No menu items!
25.4 C
Sri Lanka
21 November,2024

දෙවැනි ඇෆ්ගනිස්ථානය
සඳහා රුසියා වෑයම

Must read

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ගැන නෛසර්ගික විරෝධයක් ඇතියවුන් මේ මොහොතේ තෝරා ගෙන ඇත්තේ රුසියාවේ පැත්තයි. ඒ නිසා රුසියාවේ යුක්රේන ආක්‍රමණය සාධාරණය කිරීමත්, රුසියාවේ යුද්ධ ශක්තිය ගැන වර්ණනා කිරීමත්, ව්ලැදිමිර් පුටින් ජනාධිපතිවරයාගේ යකඩ නායකත්වයට ප්‍රශස්ති ගැයීමත්, යුක්රේන නායකයාගේ කවටකම් අවමානයට පාත්‍ර කිරීමත්, අවසානයේ රුසියාවට ජය ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගෙන් දෛනිකව දකින්නට අසන්නට ලැබේ.

එහෙයින්, දින හතකටත් වඩා ඇදී යමින් තිබෙන මේ ආක්‍රමණය නිසා, දෙපාර්ශ්වයට ම යහමින් හානි සිදු වෙමින් පවතින බව ඔවුන්ගේ දැක්මට හසු නොවේ. යුක්රේනයට මහත් හානි සිදු කරමින් තමන්ට ද හානි කරවා ගනිමින් රුසියාවේ පාලනය දැන් හැසිරෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මනියේ පාලනය හැසිරුණ ආකාරයට සමාන වන පරිද්දෙනි.

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින්, බල ලෝභියකු බව ද, ඒකාධිපති, මර්දනකාරී ජනපීඩක පාලකයකු බව ද තේරුම් ගන්නට ඔහු පසුගිය කාලයේ රුසියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නමමින්, රටේ එක ම නායකයා තමා වන ආකාරයෙන් හැසිරුණු විදිය උදව් වෙයි. තමාව විවේචනය කරන්නන් සිය ගණනින් සිරගෙවල්වලට ගාල් කරමින්, විරුද්ධ දේශපාලකයන්ට මරණ බිය හා තර්ජන ඇති කරමින් ඔහු කටයුතු කර ඇත්තේ, අමෙරිකාවට විරුද්ධව නොවේ. තමන්ගේ ම රටේ මහජනතාවට විරුද්ධව ය. යුක්රේන ආක්‍රමණය වනාහි එවැනි ඒකාධිපතියකුගේ බල ලෝභයේ ඊළඟ පියවර ලෙස මිස නේටෝවට පාඩමක් උගන්වන්නට තැබූ හුදු පියවරක් නොවේ.

යුක්රේනය, නේටෝවට ඇලුම්කම් දැක්වීම මේ සා විශාල තිරශ්චීන යුද්ධයකට ඔවුන් ඇද දැමීමට හේතුවක් ද? එහි බරපතළ දේශපාලන බලපෑමක් තිබුණත්, ඒවා විසඳා ගැනීමේ එක ම මාර්ගය මේ ආකාර තිරශ්චීන යුද්ධයක් ද? නේටෝවට හිතවත්කම් දැක්වීම නිසා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණ නම්, ලංකාව චීනයට දක්වන හිතවත්කම් නිසා ඉන්දියාව ලංකාව ආක්‍රමණය කිරීමත් එවැනි සාධාරණ ක්‍රියාවක් වනු ඇත්තේ ය. අපි ඊට කැමැති ද?

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, මිනිස් සංහතිය හැම උත්සාහයක් ම ගත්තේ, රට රටවල් අතර ඇති වන ඕනෑ ම විරසකයක්, යුද්ධයකට නොයා විසඳා ගන්නට ය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගනු ලැබූ අතර, එය මුල් කොටගෙන ජාත්‍යන්තර සම්මුතීන් රාශියක් හා ඒවා සාකච්ඡා කෙරෙන නියෝජිතායතන රාශියක් හදා ගෙන ඇත්තේ ය. එහෙත්, අද රුසියාව කරන්නේ ඒ ලෝක සම්මුතීන් සියල්ල කුණු කූඩයට දමමින්, තමන්ගේ ඇඟේ හයිය දුබල රටකට එරෙහිව පාවිච්චි කිරීම ය. වාසනාවකට, නේටෝවේ රටවල් ඒ යුද්ධයට ඍජුව මැදිහත් වූයේ නැත. රුසියාවේ මිතුරන් ඒ වැළැකීම අර්ථ කථනය කළේ නේටෝව රුසියාවට බය නිසා මැදිහත් නොවුණු හැටියට ය. එහෙත්, නේටෝව ඍජුව මැදිහත් නොවුණු නිසා, තුන් වැනි ලෝක යුද්ධයක් හා සමාන මහා විනාශයක් සිදුවීම නම් වැළැකී ගියේ ය. න්‍යෂ්ටික අවිවලින් එකිනෙකා මරාගන්නා, ජයග්‍රහණයක් නැති, විනාශයක් පමණක් ඉතිරි වන යුද්ධයක් වැළකී ගියේ ය. මේ තත්වය දිගට ම පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු.

යුද්ධය විනාශකාරී ය. කිසිම හේතුවකින් යුද්ධය සාධාරණය කළ නොහැකි ය.

රුසියාවේ බලය, ශක්තිය ගැන ආවැඩීම පසෙක තබා දුර දුටුවහොත් පෙනෙන්නේ, රුසියාව යළිත් ඇෆ්ගනිස්තානයක් නිර්මාණය කරමින් සිටින බව ය. ඉරාකයක් නිර්මාණය කරමින් සිටින බව ය.

මේ මොහොතේ දෘශ්‍ය සීමාවේ තිබෙන යුද්ධය, තවදුරටත් ඇදී ගියහොත්, එය මාරු වනු ඇත්තේ ඇෆ්ගනිස්තානයේ මෙන් සැඟවී කෙරෙන දිග ඇදෙන ගැටුමකට බව පෙනේ. එහි එක් පැත්තකින් රුසියාව සිටින අතර, අනෙක් පැත්තේ යුක්රේනයට ආධාර කරන ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව ද සිටිනු ඇත. ඒ අතරමැද බලවතුන්ගෙන් යුද්ධාර ලබන තවත් සටන්කාමී කණ්ඩායම්ද අඩුවක් නැතිව සිටිනු ඇත. මේ ගැටුම ඇදී යන්නේ ඒ වෙත ය.

අමෙරිකාව පසුගිය කාලයේ කළ යුද්ධ අසාධාරණ ය. විනාශකාරී ය. එමෙන් ම රුසියාව කළ මේ ආක්‍රමණයත් අසාධාරණ ය. විනාශකාරී ය. ඒ නිසා, අමෙරිකාවේ යුදමය මැදිහත්වීම්වලට විරුද්ධ වන්නේ නම් රුසියාවේ යුදමය මැදිහත්වීම්වලටත් විරුද්ධ වන්නට සිදු වනු ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි