No menu items!
22.9 C
Sri Lanka
21 November,2024

පාස්කු දින ප්‍රහාරය
ජාත්‍යන්තරයට

Must read

දේශීය හා ජාත්‍යන්තර බලවේග මේ ආණ්ඩුව වැට්ටීමට උත්සාහ කරන බව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිතුමා උස් හඬින් අනතුරු අඟවද්දී, වතිකානයේ ෆ්‍රැන්සිස් පාප්තුමා, 2019 පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහාය පළ කරන බවට දන්වා ඇතැ’යි මෙරට කතෝලික පල්ලිය නිවේදනය කළේ ය.

කතෝලික පල්ලිය විශ්වාස කරන්නේ පාස්කු දින ප්‍රහාරයේ දී තමන්ගේ බැතිමත් ප්‍රජාවට සිදුවූ හානියට තවමත් යුක්තිය ඉටු වී නැති බව ය. යුක්තිය ඉටු වන බවක් ද නොපෙනෙන බව ය.

ප්‍රහාරය සිදු වූ මුල් කාලයේ දී මෙරට කතෝලික පල්ලිය, එහි වගකීම ඒ වන විට බලයේ සිටි යහපාලන ආණ්ඩුවට පැවරී ය. යහපාලන ආණ්ඩුව විසින් ඇති කරන ලද ජාතික ආරක්‍ෂාවේ ඇති සිදුරු නිසා, ඉන්දියාවෙන් නිවැරදි අනතුරු ඇඟවීම් ලැබී තිබිය දීත් යහපාලන නායකයන් ප්‍රහාරය වළක්වා ගන්නට අවශ්‍ය පියවර නොගැනීමෙන්, එම ප්‍රහාරයට දායක වුණු බව පල්ලියේ මතය විය.

කෙසේ වෙතත්, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කරන්නට ජනාධිපති කොමිසමක් තෙමේ ම පත් කළේ ය. ඒ ඒ වන විටත් ඔහු පත් කර තිබුණු කමිටුවක වාර්තාවකටත්, පාර්ලිමේන්තුව පත් කළ කරුණු සෙවීමේ කාරක සභාවකටත් අමතර ව ය.

අද බොහෝ දෙනකුට කරුණුමය මූලාශ්‍රයක් වී තිබෙන වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ එම ජනාධිපති කොමිසම විසිනි.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුවෙන් තමන්ට යුක්තිය ඉටු නොවිණි යැයි කල්පනා කල කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය ඊළඟට වැඩ කළේ, 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජය ගන්වා, ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගැනීමටත්, පාස්කු දින ප්‍රහාරයට යුක්තියක් ඉෂ්ට කරවා ගැනීමටත් ය.

එහෙත්, ඒ ආණ්ඩුවට අවුරුදු දෙකක් ගතවෙන්නටත් පෙර ම කාදිනල්වරයාගේ මතය නම්, මේ ආණ්ඩුවෙන් ද තමන්ට යුක්තියක් ඉටු වන්නේ නැති බවට ය. ඒ මදිවාට, ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් ‘වග කිව යුතු’ යැයි නම් කර ඇති දේශපාලන නායකයන් ආරක්‍ෂා කරන්නට ද ආණ්ඩුව කටයුතු කරන බව කාදිනල්තුමා කියන්නේ ය. ඒ නිසා, දැන් ඔහු ඇතුළු පල්ලියේ වුවමනාව, ජාත්‍යන්තර පරීක්‍ෂණයකට මේ දුක්ගැනවිල්ල ගෙන යාමයි. ඒ සඳහා සහාය සෙන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ ද කියා තිබේ.

අද කතෝලික පල්ලියට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වුවමනා වීම, දුක් විය යුතු දෙයක් වුණත්, එක්තරා ආකාරයකට සතුට දනවන්නකි. ඒ ලංකාවේත් ලෝකයේත් යථාර්ථය තේරුම් ගන්නට පල්ලියට ප්‍රමාද වී හෝ හැකියාව ලැබී තිබීම නිසා ය.

මැල්කම් රංජිත් කාදිනල්තුමා මානව හිමිකම් විරෝධියකු හැටියට කාලයක දී අපට පෙනිණ. ඒ, බටහිර මානව හිමිකම් ලංකාව වැනි රටකට ගැළපෙන්නේ නැති බවත්, බුද්ධ ශාසනයේ ආධිපත්‍යය පිළිගන්නට තමන් සුදානම් බවත් ඔහු කී කාලයේ දී ය. ඔහු ඒ කාලයේ මානව හිමිකම් දැක්කේ බටහිර කුමන්ත්‍රණයක් හා අධිරාජ්‍යවාදීන් ලංකාව වැනි රටවලට අත දමන්නට පාවිච්චි කරන උපකරණයක් හැටියට ය. සල්ගාදු ක්‍රීඩාංගණයේදී රාජපක්‍ෂ ජනාධිපතිතුමා නොකියා කිව්වේ ද එවැනි කතාවකි.

අද ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කතෝලික පල්ලිය ඉල්ලන්නේ ඇයි? ලංකාව තුළ තමන්ගේ වින්දිතයන්ට යුක්තිය ඉටුවන බව නොපෙනෙන නිසා ය. ඉටු වෙතැ’යි විශ්වාසයක් ද නැති නිසා ය.

මේ ඉරණමට ම මුහුණ පා සිටින ජනතාවක් ලංකාවේ සිටිති. ඒ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ය. පාස්කු දින ප්‍රහාරයට සිය දහස් ගුණයක් වැඩි යුද්ධයක වින්දිතයන් බවට පත්වී ඇතිවා වුණත්, තමන්ට යුක්තිය තවමත් ලංකාව තුළ ඉටු නොවීම නිසා, ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය යැයි ඔවුන් කියන විට, අද ජාත්‍යන්තරයට යන්නට හදන, එය සාධාරණය කරන බොහෝ එය ඒ දෙමළ මිනිසුන් සමග සිටියේ නැත. ඒ හැමෝ ම එය දුටුවේ දෙමළ ජනතාව බටහිර කුමන්ත්‍රණයකට නතු වී ඇති නියායෙනි.

එහෙත්, පීඩක රාජ්‍යයන් කවදාවත් රාජ්‍යය තුළ යුක්තිය නොදෙන බව තේරුම් නොගන්නා තාක් අපි හැමෝ ම පරාද ය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි