No menu items!
20.5 C
Sri Lanka
19 January,2025

ටෙන්ඩර් නැතිව පෞද්ගලික අංශයෙන් ඩොලර් මිලට විදුලිය ගනී. ඉන්ධන සපයන්නේත් ආණ්ඩුවෙන්

Must read

ලංකා විදුලි බල මණ්ඩලය සතු බලාගාර ධාවනය සඳහා ඉන්ධන නොමැති තත්වය තුළ පවතින විදුලි අර්බුදයට විසඳුම් ලෙස ඉන්ධන මගින් ධාවනය වන පෞද්ගලික විදුලි බලාගාරවලින් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් විදුලිය මිලදී ගැනීමට බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.


මාර්තු 07 දින සහිත 24/2022/පීඊ යන අංකයෙන් යුතු එම යෝජනාව මාර්තු 07 දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී එම කැබිනට් යෝජනාව සම්මත වූවාද නැද්ද යන්න නිල වශයෙන් සඳහන් නොවුනත්, මාර්තු 08 දින පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කළ පැහැදිලි කිරීමක් අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව පෙනේ. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමතිවරයා ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය හා මාතර යන ප්‍රදේශවල පිහිටි බලාගාරවලට දැවි තෙල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත් බවයි. ඇඹිලිපිටිය හා මාතර යන ලංවිම සතු බලාගාර නැති අතර එම ප්‍රදේශවල තිබෙන්නේ ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ ඒස් සමාගමට අයත් පෞද්ගලික විදුලි බලාගාර දෙකකි.


ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවෙන් ඇතිවී ඇති හදිසි විදුලි අවශ්‍යතාව නිසා තරගකාරි යෝජනා කැඳවීමකින් තොරව මෙමබ විදුලිය මිලදී ගැනීම් සඳහා අවසර ඉල්ලා ඇති අතර ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට යන්නේද ඩොලරයට සාපේක්ෂවය.


මෙසේ තරගකාරි යෝජනා කැඳවීම් නොකර මිලදී ගැනීමට යන බලාගාර සම්බන්ධයෙන් සඳහන් කරන්නේ එම පෞද්ගලික විදුලි බලාගාර විදුලි සම්ප්‍රේෂණ මාර්ගවලට දැනටමත් සම්බන්කර ඇති ඒවා බැවින් එම විදුලි බලාගාර ඉක්මණින් විදුලිය ජනනයට සූදානම් බවය.
එම කැබිනට් පත්‍රිකාවේ ඇති තොරතුරුවලට අනුව ලංවිම සම්බන්ධ දැවි තෙල්, ඩීසල් හා නැප්තාවලින් ධාවනය වන විදුලි බලාගාර 10 ක් පවතින අතර ඒවාහි මුළු ධාරිතාව මෙගාවොට් 1059කි. වත්මන් ඉන්ධන අර්බුදය නිසා මෙම බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවේ. සමහර බලාගාර සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ.


එවන් තත්වයක් තුළ ඉන්ධන සපයා ලංවිමට සම්බන්ධ බලාගාර විදුලි ජනනය සඳහා ක්‍රියාත්මක නොකර එම පෞද්ගලික අංශයේ විදුලි බලාගාරවලට ඉන්ධණ සපයා මෙසේ ඩොලර් වටිනාකම මත විදුලිය මිලදී ගැනීමට සැරසීම කෙසේවත් අනුමත කළ හැකි කරුණක් නොවන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියකු අනිද්දාට පැවසීය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි