No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

චීන පොහොර වෙනුවෙන් නීතිය නැවීම

Must read

සමථයක් අනුව මේ වනවිට මුදල් ගෙවා ඇති රසායනාගාර පරීක්ෂණවලින් ප්‍රතික්ෂේප වූ චීන පොහොර යළි අනිවාර්යයෙන්ම ගෙන්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.


ඔහු ඒ බව ප්‍රකාශ කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මාර්තු 21 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.


ක්ෂුද්‍ර ජීවීන් නොමැති කාබනික පොහොර ලොව කොතැනකවත් නොමැති බව එහිදී රාජ්‍ය ඇමතිවරයා කියා ඇත. එය ඇත්තකි. එහෙත් පසට සහ වගාවට හිතකර හා අහිතකර යනුවෙන් හඳුනාගත හැකි ක්ෂුද්‍ර ජීවීන් සිටින බව ඔහු කියා නැත.


මෙම මාධ්‍ය හමුවේදී කළ ප්‍රශ්න කිරීම්වලදී කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ චීනයෙන් නැවත ගෙන්වීමට නියමිත ඝන කාබනික පොහොර අලුත් තොගයක් බවත්, එහි සාම්පල් මෙරට මෙන්ම විදේශ රසායනාගාරයකදීද පරික්ෂාවට ලක්කරන බවත්ය. එහිදී විදේශ රසායනාගාර පරීක්ෂණයෙන් සමත්ව මෙරට රසායනාගාර පරීක්ෂණයෙන් එම පොහොර අසමත් වුවහොත් කරන්නේ කුමක්දැයි කළ විමසීමේදී ඔහු අපූරු උත්තරයක් දෙයි. ඒ එවැනි අවස්ථාවකදී විදේශ රසායනාගාරයේ වාර්තාව ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා එය බාර ගැනීමට සිදුවන බවයි.
නැවත ගෙන ඒමට නියමිත චීන කාබනික පොහොර සම්බන්ධයෙන් ඉදිරියට සිදුවීමට නියමිතව ඇත්තේ කුමක්ද යන්න ඒ අනුව සිතා ගැනීමට අමාරු නැත. එම පොහොර ශ්‍රී ලංකාවේ දැනට ඇති ප්‍රමිතියට අනුකූල බවට විදේශ රසායනාගාර යැයි කියන ඕනෑම ආකාරයේ වාර්තාවක් ලබාගත හැකි තැනකින් වාර්තාවක් ලබා ගන්නවා ඇත.

මෙරට සිදුකරන රසායනාගාර පරීක්ෂණවල ප්‍රතිඵලය කුමක් වුවත් චීන පොහොර රටට ගොඩබානු ඇත.


එහිදී මූලිකවම සිදුවන්නේ මෙරට ශාක ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීමය. එම නීතියට අනුව කිසිදු කාබනික පොහොරක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව ගෙන ආ නොහැකිය. ඔහු එම අවසරය ලබාදෙන්නේ එසේ ගෙන්වීමට නියමිත කාබනික පොහොර මෙරට පනවා ඇති ප්‍රමිතියට ඇත්දැයි රසායනාගාර පරීක්ෂණයකින් පසු පරීක්ෂා කිරීමකින් පසුය. රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ කැසකවන්නේ එම පරීක්ෂණයෙන් මඟහැර යෑමටය.


එය එසේම සිදුවුවහොත් මෙරටට ගෙන එන සියලු කාබනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම අලුත් තත්වය බලපානු ඇත. ශාක ආරක්ෂණ පනත හා එහි විධිවිධාන වැඩක් නැති වනු ඇත. මේ රටේ පසත් වගාවත් විනාශ කිරීමේ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් රටට ඇතුල් වනු ඇත.


එයට කෙසේවත් ඉඩ දිය යුතු නැත. අනිකුත් පොහොර ආනයනයේදී සිදුකරන ආකාරයෙන්ම මෙම චීන පොහොර ආනයනයේදීත් ශාක නිරෝධායන සේවයේ රසායනාගාර පරීක්ෂණ මඟහැර යෑමට නොහැකි අන්දමින් කටයුතු කිරීමට ඒ සම්බන්ධයෙන් බලය ඇති සියලු බලධාරීන් කටයුතු කළ යුතුය. අවශ්‍ය නම් අධිකරණයට හෝ ඔවුන් මෙම නීතිය නැවීමට එරෙහිව යා යුතුය. සාම්පල් සඳහා ලබාදෙන රසායනාගාර පරීක්ෂණවලට පමණක් සීමා නොවී අප රසායනික පොහොර ආනයනයේදී සිදුකරන්නාක් මෙන් නැවේ ඇති පොහොර ගොඩබෑමට පෙර ස්තර කිහිපයකින් අහඹු සාම්පල් කිහිපයක් ගෙන ඒවා පරීක්ෂා කර ප්‍රමිතියට ඇත්නම් පමණක් මෙම පොහොර ගොඩබෑමට ඉඩදිය යුතුය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි