No menu items!
21.5 C
Sri Lanka
18 January,2025

පුරවැසි අරගලයේ දෙවැනි අදියර: ප්‍රබල සටන් පාඨවල සිට පරිවර්තනීය වැඩපිළිවෙළක් කරා

Must read

ලංකාවේ පුරවැසි අරගලයේ ඉදිරිමග පිළිබඳ තේමාව නොයෙක් දෙනා අතර සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙන මාතෘකාවකි. මේ දිනවල සිදුවෙමින් පවතින දේශපාලන සිදුවීම් පුරවැසි අරගලයට කෙසේ බලපානු ඇත්ද යන්න එසේ සාකච්ඡා වන අතුරු ප්‍රශ්නයකි. මේ අතර, පුරවැසි අරගල ව්‍යාපාරයේ ඇති සීමාකම්, එය මුහුණ දෙන ගැටලු සහ අභියෝග මෙන්ම අනතුරු පිළිබඳවද කතාබහ සිදුවෙමින් තිබේ. මෙම ලිපියේ අරමුණ මේවා සමහරක් පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කිරීමයි.

දෙවැනි අවධිය


පුරවැසි අරගල ව්‍යාපාරය සති කිහිපයක විකාශනය වෙතින් එහි දෙවැනි අඩවියට පරිණාමය වී ඇත යන්න පළමුවෙන් සඳහන් කළ යුතු කරුණයි. මෙම අවධි පරිවර්තනයේ සංකේතවත් දවස් දෙක වූයේ මැයි 9 සහ 10යි. අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඇමති කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ආණ්ඩු-ත්‍රස්තවාදී පහරදීම සිදුවූයේ මැයි 9දා දවල්ය. ඒ ප්‍රහාරයට ඇතිවූ ප්‍රතික්‍රියා මැයි 10දාත් රට පුරා පැතිරිණ. මෙම සිදුවීම් වෙතින් පුරවැසි ව්‍යාපාරය ඉදිරියේ ඊට පෙර නොතිබූ අලුත් අභියෝගයක් මතුවිය. එනම් ප්‍රචණ්ඩත්වයේ දේශපාලනයට කෙසේ මුහුණ දෙන්නේද? යන්නයි.


ආණ්ඩු ප්‍රචණ්ඩත්වය විසින් පුරවැසි ව්‍යාපාරයට නව දේශපාලන වැදගත්කමක්ද ලබා දෙන ලදි. ආණ්ඩුව සම්බන්ධව පැතිරුණු ක්ෂණික මහජන කෝපය සමඟ, පුරවැසි ව්‍යාපාරයට විශාල මහජන ප්‍රසාදයක්ද, නව ආකර්ෂණයක්ද, අවධානයක්ද ලැබිණ. මෙය දෙවැනි අවධියේ දක්නට ලැබුණු දෙවැනි ලක්ෂණයයි. එහෙත් එහි තවත්, අනපේක්ෂිත ප්‍රතිඵලයක්ද තිබිණ. එය නම්, ආණ්ඩුව සහ පාලක පන්තිය හෙල්ලීමට ලක්වීමයි. තමන් කෙරෙහි විශාල මහජන කෝපයක් තිබෙන බවද, එය පහසුවෙන් පුපුරා යා හැකි බවද පාලක දේශපාලන පන්තියට පෙනිණ. මහින්ද රාජපක්ෂ පවුල තාවකාලික වශයෙන් කොළඹින්ද, බලයෙන්ද ඉවත් කිරීම, ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂ සමඟ අවබෝධයකින් කටයුතු කිරීමට සූදානම් බව පෙන්වීම, දේශපාලන ස්ථාවරභාවය සඳහා අවශ්‍ය අන්තර්වාර පාලනයක් සඳහා වහා පියවර ගැනීම, විපක්ෂය දුර්වල කිරීමේ අරමුණද සහිතව, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම, ඇමරිකාව, ජපානය, යුරෝපා සංගමය හා ඉන්දියාව ඇතුළු ලෝක බලවතුන්ගේ සහාය වහාම ලබා ගැනීම යන මේවා, පුරවැසි ව්‍යාපාරයේ නව දේශපාලන අභියෝගයද පාලනය කිරීමද ඇතුළත් දේශපාලන ස්ථායීකරණ න්‍යාය පත්‍රයක ප්‍රධාන අංග බවට පත්විය.


මෙයින් ගම්‍ය වන එක් අදහසක් නම්, පුරවැසි ව්‍යාපාරයට දීර්ඝකාලීන දැක්මක් සහ න්‍යාය පත්‍රයක් සහිතව අනාගතයට මුහුණදීමේ වැඩපිළිවෙළක් ගැන සිතන්නට බලකෙරී තිබෙන බවයි. පුරවැසියන් අතරින් ස්වේච්ඡාවෙන්, ක්ෂණිකව මතුවූ විරෝධතා ව්‍යාපාරයක් ලෙස පැවති පළවැනි අවධිය අවසන් වී ඇත යන්න එහි තේරුමයි. විරෝධතා ව්‍යාපාරයක සිට දේශපාලන ව්‍යාපාරයක තත්වයට පරිවර්තනය වීමේ ශක්‍යතාව හා අභියෝගය එය ඉදිරියේ තිබේ. ලිහිල් විමධ්‍යගත, නායකත්වයක් රහිත ස්වේච්ඡා පුරවැසි ව්‍යාපාරයක සිට දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීම පරෙස්සමෙන් කළ යුතු පරිවර්තනයකි.

ප්‍රචණ්ඩත්වයේ අභියෝගය


මැයි 10දා පුරවැසි ව්‍යාපාරය මුහුණ දුන් ‘ප්‍රචණ්ඩත්වයේ’ ප්‍රශ්නයද මෙම දෙවැනි අවධියේදී ගැඹුරින් සාකච්ඡා කළ යුතු තේමාවකි. එය ආණ්ඩුවේ ත්‍රස්තවාදයට එරෙහිව ක්ෂණිකව ඇතිවූ ප්‍රතිචාරයකි යන පැත්ත එහි තිබේ. ඊට අමතරව, එහි තව පැති දෙකක් තිබේ. පළමුවැන්න ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන්ගෙන්ද, ප්‍රාදේශීය නායකයන්ගෙන්ද පළිගැනීමට කාලයක් තිස්සේ බලා සිටි, ප්‍රාදේශීය පිරිස් විසින් මුදා හරින ලද ප්‍රචණ්ඩත්වයයි.


තෙවැන්න, පුරවැසි ව්‍යාපාරයේම පරිවාරයට සම්බන්ධව සිටි ‘ජැකොබින්වාදීන්’ යන සංකල්පයෙන් හැඳින්විය හැකි ප්‍රචණ්ඩ දේශපාලනයට නිසර්ග ප්‍රවණතාවක් ඇති, කෝපයට පත් සමාජ-දේශපාලන කොටස්ය. මේ දිනවල තමන්ට විඳින්නට සිදුවන ජීවත් වීමේ දුෂ්කරතා නිසා බොහෝ පුරවැසි පිරිස් සිටින්නේද බලවත් කෝපයකිනි. පුරවැසි ව්‍යාපාරයේ විශාල අභියෝගයක් වනු ඇත්තේ එහි පරිවාරයට සම්බන්ධ වී සිටටින කෝපවූ පුරවැසියන්ගෙන් සමන්විත ජැකොබින්වාදී කොටස්වල අරාජකවාදී ප්‍රවණතා පාලනය කිරීමයි. පරාජය කිරීමයි. 9දා රාත්‍රී සහ 10දා කොළඹ නගරය තුළ කළු ඇඳුම් හැඳගෙන, පොලුද අතැතිව, වාහනවලින් යමින් ‘පොලිස් රාජකාරි’ සිදු කළ මධ්‍යම පන්තික තරුණ කණ්ඩායම් මෙවැනි ජැකොබින්වාදී මුර-සෝදිසි-ප්‍රහාරක කණ්ඩායම්ය. එනම් ‘විජිලන්තේ’ කණ්ඩායම්ය. එවැනි ප්‍රවණතාවලින් පුරවැසි සමාජයට සිදුවිය හැකි හානිය විශාලය.


මෙම ප්‍රචණ්ඩ කණ්ඩායම් මතුවීමේ ප්‍රවණතාව පරාජය කිරීම, පුරවැසි ව්‍යාපාරය දෙවැනි අවධියේදී මුහුණ දෙන අභියෝගයක්ද වනු ඇත. එයට හේතු කිහිපයක් තිබේ. පුරවැසි ව්‍යාපාරයට සම්බන්ධ මධ්‍යම පන්තික සමාජ කොටසක් එයින් ඈත්වීමට එය දැනටම බලපා තිබීමයි. දෙවැනිව, එය පුරවැසි ව්‍යාපාරය මර්දනය කිරීමට ආණ්ඩුව, පාලක පන්තිය සහ ආරක්ෂක ව්‍යුහ විසින් ප්‍රයෝජනයට ගනු ලැබීම වැළැක්විය නොහැකිවීමයි.


මේ අතර නවවැනිදායින් පසුව දේශපාලන ක්‍රියාවලියේ කේන්ද්‍රීය ලක්ෂණය වී තිබෙන්නේ බෙදී ගිය ලාංකික පාලක පන්තිය, දේශපාලන වශයෙන් එකතු වී ආණ්ඩු සන්ධානයකට පැමිණීමයි. ගෝඨාභය-රනිල් එකතුවේ දේශපාලන අර්ථය එයයි. එම එකතුව සිදුවී තිබෙන්නේ කලාපීය සහ ලෝක බලවතුන්ගේද ඍජු මැදිහත්වීම මත බව කිසිවෙකු අමතක නොකළ යුතුය. පුරවැසි ව්‍යාපාරය පිළිබඳව ලංකාවේ පාලක පන්තියත්, ඔවුන්ගේ ජාත්‍යන්තර හවුල්කරුවනුත් තරමක් බියවී සිටින පසුබිමක් තුළ එය කඩාකප්පල් කිරීමේ එක් උපක්‍රමයක් වනු ඇත්තේ, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ න්‍යාය පත්‍රය ඉදිරියට දැමීමයි. ‘ප්‍රකෝපකාරී ඒජන්තවරුන්’ පුරවැසි ව්‍යාපාරයට ඇතුළු කිරීම, කාලයක් තිස්සේ පාලක පන්තිවලට පුරුදු පොලිස් උපක්‍රමයකි.
පුරවැසි ව්‍යාපාරය ඉදිරියේ තිබෙන ‘ප්‍රචණ්ඩත්වයේ අභියෝගයේ ’ සංකීර්ණතාව එබඳුය.

වැඩපිළිවෙළක් නොතිබීමේ අභියෝගය


පසුගිය දිනවල පුරවැසි ව්‍යාපාරය සම්බන්ධව, එයට සහයෝගය දුන් ස්වාධීන පුරවැසියන් මතු කළ ප්‍රශ්නයක් වූයේ ‘අරගලයේ අයට රටේ ප්‍රශ්න සම්බන්ධව තිබෙන විසඳුම් මොනවාද?’ යන්නයි. ‘රටේ හදිසි ප්‍රශ්නවලට අරගල භූමියෙන් යෝජනා වන විසඳුම් මොනවාද?’ යනුවෙන් මතු කරන ලද්දේද මෙම ප්‍රශ්නයමය. මෙම පුරවැසියන් සමහර දෙනා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත නැවත ආකර්ෂණය වීමට පටන් ගත්තේද මෙම ප්‍රශ්නය අසමිනි.


“වැඩපිළිවෙළක්’ සහ ‘විසඳුම්’ යන කාරණා දෙකෙන්ම, පුරවැසි ව්‍යාපාරයේ දෙවැනි අදියරට සුවිශේෂ ප්‍රශ්නයක් මතු කරනු ලැබේ. එය නම්, ජනතාව ආකර්ෂණය කරන සටන් පාඨ පමණක් පුරවැසි ව්‍යාපාරයේ දේශපාලන හා සමාජ දැක්ම සහ ඉදිරි දර්ශනය ලෝකය හමුවේ තැබීමට ප්‍රමාණවත්ද? යන්නයි. අගමැති වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අර්බුදවලට ඇති ඔහුගේ විසඳුම් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම කාරණය වඩාත් උද්දීපනය වී තිබේ. අගමැතිවරයා යෝජනා කර ඇත්තේ සරල, සාර්ථක වීමට ඉඩකඩ නැති, රටේ ප්‍රශ්න උග්‍ර කිරීමට තුඩුදෙන විසඳුම් වන අතර, ඒවා වනාහී පාලක පන්තියේ විසඳුම්ය. එහෙත් ඒවාට මධ්‍යම පන්තිය, වෘත්තික ස්තර සහ ව්‍යාපාරික පන්ති ඇදී ගොස් ඇත. පසුගිය කාලයේ දේශපාලන සජීවීකරණයට පාත්‍රවූ ලංකාවේ මධ්‍යම පන්තිය නිර්-දේශපාලනීකරණයටට ලක්කිරීමේ ප්‍රධාන කාර්යය දැන් කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.


සටන් පාඨවලින් ඈතට, ඉදිරියට යෑමට නම් පුරවැසි ව්‍යාපාරය තුළ මතවාදී සහ ප්‍රතිපත්තිමය සම්මුතියක් තිබීම අවශ්‍ය වේ. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය දෘෂ්ටිවාදී සහ සංවිධාන ශක්තිය තිබෙන්නේ පුරවැසි ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින ජවිපෙට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටය. එහෙත් මෙම සංවිධාන දෙක පුරවැසි ව්‍යාපාරය තුළ ඉදිරියට පැමිණීම තුළ පුරවැසි ව්‍යාපාරයේ ඇති බහුජන, විවෘත ස්වභාවය සීමාවීමේ අනතුරද තිබේ. ඒ සංවිධාන දෙකම දේශපාලන පක්ෂ දෙකකි. ඔවුන් බහුජන ව්‍යාපාරයක් සමඟ කටයුතු කිරීමේදී එම ව්‍යාපාරය තම මතවාදී හෝ සංවිධානාත්මක ග්‍රහණයට ගැනීමට ක්‍රියාකළහොත්, එය පුරවැසි ව්‍යාපාරයේ ඇති බහුජන ගති ලක්ෂණයට හානි පැමිණීමද වැළැක්විය නොහැකි වනු ඇත. මධ්‍යම පන්තිය දැනටමත් ඒ ගැන බිය පළ කරන්නට පටන් ගෙන තිබේ.


මෙම උභතෝකෝටිකය ජය ගන්නේ කෙසේද? ඒ සඳහා ඇති එක් මාර්ගයක් නම්, පුරවැසි ව්‍යාපාරයට සම්බන්ධ එක් එක් කණ්ඩායම්, රටේ ප්‍රශ්න විසඳීම සඳහා තමන් සතු දැක්ම, ඉදිරි දර්ශන සහ ප්‍රතිපත්තිමය විසඳුම් වෙන වෙනම ඉදිරිපත් කිරීමයි. පුරවැසි ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් නොව පුළුල් මහජන ව්‍යාපාරයක් බව මෙහිදී මතක තබාගත යුතු වේ. එම පුළුල් සහ මහජන ව්‍යාපාර ස්වභාවය දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, එය තවත් පක්ෂයක් හෝ පක්ෂයක කොටසක් බවට පරිවර්තනය කිරීමට කිසිසේත් උත්සාහ නොකළ යුතුය. එසේ කිරීම මෙම පුරවැසි ව්‍යාපාරය විනාශ වීමේ පළමු පියවර වීමට හොඳටම ඉඩ තිබේ. දෘෂ්ටිවාදය හා ඉදිරි දැක්ම අතින් ඒකාග්‍ර නොවීම පුළුල් මහජන ව්‍යාපාරයක ඇති විවිධතාව, විවිධත්වය සහ දෘෂ්ටිමය විමධ්‍යගතභාවය ප්‍රකාශ කරන්නකි. එය එවැනි ව්‍යාපාරයක ඇති ශක්තියක්ද වේ. එලෙස එක් එක් කණ්ඩායමේ ඉදිරි දැක්මවල්, පසුව විවෘත සාකච්ඡාවටද සංශෝධනයටද භාජනය කළ හැකි ඒවා විය යුතුය. බහුජන පුරවැසි ව්‍යාපාරයක ස්වායත්තතාවට හානි නොකර, එය සමඟ වැඩ කිරීමේ කලාව භාවිත කිරීම ජවිපෙ හා පෙසප ඉදිරියේ ඇති අභියෝගයකි.

පොදු ප්‍රකාශනයක්


එවැනි ඉදිරි දැක්මවල් සාමාන්‍යකරණය කිරීම වෙතින් ගොඩ නැගුණු, වැඩිදෙනාට පිළිගත හැකි පොදු මූලධර්ම සහිත ප්‍රකාශනයක්, එනම් මැනිෆෙස්ටෝ එකක්, පුරවැසි ව්‍යාපාරයට තිබීම ඉදිරියේ එන අභියෝගවලට මුහුණදීම සඳහා බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. එවැනි ‘ප්‍රකාශයක’ තිබිය යුත්තේ, පුරවැසි ව්‍යාපාරය පෙනී සිටින, සහ එහි සියලු දෙනාම, අවම වශයෙන් එකඟ විය යුතු, ප්‍රතිමානීය මූලධර්ම සහ ඉලක්කයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම, ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී, කුලවාදී හෝ පුරුෂෝත්තමවාදී නොවීම, සාමකාමී සහ නිර්ප්‍රචණ්ඩවාදී වීම, ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ලෙස පුරවැසියන් බලමුළු ගැන්වීම තුළින් තම අරමුණු දිනා ගැනීම, සමාජ සමානත්වය, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් සඳහා අරගල කිරීම, ප්‍රජාතන්ත්‍රීය සහ මානුෂවාදී දේශපාලන සංස්කෘතියක් සඳහා කැපවීම යනු එවැනි ප්‍රකාශනයකට ඇතුළු කළ හැකි මූලධර්මයි. පුරවැසි ව්‍යාපාරය තුළ විවිධ කණ්ඩායම් සිටියද, ඒවා කණ්ඩායම්වාදී නොවීම සඳහාද මෙවැනි මූලධර්ම ප්‍රකාශනයක් ආධාර වනු ඇත.


මෙවැනි පුළුල් මූලධර්ම ප්‍රකාශනයක තවත් වැදගත්කමක් තිබේ. පුරවැසි ව්‍යාපාරයේ මුල් අවධියේදී, විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති ආදියට සම්බන්ධ මෙන්ම ඒවාට අයිති නැති පුරවැසියෝද විරෝධතා ව්‍යාපාරයට එකතු වූහ. ඒ හැම දෙනාටම එක් වහලක් යටතට පැමිණිය හැකි පොදු දේශපාලන විඥානයක්ද, දේශපාලන අපේක්ෂාද තිබිණ. ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණයෙන් හා ප්‍රජා පීඩකත්වයෙන් තොර ආණ්ඩුකරණය, මහජන හිතකාමී රාජ්‍ය පාලනය, පාලකයන් පුරවැසියන්ට වගවීම, මහජන පරමාධිපත්‍යය රැක ගැනීම යන මේවා එකිනෙකා නොහඳුනන පුරවැසියන් එක් අරගල අවකාශයකට ගෙන ආ, ආගන්තුකයන් අතරද සහෝදරත්වයේ බැඳීම් ඇති කළ ‘පරිකල්පිත දේශපාලන ප්‍රජාවක්’ බිහි කළ, එකිනෙකා අතර බෙදා හදා ගනු ලැබූ සරල එහෙත් ප්‍රබල අදහස්ය. ඉදිරියට ගෙන යා යුතුව තිබෙන්නේ පුරවැසි ව්‍යාපාරයේ ඇති මෙම ශක්තියයි. පුරවැසියන් වෙතින්ම ප්‍රභවය ලබන පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන චින්තනයක මූලධාර්මික අදහස් විය යුත්තේ ඒවාය.

අභියෝගාත්මක ඉදිරි කාලයක්


පුරවැසි විරෝධතා ව්‍යාපාරයට ඉදිරි කාලයේදී මුහුණදීමට සිදුවන අභියෝග ව්‍යාපාරයේ ළදරු අවධිය පසු කිරීමේදී සාමාන්‍යයෙන් ඇතිවන අභියෝග ලෙස පිළිගත යුතුව තිබේ. එහෙත් ඒවා සුළු අභියෝග නොවේ. හේතුව පුරවැසි ව්‍යාපාරය ආණ්ඩුව මෙන්ම පාලක පන්තියද ඉදිරියේ, වර්තමාන දේශපාලන පක්ෂවලින් එල්ල නොවන ආකාරයේ ප්‍රශ්නයක් මතු කර තිබෙන නිසාය. එය නම් දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයයි. ‘ගෝඨා ගෙදර යනු’, ‘මයිනා ගෙදර යනු’ සහ ‘දෙසිය විසිපහම ගෙදර යනු’ යන ප්‍රධාන ඉල්ලීම් තුනම, ජනාධිපති, දේශපාලන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ආයතන තුන සමන්විත වන පුද්ගලයන් ඉවත් විය යුතුය යන අදහස ප්‍රබල ලෙස ඉදිරිපත් කරන ඒවාය. ඒ වටා දේශපාලන පක්ෂවලින් ස්වාධීනව පුරවැසියන් සංවිධානය වීමද ආරම්භ වී තිබේ.


එම ප්‍රයත්නයේ ඇති දේශපාලන බලය පිළිබඳ අර්ථය මුලින් වැටහුණු බව පෙනුණේ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂටය. ‘ගෝල්ෆේස්’ යනු දියවන්නාවට සමාන්තර සහ විකල්ප බල කේන්ද්‍රයක් බවට වර්ධනය වීමේ දේශපාලන අනතුර පළමුවෙන් දුටුවේ මහින්දය. මැයි 09දා ආණ්ඩු ත්‍රස්තවාදී ප්‍රහාරය, විරෝධතා ව්‍යාපාරය මත එල්ල කළේ පුරවැසි අභියෝගය බලහත්කාරය යොදවා විසඳා ගැනීමේ අරමුණ ඇතිවය. එම උත්සාහය අසාර්ථක වීම නිසා, රාජපක්ෂ පවුල පසුබට වී ඇතැයි සිතීම මුලාවකි. දේශපාලන බලය පිළිබඳව පුරවැසි ව්‍යාපාරය සාමකාමීව මතු කළ ප්‍රශ්නය බලහත්කාරය යොදා විසඳා ගැනීමේ අරමුණ නැවත මතුවීමට හොඳටම ඉඩ තිබේ.


මෙවැනි තර්ජන සහ අභියෝගවලට මුහුණදීම ඉදිරි කාලයේදී කෙසේ කළ හැකිද? යන්න ගැන බැරෑරුම් සාකච්ඡාවක් එහි විවිධ කණ්ඩායම් ඇතුළතත්, ඒවා අතරත් වහාම ආරම්භ විය යුතුව තිබේ. පුරවැසි සහභාගිත්වය ආරක්ෂා කර ශක්තිමත් කිරීම වැදගත් වන්නේද ඒ නිසාය.

ඉදිරියට ගෙනයෑම


ඉහත කී ආකාරයේ සාකච්ඡා ක්‍රියාවලියක ආරම්භක ස්ථාවරය වීමට වඩාත්ම යෝග්‍යවන්නේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ස්ථාවර හා කල්පවත්නා අංගයක් ලෙසට පුරවැසි ව්‍යාපාරය දිගටම පැවතිය යුතුය යන පිළිගැනීමයි. පුරවැසි ව්‍යාපාරය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරම්භ කරනු ලැබ තිබෙන්නේ පහළින් ජනතාවගේ මට්ටමෙන් සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්ය යන්න අඩු තරමින් එහි ක්‍රියාකාරී පිරිස් විසින් පිළිගත යුතුව තිබෙන යථාර්ථයකි. දැන් එහි ක්‍රියාකාරී කණ්ඩායම්වල ඓතිහාසික වගකීම වන්නේ, එම සාමකාමී පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙන යෑමයි.


එවැනි ප්‍රයත්නයක් ගැන සිතීමේදී පුරවැසි ව්‍යාපාරයේ ක්‍රියාකාරී කණ්ඩායම්වල නොපසුබට පිළිගැනීමට ලක්විය යුතු කරුණක් තිබේ. එය නම් එම ව්‍යාපාරය විසින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පුනරුජ්ජීවනය කිරීමේ කර්තව්‍යයට දේශපාලන පක්ෂද, සිවිල් සමාජ කණ්ඩායම්ද විසින් මෙතෙක් ඉටු නොකරන ලද කාර්යයන් දෙකක් කර ඇත යන්නයි. එහි පළමුවැන්න, පෙර කවදාවත් නොවූ පරිදි, ලිබරල් හෝ සමාජවාදී හෝ රැඩිකල් දේශපාලන පක්ෂවලට කළ නොහැකි වූ පරිමාවකට, ලංකාවේ පුරවැසියන් දේශපාලනීකරණය කිරීමත්, ඔවුන්ගේ දේශපාලන විඥානය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමත්ය. දෙවැන්න, පුරවැසි කේන්ද්‍රීය දේශපාලන භාවිතයක් සහ දේශපාලන සිතීමක් නිර්මාණය කිරීමයි. මේවා, මාස එකහමාරක ඉතිහාසයක් ඇති පුරවැසි ව්‍යාපාරය ලබා ඇති ඓතිහාසික ජයග්‍රහණයි. පුරවැසි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ සිටින ක්‍රියාකාරිකයන් මේ ගැන සවිඥානකව සිටීම එම ව්‍යාපාරයේ ඉදිරි ගමන සකස් කිරීමේදී ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

කෙටිකාලීන මැදිහත්වීම්


පුරවැසි ව්‍යාපාරය ලංකාවේ දේශපාලනයේ බිහිවී තිබෙන නව යථාර්ථයකි. එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩ නඟා ස්ථාවර ලෙස පවත්වා ගැනීමටත්, දුගී සහ වැඩ කරන ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත්, අවශ්‍ය කර්තෘකයා සහ පවුර ලෙස දිගටම ක්‍රියාකිරීමත් අත්‍යවශ්‍ය වේ. එය විසින් ඉටුකළ හැකි කාර්යය, දේශපාලන පක්ෂවලින් සිදු නොවන්නකි. පුරවැසි ව්‍යාපාරයට ස්ථාවර දේශපාලන පැවැත්මක් සහතික කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසාය.


ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙනයාමේ ක්‍රියාවලියේ කෙටිකාලීන කර්තව්‍යයන් ඇතුළත් කෙටිකාලීන වැඩපිළිවෙළක් ඉදිරියට දමමින් ඒ සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දීමටද පුරවැසි ව්‍යාපාරයේ ක්‍රියාකාරකයින් වහාම මැදිහත් විය යුත්තේ එබැවිනි. පුරවැසි ව්‍යාපාරයට පසුගිය කාලයේ එකතු වූ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, ස්ත්‍රී සංවිධාන, වෘත්තිකයන්ගේ සංවිධාන සමඟ එකතු වී ඉදිරියට දැමිය හැකි එවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට ඇතුළත් කළ හැකි ඉල්ලීම් පිළිබඳ නිදසුන් කිහිපයක් මෙසේය:


■ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පාර්ලිමේන්තු ක්‍රමයට ආපසු යෑම යන ක්‍රියාමාර්ගවලින් නොනැවතී, පුරවැසි, තරුණ සහ සුළු ජන කණ්ඩායම්වල නියෝජනය සහතික කරන නව මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම.


■ දැනට දේශපාලන පක්ෂ විසින් අයුතු ප්‍රයෝජනයට ගැනෙන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ සංයුතිය තරුණ, ස්ත්‍රී සහ සිංහල හා දෙමළ සමාජවල පීඩිත කුල නියෝජනයේ මාධ්‍යයක් බවට පරිවර්තනය කිරීම.


■ පිරිහී ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ මූලධර්මය හා විධි විධාන නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.


■ දැනට කිසිවෙකුටත් වග නොකියන, එහෙත් බලයේ සිටින දේශපාලනඥයන්ගේ බලපෑමට හසුවීමේ අනතුරට මැදිවී ඇති ඉහළ අධිකරණ ආයතන සහ නීතිපති දෙපාර්තමේන්තුව පුරවැසි නිරීක්ෂණයට පාත්‍ර කිරීමට ඉඩ සලසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් යෝජනා කිරීම.


■ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ රාජ්‍ය සේවය මිලිටරීකරණයට පාත්‍ර කිරීම වහාම නැවැත්වීම.


■ පොලිස් දෙපාර්තමේන්තුව හා ආරක්ෂක හමුදා දේශපාලනීකරණයෙන් වැළැක්වීමේ මූලධර්මය හා විධිවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම.


■ ආර්ථිකය නැවත ගොඩනැඟීම යන පාඨය යටතේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන, ආර්ථික ප්‍රතිසංස්කරණයේ බර දුගී ජනතාවට සහ මධ්‍යම පන්තියට පැටවීමේ ක්‍රියාවලියට එරෙහිව එම සමාජ කොටස් බලමුළු ගැන්වීම.


ලංකාවේ පුරවැසියන් ආරම්භ කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය, දකුණු ආසියාවේත්, ලෝකයේ අන් කලාපවලත් රටවල පුරවැසියන් උනන්දුවෙන්ද, කුතුහලයෙන්ද බලා සිටින දේශපාලන පරිවර්තනයේ නව අත්හදා බැලීමකි. එය ඉදිරියට යෑමේ ලෝක පරිමාණ වැදගත්කමක් තිබෙන බවද පිළිගත යුතුව තිබේ. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි