17.7 C
Sri Lanka
21 January,2022

2022 රාජපක්ෂ සාපයේ නිමාවේ ඇරඹුම කිරීම

Must read

බැසිල් රාජපක්ෂගේ අලුත්ම සහන මල්ලට අරමුදල් සොයන්නේ කෙසේද යන ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට බලපාන්නේ නැත. ඔවුන් කරන්නේ මුදල් අච්චු ගැසීමය. වත්මන් ආර්ථික කඩා වැටීමට තුඩු දුන් තවත් මූලික හේතුවක් වනුයේ ලංකා ඉතිහාසයේ නොවූ විරු ලෙස වසරකට ටි්‍රලියන් ගණනින් මුදල් අච්චු ගැසීමයි.

වර්ෂ අවසාන ඇමරිකානු නිවාඩුවෙන් පසු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යළිත් ලංකාවට පැමිණියේ සිතූ – පැතූ සම්පත් දෙන සුරබිදෙනගේ විලාසයෙනි. 2022 පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දන්සැලක සිරි ගත්තේය. රාජ්‍ය සේවකයන්, සමෘද්ධිලාභීන්, හමුදා සාමාජිකයන් වැනි තීරණාත්මක සමාජ කොටස්වලට දීමනාත් පොදුවේ ජනතාවට විවිධ සහනත් එහි අන්තර්ගත විය.


දේශපාලනඥයන් (අනුන්ගේ ධනයෙන්) දාන පාරමිතාව පුරනුයේ මැතිවරණයක් ආසන්න වන විටය. රාජපක්ෂවරුන් කඩිමුඩියේම වෙස්සන්තරට ඇඳීමෙන් පෙනී යනුයේ 2022 මැතිවරණ වසරක් බවද?


අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා කෙතෙක් පුරසාරම් දෙඩුවද මෙරට විදේශ විනිමය අර්බුදයට තවමත් සහනයක් ලැබී නොමැත. චීනයෙන් අපට ලැබුණේ ඩොලර් නොව යුආන්ය. ඒවායින් යම් කොටසක් චීනයෙන් කරන ආනයනයන් සඳහා යොදාගත හැකිය. නමුත් රට පෙළන, කන්ටේනර් නෞකා 1500ක් පමණ වරායේ හිර කෙරෙන, බඩු මිලත් භාණ්ඩ හිඟයත් එක්වර උග්‍ර කරන ඩොලර් අර්බුදයට ඉන් පිළියමක් නොලැබුණි.


ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් ණය පහසුකම කෙලෙස හෝ ලබා ගැනීම රාජපක්ෂ පාලනයට අතිශයින්ම වැදගත් වනුයේ මෙම සංදර්භය තුළය. මේ වෙනුවෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු හා ආයෝජන පදනමින් ලබාදීමට සිදුවීම පිළිබඳව විශාල කතිකාවක් දේශපාලන සමාජයේ නිර්මාණය වී තිබේ. උතුරු-නැගෙනහිර දෙපළාත්වල හෝ පළාත් සභා මැතිවරණයන් පැවැත්වීම ඉන්දියාවේ තවත් ඉල්ලීමක් වූවා විය හැක. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉන්දියාව මෙයට පෙරත් කිහිප වතාවක්ම හොර රහසේ නොව ප්‍රසිද්ධියේම ලංකාවෙන් ඉල්ලා සිටියේය. චීනයේ බලයෙන් උද්දාම වී සිටි රාජපක්ෂවරුන් ඒ දිනවල ඉන්දියාව රුපියලකට දෙකකට වඩා මායිම් කළේ නැත.


නමුත් අද තත්ත්වය වෙනස් ය. ඉන්දියාවෙන් උපකාර නොලදහොත් ජනවාරි අග වන විට ලංකාවේ විදේශ විනිමය සංචිතය පතුලටම කිඳාබසිනු ඇත. මේ තත්වය යටතේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළා විය හැක. 2022 මුල්ම ඇමති මණ්ඩල රැස්වීම වෙස්සන්තර නාඩගමක සිරි ගත්තේ පළාත් සභා මැතිවරණය අරමුණු කරගෙන යැයි අනුමාන කිරීම තාර්කිකය.


සිංහල බහුතරයක් සහිත පළාත් කිහිපයක හෝ අනෙක් පක්ෂවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම රාජපක්ෂ අරමුණ විය හැක. විපක්ෂය අවම හෝ එකඟතාවක් ඇති කරගත නොහැකි තරමට බෙදී ඇති තත්වයක් තුළ මෙම ඉලක්කයට ළඟාවීමේ යම් හැකියාවක් රාජපක්ෂවරුන්ට ඇත. සහන මල්ල ගෙනාවේ ඒ හැකියාව තවත් වර්ධනය කරගැනීමට විය යුතුය.


රටේ සිව් කොණින්ම රාජපක්ෂ පාලනයට බරපතළ විරෝධයක් තිබේ. මෙම විරෝධය රාජපක්ෂ පවුල් පක්ෂය වූ පොදු ජන පෙරමුණ තුළටත් පාලක සන්ධානය තුළටත් කාන්දු වී ඇත.


ප්‍රාදේශීය සභා මට්ටමින් පොදු ජන පෙරමුණ අයවැය ඡන්දවලින් පරාජය වීමේ ප්‍රවණතාව ඉදිරියටම ඇදෙමින් පවතී. ගතවූ සති දෙකක පමණ කාලය තුළ මෙවැනි අයවැය පරාජයන් ජාඇළ නගර සභාවේ (තුනෙන් දෙකකින්), රත්නපුර ප්‍රාදේශීය සභාවේ හා ළිඳුල නගර සභාවේ (දෙවනි වරටත්) අත්විඳීමට පොදු ජන පෙරමුණට සිදුවිය. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමත් මෙම අභ්‍යන්තර අර්බුදයේ ප්‍රකාශනයකි.


නමුත් මෙම විරෝධය විපක්ෂයේ ඡන්ද පදනම ඉහළ යාම දක්වා පරිවර්තනය වේද යන්න ප්‍රශ්නයකි. එවැනි පරිවර්තනයක් ඉබේම සිදුවීමට ඇති ඉඩකඩ අඩුය. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කලකිරීමෙන් හා කෝපයෙන් සිටින ඡන්දදායකයන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් විපක්ෂයට තිබිය යුතුය. එසේ නොමැති නම් රාජපක්ෂවරුන්ගෙන් හැලෙන ඡන්ද වෙනත් පක්ෂයකට නොගොස් ‘ඡන්දය භාවිත නොකළ’ ගොඩට එක්විය හැක.


2022දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් එය කෙලෙස හෝ ජය ගැනීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණ වනු නියතය. ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග තුළින් 2022 වසරේ ජාතික හා ජනතා පලාඵල බොහෝ දුරට තීන්දු වනු ඇත.

ශ්‍රී ලංකාධීශ්වර කතා වස්තුව


කුඩා දරුවන් සබන් පෙණ බෝලවලට දක්වන ආශාවත් රාජපක්ෂවරුන් විවිධ නම්බුනාමවලට ඇති ආශාවත් අතර වැඩි වෙනසක් නැත. පාලක පවුලේ වාසනාවට එවැනි නම්බුනාම නිර්මාණය කිරීමේ අපරිමිත හැකියාවක් සිංහල-බෞද්ධ සංඝ සමාජය සතුය. මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට එවැනි නම්බු නාම ප්‍රදානය කිරීමට විවිධ සංඝ සභාවන් ඒ දිනවල ක්‍රියා කළේ තරගයට මෙනි. ඔහු විටෙක ත්‍රිසිංහලාධිපති විය; තවත් වරෙක විශ්වය ජයගත් නායකයා විය; හිරු හා සඳු ද විය.


දැන් ගෝඨාභය ජනපතිවරයාගේ වාරයයි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ඔහුට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ නාමය පිරිනැමිණි.


වැදගත්ම කාරණය නම් නම්බුනාමය පිළිගනිමින් ඔහු කළ කතාවයි. “මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම මා හට පැවරී ඇති පරම වගකීම බව මා තරයේ විශ්වාස කරනවා” යයි ඔහු සිය කථාවේදී කියා සිටියේය.


දේශපාලකයන්ට වැලේ වැල් නැතිව ගිය විට ඉතිරි වනුයේ රට, ජාතිය හා ආගමයි. ඇමරිකාවේ එවකට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් Black Lives Matter උද්ඝෝෂණ රැල්ලට ප්‍රතිචාර දැක්වූයේ ධවල මන්දිරය ආසන්නයේ ඇති පල්ලියකට ගොස් බයිබලය (වැරදි අතට) ඔසවා පෙන්වීමෙනි. මැතිවරණයක් ආසන්න වන විට ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ඉස්ලාම් – විරෝධය හා පකිස්තානු – විරෝධය ඉස්මතු කරයි. තුර්කියේ ආර්ථික කඩා වැටීම වේගවත් වන තරමටම එරට අගමැති අර්දොවාන්ගේ ඉස්ලාම්-ප්‍රේමයත් තීව්‍ර වේ.


2022 මැතිවරණ වසරක් නම් එම අභියෝගයට මුහුණදීම සඳහා සිංහ කොඩියේ හා බෞද්ධ කොඩියේ පිහිට පැතීම රාජපක්ෂ උපාය විය හැකි බව ගෝඨාභය ජනපතිවරයාගේ කතාවෙන් ඉඟි කෙරේ.


අන්‍ය වාර්ගිකයන්ට හා ආගමිකයන්ට තර්ජනය කිරීමෙන් නොනැවතී හිමිවරුන් දෙදෙනකුගේ අතපය කඩන බවට, උස්සා පොළොවේ ගසන බවට අසැබි වචනයෙන් ගර්ජනා කළ ගලගොඩ අත්තේ ඥානසාර බොදු බල සේනා නායකයාට රටේ නීතිය වෙනස් කිරීමේ වගකීම භාරදීම මෙරට සිංහල බෞද්ධ උරුමය රැකීමේ කොටසක් ද යන පැනය වෙනම කතාවකි. බැසිල් ඇමතිවරයා වෙස්සන්තරට අඳින විට ජනපතිවරයා දුටුගැමුණුට අඳින බව ඔහුගේ කතාවෙන් පෙනේ. ප්‍රතිනිර්මාණයේදී දශ මහා යෝධ චරිත හිමිවනුයේ ගලගොඩ අත්තේ ඥානසාර පන්නයේ භික්ෂූන්ටය. යළිත් මුස්ලිම්-විරෝධි (හෝ දෙමළ – විරෝධි) ගිනිදැල් අවුළුවා ඒ හරහා සිංහල සමාජයේ අවධානය සැබෑ ආර්ථික ප්‍රශ්නවලින් වෙනතකට යොමු කිරීම ‘රජ පවුලේ’ සැලැස්ම විය හැක.
සහන මල්ලෙන් හා ජාති ආලයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාණවත් නොවන විට එම හිදැස පිරවෙනු ඇත්තේ මර්දනයෙනි.


මිරිහානේ කිරිපිටි පෝලිමේ කතාව මෙයට උදාහරණයකි.


වැදගත්ම ප්‍රශ්නය නම් කිරිපිටි පෝලිමේ සිටි ඇතැමුන් ජනපතිවරයාට හූ කීවාද නැද්ද යන කතාව නොවේ. එවැනි හූ සංග්‍රහයක් නොලැබුණා යැයි සිතමු. එසේ නම් ජනපතිවරයාගේ හා පොලිසියේ ක්‍රියාකාරීත්වය වඩාත් ප්‍රශ්නකාරීය.


පොලිස් ප්‍රකාශකයා කියන්නේ කුමක්ද? ජනතාව කිරිපිටි පෝලිමේ සිටින්නේ මන්දැයි සොයා බලන ලෙස ජනපතිවරයා දුන් උපදේශයක් අනුව මිරිහාන පොලිසිය ජුබිලි කණුවේ කිරි වෙළඳ සැලට පැමිණි බවයි.


ජනපතිවරයා ජනපතිකම් කරනුයේ මොන රටේද? දැනට මාස ගණනක සිට මෙරට කිරිපිටි හිඟයක් ඇති බව ඔහු නොදන්නවා නම් ඔහු ජනපතිකම් කරන්නේ ලංකාවේ විය නොහැක.


පොලිසියේ ප්‍රකාශය සත්‍ය නම් එයින් පෙනීයනුයේ ජනපතිවරයා රටේ තත්වය හෝ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ලාංකිකයන් අතිබහුතරයක් මුහුණ දෙන යථාර්ථයට මුළුමනින්ම ආගන්තුක චරිතයක් බව නොවේද?


ජනතාව කිරිපිටි පෝලිම්වල ඉන්නේ විනෝදයට නොව දැඩි කිරිපිටි හිඟය නිසා බව ජනපතිවරයා නොදන්නේ නම් එයින් පැන නගින අතුරු ප්‍රශ්න ගණනාවකි.


මෙරට ගෑස් හිඟයක් ඇති බවත්, ජනතාව රට පුරාම ගෑස් පෝලිම්වල සිටින බවත්, ගෑස් ලොරියක් නවත්වා ගෑස් සිලින්ඩර් කිහිපයක් පැහැර ගැනීමේ පුවතක් කොළඹ 7න් වාර්තා වූ බවත්, ඇතැම් ප්‍රදේශවල ගෑස් බෙදාහැරීම සඳහා පොලිස් ආරක්ෂාව අවශ්‍යව ඇති බවත් ඔහු දන්නේද?


සිමෙන්ති හිඟය පිළිබඳව, එළවළු හිඟය පිළිබඳව ඔහු දන්නවාද? සහල් මිල පිළිබඳව, දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබේද? කිරිපිටි හා ගෑස් පෝලිම්වල කල් ගතකිරීම සඳහා නිවාඩු ඉල්ලන තත්වයට රාජ්‍ය සේවකයන් වැටී ඇති බව ඔහු දන්නේද?


කිරිපිටි පෝලිමට හේතු සෙවීමට කිරිපිටි වෙළෙඳසැලට ගිය පොලිසිය කළ සොයා ගැනීම අතිවිශිෂ්ටය. පොලිස් නිවේදනයේ වචනවලින් කියනවා නම් පෝලිමට හේතුව ‘අලෙවි සැල මගින් කිරිපිටි නිෂ්පාදන නිකුත් කිරීමේදී ඇතිවන ප්‍රමාදයත් එක් කවුළුවකින් පමණක් නිෂ්පාදන අලෙවි කිරීමත් බව නිරීක්ෂණය වී ඇත.” කිරිපිටි හිඟයට හේතුව මෙලෙස (රාජපක්ෂ ඥානයෙන්) වටහාගත් පොලිසිය ඊට විසඳුම්ද ලබාදී ඇත. ඒ නම් පැල්වත්ත කිරිපිටි සමාගමේ වෙළෙඳසැල් ප්‍රමාණය වැඩි කිරීමය.


දැන් කිරිපිටි ප්‍රශ්නය නිවාරණය. තවදුරටත් කිරිපිටි පෝලිම්වල සිටින්නෝ දේශද්‍රෝහීහුය; ආණ්ඩුව පෙරළීමට තැත් දරන කුමන්ත්‍රණකරුවෝය. ඔවුන්ට සලකන ක්‍රමයත් පොලිසිය දනී.


කිරිපිටි පෝලිමේ සිදුවීම පිළිබඳව මුහුණු පොතේ වූ සටහනක් බෙදා ගත් ආශා දිල්රුක්ෂි පෙරේරා නම් කාන්තාවක සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගේ නිවසට පැමිණ ඇත්තේ ඒ අනුවය. ජනපතිවරයාට අපහාස කිරීම ඇයට එල්ල වූ චෝදනාවයි.
ජනපතිවරයාට අපහාස කරන අයට එරෙහිව තමන් ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඉන් අනතුරුවය. ජනපතිවරයා උපහාසයට ලක් කරන සටහන් සමාජ මාධ්‍යයේ ලියන හෝ ඒවා බෙදා ගන්නා ලාංකිකයන්ගෙන් සියයට එකක් හෝ අත්අඩංගුවට ගන්නවා නම් ඔවුන් රඳවා ගැනීමට මෙරට පොලිස් ස්ථාන හා සිරගෙවල්/කඳවුරු ප්‍රමාණවත් නොවනු ඇත.


ජනපතිවරයාට ‘අපහාස’ කරන්නවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නීතිමය බලයක් පොලිසියට නොමැති බව පොලිස්පතිට එරෙහිව වාහලතන්ත්‍රී නම් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව උපුටා දක්වමින් තිෂ්‍ය වේරගොඩ නීතිඥවරයා සඳහන් කර ඇත.


‘නිල මර්දනය’ සඳහා ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොමැති නම් ‘නොනිල මර්දනය’ දියත් කිරීමට රාජපක්ෂවරුන්ට හැක. උතුරු – නැගෙනහිර දැනටත් එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක වේ. මාධ්‍යවේදීන්ට හා ක්‍රියාකාරිකයන්ට පහරදීම එහි සුලබය. ගතවූ නොවැම්බර් 29 වැනි දින මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මුල්ලිවයික්කාල් නාම පුරුව කැමරාගත කරමින් සිටියදී හමුදා සාමාජිකයන් පිරිසක් ඔහුට පහර දුන් බව වාර්තා වේ. කටුකම්බි එතූ පොල්පිති දකුණේ භාවිතයට ගැනෙන දිනයක් නොඒයැයි කාට නම් කිව හැකිද?


ඉන්දීය බලපෑම නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රාජපක්ෂවරුන්ට සිදුවුවහොත් එය ජයගැනීමට නීතිය තුළ හා ඉන් පිටත සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් පසුබට නොවනු ඇත.


ප්‍රශ්නය නම් මෙම අභියෝගයට මුහුණදීමට විපක්ෂය සූදානම්ද යන්නය.

විකල්පය යනු පුද්ගලයකු හෝ නායකයකු නොව වැඩපිළිවෙළකි


රාජපක්ෂවරුන් වන්දනාමාන කරන අගතිගාමී රාජපක්ෂවාදීන් හැරුණු විට අන් සියල්ලන්ම ආණ්ඩුව හොඳටම ෆේල් යන සත්‍යය පිළිගන්නවා නොඅනුමානය.
මූලික වශයෙන්ම රාජපක්ෂවරුන්ගේ නිර්මාණයක් වූ සුවිශේෂී ලාංකීය අර්බුදයට විපක්ෂයේ විසඳුම කවරේද යන්න රට දැනගත යුතු කාලය පැමිණ ඇත.


රාජපක්ෂවරුන් නිර්මාණය කළ ආර්ථික අගාධයෙන් රට බේරා ගැනීම පහසු නොවේ. ඒ වෙනුවෙන් ගන්නා පියවර ජනතාවට මිහිරි අත්දැකීම් නොවනු ඇත. මෙහිදී මතුවන මූලික ගැටලුවක් නම් රට ගොඩනැගීමේ ආර්ථික බර ජනතා කොටස් අතර බෙදී යන ආකාරයයි.
උදාහරණයක් ලෙස වත්මන් අර්බුදයට මූලිකම හේතුවක් වූයේ ගෝඨාභය – මහින්ද – බැසිල් පාලනය 2019 අග ක්‍රියාත්මක කළ බදු කප්පාදුවයි. මේ තත්ත්වය ආපසු හැරවීමට නම් බදු පදනම යළි ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා වක්‍ර බදු (භාණ්ඩ හා සේවා මත පනවන විවිධ බදු) විශාල ලෙස වැඩි කළහොත් ආර්ථිකය ගොඩනැගීමේ වැඩි බර, දැනටත් අහේනියෙන් පීඩිතව සිටින අඩු හා මැදි ආදායම්ලාභී ජන කොටස් මත පතිත වනු ඇත. ඍජු බදු හා වක්‍ර බදු අතර යම් සමතුලිතතාවක් නිර්මාණය කිරීම සඳහා ඍජු බදු වැඩි කළහොත් ඉහළ ආදායම්ලාභීන් හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඊට එරෙහි වනු ඇත.
මෙවැනි දුෂ්කර තීන්දු තීරණ හා තෝරාගැනීම් පිළිබඳ පැහැදිලි දැක්මක් විපක්ෂයට තිබිය යුතුය; ඒ දැක්ම පිළිබඳ ඡන්දදායකයන් දැනුවත් කිරීමට විපක්ෂය ක්‍රියා කළ යුතුය. විපක්ෂයට ඇත්තේ විවේචන, සටන් පාඨ හා සුන්දර පොරොන්දු පමණක් නම් රාජපක්ෂවරුන්ගෙන් ගිලිහී යන ඡන්දදායකයන් මැතිවරණ ක්‍රමයෙනුත් ආන්තික වීමේ හා රාජපක්ෂවරුන්ටත් වඩා අගතිගාමී කහ චීවර – හමුදා නිල ඇඳුම් වැනි අනර්ථකාරී සංයෝගයන්ට ආසක්ත වීමේ අවදානමක් ඇත.


බැසිල් රාජපක්ෂගේ අලුත්ම සහන මල්ලට අරමුදල් සොයන්නේ කෙසේද යන ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට බලපාන්නේ නැත. ඔවුන් කරන්නේ මුදල් අච්චු ගැසීමය. වත්මන් ආර්ථික කඩා වැටීමට තුඩු දුන් තවත් මූලික හේතුවක් වනුයේ ලංකා ඉතිහාසයේ නොවූ විරු ලෙස වසරකට ටි්‍රලියන් ගණනින් මුදල් අච්චු ගැසීමයි.


වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේදී රජයේ වියදම් කප්පාදුව අනිවාර්ය වනු ඇත. ප්‍රශ්නය නම් මෙම කප්පාදුව කෙරෙන්නේ කොතැනින්ද යන්නය. එක විකල්පයක් නම් කිසිදු තාර්කික හේතුවකින් තොරව ඉතා ඉහළ මට්ටමක පවතින ආරක්ෂක වියදම් කප්පාදු කිරීමයි. නමුත් මේ සඳහා අවශ්‍ය දේශපාලනික හා මානසික ශක්තිය විපක්ෂයට තිබේද යන්න ප්‍රශ්නයකි. ආරක්ෂක වියදම්වලට අත නොතබනවා නම් කප්පාදුවට ගොදුරු වනු ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශයි. එය රටේ සංවර්ධනයටත් ජනතාවගේ ජීවිතවලටත් අනිටු ලෙස බලපානු ඇත.


මෙවැනි දුෂ්කර තෝරා ගැනීම් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේත්, සමාජයේත් පුළුල් කතිකාවක් ඇතිවිය යුතුය. ජනාධිපති අපේක්ෂකයන් තීරණය කිරීමට පෙර මේ නරාවළෙන් ගොඩ එන ක්‍රමය පිළිබඳව හා පශ්චාත් රාජපක්ෂ අනාගතයේ දිශානතිය හා ස්වරූපය පිළිබඳව යම් මට්ටමක පොදු එකඟතාවක් ඇති කළ යුතුය.


සෝභිත හිමියන් විසින් නිර්මිත දැනට කරු ජයසූරිය හිටපු කතානායකවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයත් ජවිපෙ/ජාතික ජන බලවේගයත් අනාගතය සඳහා වූ යෝජනා මාලාවල් දෙකක් ඉදිරිපත් කිරීම අතිශයින් කාලීන හා සාධනීය පියවරකි. මෙම යෝජනා සර්ව සම්පූර්ණ නැත; ඒවා සර්ව සම්පූර්ණ විය යුතුද නැත. ආර්ථිකය, ජනපති ක්‍රමය, සමාජීය ප්‍රශ්න, ජනවාර්ගික ගැටලුව වැනි මාතෘකා පිළිබඳ බුද්ධිමය හා ප්‍රායෝගික යන දෙපැත්තම ආවරණය වන සංවාදයන්ට මෙම යෝජනාවලි තුළින් දොරටු විවර කර ඇත.


දේශපාලනයේ, සැබෑ ජීවිතයේ ගැලවුම්කාරයන් නොමැත; ප්‍රාතිහාර්ය පාන්නන්ද නොමැත. අප මෙතෙක් කළේ නායකයෙකු තෝරාගෙන අනාගතය සිතියම් කිරීමේ වගකීම ඔහුට හෝ ඇයට බාරදීමයි. නමුත් රාජපක්ෂවරුන්ට සැබෑ විකල්පයක් මේ ක්‍රමයෙන් නිර්මාණය කළ නොහැක. සජිත්ද? රනිල්ද? අනුර කුමාරද? වැනි ප්‍රශ්නයකින් පටන් ගන්නවා වෙනුවට මේ වත්මන් කඩා වැටීම නතර කිරීමට අලුතින් යමක් ගොඩනැගීමට කළයුත්තේ කුමක්ද යන තැනින් පටන්ගත යුත්තේ එබැවිනි. විකල්ප අනාගතයක පදනම නායකයකු නොව වැඩපිළිවෙළකි. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි