No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

විදුලි බිඳවැටීම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද?

Must read

නීතිමය බලය ඇති පරීක්ෂණයක් කරන ලෙස කමිටු වාර්තාව කියයි

2021 දෙසැම්බර් 03 දින මුළු රටේම සිදුවූ විදුලිය බිඳවැටීම ගැන හා එම බිඳ වැටීමට හේතුව වශයෙන් සඳහන් වූ එම වසරේ නොවැම්බර් 29 දින සිදුවූ බියගම- කොත්මලේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳ වැටීම ගැන පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරිය පත්කළ කමිටුවේ වාර්තාව පසුගිය සතියේදී බාර දී තිබේ.
පේරාදෙණිය විශව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අධ්‍යයන අංශයේ මහාචාර්ය ලිලන්ත සමරනායකගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයින් වශයෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය, එවක විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුසන්ත පෙරේරා, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊඒ රත්නශීල මහතා, විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා, විදුලි බල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා හා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමනි මහතා කටයුතු කර ඇත.
එම කමිටුව සිය වාර්තාව තුළ ප්‍රධාන නිර්දේශ 10 ක් ඉදිරිපත් කර ඇති අතර ඒවායින් ඉහත සඳහන් කළ විදුලිය බිඳ වැටීමේ සිදුවීම් දෙකට අදාළ ප්‍රධාන නිර්දේශ දෙකක් ඉදිරිපත් කර තිබේ.


ඉන් එකක් වන්නේ බියගම- කොත්මලේ සම්ප්‍රේෂණ මාර්ගය බිඳ වැටීම මිනිස් ක්‍රියාකාරකමක් මගින් සිදුවී ඇත්ද යන්න අවශ්‍ය නම් ස්වාධීන තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගේ සහාය ඇතිව නීතියෙන් බලය ඇති ආයතනයක් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. මෙම නීතියෙන් බලය ඇති ආයතනයක් යන්න අපට හඳුනාගත හැක්කේ පොලීසිය හෝ ඒ හා සමාන නීතියෙන් බලය ඇති ආයතනයක් එම විමර්ශනය කළ යුතු බවට වූ නිර්දේශයක් වශයෙන්ය.


එවැනි නිර්දේශයක් සඳහා එම කමිටුව එළඹ ඇත්තේ මෙම විදුලිය බිඳ වැටීම ගැන කරන ලද පරික්ෂාවේදී හඳුනා ගන්නට ලැබුණු කරුණු අනුවය. එම වාර්තාවේ 2.2 යටතේ සඳහන් කරන්නේ බියගම-කොත්මලේ සම්ප්‍රේෂණ මාර්ගයට අදාළ පරිපථවල රැහැන් සම්බන්ධ කිරීම් නැවත සිදුකර ඇති බව හා ඒවා නිවැරදි ලෙස සිදුකර නොමැති බවයි.


මිනිස් ක්‍රියාකාරකමක් මගින් මෙම සම්ප්‍රේෂණ මාර්ගය බිඳ වැටුණාදැයි සැක මතුවී ඇත්තේ එසේ මුල් නිෂ්පාදනයේ තිබූ රැහැන් නැවත සවි කිරීමේ ක්‍රියාකාරකමක් නිරීක්ෂණය වී ඇති නිසාය.


මෙම විදුලිය බිඳ වැටීමට අදාළ එහි අනෙක් නිර්දේශය ලබා දී ඇත්තේ සම්ප්‍රේෂණ මාර්ග බිඳ වැටීමෙන් පසු ඒවා ඉක්මණින් සම්බන්ධ කිරීමේ ප්‍රමාදයන්ට අදාළවය. එම ප්‍රමාදයන් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බව පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇත. එම නිර්දේශය මගින් කියන්නේ සම්ප්‍රේෂණ මාර්ග නැවත පද්ධතියට සම්බන්ධ කිරීමේ ස්ථානවලට සම්බන්ධ වගකිවයුත්තන් හඳුනාගෙන එම ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා අවශ්‍ය පියවර ගත යුතු බවයි.


මෙම නිර්දේශය ඉදිරිපත් කිරීමට හේතු වී ඇත්තේ විදුලිය බිඳ වැටීමෙන් පසු සම්ප්‍රේෂණ මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට අසමාන හෙවත් සාධාරණ නොවන කාලයක් ගතකර ඇති බව එම පරීක්ෂා කිරීම්වලදී අදාළ කමිටුව හඳුනාගෙන තිබීමය.


එමෙන්ම එම කමිටු තවදුරටත් නිර්දේශ කරන්නේ එම කමිටු වාර්තාව ලංකා විදුලි බල මණ්ඩල වෙබ් අඩවියේ මෙන්ම විදුලි බල අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඉක්මණින් ප්‍රසිද්ධියට පත්කරන ලෙසයි. එමෙන්ම එම වාර්තාව මහජනයාට නිකුත් කරන ලෙස හා එතැන් පටන් මාසයක කාලයක් ඇතුළත එම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශයට පත්කරන ලෙසයි. එම වාර්තාව සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල අමාත්‍යාංශය හා කමිටුවේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සම්මන්ත්‍රණයක් පැවැත්විය යුතු බවටද නිර්දේශ කර ඇති අතර ඒ රට පුරා සිටින ඉංජිනේරුවන්ට එම දැනුම බෙදා හැරීම සඳහාය. එමෙන්ම එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මාස 03 කට වරක් එම කමිටුව රැස්කළ යුතු බවද එහි නිර්දේශ කර තිබේ.


එම කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම, එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් ප්‍රතිචාර ලබා ගැනීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීම යන කරුණු ඉදිරිපත් කිරීම මගින් එම කමිටුව මෙම විදුලිය බිඳ වැටීමේ සිදුවීම හා ඒ හා බැඳුණු අනෙකුත් නිර්දේශයන් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක සිටින බව පෙනේ. එවැනි විශ්වාසයකට එළැඹීම සඳහා එම කමිටුව සිදුකළ පරික්ෂා කිරීම්වලදී ප්‍රමාණවත් තොරතුරු ලැබී ඇති බව එම වාර්තාව පරිශීලනයේදී පෙනේ.


මෙම කමිටු වාර්තාවට අදාළ විදුලිය බිඳවැටීම් සිදුවූයේ වර්තමානයේ මෙන් ජල විදුලිය නිපදවීම අඩියටම බැස තාප විදුලිය නිපදවීමට ඉන්ධන නොමැති කාලයක නොවේ. කප්පාදුවකින් තොරව සාමාන්‍ය පරිදි විදුලිය සැපයිය හැකිව තිබූ කාලයකය. එම විදුලිය බිඳ වැටීම් කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස චෝදනාවට ලක්වූ අතර විදුලි බල අමාත්‍යාංශ ලේකම්වරිය ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට කමිටුවක් පත්කළේ ඒ නිසාය. එම විදුලිය බිඳවැටීමේ ක්‍රියාව සම්බන්ධයෙන් අප්‍රසිද්ධියේ චෝදනාව එල්ල වූයේ විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ටය. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය නියෝජනය කරන ඉංජිනේරුවන්ටය. (විදුලි බල මණ්ඩලයේ සියලු ඉංජිනේරුවන් එහි ඉංජිනේරු සංගමය නියෝජනය කරන අතර එම දිනයන් වනවිට ඉන් කිහිප දෙනෙකු එකතු වී ජේ්‍යෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය නමින් කටයුතු කරන්නට විය.)


විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයට එරෙහි මෙම චෝදනාවට පදනම වූයේ එම සංගමය ඒ වනවිටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත්කර තිබීමය. එම සංගමය එසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත්කර තිබුණේ කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක් ලබාදීම සහ එම බලගාරයට ගෑස් සැපයීම ඇතුළු එම ප්‍රදේශය අවට බලගාරවලට ගෑස් සැපයීම, ඒ සඳහා පාවෙන ගෑස් පර්යන්තයක් ඉදිකිරීම හා නල මාර්ගයක් ඉදිකිරීම යන අවසරයන් ඇමරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට ලබාදීමට එරෙහිවය.


කෙසේ වෙතත් එම විදුලිය බිඳ වැටීම් යම් කඩාකප්පල් ක්‍රිියාවක් හේතුවෙන් සිදුවීදැයි පරීක්ෂණයක් සිදුකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය පොලීසියේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර තිබූ අතර එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු කහඳුගොඩ මානගේ ප්‍රදීප් පුෂ්පකුමාරය. එහෙත් පසුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා බව දැනුම් දී ඇත. එසේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නේ එවක ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරි) ආචාර්ය රොහාන්ත අබේසේකර හා එහි ඉංජිනේරු සංගමයේ කිහිප දෙනෙකුගෙන් සිදුවන බලපෑම මත බව කියා තිබුණි. (ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ලෙස ආචාර්ය සුසන්ත පෙරේරා පත් කිරීමේදී ඊට එරෙහිව විරෝධය දක්වමින් එහි ඉංජිනේරු සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරමින් ඉල්ලා සිටියේ ඒ සඳහා ආචාර්ය රොහාන්ත අබේසේකර පත්කරන ලෙසය.)


මෙම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජී ජේ නන්දන 2021.12.15 දින සහිත ලිපියක් මගින් එවක විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරි ආර් එම් රණතුංගට දැනුම් දීමක් කරන අතර එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එසේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තද එම පැමිණිල්ල සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනය ඉදිරියට යන බවය.


එම කමිටුවේ මෙම නිර්දේශ අනුව එම විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් දැන් අර්බුදයකට ලක්වනු ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයය. විශේෂයෙන්ම එහි ඉංජිනේරු සංගමයය. ඒ මෙම විදුලි බිඳ වැටීමට අදාළ මෙම කමිටු වාර්තාවට අමතර එම විදුලිය බිඳ වැටීම පිළිබඳ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගැනීමට බල කරන ලද අතීත තවත් සිදුවීමක්ද ඇති නිසාය.
එම කමිටුවේ අනුමානයන් හා සැකයන් අනුව එම විදුලිය බිඳ වැටීමේ අවස්ථා හිතාමතා හෙවත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් වශයෙන් යම් පුද්ගලයකු හෝ පිරිසක් සිදුකර ඇත්නම් ඒ මගින්ද අපට පෙන්නුම් කරන කාරණය වන්නේ සිය අරමුණු වෙනුවෙන් පොදු මහජනතාව පීඩාවට පත්කරන ඕනෑම දෙයක් කිරීම දක්වා යෑමට විදුලි ඉංජිනේරුවන් පසුබට නොවන බවය.
පොලීසියේ කොළඹ අපරාධ කොට්ඨාසය එම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යනවා යැයි කී පරීක්ෂණයේ තත්වය මෙතෙක් යාවත්කාලීන වී වාර්තා වී නැත. ඒ කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව විදුලි බල අමාත්‍යාංශය එම විදුලි බිඳ වැටීම කඩාකප්පල්කාරී හෙවත් මානව ක්‍රියාකාරකමක් බවට මතුකර ඇති සැකය නිරාවරණය කර ගැනීම සඳහා නීතිමය බලය ඇති ආයතනයකට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස දැනුම් දෙනු ඇතිද? අවසන් වශයෙන් මතුවන ප්‍රශ්නය එයයි.


එවැනි ප්‍රශ්නයක් මතු කිරීමට හේතුව වන්නේ ජල විදුලිය නිපදවීමද අඩාල වී තාප විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන කලට වේලාවට නොමැත් තත්වය තුළ මේ වනවිට පැය 7 කට වඩා වැඩි කාලයක් දිනකට විදුලිය කැපීමට සිදුවී ඇති තත්වය තුළ විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය තරහ කරගැනීමේ අලුත් අර්බුදයක්ද ආණ්ඩුව කැඳවා ගනී යැයි නොසිතෙන නිසාය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි