■ පුරවැසියා
තරුණ අරගලයේ සංකේතීය ස්ථානය වන ගෝල්ෆේස් අරගල භූමියට දින පනහක් ගතවන විට අරගලයට කුමක්ද සිදුවන්නේ යන ප්රශ්නය නගන්නට පටන් ගෙන තිබේ. එය ඉතා හොඳ ප්‍රශ්නයක් වන්නේ එම අරගලය සම්බන්ධයෙන් අගතිගාමී නොවී සිතන පුද්ගලයින්ට පමණය. පුරවැසියාගේ අදහස නම් ගෝටා ගෝ හෝම් යනුවෙන් පැන නැඟි රාජපක්ෂවරුන් සහ ඔවුන් සමඟ එකපතේ කෑ දේශපාලන සනුහරය රටේ පාලනයෙන් ඉවත් විය යුතු යැයි යන්න ගෝල්ෆේස් අරගල භූමියට සීමා වූවක් නොවන බවයි. එහි අදහස වන්නේද රටේ කිහිප ස්ථානයක ගෝටා ගෝ හෝම් යනුවෙන් ස්ථාපිත වී ඇති අරගල ස්ථානවලට එය සීමාවී ඇතිය යන්නද නොවේ. මේ කියන අරගල ස්ථානවලට ආවද නාවද රටේ අති බහුතරයක් වූ පොදු ජනතාව අතර ගෝටා ගෝ හෝම් මතය ස්ථාපිත වී ඇතිය යන්නය. එමෙන්ම එම ස්ථානවල ස්ථානගතවී සිටින තරුණ හා අනෙකුත් ක්‍රියාධරයින් අබිබවා ගොස් රටේ ජනතාව ඒ වෙනුවෙන් ඉදිරියට විත් ඇති බවයි. වේගයේ හෝ ක්‍රියාකාරිත්වයේ යම් අඩු වැඩිවීම් තිබුණද අරගල ස්ථාන අබිබවා ගිය විරෝධතා ක්‍රියාමාර්ග පෙන්වනු ලැබුවේ සහ තවමත් පෙන්නමින් සිටින්නේ පොදු මහජනතාවගේ එම මතයයි. ඔවුන්ට පීඩනය එන්නේ යම් අවස්ථාවකද ක්ෂණයකින් ඔවුන් සිය පීඩනය මුදාහරිනු ලබයි. ඒ නිසා ගෝල්ෆේස් අරගල බිමේ හෝ ඒවැනි වෙන ස්ථානයක අරගල බිම්වල තරුණයින් හා ක්‍රියාධරයින් රැඳී සිටීමේ සංකේතීය අරගල අවසන් වුවද මේ අරගලය ජනතාව මුහුණ දෙන පීඩනය අවසන් වනතුරු අවසන් නොවන බව පුරවැසියාගේ අදහසය.
මෙවැනි අදහස් දැක්වීමකින් මෙවර සටහනට පිවිසෙන්නට හේතුව සපයනු ලැබුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මැයි 29 වැනිදා හදිසියේම ජාතිය අමතා කරුනු ලැබූ අදහස් දැක්වීම නිසාය. ඔහු එහිදී රටේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් කරනු ලැබීය. ඉන් එකක් වන්නේ පාර්ලිමේන්තුවේ මුදල් සම්බන්ධයෙන් ඇති කාරක සභා තුනට අමතරව ඒ ගැන කටයුතු කිරීමට තවත් කාරක සභා කිහිපයක් ඇති කිරීම, පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සභාවක් ඇති කිරීම, අලුතින් අධීක්ෂණ කාරක සභා කිහිපයක් ඇති කිරීමය. මෙසේ ඇතිකරන අධීක්ෂණ කාරක සභාවන් කිහිපයකට තරුණ නියෝජිතයින් ඇතුළත් කිරීම හා ඒ සඳහා අරගල භූමියේ කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමය.
එම අධීක්ෂණ කාරක සභා කිහිපයක නියෝජනය අරගලකරුවන් කිහිප දෙනෙකුට ලබාදීම යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඩීල් එකකින් අගමැතිකම බාර ගැනීමෙන් පසු, අරගල භූමියට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසට කොළඹ නගරාධිපතිනියට ඔහු උපදෙස් දුන්නා යැයි කියූ කියමනට දෙවෙනි නැත. අගමැතිවරයාගේ පහසුකම් ලබාදීමේ මුල් යෝජනාව අරගලකරුවන් ප්‍රතික්ෂේප කළ අතර මෙම යෝජනාවද ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතිය හැකිය. මන්ද එවැනි කාරක සභාවක සාමාජිකයකු වීමෙන් මේ රට මේ පවතින තත්වයෙන් වෙනස් කළ නොහැකි නිසා බැවිනි. තවදුරටත් එවැනි යෝජනාවක් යනු අරගලය දියකිරීම සඳහා වන යෝජනාවක් වන බැවින්ය.
රටේ පවතින ආර්ථික අර්බුදයට පාර්ලිමේන්තුවේ කාරක සභා වැඩි කිරීමෙන් හා ඒවා සඳහා සාමාජිකයින් ලෙස තරුණයින් කිහිප දෙනෙකු පත්කිරීමෙන් විසඳුම් ලබාගත නොහැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වැඩපිළිවෙලකි. තමා සතු වැඩපිළිවෙළ මෙතෙක් රට හමුවේ තබන්නට අගමැති රනිල් වික්‍රමසිංහ සමත්වී නැත. එයින් හොඳටම පෙනෙන්නේ ඔහු රාජපක්ෂලා නොවැටී බේරා ගැනීම සඳහා ඩීල් එකක් දැමීම හැර රට වෙනුවෙන් ඉදිරිපත් වී නැති බවය. ඔහු දැනට කරන්නේ මීට පෙර අවස්ථා ගණනාවකදී රටේ අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමෙන් ඇතිවී ඇති හැඳුනුම්කම් මගින් විදේශ රටවලින් එදිනෙදා අවශ්‍යතාවලට සුළු සුළු ආධාර ලබා ගැනීම පමණය.
එවැන්නකින් ආර්ථිකයේ හිරවී ඇති දැති රෝද කරකවා රට යළි සාමාන්‍ය තත්වයට පත්කළ නොහැකිය. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන පැහැදිලිවම කියා ඇත්තේ ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවය. පෙර සඳහන් කළ ආකාරයටම අගමැති රනිල් වික්‍රමසිංහ එවැන්නක් ඉදිරිපත් කරන අයුරක් පෙනෙන්නට නැත.
අනෙක් අතට අරගලයේ ප්‍රධාන ඉල්ලීම වන රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහට වැඩ පිළිවෙළක් ඇති බවක්ද පෙනෙන්නට නැත. ගෙන ඒමට නියමිත දියාරු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පවා ඔහුව අගමැති පුටුවේ ඉන්දවූ රාජපක්ෂවරුන්ගේ සහායක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ අනුව අරගලයේ ඉල්ලීම්වලටද ඔහුගෙන් විසඳුමක් අපට බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසාම අලුත් දේශපාලන තත්වයක් නිර්මාණය වීම සඳහා 21 වන සංශෝධනය ඉක්මණින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුමය. මන්ද එහි ජය පරාජය මත රටේ ඉදිරි දේශපාලනය බොහෝවිට තීන්දු විය හැකි නිසාය.■