No menu items!
20.4 C
Sri Lanka
24 November,2024

ජනමාධ්‍ය මර්දනය ආයෙත්..

Must read

උතුරේ හැමදාම මර්දනය සිදුවෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම්


දකුණේ මාධ්‍යවේදීන් ඝාතනය වුණා වගේ ම උතුරු නැගෙනහිරත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා. මේ කිසිවකට යුක්තිය ඉටු වෙලා නෑ. චමුදිත සමරවික්‍රම මහත්තයාගෙ ගෙදර ගහපු ගමන් විශාල අවධානයක් ඒකට ලැබුණත් උතුරු නැගෙනහිර මේ වගේ මාධ්‍ය මර්දනයන් දිනපතාම ක්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදියා මොන විදිහට තමන්ගේ මතය තියාගෙන හිටියත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි පෙනීසිටිනවා. ඒ නිසා මාධ්‍යවේදීන්ට කතා කිරීමේ නිදහස තිබිය යුතුයි කියන තැන අපේ පක්ෂය ඉන්නවා.

ජීවිතවල වගකීම රාජය භාරගත යුතුයි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර


මාධ්‍යවේදීන් කියන්නේ සමාජයක වටිනාකමක් හිමිවිය යුතු චරිත. දේශපාලනීකරණය වූ මාධ්‍යවේදීන් වගේම ඇත්ත ඇති සැටියෙන් කතා කරන මාධ්‍යවේදීන්ටත් මේ මර්දනයන්වලට මුහුණ දීමට සිදුව තියෙන බව පැහැදිලියි. ඒ නිසා මාධ්‍යවේදීන්ගේ ජීවිතවල වගකීම සම්බන්ධයෙන් රාජ්‍යය මීට වඩා ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය දුර්වලයි කියලා හැඟෙනවා දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රශ්න එන විට. ඒ වගේම මාධ්‍යවේදීනුත් ඔවුන්ගේ වගකීම හරිහැටි හඳුනාගන්න ඕනෑ.

දඩ බල්ලන් බැඳ තබන්න
නීතිඥ සුනිල් වටගල


පසුගිය ජනවාරි 30 වන දා ජාතික ජනබලවේගයේ සමුළුවකට ප්‍රහාරයක් එල්ල කළා. ඒ මොහොතේ අපි පොලිස් ඇමතිවරයාට කිව්වා සමාජ ක්‍රියාකාරීන් එල්ල කරලා ක්‍රියාත්මක වන කල්ලි නවත්වන්න කියලා. ඒ සිදුවීම වෙලා සති එකහමාරකින් පමණ චමුදිතගේ නිවසටත් එවැනි ප්‍රහාරයක් එල්ල වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මට්ටු කරන්න තමයි මේ හදන්නේ. එක රටක් නීති ගොඩක් දැන් තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ වහාම ඔබලාගේ දඩ බල්ලන් බැඳලා තියන්න කියලා. ඔවුන් නඩත්තු කරන්නේ ආණ්ඩුවයි.

ස්වාධීන අයිතිය උල්ලංඝනය වෙලා
නීතිඥ නිශාම් කාරියප්පර්


මාධ්‍යවේදීන්ට වරින් වර එල්ල කරන ප්‍රහාර ජනතාවගේ කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීමක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව අදහස් ප්‍රකාශ කළාම ඒවා මොනවාද කියලා හොයන්නේ බලන්නේ නැතිව ඒ අයව අත්අඩංගුවට ගත්තා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බේදයකුත් නැතිව මාධ්‍යවේදියෝ ඇතුළුව ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අයව මර්දනය කරන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. චමුදිතට ප්‍රහාරයක් එල්ල කරන්නෙත් එයා ජනතාව දැනුවත් කරන ක්‍රමවේදය දැන් දැන් ආණ්ඩුවට නුරුස්සන නිසා වෙන්න පුළුවන්. දැන් කරන්නේ අදහස් දැනගැනීමේ හා ප්‍රකාශ කිරීමේ ස්වාධීන අයිතිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමක්.

අතීතයේ අඳුරු සේයා යළි මතුවෙනවා
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර


අතීතයේ තිබුණු යම් අඳුරු සේයාවන් දැන් දැන් මතුවෙමින් තිබෙන බවක් පෙනෙනවා. විශාල වශයෙන් ගොඩනැගිලා තිබෙන ජනතා අප්‍රසාදය එයට හේතුවක් විය හැකියි. තමා එම මතයට එකඟ නොවූවත් යමෙකුට සිය මතය ප්‍රකාශය කරන්න තියෙන නිදහස ශිෂ්ට සම්පන්න සමාජයක තිබිය යුතුම දෙයක්. පසුගිය දවස්වල සිදුවීම මාධ්‍ය ආයතන ගිනි තබපු, මාධ්‍යවේදීන් මහමග ඝාතනය කරපු අතීතය නැවත මතක් කර දීමට කළ දෙයකුත් විය හැකියි. මාධ්‍යවලට සමාජයක් තුළ නිදහස් ලබා දිය යුතුයි. විවිධ අණපනත් ගෙනැවිත් මාධ්‍යවේදීන් සිරකිරීම හෝ මෙවැනි ක්‍රියාවලින් බියගැන්වීම අයුක්තිසහගතයි.

යුක්තිය, සාධාරණය ඉටුවෙන්නේ නෑ
රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි


මම කුමනාකාරයෙන් හරි මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් සිදුකිරීම හෝ මර්දනය කිරීමට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. එය මම ප්‍රතික්ෂේප කරනවා සහ හෙළා දකිනවා. ලංකාවේ නීතියත් යුක්තියත් සාධාරණත්වයත් ඉටු වෙන්නේ නෑ. ඒක ඉතාම තදින් මාධ්‍යවේදීන්ට එරෙහිව බලපාලා තියෙනවා සහ මේ වෙලාවේත් බලපානවා. පොදුවේ ලංකාවේ ජනතාව ඉන්නේ පිළිසරණක් නැති අන්තිම අවදානම් අවස්ථාවක. එවැනි අවස්ථාවකදීත් මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරනවා නම් මම එය තදින් ම ප්‍රතික්ෂේප කරනවා.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි