No menu items!
21.7 C
Sri Lanka
23 November,2024

විනාශ වූ මන්ත්‍රී දේපල විගණනයට පාර කපා ඇත

Must read

‘නවවැනිදා ප්‍රහාරවලින් වැඩිම හානිය ජොනීට, කිවාස 5ක්, බාර් 4ක් ඇතුළු ස්ථාන 19කට හානි’ මෙසේ උද්ධෘතය වශයෙන් සඳහන් කරන්නේ මැයි 15 ඉරිදා අරුණ පුවත්පතේය. ඊට අදාල මූලාශ්‍රය වශයෙන් පොලීසිය සඳහන් කරන අතර එයට පදනම් වී ඇත්තේ පොලිස් මූලස්ථානයට ලැබුණ පැමිණිල්ලක්ය.


ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අයත් එකී දේපල වශයෙන් සඳහන් කර ඇත්තේ කුරුණෑගල රත්කරව්වේ පිහිටි නිවස, වැව රවුම පාරේ පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස, බත්තරමුල්ල වැව පාරේ පිහිටි නිවස, ගල්කිස්සේ පිහිටි නිවස, කොළඹ පිහිටි හෝටලය, කුරුණෑගල විලේගොඩ දේශපාලන කටයුතු කළ කාර්යාලය, මල්කඩුවාවේ මත්පැන් නිෂ්පාදනාගාරය, ලග්ගල පිහිටි ගොවිපල සහ කුරුණෑගල, මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය හා මොරටුවේ පිහිටි මත්පැන් අලෙවි හල්ය.


මයිනා ගෝ ගම හා ගෝටා ගෝ ගම සාමකාමී විරෝධතාකරුවන්ට මැයි 09 වැනිදා සිදුකළ ආණ්ඩුවේ සංවිධානාත්මක මැර ප්‍රහාරයෙන් පසු රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ප්‍රති ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 50කගේ නිවාස හා දේපලවලට හානි සිදුවී ඇති බව මේ වනවිට පොලීසිය පවසා ඇත.


මෙසේ දේපල හා නිවාස හානියට පත්වූ මන්ත්‍රීවරුන්ට රජයෙන් වන්දි ගෙවිය යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවන අතර ඒ සඳහා සමාජය තුළින් මේ වනවිට දැඩි විරෝධයක් එල්ල වී ඇත. එම විරෝධය සඳහා රණතුංග පවුලේ සංජීව රණතුංගද මේ වනවිට ප්‍රසිද්ධියේම එක්වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මහජන මුදලින් ඒ සඳහා වන්දි නොගෙවිය යුතු බවය. ඒ සඳහා ඉඩ නොදෙන ලෙස ඔහු මහජනයාගෙන් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම එම නිවාස රක්ෂණය කර ගැනීමට එම දේශපාලනඥයින් වගබලාගත යුතුව තිබුණු බවය. සිය සහෝදරයාගේ එම ප්‍රතිචාරයට සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර පැවති කළහකාරී අවස්ථාවලදීත් එවැනි වන්දි ලබාදීම් සිදුකර ඇති බව හා එම නිවාස විනාශ කිරීම් සම්බන්ධයෙන් නීති ආධාර ලබාදීමෙන් පසු ඒ සඳහා වන්දි ගෙවන්නේ ද යන්න පිළිබඳ සලකා බලන බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තා වන්නේ තලවතුගොඩ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු මධ්‍යම පන්තිකයින්ට විකිණීම සඳහා ඉදිකර ඇති නිවාස නිවාස හානි සිදුවූ මන්ත්‍රීවරුන්ට ලබාදීමට යෝජනා කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මාධ්‍යයට කියා ඇත්තේ එම නිවාසවලින් සියයක ප්‍රමාණයක් මාදිවෙල මන්ත්‍රී නිවාස අලුත්වැඩියාව නිසා එහි පදිංචිව සිටි මන්ත්‍රීවරුන්ට ලබාදීමට ලබාගෙන ඇති බවත් ඉන් හැත්තෑවක ප්‍රමාණයක් නිවාස හානි සිදුවූ මන්ත්‍රීවරුන්ට තාවකාලික වශයෙන් ලබාදෙන බවත්ය.
සාමාන්‍යයෙන් විශාල නිවාස, ගොඩනැගිලි හා ව්‍යාපාරික ස්ථාන රක්ෂණය කිරීම සිදුවන්නක් වන අතර එසේ රක්ෂණය සිදුකර ඇති දේපලවලට රක්ෂණයෙන් වන්දි ලබාගත හැකිය. සමහර විට මෙකී දේපල රක්ෂණය කර ඇතත් කෝලාහල වැනි රක්ෂණ ආවරණයක් නැත්නම් රක්ෂණ හිමිකම් ලබාගැනීම දුෂ්කර වන අතර මෙ රටේ සිදුවූ විශේෂ ආපදා අවස්ථාවක් නිසා එම රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර විශේෂ තත්වයන් යටතේ එම ගෙවීම් කරන ලෙස රජයට ඉල්ලීමක් කළ හැකිය.


මෙවැනි විශාල දේපල රක්ෂණය කර නැත්නම් එයද සැකයට තුඩු දෙන කරුණක් වන අතර ඒ සඳහා හේතුව වන්නේ එකී දේපලේ සැබෑ හිමිකාරිත්වය හෙළිදරව්වීම වැනි කරුණක් විය හැකිය. එමෙන්ම එකී දේපලේ වටිනාකම හෙළිදරව් වීම වැනි කරුණක් විය හැකිය. උදාහරණයකට යම් නිවසක් හෝ ගොඩනැගිල්ලක් තුළ විශාල වටිනාකමක් ඇති රත්‍රං, රත්‍රං හෝ වෙනත් වටිනා ලෝහ ආභරණ, මැණික් වැනි දේත්, මුදල් ආදිය තිබුණහොත් ඒවාහී ප්‍රමාණය හෙළිදරව් වීම යන කරුණ හේතුවෙන් ඒවා රක්ෂණය නොකිරීමට මෙන්ම වැඩි ආරක්ෂාව සඳහා බැංකුවක තැන්පත් කිරීම සිදුනොකිරීමටද හැකිය.


නිවාස හා දේපල ගිනිතබා විනාශ වූ හෝ පහරදීමට ලක්වූ දේශපාලනඥයින් සමහරකට මේ වනවිටත් එම දේපල හිමිකර ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුතුද සිදුවෙමින් පවතී. විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ ආදින් මතකයට නැගෙන ඉන් කිහිප දෙනෙකි.


පොලිස් මූලස්ථානයට මෙම දේශපාලනඥයින් සිය දේපල සම්බන්ධයෙන් කර ඇති මෙම පැමිණිලි ඉතා වැදගත්ය. ඒ ඒ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකට හෙවත් එකී දේශපාලනඥයින්ගේ වත්කම් සම්බන්ධයෙන් අපට කියවා ගැනීම සඳහාය.


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සිට, පළාත් සභා, මහා මැතිවරණ හා ජනාධිපතිවරණය දක්වා සියලු මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශන එම මැතිවරණවලට ඉදිරිපත් වන අවස්ථාවේ ලබාදිය යුතු අතර තේරී පත්වීමෙන් පසුද වාර්ෂිකව ලබාදිය යුතුය.


ගෝටා ගෝ හෝම් යන තරුණයින්ගේ සටන් පාඨය තුළ පසුගිය දිනවල කතාබහට ලක්වූ කරුණක් වූයේ මන්ත්‍රීවරුන් හෙවත් දේශපාලකඥයින් විගණනයට ලක්කළ යුතු බවය. සමහරවිට එහි ප්‍රායෝගික බලාපොරෙත්තුව වූයේ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරින් විමර්ශනය කළ යුතු බව විය යුතුය.


සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමේ මහජන කෝපයට ලක්ව ප්‍රතිප්‍රහාරයට ලක්වූ දේශපාලනඥයින්ගේ දේපල එම කරුණයින්ගේ ඉල්ලීම සඳහා අපට යම් මාර්ගයක් විවර කර ඇත. මෙකී දේපල එසේ පැමිණිලි කරන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් කර තිබේද? ඒ ඒ සම්බන්ධයෙන් කළ හැකි පළමු විමර්ශනයය. දෙවැන්න වන්නේ වත්කම් බැරකම් ප්‍රකාශවල එම දේපල සම්බන්ධයෙන් සඳහන් කර ඇතත් එම දේපල ඔවුන් උපයා ගත්තේ කෙසේද යන්න විමර්ශනය කිරීමය.


නිවාස හා දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් එකී දේපල හා නිවාස සම්බන්ධයෙන් මේ වනවිට කියන කතා ඇසූ විටද අපට ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ඇති වන්නේ සැකයකි. මන්ද මේ මන්ත්‍රීවරුන් කියන්නේ ඔවුන් බැංකු ණය මගින් එම සුඛෝපභෝගී නිවාස ඉදිකළ බවය. සමහරුන් කියන්නේ ඒ සඳහා එක් ණයක් නොව ණය කිහිපයක්ම ගත් බවය. මෙහිදීත් ණය සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්නය වන්නේ එවැනි අති විශාල ණයක විශාල වූ ණය වාරිකයක් ගෙවීම සඳහා මන්ත්‍රීවරුන්ගේ නිල මාසික ආදායම එතරම් ඉහළ අගයක තිබෙනවාද යන්නය. සාමාන්‍යයෙන් බැංකුවක් ණය ලබාදීමේදී එය ගෙවීමේ හැකියාව සලකා බලන අතර ණය ලබන්නාගේ මුළු ආදායමෙන් සියයට 40කට වැඩි අගයක් ගන්නා වාරිකයක් ගෙවිය යුතු ණයක් ලබාදෙන්නේ නැත. මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ කිහිපයක වාරිකයක් ගෙවන්නේ නම් එමෙන් දෙගුණයකට වැඩි ආදායමක් ඔහු පෙන්නුම් කළ යුතුය. මන්ත්‍රීවරුන් ණය ලබාගෙන ඇත්තේ ඒ ආකාරයට ගෙවීමේ හැකියාව පෙන්නුම් කර නම් එකී ආදායම් මාර්ගද අනිවාර්යෙන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන්ව තිබිය යුතුය. එසේ එම ආදායම්වලට අදාල කරුණු වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන්ව නොමැති නම් එහි තේරුම වන්නේද ඔවුන් ඔවුන්ගේ සැබෑ වත්කම් බැරකම් සඟවා ඇති බවය. නිල නොවන ආකාරයට ඔවුන්ට ආදායම් ලැබෙමින් පවතින බවය.
ජේආර්ගේ යුගයෙන් පසු අප දන්නා සත්‍යය වන්නේ දේශපාලනඥයින් ඔවුන්ගේ හෝ ඔවුන්ගේ පවුලේ උදවියගේ නමින් අයතා ලෙස ඉපැයූ මුදලින් වත්කම් ලබා නොගන්නා බවය. ජේආර්ගේ යුගයේදී ඒවා හෙළිදරව් වීමෙන් පසු වත්මන් දේශපාලනඥයින් අයතා ක්‍රමවලින් ලැබෙන ආදායම් ඔවුන්ගේ නම්වලින් හෝ පවුලේ සාමාජිකයින්ගේ නම්වලින් තබා ගන්නේ නැත. ඒ සඳහා ඇති එක් හොඳ උදාහරණයක් වන්නේ මල්වානේ ඉදිකරන ලද බැසිල් රාජපක්ෂගේ යැයි කියන නිවසය. එය ඔහුගේ නමින් නැත. නාමල් රාජපක්ෂට එරෙහිව ඇති මුදල් විශුද්ධිකරණ චෝදනාවද එයාකාරය. ඔහු එම මුදල් ගනුදෙනු සිදුකර තිබුණේ ඔහුගේ ගිණුම් මගින් නොව ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ගිණුම් හරහාය.


ඒ නිසා වත්මන් දේශපාලනඥයින්ගේ නම්වලට ඇති දේපලවලින් හා පවුලේ සාමාජිකයින්ගේ නම්වලින් ඇති දේපලවලින් මේ දේශපාලනඥයින්ගේ ඇත්ත තත්වය අපට සොයා ගැනීමට නොහැකි වනු ඇත.


වෙනත් අයගේ නම්වලින් සිදුකරන අයථා ගනුදෙනු හා වත්කම් අත්කර ගැනීම් රට තුළ සිදු කිරීමේදී ඒවා පහසුවෙන්ම නිරීක්සණය කළ හැකි එක් ස්ථානයක් වන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයය. විශාල දේපලක් හුවමාරු වන අවස්ථාවකදී එම මිලදී ගැනීම සිදුකරන පුද්ගලයාට එවැනි ගනුදෙනුවකට හැකියාව තිබේද යන්න පිළිබඳ පහසුවෙන්ම විමර්ශනයක් කළ හැකිය. ඒ සඳහා සිදුවිය යුත්තේ එම තොරතුරු ස්වාධීන තත්වයේ පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැනි ආයතනයකට ලැබෙන පරිදි අවශ්‍ය නීති හා අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමය. බැංකු කටයුතුවලදීද මෙය කළ හැකිය. අති විශාල ගනුදෙනු නිරීක්ෂණය මගින් ඒවාට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කළ හැකිය. එමෙන්ම සමාගම් හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදීද අලුතින් ඇතිවන වත්කම් හා මිලදී ගැනීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කර විමර්ශණය කළ හැකිය. එයම කොළඹ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් සිදුකළ හැකිය. එමෙන්ම රට තුළට හා රටින් පිටට සිදුකරන ආනයන හා අපනයන වෙළඳ කටයුතු සම්බන්ධයෙන්ද කළ හැකිය. දැනට පවතින නීති රීති ඒ සඳහා ප්‍රමාණවත් නැත්නම් කළ යුත්තේ ඒ සඳහා පෞද්ගලිකත්වය රැකෙන පරිදි අලුතින් නීති රීති සැකසීමය.


මේ රටේ වංචාව, දූෂණය හා අල්ලස නැතිකිරීමේ ඇත්ත වුවමනාවක් වත්මන් දේශපාලනඥයින්ට ඇත්නම් මේවාට අදාල ප්‍රතිසංස්කරණ කිරීම එතරම් අමාරු වැඩක් නොවේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් එවැනි වුවමනාවක් ඇතිද යන්නය. මන්ද හොරු තමන්වම අසුවීමට ප්‍රතිසංස්කරණ නොකරන නිසාය. ඒ නිසා ගෝ ගෝටා හෝම් තරුණයින්ට ‘මන්ත්‍රීවරුන් විගණනයට ලක්කිරීමේ’ ඔවුන්ගේ සටන් පාඨය මේ උදාවී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එම මන්ත්‍රීවරුන්ම ඉදිරිපත් කර ඇති නිවාස හා දේපල හානි පිළිබඳ විස්තරවලින් ආරම්භ කළ හැකිය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි