‘ගැබක’ ස්ථාපන කලා ප්‍රදර්ශනය සහ බේකරිය කලා අවකාශය පෙබරවාරි 4 වැනිදා සවස 5ට විවෘත වේ.
විමසීම්, 0781842849, 0741209908
බේකරිය කියපු ගමන් මතකයට එන්නේ පාන් බනිස් කේක් වගේ දේවල්. හැබැයි අපි මේ කතා කරන්න යන පන්නිපිටියේ මහල්වරාවේ බේකරිය කීවාම මතක් වෙන්නේ වෙසක් කූඩුවක්. ඊළඟට මියුසික්. ලංකාවට වෙනස්ම සංගීතයක්, වෙනස්ම සවුන්ඩ් එකක් හඳුන්වලා දුන්න තැනක් තමයි බේකරිය. ‘ඝෝෂා’ නමින් ආපු ගීතදේවගේ මියුසික් මුලින්ම ඇහුණේ බේකරියෙන්. ‘ඩවුන්ටවුන් පල්ස්’ කියන්නේ බේකරියේ කලර් එක. විකල්ප සංගීතය කියලා රොක් අජිත් (අජිත් කුමාරසිරි) විතරක් දැනගෙන හිටපු කොළඹ හිපියන්ට (අගෞරවයෙන් නොව ආදරයෙන්) චින්තක ගීතදේව, සුදත්ත මාදව, ඉසුරු කුමාරසිංහ වගේ නෙක පාට විසල් සංගීත ලෝකයක් ඕපන් කළේ බේකරිය කීවොත් ඒක තමයි ඇත්ත. එහෙම මියුසික්වලින් වෙනස්ම කලාවක් කරන්න පටන් ගත්ත බේකරිය හැම අවුරුද්දකම අලුත් වෙමින් වේදිකාව, සිනමාව, චිත්‍රය වගේ අනෙකුත් කලාවනුත් බූවල්ලෙක් වගේ අල්ලගනිමින් මේ වෙනකොට දිග ගමනක් ඇවිත් තියෙනවා. කලාවෙන් තමයි මිනිස්සුන්ගෙ ඔළුගෙඩි හොඳටම වෙනස් කරන්න පුළුවන් කියන එක විශ්වාස කරන බොහෝ පිරිසක් බේකරිය අස්සේ ඉඳලා විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. ඉතිං මේ පෙබරවාරිය කියන්නේ බේකරිය අවකාශය අලුත් වෙන මාසෙට. මේ මාසෙන් පස්සේ බේකරිය අවකාශය කලාගාරයක් විදිහට පවතීවි. ඔව්, කලාව සඳහාම වෙන්වුණ ‘කලාකෘතියක්‘ වේවි. ඉතිං මේ මාසයේ වෙන වැඩ ගැන කතාකරන්න මමත් බේකරිය අවකාශය අස්සේ පොඩි රවුමක් ගැහුවා.
බේකරිය අවකාශයේ ස්ථාපිත වේදිකාවේ හිසට සෙවණක් සලසමින් පිරිසක් යුහුසුලුවෙන් වැඩ. තවත් පිරිසක් වළං වැඩක්. වළංවලින් වැසෙන සිවිලිම වෙනස් හැඩයක් බේකරියට ගෙනඑමින් ඉන්නවා. තවත් තැනක රිහර්සල් යමින් තිබෙන වේදිකා නාට්‍යයක්. තවත් තැනෙක සර්පයා (කේ කේ) සමග සල්ලාපයෙ වැටිලා ඉන්න තරුණයෝ පිරිසක්. මේක තමයි බේකරිය. මුලින්ම කතා කළ යුත්තේ කවුද? ඔහු තමයි ජනිත් වීරසිංහ.
ගැබක
මේ පෙබරවාරි 04 බේකරියේ දියත්වෙන කලා කාර්යය නැත්තං කලා වැඩ කන්ද නම් වෙන්නේ ‘ගැබක’ කියලා. මුලින්ම හිතුවා මේක ගැන ජනිත්ගෙන් අහන්න. ඊට කලින් ජනිත්ගේ කලා ඉතිහාසය පොඩ්ඩක් අවුස්සන්න.
‘මම 2012 තමයි උසස් පෙළ කළේ. ගම්පහ බණ්ඩාරනායකයේ. ඒත් එක්කම තමයි ඩවුන් ටවුන් ගැන අහන්න ලැබෙන්නේ. ඊට පස්සේ චින්තක ගීතදේවගේ, අජිත් කුමාරසිරිගේ මියුසික්වලට ආසා වෙලා ඒවා අහන්න සොයාගෙන යන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි බේකරිය අවකාශය හමුවීම. ඒ දවස්වල ඩවුන් ටවුන් පල්ස් හරහා බේකරිය හමුවීම මට ආශ්චර්යයක් වුණා. 2014 මම ශ්‍රීපාලියට තේරුණා. ෆිල්ම් තමයි මගේ විෂය. ඒ එක්කම 2016 ඩවුන් ටවුන් පල්ස් එකත් එක්ක බේකරියට චින්තක ගීතදේව එක්ක සෙට් වෙනවා. ඒ සෙට් වීම එක්ක තමයි ඉස්කෝලේ කාලේ ආසාවෙන් කරපු චිත්‍රයට ආයෙත් බහින්නේ. 2019 ඩවුන් ටවුන් එනවා, ආබාධිත වෙනවා, ඒ එක්කම ප්‍රේමයත් නැතිවෙනවා. ඔහොම ලොස්සෙකේ ඉන්නකොට තමයි පාස්කු ප්‍රහාරය සිද්ධවෙන්නේ. ඒ දවසේ මම ඇඳපු චිත්‍රයකුත් තියෙනවා. ඒ හුදෙකලාව අස්සේ තමයි ‘ගැබක’ කියන කන්සෙප්ට් එක ඔළුවට එන්නේ. ඊට පස්සේ ඉතිං දිගටම ඇන්දා. අවුරුදු තුනක් තුනහමාරක් ඇන්දා.’
‘ගැබක’ කියන්නේ බේකරිය අවකාශය කලාගාරයක් බවට හැරීමේ කතාවේ එක පැත්තක්. බේකරියේ කුටීර බිත්ති ජනිත්ගේ පාට සහ හැඩතල රේඛාවලින් හැඩිවෙලා. ගැබක කතාව තමයි බිත්ති කතාකරන්නේ.
‘මට ඕනෑ වුණේ මේ ජීවිතය කොටස් කිහිපයකට කඩාගෙන ඒක මේ බේකරිය අවකාශයේ රඳවන්න. මේ පටන් ගන්න තැන තමයි ගර්භාෂය. උපත. ඊළඟට පිටත ලෝකය, ජලය, ඊළඟට ළමා කාලය, මේ කුටීරයට තමයි පුස්තකාලය එන්නේ. මේ බිත්ති ගොඩක් ඇන්දේ ළමයි. මම ඒවා දැන් නැවත අඳිමින් ඉන්නවා. එතකොට එතන වර්ණ හැඩතල වෙනස්. ඊළඟට සමාජය, වේදිකාව ආශ්‍රිත පරිසරය තමයි ඒකට වෙන් වෙන්නේ. ඇතුළාන්තය සහ මරණය කියලා කොටස් හයකින් මේ අවකාශය වර්ණ ගැන්වෙනවා. සමහර බිත්තිවල චිත්‍ර එල්ලනවා. කැන්වස් එකේ ඇඳපුවා, පේපර් වර්ක් ඒ අස්සේ තියෙනවා. මට ඕනෑ වුණේ කලාගාරයක් කීවාම තියෙන සුදු බිත්තිය වෙනස් කරන්න. වෙනස් ආකෘතියක කලාගාරයක් නැත්තං සජීවී මහජන අවකාශයක් නිර්මාණය කරන්න.’
බේකරිය කලා කෘතියක්
ගර්භාෂ කුටීරයේ බිත්ති සිතුවම් සහ ඒ සිතුවම් අස්සේ දියවෙලා තියෙන පාට දිහා බැලුවාම මට අපේ පන්සල් චිත්‍රය මතක් වුණා. මස, මාංශය, රත්පැහැ කතාවක් ඒක. මෙහෙම චිත්‍රයෙන් හැඩිවෙන බේකරිය පෙබරවාරියෙන් පස්සේ සජීවී මිනිස් අවකාශය කියන තැනින් එහාට ගිහිං කලාගාරයක් වෙනවා. මට නම් හිතෙන්නේ බේකරිය කියන්නෙම කලාකෘතියක්. මේ කලාකෘතිය අස්සට ඔබ ආවොත් ඔබට සිනමාව, සංගීතය, චිත්‍රය, වේදිකාව, වීඩියෝ ආර්ට්, මේ හැම දෙයක්ම මුණගැහෙනවා. ඔබ මෙහි දියවුණොත් ඔබගේ ජීවිතයම වෙනස් වේවි.
‘මට ඕනෑ චිත්‍ර ජීවමාන කරන්න. මම මෙහෙම ඇඳගෙන යනකොට මෙතනට කස්ටිය එනවා. ඔවුන් එක එක දේවල් යෝජනා කරනවා. ඇඟිලි ගහනවා. ඒක අස්සේ තමයි මේක වැඩෙන්නේ. හැඩිවෙනවා ඉතිං.. මම අතුගානවා, ආයෙත් හැඩිවෙනවා. මම දැන් මෙහෙම මේක ගැන කතාකරන්නේ තවමත් මේ වැඩේ මගේ අතින් සිද්ධවෙන නිසා. මේක ඇඳලා ඉවරවුණාට පස්සේ මම මේගැන කතාකරන එකක් නෑ‘ ගැබක කියන්නේ ජනිත්ගේ ආවේශය. ආවේශයෙන් චිත්‍ර අඳින චිත්‍රකාරයෝ සුලබ නැහැ. ඉතිං ජනිත්ගේ ගැබක බලන්න කියවන්න රසවිඳින්න ඇහැක් පෙබරවාරියේ බේකරියට ආවොත්.
බේකරියේ රජ්ජුරුවෝ
බේකරියට ඇවිත් රාජා නැත්තං විරාජ් ලියන ආරච්චි එක්ක කයියක් නොගැහුවොත් කිම් කීවාලු. විරාජ් තමයි මේ සියලු දේවල් පිටුපස ඉන්න විසල් චරිතය. බේකරිය අවකාශය මෙහෙම ඇදගෙන යන්නේ රාජාගේ නැත්තං විරාජ්ගේ ශක්තිය නිසා කීවොත් අනෙක් මිත්‍රයෝ තරහා වෙන එකක් නෑ. ඉතිං පෙබරවාරිය ගැන විරාජ් එක්කත් පොඩි කයියක් ගැහුවා.
‘මේ කොවිඩ් අවුරුදු දෙක අස්සේ අපි නැවතත් අපි ගැන කල්පනා කළා. අපිට හැමදාම තිබුණේ ආර්ට් කරන්න තැනක් හදාගැනීමේ සිහිනයක්. ඉතිං ඒ නිසාම බේකරිය ටිකක් විධිමත් ක්‍රමයක් අස්සේ ස්ථාපනය කරන්න අපි කල්පනා කළා. අධ්‍යාපනික පැත්තට ටිකක් වැඩිපුර බර තියලා මේ වැඩේ කරන්න කල්පනා කළා. ගැබක කියලා පටන්ගන්නේ ඒක. අවුරුදු 3 1/2ක විතර මහංසියක් තමයි ගැබක කියන්නේ.‘
එළියෙ අවුල්, ප්‍රශ්න.. උඹලා බේකරිය කියලා සුරක්ෂිත ගුහාවක් හදාගත්තා ජීවත් වෙන්න.. මම පොඩි ප්‍රශ්නයක් වීසි කළා.
‘හිපි ව්‍යාපාරය ගනින් මචං ඒකටත් මුලින්ම කීවේ ඕක තමයි. ඔව්, මුලින්ම ගුහාවක් වගේ පෙනෙයි. හැබැයි කාලයත් එක්ක අපේ සංවාද මැදිහත්වීම් ගැන එළියේ සංවාදයක් හැදෙයි. බේකරියේ අවුරුදු 15ක විතර ඉතිහාසය අස්සේ අපි උත්සාහ කළේ කලා අවකාශයක් හදාගන්නවාට අමතරව වඩා ප්‍රගමනීය කලාවක්, වින්දනීය කලාවක් අපි ඇතුළෙන්ම කරන්නේ කොහොමද කියන එක අභ්‍යාස කරන්න. ඒ අභ්‍යාසයේ එක නවාතැනක් තමයි ගැබක.’
මේ පෙබරවාරියෙන් පස්සේ චිත්‍ර බලන්න කියවන්න විතරක් නෙවෙයි මිලදී ගන්නත් බේකරිය අවකාශයට ගියොත් ඇහැකියි. නාට්‍ය රිහර්සල් කරන්න, නාට්‍ය පෙන්වන්න, ඒ විතරක් නෙවෙයි කලාව ගැන බරට කියවන්න හොඳ පුස්තකාලයක්, මේ හැමදෙයක්ම තියෙන වඩා විධිමත් අවකාශයක් විදිහට බේකරිය මේ පෙබරවාරියෙන් පස්සේ හුස්ම ගනීවි. ඉතිං මේ පෙබරවාරි මාසයම කලාවැඩ පොදියක් ලෑස්තිකරගෙන බේකරිය බලන් ඉන්නවා. ඔබටත් පන්නිපිටිය මහල්වරාව බේකරියට ආවොත් කලාකෘතියක් අස්සේ දියවෙලා යන්න පුළුවන්.■