්ද?


නීතියෙන් ඔප්පු කොට අච්චු කොට නැතත් සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු කෙනෙකු සහ මහජන මුදල් අයථා ලෙස පරිහරණය කළ කෙනෙකු සුන්දර මිනිසෙකු ලෙස යම් පුද්ගලයෙකුට හැඟෙනවා නම් ඒ සුන්දරත්වයම අරුම එකකි. හරි භයානක එකකි. අද මොන තර්ක විතර්ක කළත් දිලිත් ජයවීර දැනුවත්ව රටේ නායකයා බවට ඔසවා තබා තිබෙන්නේ නීති ගරුක මනුෂ්‍යයෙකු නොවන බවට වාදයක් නැත.

අලි සබ්රි


අලි සබ්රි දක්ෂ නීතිඥයෙකු බව ප්‍රකටය. ඔහු ගෝඨාභයගේ නීතිඥවරුන් අතර ප්‍රමුඛයා වන්නටත් ඇත. කවර නීතිඥයෙකු වුව තමන් පෙනී සිටින සේවා දායකයාට අදාළ නඩුවේ සුල මුල – ඇත්ත නැත්ත මැනවින් දැන සිටින්නෙකි. අප අසා ඇති අන්දමට අධික මිලක් අය කරන දක්ෂ නීතිඥයන් යනු නිරපරාදේ නඩුහබවලට පැටළුණ කෙනෙකු වෙනුවෙන් සේවය කරන්නෝ නොවෙති. අධික මිලක් අය කරන්නේ ඇත්ත නැත්ත කරන්නටය යන්න ජන වහරේ එන්නකි.
සිය සේවාදායකයා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ අලුත්ගම මුස්ළිම් ජනතාව කේන්ද්‍ර කරගෙන අමානුෂික ක්‍රියාදාමයක් දියත් වුණ බව අලි සබ්රි නොදැන සිටියා විය නොහැකිය. ඊටත් අමතර හා ප්‍රබල කාරණාව නම් රාජපක්ෂලාගේ ආණ්ඩුකරණය තුළ ජාතිවාදය හා ආගමික අන්තවාදය ගහට පොත්ත සේ බැඳී තිබුණි. ඒ වග අලි සබ්රි දැන නොසිටියා විය නොහැකිය.
ගලගොඩඅත්තේ භික්ෂුව මේ රටේ සුළු ජාතීන්ට, විශේෂයෙන් මුස්ළිම් ජාතීන්ට කළ අණ වින අලි සබ්රි නොදැන සිටියා විය නොහැකිය. ගලගොඩඅත්තේ කා වෙනුවෙන් කාට කුමට සේවය කළ කෙනෙකු දැයි අලි සබ්රිට කෙසේ වෙතත් අද ලෝකයටම විවෘත පුවතකි.


කුරුණෑගල රෝහලේ සේවය කළ මොහොමඩ් ෂාපි නමැති වෛද්‍යවරයා වද සැත්කම් කරන්නෙකු බවට අපවාද නඟා බන්ධනාගාර ගත කොට ඔහුගේ ජීවිතයට කළ අනර්ථය අලි සබ්රි නොදැන සිටියා විය නොහැකිය.


තව තවත් දෑ විශේෂයෙන් සුළු ජාතීන් මර්දනයට – මුස්ළිම් ජාතිකයන් හිංසනයට ලක් කිරීමට රාජපක්ෂලාගේ බල සමය තුළ සිදු වුණ බව ලෝක ප්‍රකටය.


අද අපට අසන්නට තිබෙන්නේ සරල ප්‍රශ්නයකි. නිසැකවම නීතියෙන් දඬුවම් ලබන්නට නියමිතව සිටි – තමන් අදහන ආගම අදහන පුරවැසියන්ට හිංසා කළ පුද්ගලයෙකු වෙනුවෙන් පනී සිට ඔහු රටේ නායකයා බවට පත් කිරීමට කැපවීම අල්ලා දෙවියන් විසින් අනුමත කරන්නේ ද? දිලිත් ජයවීර දැනුවත්ව ආණ්ඩුකරණයට නුසුදුස්සෙකු රටේ නායකයා බවට පත් කරන්නට කැපවී ද?, අලි සබ්රි ඊටත් වඩා ඉහළ පඩියක සිට ඒ කටයුත්තම සිදු කර තිබේ. අද රට – රට වැසියන් පත්ව තිබෙන තත්වය ගැන ඔබලාට මොනම විදිහකින්වත් නිදහස් විය නොහැකිය. අපරාධකරුවාට පමණක් නොව අපරාධයට උඩ ගෙඩි දුන්නා ද නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. ලංකාවේ නීතියෙන් නිදහස් වුණත් සොබා දහමෙන් දඬුවම් ලැබෙනු නියතය.

විජේදාස රාජපක්ෂ


උගතුන් පාර්ලිමේන්තු යැවිය යුතුය යන්න විවිධ අවකාශයන්හි මතු වන අදහසකි. මෙහිදී උගතුන් යනුවෙන් සලකන්නේ මොන විදිහේ පුද්ගලයන් ද? ජී. ඇල්. පීරිස් එසේ මෙසේ උගතෙක් ද? විජේදාස රාජපක්ෂ!


මැති සභය තුළ දී වේවා ඉන් පිටතදී වේවා දේශපාලනඥයෙක් මානව ධර්මතාවලට පටහැනිව කාට හෝ අවමන් කරන්නේ නම් එය නොහොබී. බොරු කීම සේම බොරුව වසං කොට ඊට වෙනත් අර්ථ කථන දීම බොරු කීමටත් වඩා නරකය.


යහ පාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා වූයේ විජේදාස රාජපක්ෂය. ඔහුට විටෙක අමාත්‍ය පදවිය අහිමි විය. පළවෙනි චෝදනාව වූයේ යහ පාලන අපේක්ෂා මුඳුන් පත් කිරීමට ඔහු කටයුතු නොකිරීමය. ඔහු කටයුතු කළේ යහ පාලන අපේක්ෂාවන්ට පටහැනිව මතවාදයක පිහිටමිනි. මේ නිසා ඔහු සම්බන්ධයෙන් පක්ෂයෙන් ද පිටතින් ද දැඩි විරෝධයක් මතු විය.
පෙර කළ නම් කෙනෙකු කී කතාවක් කාලයේ වැලි තලාවට යටවීම සොබාවයයි. එහෙත් අද කවරෙකු වේවා කවර දවසක හෝ කියූ දෑ යළි යළිත් අසන්නට – දකින්නට පුළුවන. එක අවස්ථාවක රාජපක්ෂලා බිමට සමතලා කර දමන විජේදාස රාජපක්ෂ පසු අවස්ථාවක ඔවුන් සමඟ කිසි හිරිකිතයක් නැතුව ආණ්ඩුකරණයට දායක වෙයි. ඒ වෙනුවෙන් ද ඔහුට තර්කයක් ගොඩ නැගීමට පහසුවෙන් හැකිය.


ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂගේ මුවින් මසුරන් කතා පවසා ඇත. ඒවා මුහුණු පොත හරහා සැරි සරන අතර සයිබර් අවකාශයේ සුරක්ෂිතය.


යම් මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට මිනීමරුවෙකු බව – චෞරයෙකු බව – බල කෑදරයෙකු බව – රටට ආදරය නැත්තෙකු බව කැට තියා පවසා රැයක් එළිවෙන විට වෙස් මාරු කරගෙන එක පත බුදින්නට පුළුවන් නම් ඔහු අරුම පුදුම මනුෂ්‍යයෙක් නොවන්නේ ද?


මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පෙනී සිටි විජේදාස රාජපක්ෂ යහ පාලනය පෙරළා දමන්නට ද පෙනී සිටියේය. යහ පාලන ආණ්ඩුවේ මෙන්ම සිරිසේනගේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ද ඔහු ඇමතිවරයෙකු වන්නේය. ගෝඨාභය දිනවන්නට පෙනී සිටින ඔහු ගෝඨාභයට දැඩි ප්‍රහාර එල්ල කරන්නෙකු බවට ද පත් වේ. ඊට හේතු කුප්‍රකටය. රනිල්ට හිතේ හැටියට නෙළන්නට හැටි බසක් පරිහරණය කළ ඔහු අද රනිල් අගමැති යටතේ අධිකරණ අමාත්‍යවරයා වේ. මොහු උගතෙකි. ඔහුගේ මැතිවරණ දැන්වීම්වලින් පැවසුණ අන්දමට හෙතෙම ප්‍රාඥයෙකි.


ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ සේම ලැජ්ජා බය නැති මිනිහෙකු බැවින් හිස මත මළ පහ කළ පුද්ගලයා වුව පැවැත්ම වෙනුවෙන් ළං කර ගන්නේය. මෙහෙව් රටක් කෙසේ නම් නීතිය මත පාලනය වන රටක් වේ ද?

නිශ්ශංක සේනාධිපති


ව්‍යාපාරිකයන් හා ජාවාරම්කාරයන් යනුවෙන් දෙකොටසක් ලංකාවේ සිටිති. කලක සිට ශිෂ්ට සම්පන්නව ව්‍යාපාර කරමින් – නිසි අන්දමට ආණ්ඩුවට බදු ගෙවමින් රටේ අදායම ඉහළ නංවන ව්‍යාපාරික ප්‍රජාවේ ඉරණම ජාවාරම්කාරයන්ගේ සම්ප්‍රාප්තියෙන් වෙනස් වී ඇත.

ජාවාරම්කාරයන් එහෙම පිටින්ම රාජ්‍ය බලයේ අනුහසින් වැජඹෙන්නෝ වෙති. ජාවාරම්කාරයන් කාගේත් අතීතය තුළ තිබෙන්නේ අඳුරු කෙටි කටු සටහන්ය. නිශ්ශංක සේනාධිපති මාධ්‍ය ඔස්සේ කතා කරන විලාසය නිරීක්ෂණය කළ කෙනෙකුට ඔහුගේ චරිත කතාවම පසක් කර ගත හැකිය. යහ පාලන ආණ්ඩුව පැවති සමයේ ඔහු කළ වැරදිවලට දඬුවම් ලබන තත්වයක සිටිය ද කිසිවෙකුත් නොසිතූ විරූ පුද්ගලයන්ගේ රැකවරණ හේතුවෙන් ඔහු බේරුණි. ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ එක් නැවක ආයුධවල අංක මැකී ඇත්තේ ආයුධ එකට ඇතිල්ලීමෙන් බවය තහවුරු කෙරුණේ. ඒවා මරේ මරු වැඩ කිඩ ය. නීතිය තරමක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඔහුට මාරාන්තික අසනීපයකි. අසනීපයෙන් හඬමින් රඟපෑ අන්දමත් අපූරුය.


සේනාධිපති මහා දානපතියෙකුගේ භූමිකාව ද උරුම කරගෙන සිටින්නෙකි. ඔහු ආධාර දුන් අයගේ ලැයිස්තු පුවත් පත්වල පළ කෙරුණේ විශාල වශයෙනි. කෙසේ වුව යහ පාලන ආණ්ඩුව සමයේ සේනාධිපතිගේ ව්‍යාපාරය නාවික හමුදාව යටතට පත් කෙරිණි. ඒ අනුව නාවික හමුදාව උපයන්නට වූ ආදායම අති විශාලය. ජාවාරම්කාරයෙකු හරි හම්බ කර ගත් ධනස්කන්ධය ආණ්ඩුවට ලැබීම එසේ මෙසේ දෙයක් ද? ගෝඨාභය රාජපක්ෂගේ සොඳුරු මිතුරෙකු බැවින් යළිත් නාවික හමුදාවෙන් ඔහු අතට ව්‍යාපාරය පත් වේ. එපමණක් නොව ඔහුගේ නඩු හබවලින් ද නිදහස් වීමට භාග්‍යය ලබයි.


ගෝඨාභය මොන තරම් ජරා ජීර්ණ මිනිහෙක් ද? ඔහු රට වල පල්ලට ඇද දමා ඇත්තේ නින්දිත අන්දමටය. අද ජාවාරම්කාරයන් ඔහු වටේට සිට ඔහුට බලය අත්හරින්නට ඉඩ නොදෙන තත්වයකය. ඒ අවකාශය තුළ තව දුරටත් සිදු වන්නේ හපය ද හප කර සාරය උරා බීමය. ගෝඨාභය තොලොංචි වන විට මේ ජාවාරම්කාරයන් රොත්තද තොලොංචි වනු ඇත. එවිටත් ඔවුන්ට රජ සැප – සුර සැප විඳින්නට පුළුවන.


ලංකාව ඉතා කෙටි කාලයක් තුළ බංකොළොත් වීමට වග කිව යුත්තේ ගෝඨාභයම ය. ඔහුව ඉහළට ඔසවන ලද ජාවාරම්කාරයන් සියලු දෙනාම හිතේ හැටියට හම්බ කර ගන්නේ ගෝඨාභයගේ අනුහසිනි. මොන අන්දමකින්වත් ගෝඨාභයට ජාවාරම්කාරයන්ගෙන් ගැලවීමක් නැත. ගෝඨාභය සිටින තුරා රටට – රට වැසියන්ට ද ගැලවීමක් නැත. රනිල් වික්‍රමසිංහ මොන තරම් බරපතළ වරදක් ද කර තිබෙන්නේ? බලය පුදුමාකාර අශිෂ්ට අවියක් බව තවම රට වැසියන් වටහා ගෙන තිබේ ද?

උදයංග වීරතුංග


රාජ්‍ය බලය අවභාවිත වන අන්දම සම්බන්ධයෙන් අගනාම නිදර්ශනය වන්නේ උදයංග වීරතුංගය. ඔහු රතු වරෙන්තුවලින් ද බේරුණෙකි. ගෝඨාභය ජනාධිපති පදවියට පත්වුණ වහාම දිවයිනට පැමිණෙන ඔහු රාජ්‍ය පාලනයේ ද බලවතෙකු බවට පත්වන අන්දම මාර ය.
අද ඔහු ගෝඨාභයට ද ප්‍රහාර එල්ල කරන තත්වයකය. ඔහුට එතරම් බලවත්ව කටයුතු කරන්නට පුළුවන් වී තිබෙන්නේ කෙසේ ද? ගෝඨාභයට එල්ල කළ එක ප්‍රහාරයකට හෝ වචනයක් කියන්නට ගෝඨාභය අසමත් ඇයි? ගෝඨාභය ගැන දන්නා කියන කාටත් උදයංග වීරතුංග නෙළුෑ නෙළිල්ල හරිම පුදුම ය.


ලංකාව අවාසනාවන්ත රටක් බවට පත් කළේ රාජපක්ෂලා – ඥාතීන් සාමූහිකවය. මහින්ද රාජපක්ෂ තව දුරටත් බලයේ එල්ලී සිටින්නේ බලය තමන්ට පමණක් අදාළ නොවන බැවිනි.

ජයසුන්දර සහ කබ්රාල්


ලංකාවේ ආර්ථික අර්බුදය දැනුවත්ව ක්ෂණිකව සිදු කරන ලද්දකි. අර්බුදයට වග කිව යුතු කිසිවෙක් නැත. සියලු දෙනාම නිරුපද්‍රැතය. ජනතාව මහමඟ දුක් විඳින විට, අර්බුදය නිර්මාණය කළ උදවිය තවමත් මහජන මුදලින් සැප ම විඳිති. ඔවුන් කළ වරදක් නැත. එනිසා ඔවුන්ට නීතියෙන් දඬුවමක් ද නැත.


පී.බී ජයසුන්දර ආර්ථික ඝාතයෙකු ලෙස ඔවුන්ගේ පිළෙන්ම චෝදනා ලැබූවෙකි. චෝදනා කළ තැනැත්තා කවරෙකු වුව ඔහු නැඟූ චෝදනාව බරපතළ එකකි. විස්මය නම් එය කිසිවෙකුත් නොසිතූ විරූ අන්දමට යථාර්ථයක් වී තිබීමය. අනුවණ පාලකයෙකුට උපදෙස් දී හෝ නොදී රට විනාශ මුඛයට තල්ලු කොට අද ජයසුන්දර යහතිනි. ඔහුට නීතියෙන් දඬුවමක් නැත. ඒ ඇයි? ඔහුට දඬුවම් කරන්නට හැක්කේ කවර නෛතික අවකාශයක් යටතේ ද?


ජයසුන්දර අපරාධයේ තිරය පිටුපස චරිතයකි. කබ්රාල් අපරාධයේ පොතේ ගුරු ය. මැති සභය තුළ ද, මාධ්‍ය සාකච්ඡාවල ද ඔහු කටමැත දෙඩවූ අන්දම හරිම නිර්භීතය. කබ්රාල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නා රාජපක්ෂවරුන් පසුව ඔහුව මන්ත්‍රී තනතුරෙන් ඉවත් කරගෙන මහ බැංකුවේ අධිපති පදවියට පත් කරයි. ඊට හේතු කාරණා දන්නේ ද රාජපක්ෂලා සහ කබ්රාල්ය. සියලු රාජපක්ෂ දූෂණවල රස රහස් ගබඩාවේ යතුර තිබෙන්නේ කබ්රාල් අතේය. එනිසා ඔහුට නීතියෙන් දඬුවම් විඳින්නට සිදුවේයයි අප සිතිය යුතු නැත.

රනිල් වික්‍රමසිංහ


ගෝඨාභය පාලනය – රාජපක්ෂලාගේ පාලනය අවසන් කොට රට යම් අන්දමකට බේරා ගන්නට පුළුවන් තැනකට කෙසේ හෝ පත් විය. ඒ වෙනුවෙන් ඉවහල් වුණ අරගලයේ ජයග්‍රහණය කණපිට හරවන ලද්දේ රනිල් වික්‍රමසිංහ බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.
මේ අවස්ථාවේ රනිල් ගෝඨාභයටත් වඩා අපරාධකාරයෙකි. චෞර පවුලකින් රට බේරා ගන්නට ලැබුණ අවස්ථාව රටට අහිමි කරන්නේ රනිල්ය. රනිල් අරගලයේ ජයග්‍රහණය පික් පොකට් ගැසුවේය. අරගලය පටන් ගන්නා විට පැත්තක සිටි රනිල් අරගලය තීරණාත්මක තැනක් කරා ගමන් කර විට අළු ගසා දමා නැගිට්ටේය. යහ පාලන ආණ්ඩුවට අවමන් කළ හැත්ත බුරුත්තම අද රනිල්ගෙන් යැපෙන තත්වයකය.


යහපාලනයට මඩ ප්‍රහාර එල්ල කළවුන් පවා අද රනිල් – සාගල අබිමුව කුක්කන් වැනිය. රනිල් මහජන වරමක් නැතිව ආණ්ඩු කරන්නෙකි. මහජන වරමක් ලබා ගත්තවුන්ගේ වරම ගිලිහෙන විට රනිල් ඊට මුක්කුවක් ගසා තමා අතටත් බලය ගෙන රාජපක්ෂලාටත් තව දුරටත් බලය හිමිකර දී සිටියි. සියල්ලෝම හිරිකිතයක් නැතුව මහජන මුදල්වලින් රිසි ලෙස අවශ්‍යතා සපුරා ගනිමින් වැජඹෙති. ජනතාවට තවම ඉතිරිව තිබෙන්නේ හුස්ම ගන්නට නිදහස පමණි.


අද වන විට ලංකාව පාලනයකින් තොර මහ මුහුද මැද අතරමංවූ නෞකාවක තත්වයට පත්ව ඇත. කවර පාරක වුව දකින්නට ලැබෙන්නේ ජීවන අරගලයකි. එහෙත් මැතිසභය තුළ කයිවාරු පම්පෝරිවල අඩුවක් නැත. මේ ලියන මොහොතේ මිතුරෙකු දූරකථනයෙක් පවසා සිටියේ රටේ විනාශයේ සක්විතිලා සෙලවී නැති බවය. රටම පාරට බැසීම – මොන විදිහකින් හෝ මොවුන් පන්නා දැමීම හැර වෙන කිසි විකල්පයක් නැති වගය ඔහු පැවසුවේ.


රනිල්ට කිසි වගකීමක් නැත. ගෝඨාභය වගකීම අත් හැර තිබේ. මහින්ද ඇතුළු පවුල අනාගත සැලසුමකය. විපක්ෂය කැබලි වෙන තත්වයකය. අවසානය කුමක් විය හැකි ද? අවසානය මහා විනාශයක් විය හැකිය. ඉන් මිදෙන්නට නම් ජනතාව වීදී බැස රනිල් – ගෝඨා ආණ්ඩුව කෙසේ හෝ බෙලසුන් කළ යුතුම ය. වෙන විසඳුමක් නැත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි