No menu items!
20.2 C
Sri Lanka
19 January,2025

යුක්තිය වෙනුවෙන් මම මාවම බිලිදුන්නා
සන්ධ්‍යා එක්නැළිගොඩ

Must read

කොණ්ඩය කියන්නේ කාන්තාවක් ආරක්ෂා කරන දෙයක්. වවන්න ලස්සනට තියාගන්න වගේම පරිස්සම් කරන්නත් කාන්තාවන් සැලකිලිමත් වෙනවා. ස්ත්‍රීන්ගේ පංච කල්‍යාණයෙනුත් එකක්නේ. ඒ කොණ්ඩය තමයි මම මගේ සැමියාගේ යුක්තිය වෙනුවෙන් බිලිදුන්නේ.

■ අමන්දිකා කුරේ

මීට වසර 12කට පෙර, එනම් 2012 ජනවාරි 24 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද තම සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය සොයායමින් සන්ධ්‍යා එක්නැලිගොඩ පසුගිය කාලය පුරාවටම කළ කැපවීම සුළුපටු නොවේ. එහෙත් අද දක්වාම ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගන්නට ඇය සමත් නොවූවාය. ප්‍රගීත්ගේ අතුරුදහන් කිරීම ගැන නඩුව තවමත් විභාග වෙමින් පවතියි. එනිසා වරදකරුවන් කවුදැයි කවුරුත් නොදනිති. ඒ අතර අධිකරණ භූමියේදීම ඇය ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුවගේ තර්ජනයට ලක්වුණාය. ඒ වරද වෙනුවෙන් ඥානසාර භික්‍ෂුව අධිකරණයෙන් සිරදඬුවම් ලද නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුට ජනාධිපති සමාව දුන්නේය. වර්තමාන ජනාධිපතිවරයා, ඥානසාර භික්‍ෂුව ජනාධිපති කාර්ය සාධක බලකායක සභාපති ධුරයට පත්කළේය.


එවැනි පසුබෑම් තිබියදීත් යුක්තිය ඉටුකරවා ගැනීම කෙරෙහි බලාපොරොත්තු අත නොහරින සන්ධ්‍යා පසුගිය ජනවාරි 24 වැනිදා, කොළඹ, මෝදර කාලි කෝවිලේදී සිය කෙස්වැටිය කපා දමමින් හින්දු ආගමේ එන ‘විරදම් පූජාව’ක් ආරම්භ කළාය. මේ ඒ ගැන කළ කෙටි කතාබහකි.

ඇයි ඔබ කොණ්ඩය කපන්න තීරණය කළේ?


මම අවුරුදු 12ක් තිස්සේ මගේ සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලලා අරගලයක නිරත වෙනවා. නොයෙක් ආකාරයෙන් මම ඒ අරගලය කළා. ඒ කියන්නේ අපරාධකරුවන් නීතිය හමුවට අරන් ඇවිත් ප්‍රගීත්ට යුක්තිය ඉෂ්ට කරන අරගලය. ඒ වගේ ම මේක පෞද්ගලික අරගලයක් නෙවෙයි. පොදු අරගලයක්. අතුරුදහන් කළ පුද්ගලයෙක්ට මේ පොළොවේ යුක්තිය ලැබෙනවා නම් එක පෞද්ගලික කාරණයකටත් වඩා පොදුවේ සමාජයටම බලපාන දෙයක්.

ජනමාධ්‍යවේදීන්ට වගේ ම අතුරුදහන් වුණු අය ඉන්න පවුල්වල ප්‍රජාවට එය යම් ජයග්‍රහණයක් කියලා මම හිතනවා. ඒක එක හේතුවක් වුණා මම කොණ්ඩය කපලා යුක්තිය ඉල්ලන්න.
ඒ වගේම මම පාරේ කළ අරගලයක් තිබුණා. පාරේ කළ යම් යම් ක්‍රියාමාර්ග තිබුණා. දෙවි පූජා තිබුණා. දෙවියන් වෙනුවෙන් කරපු පූජාව මම ස්ත්‍රී දේවතාවන් වෙනුවෙන් තමයි කළේ. මම 2012දී පාරට බැස්සේ යුක්තිය ඉල්ලලා මව්වරුන්ගේ දුක මව්වරුන්ට කියලා. අරගල කළ සහ ලෝකය වෙනුවෙන් දේවල් කළ ස්ත්‍රීන් තමයි මම එදත් තෝරා ගත්තේ. එහෙම ආව ගමනේ මේ ගෙවෙන්නේ 12 වැනි වසර. මේ වෙනකොට මට දැනුණා. මම කරගෙන ආව රටාවේ මොකක් හරි වෙනසක් කරන්න අවශ්‍යයි කියලා.


ඒ වගේම මම දැන් එක පැත්තකින් හුදෙකලා වෙලා තියෙනවා. ඊට හේතුව කොවිඩ් වෛරස ව්‍යාප්තිය වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් රාජපක්ෂලා නැවතත් බලයට පැමිණීම වෙන්න පුළුවන්. කුමක් හෝ හේතුවක් නිසා මාත් එක්ක හිටපු බොහෝ දෙනෙක් මේක අතහැරලා ගිහින් තියෙනවා. ඒ වගේම ගොඩක් අයගෙන් ඒක ගිලිහිලා තියෙනවා.


දැන් මට යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් කරන්න වෙලා තියෙන්නේ මොකක්ද? මාවම බිලි දෙන එක තමයි මට කරන්න වෙලා තියෙන්නේ.


ඒ අදහස සංකේතාත්මකව නිරූපණය කිරීමට තමයි එක හේතුවක් වුණේ මම කොණ්ඩය කපන්න.


මේක හින්දු ප්‍රජාවට අලු‍ත් දෙයක් නෙවෙයි. මේක ඔවුන්ගේ හින්දු ඇදහීමක්. ඒ නිසා විශ්වයේ සිටින බලගතුම කාන්තාවන් දෙදෙනා කියලා ඔවුන් පිළිගන්නා දෙදෙනා සමග මම මගේ යුක්තිය ඉල්ලන ගමන අලු‍ත් තැනකින් පටන් ගත්තා. එහිදී මම රැකගෙන ආ කොණ්ඩය මගේ සැමියා වෙනුවෙන් බිලිදුන්නා. ඒ තුළින් මා තුළ අලුත් බලාපොරොත්තුවක් ඇතිවුණා. ඒ වගේ ම මම ලෝකයට යුක්තිය ඉල්ලන්න අලුත් මානයක් විවර කරලා දුන්නා. මගේ ගමන් මගේත් මම අලුත් මාර්ගයක් සොයාගත්තා.

ඔබ ඔවැනි ක්‍රියාමාර්ගයකට යොමු වුණේ පවතින පද්ධතිය හරහා තවදුරටත් යුක්තිය ලබාගැනීමට නොහැකි බව ඔබ විශ්වාස කරන නිසාද?


හෙට දවසේ මේ රටේ අධිකරණ පද්ධතිය තුළ කුමක් සිදුවෙයිද කියන එක කාටවත් අනාවැකි පළකරන්න බෑ. මම නීතිගරුක හා මේ රටේ ව්‍යවස්ථාවට ගරුකරන කාන්තාවක්. ඒත් ඒ අධිකරණ පද්ධතිය කොයි ආකාරයෙන් ද හැසිරෙන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපට ස්වාධීන අධිකරණ පද්ධතියක් නෑ. සංවරණ හා තුලනය මේ රටේ නෑ. ව්‍යවස්ථාදාකයේ ඉන්න අයට සහ විධායකයට පුළුවන් වෙලා තියෙනවා අධිකරණය හසුරුවන්න. ඒ නිසා මම මෙවැනි දෙයකට යොමු විය යුතුම වුණා.

ඔබ තෝරාගත්තේ විරදම් පූජාව..


මම කලින් කිව්වා වගේම හින්දු අයට මේක අලු‍ත් දෙයක් නෙවෙයි. දමිළ අම්මලා මේ පූජාව කරලා තියෙනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් විරදම් පූජාව කළ හින්දු අම්මලා මට මුණගැහිලා තියෙනවා. මේක සිංහල සමාජයට අලුත් එකක්. විරදම් පූජාව කරලා විරදම් රැකීම තමයි කරන්නේ. පූජාව පැවැත්වුවාට පස්සේ කිසියම් කොන්දේසි කිහිපයක් රකිනවා. එහිදී කළ පත්තිනි මෑණියන්ගේ සහ කාලි මෑණියන්ගේ නාග සංදේශය වගේ දේවල් මගේ අදහස්. මම විවිධ අදහස් අහලා තියෙනවා විවිධ අයගෙන්. නමුත් මේ නාග සංදේශය වගේ එකක් නිර්මාණය කරපු එක මගේම අදහසක්. තව මට මේ වගේ අදහස් කිහිපයක් තියෙනවා. මම දන්නේ නෑ මට කවදා හරි ඒවා කරගන්න පුළුවන් වේවිද කියලා.


මම දන්නේ නෑ හරියටම මම ඒ පූජාව කළාද කියලා. මම අහලා දැනගෙන ඉඳපු දේවල් තමයි කළේ. සංකේතාත්මකව මේ පූජාව කරන එක තමයි මේකෙ මම බලපොරොත්තු වුණු හැඩය. මේ පූජාවේදී මට ගැළපෙන විදිහට කාලි මෑණියන් හා පත්තිනි මෑණියන්ගේ නාග සංදේශයක් රැගෙන යන කොටස සකස් කරගත්තා. කොණ්ඩය කියන්නේ කාන්තාවක් ආරක්ෂා කරන දෙයක්. වවන්න ලස්සනට තියාගන්න වගේම පරිස්සම් කරන්නත් කාන්තාවන් සැලකිලිමත් වෙනවා. ස්ත්‍රීන්ගේ පංච කල්‍යාණයෙනුත් එකක්නේ. ඒ කොණ්ඩය තමයි මම මගේ සැමියාගේ යුක්තිය වෙනුවෙන් බිලිදුන්නේ.

සමාජයෙන් මේ සඳහා විවිධාකාරයෙන් ප්‍රතිචාර ලැබී තිබුණා.


ඔව්. මට හැම ආකාරයෙන් ම ප්‍රතිචාර ලැබුණා. නමුත් ප්‍රධාන වශයෙන් ම මට අවබෝධ වුණු දෙයක් තමයි මම කරපු දේ දැනෙන්න ඕනෑ අයට දැනිලා තියෙනවා කියන එක. ඒ කියන්නේ මගේ වැඩේ සාර්ථකයි. කවුරු හරි මට මල් දෙන්නෙත් ගල් ගහන්නෙත් ඒක දැනුණු නිසා. මට විරුද්ධව සහ මට ගල් ගහපු අයට සමාජය විසින් ම ප්‍රතිචාර ලබා දීලා තිබුණා. සමහර පුද්ගලයන්ට අවශ්‍ය මොකක් හරි හේතුවක් අල්ලාගෙන මට ගහන්න. නමුත් මම දැන් ඒ දේවල් තැකීමක් කරන්නේ නෑ. මට ගල් ගහනවා වැඩි වෙනවා නම් ඒ ඔවුන්ට මම කරපු ක්‍රියාව දැනිලා තියෙනවා.


මම දැන් පටන් ගත්ත කාර්යය තවත් ඉතිරි ප්‍රමාණයක් තියෙනවා. මම කොණ්ඩය නිශ්චිත කාලයකට වවන්නේ නැතිව ඉන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම මම කළු අඳින්න තීරණය කළා.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි