No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය අනිවාර්ය කර නැහැ: ජාතික විගණන කාර්යාලය කියයි

Must read

■ ඉඳුවර බණ්ඩාර

දේශීය වෙළඳපොළ තුළ ගුණාත්මක භාණ්ඩ අලෙවිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යභාරය සම්බන්ධයෙන් කළ විගණන වාර්තාව ජාතික විගණන කාර්යාලය ප්‍රකාශයට පත්කර තිබේ.


ආනයනික භාණ්ඩ පරික්ෂාවේදී පරීක්ෂණ වාර්තා නිකුත් වීමට ප්‍රථම භාණ්ඩ වෙළඳපොළට නිකුත් වූ අවස්ථා, ප්‍රමිති සහතිකය නිකුත් කිරීමේදී සිදුව ඇති දුර්වලතා, කළමනාකරණ දුර්වලතා, රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට ප්‍රමාද වීම, වෙළඳපොළ පරීක්ෂාවන් සිදු කිරීම අවම මට්ටමක පැවතීම, ප්‍රමිති භාවිතය පිළිබඳ දැනුවත් කිරීම අවම වීම, පරීක්ෂණ වාර්තා අසමත් වූ භාණ්ඩ සම්බන්ධව විධිමත්ව කටයුතු කිරීමට අපොහොසත් වීම යන කරුණු සම්බන්ධයෙන් එම වාර්තාවේ නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.


‘විදේශයන්ගෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා අනුකූලතා සහතික නිකුත් කරන විදේශීය රසායනාගාර, පර්යේෂණ ආයතන හෝ වෙනත් රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි විය යුතු වූවත්’ යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහයේ පළමු වර්ගීකරණය යටතේ සඳහන් වූවත්, එසේ ලියාපදිංචි වී තිබුණේ දුඹුරු සීනි සඳහා සහතික නිකුත් කරන ආයතන දෙකක් පමණක් බව සඳහන් කරයි. ටින් මාලු සඳහා සහතික නිකුත් කරන ආයතන ලියාපදිංචි වී නොතිබුණ බවද සඳහන් කරයි.


2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා ආයතන 89 කින් අවස්ථා 1014 කදී දුඹුරු සීනි ගෙන්වා ඇති අතර කිසිඳු නිෂ්පාදකයකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී අනුකූලතා සහතිකයක් ලබාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක නියැදි පරීක්ෂාවක් කර තිබුණේ අවස්ථා 49 කදී පමණි.


2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා නිෂ්පාදන ආයතන 36 කින් අවස්ථා 1522කදී සන්නම් නාම 48ක් යටතේ ටින්මාලු ගෙන්වා තිබෙන අතර නිෂ්පාදකයන් 05 දෙනෙකු සන්නම් නාම 20 ක් සඳහා පමණක් ලියාපදිංචි වී සිට ඇත. ලියාපදිංචි නොවූ අනෙක් නිෂ්පාදන ආයතන 31 යටතේද වටිනාකම ඇමරිකන් ඩොලර් 92,205,253.54 ක් වූ ටින්මාලු බහලුම් 4,395,416 ක් ගෙන්වනු ලැබුවද එම ටින්මාලු සඳහා විස්තරාත්මක නියැදි පරීක්ෂාවක් සිදුකර නැත.


මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් තොගය පරීක්ෂා කිරීමකින් තොරව විකිණීමට හෝ භාවිතයට ඉඩදෙනු ලබන අවස්ථා හතරටම අනුකූල නොවී දුඹුරු සීනි තොග ගෙන්වා තිබූ අවස්ථා 31කදී, ඇමරිකන් ඩොලර් 2,391,388.95ක් වටිනා මෙටි්‍රක් ටොන් 6323.3ක දුඹුරු සීනි නියැදි පරික්ෂාවකින් තොරව නිදහස් කර තිබේ.


ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ වෙළඳපොළට නිකුත් නොවන බවට තහවුරු කරගැනීම අධීක්ෂණය කිරීමට සුදුසු මාර්ගෝපදේශයක් හෝ ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බවට නිරීක්ෂණය කර ඇත.


ආනයනික භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදය පහසු කරලීම සඳහා 2018 වර්ෂයේදී පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇතත් එම දත්ත පද්ධතියට ඇතුළත් කර ඇත්තේ සාම්පල් ලබා ගැනීම දක්වා දත්ත පමණක් බවත්, සාම්පල් පරීක්ෂාවෙන් පසු එම පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව සිදුකරන අනුමැතිය ලබාදීම්, නැවත නියැදි පරික්ෂාව, භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීම හා ප්‍රති අපනයනය නිර්දේශ කිරීම ආදිය 2021 මැයි විගණන දිනය වනවිටත් අදාළ දත්ත පද්ධතිය හරහා සිදුනොවන බව නිරීක්ෂණය කර ඇත.


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව යන ආයතන අතර ආනයනය කරනු ලබන සෑම භාණ්ඩ තොගයක් සම්බන්ධයෙන්ම මනා අන්තර් සම්බන්ධයක් පැවතිය යුතු වූවත් ඒ සඳහා සකස් කළ ක්‍රමවේදයක් නොමැති බව නිරීක්ෂණය කර ඇත. ඒ නිසා ගුණාත්මක බවින් තොර භාණ්ඩ වෙළඳපොලට නිකුත් වීමේ වැඩි අවදානමක් පවතින බවත්, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළට නිකුත් වූ අවස්ථා ශ්‍රී ලංකා රේගුවේ ලිපිගොනු පරික්ෂාවේදී නිරීක්ෂණය වූ බවත්, ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීමට සුදුසු ක්‍රමවේදයක් ප්‍රමිති ආයතනය විසින් සකස්කර නොතිබුණ බවත් සඳහන් කර තිබේ.
තත්වයෙන් උසස් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ගැනීමට නම් ආනයනය කරනු ආහාර ද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතිකය (එස්එල්එස්) ලබාගැනීම අනිවාර්ය කළ යුතු වූවත් ආනයනය කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර නැති බව එම ආයතනය නිකුත් කර ඇති නිෂ්පාදන සහතිකය අනිවාර්ය කර ඇති භාණ්ඩ ලැයිස්තුව අනුව නිරීක්ෂණය කර ඇත.


එමෙන්ම නව නිෂ්පාදකයකුගෙන් භාණ්ඩ ආනයනය කරන මුල්ම අවස්ථාවේදී විස්තරාත්මක නියැදි පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව නැවත එවැනි පරීක්ෂාවක් සිදුකළ යුත්තේ කවර අවස්ථාවකදීද, ඒ අතර සිදුකළ යුතු පරීක්ෂාවන් කවරේද යන්න පැහැදිලි කර සකස් කරන ලද අභ්‍යන්තර සැලැස්මක් නිරීක්ෂණය වී නැත.


2019 දෙසැම්බර් වනවිට එස්එල්එස් ලාංඡනය ලබාගත් භාණ්ඩ ප්‍රමාණය ආසන්න වශයෙන් 1105 ක් පමණ වූවත් ඊට සාපේක්ෂව වෙළඳපොළ පරීක්ෂාවන් ඉතා අඩු මට්ටමක පැවතී ඇත. නිෂ්පාදන සහතික ලාංඡනය ලබාගත් භාණ්ඩවල ගුණාත්මකබව පිළිබඳ පරීක්ෂාව සඳහා වෙළඳපොළ පරීක්ෂාවන් සිදු කිරීමට 2016, 2017 හා 2018 වර්ෂයන්හි ක්‍රියාකාරී සැලසුම්වලට අනුව ඇස්තමේන්තුගත කර ඇති පරීක්ෂාවන් ගණන පිළිවෙළින් 40,60,48 ක් වූවත්, සත්‍ය ලෙස සිදුකර ඇති පරීක්ෂාවන් ගණන පිළිවෙළින් 19,39 හා 35 ක් වී ඇත. එමෙන්ම 2019 වර්ෂයේදී වෙළඳපොළ පරීක්ෂාවක් කිරීමට සැලසුම් කර තිබී නැත. මේ හේතුවෙන් ගුණාත්මකභාවයෙන් හා තත්වයෙන් අඩු භාණ්ඩ වෙළඳපොලට නිකුත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විගණනයේදී නිරීක්ෂණය කර ඇත.


මහජන ආරක්ෂාව හා තත්වයෙන් උසස් භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේදී එස්එල්එස් සහතිකය ඉවත් කරන ලද සහ තහනම් කරන ලද භාණ්ඩ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පනතේ ඇතුළත් කාර්යයක් වූවත් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සකස් කර ක්‍රියාත්මක කර නැත.


එමෙන්ම දේශීය වෙළඳපොළ තුළ මහජන ආරක්ෂාවට හා සෞඛ්‍යයට හානිකර වර්ගයේ ආහාර හා ආහාර නොවන භාණ්ඩ රාශියක් පවතින බවට වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ, සමාජ මාධ්‍ය හා පුවත්පත් මගින් නිරීක්ෂණය වුවද එම භාණ්ඩ පිළිබඳ විස්තරාත්මක නියැදි පරීක්ෂාවන් අනිවාර්ය කිරීමට හෝ එස්එල්එස් ලාංඡනය අනිවාර්ය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමක් හෝ නිර්දේශ කිරීමක් සිදු කිරීමට ප්‍රමිති ආයතනය කටයුතු කර නැත.


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති සිලෝන් ස්ටෑන්ඩඩ් හා එස්එල්එස් ප්‍රමිති ගණන 4100ක් වන බවත්, 2017,2018 හා 2019 යන ආසන්න වසර 03ක ප්‍රමිත විකුණුම් පිළිබඳ ඇගැයීමේදී විගණනය විසින් නිරීක්ෂණය කර ඇත්තේ එම ප්‍රමිත අතරින් 500ත් 600ත් අතර ප්‍රමාණයක් භාවිතයට නොගන්නා බවයි. එහිදී විගණනය නිරීක්ෂණය කරන්නේ යම් කාලයක්, ශ්‍රමයක් හා පිරිවැයක් දරා ප්‍රමිති ආයතනය විසින් සකස් කරනු ලබන ප්‍රමිත ප්‍රයෝජනයට නොගැනීමෙන් ගම්‍ය වන්නේ නියාමනයක් සිදු නොවීම නිසා බාධාවකින් තොරව ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළට නිකුත් වීමේ ඉඩ ප්‍රස්ථා ලැබී ඇති බවයි. එවැනි භාණ්ඩවලට උදාහරණ ලෙස ගෑස්, පොල්තෙල්, විවිධ විදුලි උපකරණ හා කිරිපිටි ආදිය දැක්විය හැකි බව එහි සඳහන් වේ.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි