No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

අඩුවෙන් පාවිච්චි කරන අයට වැඩියෙන් වැඩි කරන ලංවිම විදුලි ගාස්තු. වැඩි මිල හදිසි විදුලිය මිලදී ගැනීම්වලට කොමිසමෙන් කොන්දේසි

Must read

රුපියල් කෝටි 15,000කින් සිය ආදායම වැඩිකර ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බල ක්ෂේත්‍රයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට යොමුකර ඇති බව පසුගිය සතියේ අපගේ මුල් පුවත මගින් අනාවරණය කළෙමු.


එම ඉල්ලීමට අනුව විදුලි ගාස්තු වැඩිපුරම ඉහළ යන්නේ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන කාණ්ඩවලය. එය අවරෝහණන ක්‍රමයට විදුලි ගාස්තු වැඩිවීමේ සටහනක් යැයි කීමේ වැරැද්දක් නැති අතර විදුලි ඒකක 0ත් 30ත් අතර පාවිච්චි කරන කාණ්ඩයේ යම් වෙනසක් පමණක් එහි තිබේ. එම කාණ්ඩයේ විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත්තේ සියයට 533 කින්ය. ඊළඟ කාණ්ඩය වන විදුලි ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත්තේ සියයට 650 කින්ය. අවරෝහණ ක්‍රමය පටන් ගන්නේ එතැන් සිටය. ඊළඟ කාණ්ඩය වන විදුලි ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත්තේ සියයට 175 කින්ය. විදුලි ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තු වැඩි කිරීමට ඉල්ලා ඇත්තේ සියයට 80 කින්ය. විදුලි ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තු වැඩි කිරීමට ඉල්ලා ඇත්තේ සියයට 50 කින්ය. විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ විදුලි ගාස්තු වැඩි කිරීමට ඉල්ලා ඇත්තේ සියයට 25 කින්ය. ඒ අනුව වැඩිවීම ඉහළ ප්‍රතිශතයක සිට පහළට ගමන් කරයි.


විදුලි බල මණ්ඩලය හැමදාම කියන්නේ ඔවුන් පාඩු ලබන බවය. විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන මිලට වඩා අඩු මුදලකට පාරිභෝගිකයින්ට ඔවුන් විදුලිය ලබාදෙන බවය. එසේ වුවද එසේ රුපියල් කෝටි ගණනින් පාඩු ලබන ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු අනෙකුත් සේවකයෝ රාජ්‍ය ආයතනයක ලබන ඉතා ඉහළම වැටුප් ලබති. වාර්ෂිකව ඉතා ඉහළ බෝනස් ප්‍රතිලාභ ලබති. ඒවා එම පාඩුවට එකතු නොවේද යන්න ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. මේ තත්වය හැමදාම පාඩු ලබනවා යැයි කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද අදාළය.


එහෙත් මේ ආකාරයේ ඉහළ වැටුප් නොගෙවන පාඩුවට පවත්වාගෙන යන තවත් රාජ්‍ය ආයතනද තිබේ. පාඩු ලබන නිසා ඒවාහි සේවකයින්ට ඉහළ තබා පහළ ගණනකවත් බෝනස් නැත. බෝනස් ලැබුණොත් ලැබෙන්නේ කැබිනට් මණ්ඩල තීන්දුවක් මත රුපියල් 5000ක් වැනි සොච්චම් මුදලකි. මේ සමහර රාජ්‍ය ආයතන ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි සේවා අවශ්‍යතා සපයයි. එහෙත් ඔවුන්ට ඔවුන් වෙනුවෙන්ම බෙදා ගැනීමට හැන්ද ලැබෙන්නේ නැත. එම රාජ්‍ය ආයතනවල පවතින තත්වයෙන් වෙනස් කිරීම යනු එක්කෝ පුද්ගලීකරණය කිරීමය. නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ආයතනය පවත්වාගෙන යෑමට සරිලන ලෙස වන්දි ගෙවා සේවකයන් විශ්‍රාම ගැන්වීමය.


එහෙත් ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එසේ සිදුවන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ සිය මෙහෙයුම් අලාභය පමණක් නොව අධික වියදම් කිරීමේ කළමනාකරණ අර්බුදයද පාරිභෝගිකයන් වන ජනතාව මත පටවමින් සිය පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සාහ කිරීමය.


ඉහත සඳහන් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමේ හෙවත් එහි ආදායම රුපියල් කෝටි 15,000 කින් වැඩි කර ගැනීමේ ඉල්ලීමද එයාකාරය.


එම ඉල්ලීමේ ඛෙදනීයම කරුණ වන්නේ පරිභෝජනය අඩු ආදායම් මට්ටමේ පහළින්ම සිටින විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුව වැඩිම ප්‍රතිශතයකින් වැඩි කිරීමට උත්සාහ දැරීමය. එසේ අඩු විදුලි පරිභෝජනයක් ඇති කාණ්ඩවලින් මෙතෙක් විදුලි නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මුදලක් අය කරනවා යැයි අපි සිතමු. විදුලි බලය සම්බන්ධයෙන් ගත් කල අප වැඩිම ප්‍රතිලාභයක් දිය යුත්තේ ඔවුන්ට නොවේද? ඒ ඔවුන් දුප්පත්කමේ සිටින පිරිස නිසාම නොවේ. සිය දුප්පත්කම හෝ වෙන හේතුවක් නිසා ඔවුන් අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන නිසාය. එසේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන විට විදුලි ඉල්ලුමද අඩුවන අතර විදුලිය නිෂ්පාදනය සඳහා වූ ඉන්ධන අවශ්‍යතාවද අඩුවේ. ඒ මගින් ඉන්ධන ආනයනය අඩුවීම මගින් විදේශ මූල්‍ය අර්බුදයටද සහනයක් ලැබේ. එමෙන්ම පුද්ගලික අංශයෙන් වැඩි මිල විදුලිය මිලදී ගැනීම් සිදු කිරීමටද අවශ්‍ය වන්නේ නැත. ඉන්ද ලැබෙන්නේ මූල්‍ය වාසියකි.


ඉල්ලුම අනුව විදුලිය ලබාදීමේ නොහැකියාව නිසා මේ දිනවල සිදුකරන විදුලි කප්පාදුවේදී ලංකා විදුලි බල මණ්ඩලයත් ආණ්ඩුවත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලි පරිභෝජනය අඩු කරන ලෙසය. ඉතින් ඒ අනුව අප සහන දිය යුත්තේ ඒ ආකාරයට එසේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන පිරිසට නොවේද?


විදුලි පරිභෝජනය වැඩි වන්නට වැඩි වන්නට අපට වැඩි මිල විදුලිය නිෂ්පාදන ප්‍රභවයන්ට යෑමට සිදුවේ. රටේ ජල විදුලිය නිෂ්පාදනය අඩියටම බැස තිබෙන මේ අවස්ථාවේ අපට සිදුවී ඇත්තේ ඉන්ධන නම් වූ වැඩි මිල ප්‍රභවයෙන් විදුලිය නිපදවීමටය. ඉන්ධන රට තුළ නිෂ්පාදනය නොකරන නිසා ඒවාහි ආනයනය වැඩි කිරීමට සිදුවී තිබේ. ආනයනයට ඩොලර් නැති නිසා ඉන්ධන හිඟවී තිබේ. ඒ නිසා විදුලිය නිපදවන්නටද ඉන්ධන නැත. විදුලි කප්පාදුව ඒ නිසාය.
විදුලිය පරිභෝජනය අඩු නම් ඉන්ධන මගින් නිපදවන විදුලියද අඩුවේ. එය මෙම අර්බුදකාරී අවස්ථාවේ පමණක් නොව අර්බුදයක් නොවන අවස්ථාවලදීද රටේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් හා විදුලි කප්පාදුව අවම කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය වන්නා වූ එකකි. ඒ සඳහා සහාය වන්නේ අඩු විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයින්ය. සහන දිය යුත්තේ ඔවුන්ට නොවේනම් කාටද?


එහෙත් විදුලි බල මණ්ඩලයේ ගාස්තු වැඩි කිරීමේ ඉහත ඉල්ලීම කියන්නේ අඩු විදුලි පරිභෝජනයට සහන නැති බවය. විදුලිය වැඩියෙන් පාවිච්චි කරනවා නම් සහන ඇති බවය.
එසේ විදුලි පාරිභෝගිකයින් මත ඉහළ විදුලි ගාස්තු පටවමින් ඔවුන් උත්සාහ කරන්නේ කුමකටද? හදිසි විදුලිය ලෙසට වැඩි මිලට පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමටය. ඊට අදාළ ඉල්ලීම ලංකා විදුලි බල මණ්ඩලය කර තිබුණේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවටය.


එයට ප්‍රතිචාර වශයෙන් හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ පුද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි පනවා ඇත.


ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා අමතමින් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාර්තු 12 දින සහිතව යවන දැනුම් දීමක් මගින්ය. මෙම දැනුම් දීම කරන්නේ ඇඹිලිපිටියේ පිහිටි මෙගාවොට් 93 ක ධාරිතාවකින් යුත් ඒස් විදුලි බලාගාරයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය මත හදිසි විදුලිය මිලදී ගැනීම යටතේ විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කරන ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්ය.


ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙන්නේ දැනට පවතින විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීමෙන් පසු හදිසි විදුලිය මිලදී ගැනීමේ බලාගරවලට ඉන්ධන සැපයිය යුතු බවයි.


එමෙන්ම පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වල, ඉන්ධන නොමැති අවස්ථාවල ගෙවනු ලබන ධාරිතා ගාස්තුව පැහැදිලිව සඳහන් කළ යුතු බව හා එසේම ඉන්ධන නොමැති අවස්ථාවල ධාරිතා ගාස්තු නොගෙවිය යුතු බව කොමිසම නිර්දේශ කරන බවයි.
තවද හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් ඉහළ යන පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකරන ලෙසද, දකුණු පළාත තුළ පවතින විදුලි හිඟය සඳහා කොමිසම අනුමත කර ඇති ලංවිම 2018-2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම අනුව 2022 ජුනි 01 දිනට පෙර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරන ලෙසද දැනුම් දී ඇත.


එමෙන්ම ධාරිතා ගාස්තුව ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ පවතින ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය අනුව තීරණය කරන ලෙසද, සියලුම හදිසි විදුලිය මිලදී ගැනීමේ බලාගාර ඒවාහි කුසලතාව මත පදනම්ව තීරණය කරන ලෙසද, ඒ සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් සිදුකරන ලෙසද දැනුම් දී ඇත.


එම කොන්දේසිවලට පෙර ඒ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමඟ හදිසි විදුලිය මිලදී ගැනීම යටතේ අත්සන් කරන ගිවිසුමේ මාස 6ක කාල සීමාව ආරම්භ වන දිනය එම ඉල්ලීමේ පැහැදිලිව සඳහන් කර නැති බවයි. එහි දක්වා ඇති දිනය මෙහෙයුම ආරම්භ වන දිනයද නැත්නම් මෙගාවොට් 93 දක්වා වැඩිකළ දිනයද යන්න පැහැදිලි නැති බවයි. එමෙන්ම එම ඒස් බලාගාරය සම්බන්ධ කිරීම සඳහා සති 6ක ප්‍රමාද වීමද, එම බලාගාරයේ ධාරිතාව එකතු කිරීම හදිසි බැවින් තේරුම්ගත නොහැකි බවයි. තවද එම බලාගාරයෙන් මෙගාවොට් 93 දක්වා විදුලි නිපදවීමේ ධාරිතාව සතිපතා වැඩිකරන කාල සටහන අපහැදිලි බවයි. එමෙන්ම එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන නොමැති අවස්ථාවලදී ධාරිතා ගාස්තුව ගෙවන්නේද යන්නද පැහැදිලි නැති බවයි. තවදුරටත් සඳහන් කරන්නේ ධාරිතාව ආරෝපණය තුළ පරිමාණ කළ නොහැකි සංරචකය සෘජුවම ඇමරිකානු ඩොලර් අනුපාතයට සම්බන්ධ කිරීම අපැහැදිලි බවයි.


එම හදිසි විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ පැහැදිලි කිරීම් හා කොන්දේසි එසේ තිබියදී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාර්තු 18 වැනිදා ‘අර්බුදකාරී කාල සීමාව තුළ හදිසි විදුලිය මිලදී ගැනීම්’ යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ‘අඩු පිරිවැය’ කොන්දේසිය උල්ලංඝනය වන බැවින් හදිසි විදුලිය මිලදී ගැනීමේ අනවශ්‍ය උත්සාහයට එම සංගමය විරුද්ධ බවයි. එමෙන්ම රටේ පවතින විදුලි කප්පාදුවට හදිසි විදුලිය මිලදී ගැනීම් සම්පූර්ණ විසඳුමක් නොවන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.


හදිසි විදුලිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ස්ථාවරය එසේ වුවද මේ ආකාරයේ හදිසි විදුලිය ගැනීම් යෝජනා කරන හා නිර්දේශ කරන එම මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ද එම සංගමයේ සාමාජිකයින් බව අප අමතක නොකළ යුතුය. එසේම ඉහත සඳහන් කළ ආකාරයට විදුලි ගාස්තු වැඩි කිරීමේදී අඩු විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයින්ට වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වැඩි කළ යුතු බවට වූ නිර්දේශ සකස් කර ඇත්තේද එම සංගමයේ සාමාජිකත්වය දරන විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරීන් බවද සැකයක් නැත. ඒ සම්බන්ධයෙනුත් එම සංගමයේ මතය රටට කියනවා නම් හොඳය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි