No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

රාජපක්ෂ කුසලානයට නැති
කොරෝනා නීති ගාල්ලට

Must read

‘සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අවසරය දුන්නේ සෞඛ්‍ය පුරුදු යටතේ ප්‍රේක්ෂකයන් සහභාගි කර ගන්න කියලා. නමුත් එම අවස්ථාවේ කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැදලා නැහැ. සෙනග පුරවලා මාස්ක් නැතුව, එකට තෙරපි තෙරපි මිනිස්සු දහස් ගණන් රැස් කරන්න නෙමෙයි අවසරය දුන්නේ. මේකෙන් ලොකු අපහසුතාවකට සියලු දෙනාම පත් වෙලා තියෙනවා. මේවා සංවිධානය කරන්නෙ රටේ ඉහළම වගකිව යුතු පුද්ගලයෝ. පිරිස එක් රැස් කරමින් සෞඛ්‍ය පුරුදු නොසලකමින් තීරණය කරපු පුද්ගලයන් මේකෙ වගකීම බාර ගන්න ඕනෑ. මේවාවල ප්‍රතිඵලයක් විදිහට රෝගීන් වැඩි වෙලා කොවිඩ් පොකුරු බිහි වෙලා රට වහන්න සිද්ධ වුණොත් ක්‍රීඩා කරන්න නෙමෙයි රටේ මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි. මේ සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.”

■ ඇන්තනී වෙරංග පුෂ්පික

නොවැම්බර් 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.


කොරෝනා තත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රේක්ෂකයන්ගේත් ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීහු පැවසූහ. තරගය ආරම්භ වූ දිනයේ ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම අසලට ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටියත් පොලීසිය මැදිහත් වී එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය. එමෙන්ම වෙනත් දිනයන්හි ගාල්ල කොටු පවුරට පැමිණ විවේකීව කාලය ගත කරමින් එහි සුන්දරත්වය විඳින්නට හැකි වූවත් ශ්‍රී ලංකා බටහිර ඉන්දීය පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමත් සමග ගාල්ල කොටු පවුර උඩට ඇතුළුවන සියලුම ස්ථානවලට පොලීසිය යොදවා ගාල්ල කොටු පවුර ද තහනම් කලාපයක් කිරීමට ක්‍රියා කොට තිබුණි. ඊට හේතුව ලෙස ද පොලීසිය කියාසිටියේ කොරෝනා වසංගතය පාලනය කිරීමට මෙවැනි පියවරක් ගත් බවයි. මේ නිසා එදිනෙදා තම පවුලේ සාමජිකයන් සමගින් විවේකීව කාලය ගත කිරීමට ගාල්ල කොටු පවුරට පැමිණෙන සියලු දෙනාටමද ආපසු හැරී නිවස බලා යෑමට සිදු විය. ඈත පළාත්වලින් ගාල්ල කොටුව නැරඹීමට බොහෝ දෙනෙකු පැමිණ සිටි අතර ඒ අයට ද කොටු පවුරට ගොඩ වීමට අවසර හිමි වූයේ නැත. කොටු පවුර නැරඹීම සඳහා පැමිණ සිටි විදේශීය සංචාරකයන් ද නැවත හරවා යැවීය. ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගය නැරඹීම සඳහා ආශාවෙන් සිටි තරුණ පිරිස් ක්‍රීඩාංගණය වටා ඇති දැල්වල එල්ලීගෙන සහ ගාල්ල බස් නැවතුම්පොලේ උඩු මහලේ සිට තරගය නරඹන ආකාරය දැක ගැනීමට හැකි විය.


වෙනත් දිනයන්හි නොමැති කොරෝනා අවදානමක් ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ආරම්භ කිරීම හේතුවෙන් එක පාරටම මතු වීම පිළිබඳව බොහෝ දෙනෙකු විමතියට පත් වූ අතර මේ පිළිබඳව දැඩි දෝෂාරෝපණයක් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් මෙන්ම ගාලු කොටුවට ඇතුළු වීමට නොහැකි වූ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් එල්ල විය. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍යවල විවේචනය වන්නට වීමත් සමග තරගයේ තුන්වන දිනය වන විට ගාලු කොටු පවුර සියලු දෙනාටම විවෘත වූ අතර තරගයේ හතරවන දිනය වන විට ටෙස්ට් තරගය නැරඹීම සඳහා කොන්දේසි සහිතව ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය.


මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානාධිපති කපිල සේනාධිපති ද සිල්වා කියා සිටියේ මෙවන් අදහසකි.


”මේ සම්බන්ධව අපි කිසිම දැනුවත්භාවයක් නැහැ. මේ තීරණය ගත්තේ අපි නෙවෙයි. අපිට ලැබුණ උපදෙස් අනුව තමයි අපි ක්‍රියා කළේ. තරගය පැවැත්වීමට දවස් ගණනකට කලින් ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමග පැවති රැස්වීම්වලදී සාකච්ඡා කෙරුණේ කණ්ඩායම්වල ඉන්න ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල ජෛව බුබුලක ඉන්න නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රීඩාංගණයට සහ ගාලු කොටු පවුර මතට පැමිණීම නතර කිරීමටයි. පසුව මේ තත්වය ප්‍රායෝගික නොවන බව පෙනී ගිය නිසා ගාලු කොටුවට පැමිණීමට නැවත අවස්ථාව ලබා දුන්නා.”


මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාවේ සභාපති ෂම්මි ද සිල්වා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.


නැවත වතාවක් කොරෝනා රෝගය උත්සන්න වෙමින් දිනෙන් දින රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින මොහොතක කොරෝනා රෝගය පාලනය කිරීමේ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම කළ යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නොමැත. ගැටලුව වන්නේ කොරෝනා මාර්ගෝපදේශ සහ නිරෝධායන නීති සෞඛ්‍ය උපදෙස් මත ක්‍රියාත්මක නොවී දේශපාලනඥයන්ගේ හිතුමනාපයන්ට අනුව ක්‍රියාත්මක වීමයි.


ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ආරම්භවීමට දින පහකට පෙර එනම් නොවැම්බර් 19 දා කොළඹ තුරඟ තරග පිටියෙහි පැවැත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර ආරාධිත පිරිමි පාපන්දු තරගාවලියෙහි අවසාන මහා තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර තරගය නැරඹීම සඳහා අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි අතර කිසිදු නිරෝධායන නීතියක් මේ සඳහා අදාළ වූයේ නැත. අවම වශයෙන් මුහුණු ආවරණයක් හෝ බොහෝ දෙනෙකු පැළඳ නොසිටි බව නිවසේ සිට තරගය නැරඹූ ඕනෑම පුද්ගලයෙකුට දැක ගැනීමට හැකි විය. මෙලෙස අමු අමුවේම සෞඛ්‍ය නීති සතයකට මායිම් නොකොට අති විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් අනාරක්ෂිත ලෙස හැසිරුණේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද තරගය නරඹමින් ප්‍රේක්ෂාගාරයට වී ඉන්නා අවස්ථාවේදී ය.


මේ සම්බන්ධයෙන් අනිද්දා කළ විමසීමක දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ කීවේ, මෙවැනි තරගයක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.


‘ෆුට් බෝල් මැච් එක තියෙනවා කියලා කොවිඩ් කාර්ය සාධක බලකාය රැස් වෙලා ගත්ත සාකච්ඡාවෙදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිතුමා ප්‍රකාශ කළා. මේ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් අවසරයක් ගන්න තමයි එතැනදි කතා වුණේ. ඒකට අදාළව අවසරය ගත්තා ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළා කියලා නම් අපිත් පැහැදිලිවම දැක්කා. ඊට පස්සෙ අපි දැක්කා එතුමා ප්‍රකාශ කරනවා ක්‍රීඩාංගණය ඇතුළට ගත්තේ එන්නත් විදලාද නැද්ද කියලා පරීක්ෂා කරලා කියලා. නමුත් ඒ කියන විදියට එන්නත් විදලාද නැද්ද කියලා පරීක්ෂා කරන්න සෞඛ්‍ය අංශවල සම්බන්ධයක් නම් තිබුණේ නෑ. දැන් අපිට බිම් මට්ටමේ මිනිස්සුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන්න බැරි තරම් දේශපාලනඥයෝ පූර්වාදර්ශ සපයලා තියෙනවා. මේක නරක තත්වයක්. මේ වගේ දේවල්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නම් අවසර දීලා නැහැ. රටේ නීති දෙකක් ක්‍රියාත්මක කරන්න බෑ. සාමාන්‍ය ජනතාවට තියෙන නීතියයි මේ වගේ දේවල්වලදී තිබෙන නීතියයි දෙකක් කියලා හොඳටම පැහැදිලියි. මේ වෙද්දී අපිට මිනිස්සුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන්න බැරි තැනටම තල්ලු වෙලා ඉවරයි. මේ සම්බන්ධව අපේ අප්‍රසාදය පළ කරලා අවශ්‍ය දැනුම් දීම් කරලා තියෙනවා. නමුත් ඒවාට ඇහුම්කන්දෙන බවක් නම් පෙනෙන්න නැහැ. මේ විදිහට ගියොත් ඉදිරියේ දී අපි රාජකාරි කරන එකෙනුත් වැඩක් නැති වෙයි.’


අප කළ විමසීමකදී මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.


‘සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අවසරය දුන්නේ සෞඛ්‍ය පුරුදු යටතේ ප්‍රේක්ෂකයන් සහභාගි කර ගන්න කියලා. නමුත් එම අවස්ථාවේ කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැදලා නැහැ. සෙනග පුරවලා මාස්ක් නැතුව, එකට තෙරපි තෙරපි මිනිස්සු දහස් ගණන් රැස් කරන්න නෙමෙයි අවසරය දුන්නේ. මේකෙන් ලොකු අපහසුතාවකට සියලු දෙනාම පත් වෙලා තියෙනවා. මේවා සංවිධානය කරන්නෙ රටේ ඉහළම වගකිව යුතු පුද්ගලයෝ. පිරිස එක් රැස් කරමින් සෞඛ්‍ය පුරුදු නොසලකමින් තීරණය කරපු පුද්ගලයන් මේකෙ වගකීම බාර ගන්න ඕනෑ. මේවාවල ප්‍රතිඵලයක් විදිහට රෝගීන් වැඩි වෙලා කොවිඩ් පොකුරු බිහි වෙලා රට වහන්න සිද්ධ වුණොත් ක්‍රීඩා කරන්න නෙමෙයි රටේ මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි. මේ සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.”


වසර 15කට පසුව ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසාන මහා තරගය දක්වා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පැමිණීම පිළිබඳව ලාංකිකයන් ලෙස පාපන්දු ක්‍රීඩාවෙ ඇති වී තිබෙන පිබිදීම පිළිබඳව හදවතින්ම සතුටු විය යුතුය. ඒ පිළිබඳව විවාදයක් නොමැත. ගැටලුව වන්නේ වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය නීති කඩ කරමින් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලීමත් මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානයට එක් නීතියකුත් ගාල්ලේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරමින් රටේ නීතිය පිළිබඳව සහ නීතිය ක්‍රියාත්මක කරවන ආයතන පිළිබඳව රටේ ජනතාව තුළ ඇති විශ්වාසය නැවත නැවතත් පලුදු කිරීමයි. එමෙන්ම ජනතාව ඉදිරියේ දිනෙන් දින හාස්‍යයට ලක් වන්නේ එක් රටක් එක් නීතියක් නොවේදැයි නැවත වතාවක් සිතා බැලිය යුතුය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි