No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

දහතුන ක්‍රියාත්මක කරවන්න
දමිළ පක්ෂ ඉන්දීය අගමැතිට ලියයි

Must read

■ අමන්දිකා කුරේ


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ විධිවිධාන සහිතව ක්‍රියාත්මක කරවීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින් ඉන්දියානු අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ දමිළ පක්ෂ හතක් විසින් ලිපියක් යොමු කිරීමට නියමිතය.
ඉන්දු ලංකා ගිවිසුවේ සඳහන් ආකාරයට තවදුරටත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකාවේ දමිළ භාෂාව කතා කරන ජනතාවට ලබා දුන් පොරොන්දු හා ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමක් ද වන බැවින් එලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.


උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයෙන් අත්පත් කරගැනීම නැවැත්වීම හා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරවීම තුළ දමිළ භාෂාව කතා කරන ජනතාවට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අභ්‍යන්තර ස්වයංනීර්ණ අයිතිය ද බලාපොරොත්තු වන බව වැඩි දුරටත් ලිපියේ සඳහන් ය.


මේ සඳහා දමිළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඒ සඳහා, තමිල් ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්), ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ජනතා ජාතික සන්ධානය (ටීපීඑන්ඒ), ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ, සහ දෙමළ ජාතික පක්ෂය (ටීඑන්පී) යන පක්ෂ විසින් අත්සන් තබා තිබේ. මෙම ලිපිය යැවීම සම්බන්ධයෙන් මුල සිට ම සාකච්ඡා වලට සම්බන්ධ වූ දමිළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා කඳුකරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන දමිළ පක්ෂ ලිපියේ සඳහන් ඇතැම් කරුණු වලට එකඟ නොවීම හේතුවෙන් අත්සන් නොකිරීම විශේෂත්වයකි.

මෙම ලිපිය තුළ ඉන්දියානු සම්භවයක් සහිත කඳුරට දමිළ ජනතාවගේ අභිලාෂයන් වලට අවධානයක් යොමු නොවීම නිසා දමිළ ප්‍රගතිශීලී පෙරමුණ මෙම ලිපියට අත්සන් කිරීමෙන් වැළකී තිබෙන අතර ෆෙඩරල් විසඳුමක් ඉල්ලීම හා ඒ තුළින් යම් ස්වයං නීර්ණයක් බලාපොරොත්තු වීම නිසා කඳුරට ජනතා පෙරමුණ මෙම ලිපියට අත්සන් කිරීමෙන් වැළකී තිබේ.


අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාම් කාරියප්පර් ප්‍රකාශ කළේ යම් නො එකඟතා මත මෙම ලිපියට සිය පක්ෂය අත්සන් නොතැබූවද දමිළ භාෂාව කතා කරන ජනතාව නියෝජනය කරන පක්ෂයක් වශයෙන් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.


පසුගිය නොවැම්බර් මාසයේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීම සඳහා ඉන්දියානු සංචාරයක නියැළුන ද ඉන්දියානු අගමැතිවරයාගේ කාර්යබහුලත්වය නිසා ඒ අවස්ථාව අහිමි වූ අතර පසුව දමිළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්ට ඉන්දීය අගමැතිවරයා හමුවීමට ආරාධනාවක් ලැබුණි.


නමුත් අප කළ විමසීමක දී, සම්බන්ධන් මහතාගේ පෞද්ගලික හේතුවක් නිසා එම ආරාධනය සිදු කළ දිනට සාකච්ඡාවට සම්බන්ධ නොවන බවත් ඒ වෙනුවට ඔවුන්ගේ ඉල්ලීම් ලිපියකින් ඉන්දියානු අගමැතිවරයාට දැනුම් දීමට නියමිත බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් පැවසුවේය.


මෙම ලිපිය ඉදිරියේදී ඉන්දියානු මහකොමසාරිස්වරයා හරහා ඉන්දියානු අගමැතිවරයාට යැවීමට නියමිත ය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි