No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම බදු අඩුකළ කාලයේ සියයට 1222කින් සීනි ගෙන්වීම වැඩිකරලා

Must read

■ ඉඳුවර බණ්ඩාර

‘සීනි සඳහා බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවාගත් පාර්ශ්වයන් නිවැරදිව හඳුනාගෙන ඉදිරියේදී හෝ එම ආර්ථික වාසිය ජනතාවට විතැන් කිරීමේ හැකියාව පිළිබඳ සලකා බැලීමට හෝ එසේ නොමැතිනම් රජය කැපකළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට ලබා ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම’


සිය නිර්දේශ යටතේ මෙසේ සඳහන් කර ඇත්තේ සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාවේය.
ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් පාරිභෝගිකයාට ලැබී ඇති සහනය ඇගැයීමට ලක් කිරීම, ජනතාවට සහන ලබාදීම සඳහා රජය විසින් කර ඇති ආදායම් කැප කිරීම පිළිබඳව විමසා බැලීම ආදිය මෙම විගණනයේදී සැලකිල්ලට ලක්කර ඇත.


එයට අනුව සීනි කිලෝවක් සඳහා රුපියල් 49.75ක විශේෂ බදු අඩු කිරීම හේතුවෙන් රජය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 28 දක්වා කාලපරිච්ජේදය තුල කැපකළ බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 16,763ක් වී ඇති අතර ලංකා සතොස ආයතනය වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට විකිණීමට සිදුවීම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියන 102ක අලාභයක් ලබා ඇත. එමෙන්ම සීනි ආනයනයේදී බලපත්‍ර සඳහා පනවන ලද දඩ මුදල සියයට 5 සිට 2 දක්වා අඩු කිරීම මගින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 433ක දඩ මුදලක්ද අහිමි වී තිබේ.


සීනි බදු අඩු කරන ලද අවස්ථාව වනවිටත් ලංකා සතොස සතුව කිලෝවක් රුපියල් 125.41ක සාමාන්‍ය මිලක් ගෙවා මිලදී ගෙන තිබූ සීනි මෙටි්‍රක් ටොන් 919.4ක් තිබී ඇති අතර එම සීනි කිලෝවක් රුපියල් 85 බැගින් අලෙවි කිරීමට තීරණය කිරීමේදී එහි අලාභය වූ ආසන්න වශයෙන් රුපියල් මිලියන 38ක මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවීමට එකඟ වී ඇත.
සීනි ආනයනය සඳහා බලපත් ලබාදීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ විශාල වශයෙන් බදු අඩු කිරීමෙන් පසු සීනි ආනයනය පාලනය කිරීම වන අතර එහෙත් බලපත් නිකුත් කිරීමෙන් පසු සීනි ආනයනය සියයට 47කින් වැඩිවී ඇත. බලපත්‍ර නොමැතිව සිදුකළ සීනි ආනයනයන් සඳහා මිලදී ගැනීමේ වටිනාකමින් සියයට 5ක අතිරේක ගාස්තුවක් අයකළ යුතු වුවද සියයට 2ක් පමණක් අය කිරීමට ආනයන හා අපනයන පාලක තීරණය කර ඇතත් එසේ දඩ මුදල අඩුකර අය කිරීම සඳහා ආනයන හා අපනයන පාලකට බලය ඇති බව නිරීක්ෂණය නොවූ බව විගණනය සඳහන් කරයි.


එසේම සීනි ආනයනය සඳහා වන බලපත්‍ර ක්‍රමය 2020 ඔක්තෝබර් 30 දින සිට ක්‍රියාත්මක වුවද බලපත්‍ර නිකුත් කිරීම 2020 නොවැම්බර් 18 දින දක්වා ප්‍රමාද වී ක්‍රියාත්මක වී ඇති අතර එම කාලය තුළ බලපත්‍ර නොමැතිව සීනි මෙටි්‍රක් ටොන් 101,527ක් ආනයනය කිරීමට ආනයනකරුවෝ 18 දෙනෙක් කටයුතු කර තිබේ.


පාරිභෝගික අධිකාරියේ පාලන මිලට වඩා වැඩියෙන් සීනි අලෙවි කරන සිල්ලර වෙළඳුන්ට අදාලව වැටලීම් 113ක් 2020 නොවැම්බර් 10 සිට 2021 ජනවාරි 31 දක්වා සිදුකර ඇති බව වාර්තා වුවද එම කාලය තුළ තොග වෙළෙන්දන් හා ආනයනකරුවන් පාලන මිල ඉක්මවා විකිණීම සිදුකරන්නේද යන්න පිළිබඳ සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් සිදුකර ඇති බවට සාක්ෂි නොවූ බව විගණනය සඳහන් කරයි.


සීනි ආනයනය කරන තොග වෙළෙදුන් විසින් මිල පාලන ගැසට් පත්‍රයේ ප්‍රතිපාදනය අනුව සිය තොග විකුණුම් මිල රුපියල් 80ක් ලෙස දක්වා ඉන්වොයිස් පත්‍ර නිකුත් කර තිබුණද, සත්‍ය විකුණුම් මිල හා ඉන්වොයිස් මිල අතර වෙනස වෙනම තොග වෙළෙඳුන්ගෙන් අයකරගෙන ඇති බව තොරතුරු ලබාදුන් බව පාරිභෝගික අධිකාරියට වාර්තා වී තිබුණද එය පිළිගත හැකි ලියවිල්ලක් මගින් සනාථ කරගැනීමට නොහැකි වූ බව එය සඳහන් කරයි.


සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50ක් ක් වූ ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට තීරණය කිරීමට පෙර ඒ වනවිට වෙළඳපොලේ තිබූ සීනි තොග ප්‍රමාණය සැළකිල්ලට ගෙන තිබූ බවට සාක්ෂි හමුවී නැත. එමෙන්ම බද්ද රුපියල් 49.75 කින් අඩු කිරීම මගින් සීනි කිලෝ ග්‍රෑම් එකක වෙළඳපල මිල කොපමණ ප්‍රමාණයකින් අඩුකළ හැකිද යන්න ගැන ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඇති බවක් හෝ එකඟතාවකට එළැඹි බවක්ද නිරීක්ෂණය වී නොමැත.


එමෙන්ම සීනි ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක ආනයනික බදු අඩු කිරීමට කඩිනමින් තීරණය කර තිබුනද එම භාණ්ඩවල ඉල්ලුමේ ස්වභාවය, වෙළඳපල මිල, ඒ වනවිටත් ආනයනය කර ඇති ප්‍රමාණය හා බදු අඩු කිරීමේදී රජයේ ආදායම අහිමි වීමේ ප්‍රමාණය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමට වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බවක්ද නිරීක්ෂණය වී නැත.


බදු නොගෙවා ආනයනය කර බන්ධිත ගුදම් පහසුකම් යටතේ සීනි මෙටි්‍රක් ටොන් 7608ක් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම රඳවා තබාගෙන තිබෙන අතර එකී තොගයෙන් මෙටි්‍රක් ටොන් 7468ක් බදු අඩුකළ දිනයේම කිලෝවකට ශත 25 බද්දක් ගෙවා ඉවත්කරගෙන තිබේ. එක් දිනක් තුළ එම ක්‍රියාවෙන් පමණක් එම සමාගම රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක් ලබා ඇති බව නිරීක්ෂණය කර ඇත.


මෙම බදු අඩු කිරීමට පෙර, මාසිකව සාමාන්‍යයෙන් සීනි කිලෝ ග්‍රෑම් 2,105,163ක් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම ආනයනය කර ඇති අතර බදු අඩු කිරීමෙන් පසු මාසිකව සිීනි කිලෝ 27,823,989ක් දක්වා එය වැඩිකර තිබේ. එය බදු අඩු කිරීමට පෙර තත්වය හා සැසැඳීමේදී සියයට 1222ක වැඩිවීමකි. එහෙත් අනිකුත් ආනයනකරුවන් අතරින් සීනි ආනයනය එම කාලයේ වැඩිවී ඇත්තේ එක් ආනයනකරුවකුගේ පමණක් වන අතර ඒ සියයට 6ක ප්‍රමාණයකන්යි. අනිකුත් ආනයනකරුවන් 7 දෙනාගේ ආනයනයන් එම කාලයේදී අඩුවී තිබේ.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි