No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

‘රාජ්‍ය බැංකුවක් කඩාවැටිලා’ ප්‍රකාශයෙන් ගිනිගනී

Must read

■ ඉඳුවර බණ්ඩාර


එක් රාජ්‍ය බැංකුවක් කඩාවැටී ඇති බවට පාර්ලිමේන්තුවේදී මාර්තු 24 වැනිදා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධවත්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂත් නිවේදන නිකුත් කර ඇත.


එම නිවේදන මගින් අවධාරණය කර ඇත්තේ රාජ්‍ය බැංකුවක් කඩා වැටී ඇති බවට වන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරන බවයි.


මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ සිය බැංකුව කඩාවැටී ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බවය. රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි දෙක තුනකට අදාළ ගෙවීම් සිදුනොකළ බව හා ඒවාට අවශ්‍ය ඩොලර් මාර්තු 24 වැනිදා මහා බැංකුවෙන් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.
මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුව ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ රටේ බැංකු පද්ධතිය අස්ථාවර බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. රටේ බැංකු පද්ධතිය ස්ථාවරම පවතින බවට මහජනතාවට හා අනිකුත් පාර්ශ්වයන්ට සහතික කරන බව එහි අවධාරණය කර තිබේ.


මීට පෙර ලංකා බැංකු සේවක සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පෙබරවාරි 28 දින සහිතව ‘රාජ්‍ය බැංකු ඇතුළු බැංකු කර්මාන්තය අවදානමට ලක්වීම’ යනුවෙන් ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ දිගින් දිගටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම උදෙසා ලංකා බැංකුව හා මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකුවලට කටයුතු කිරීමට සිදුවීම නිසා එම බැංකුවල ද්‍රවශීලතාව පවත්වාගෙන යෑම හා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම බරපතළ අර්බුදයකට ලක්වී ඇති බවයි. එම තත්වය මැනවින් නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව එම බැංකුවලට අවස්ථා කිහිපයකදීම දැඩි අවවාද කිරීම් හා අනතුරු ඇඟවීම් කළ බව එහි සඳහන් වේ.


එම සියලු තත්වයන් නොතකා හරිමින් කටයුතු කිරීම තුළ රාජ්‍ය බැංකුවල පැවැත්ම අතිශය දරුණු තත්වයන් වෙත ගමන් කරමින් පවතින බවත් එමගින් රටේ සමස්ත බැංකු පද්ධතියම අවදානමකට පත්වෙමින් පවතින බවත් ලංකා බැංකු සේවක සංගමය අනතුරු අඟවා තිබුණි.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය අනිවාර්යෙන් සිදුකළ යුතු වූවත් රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීම ද අත්‍යවශ්‍ය කරුණක් බැවින් රාජ්‍ය බැංකුවල පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට වගකිවයුතු පාර්ශ්වයන්ට ඉතා කඩිනමින් අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙස ලංකා බැංකු සේවක සංගමය ඒ මගින් ඉල්ලා තිබුණි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි