No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

මගේ ඉලක්කය සාෆ් කුසලානය
ලංකාවට ගෙනඒමයි
ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩක
ජූඩ් සුමන්

Must read

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්.

■ අමන්දිකා කුරේ

ක්‍රීඩකයෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්නේ බොහෝ දේවල් කැපකරලා. ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික දේවල්, විවේක කාලය වගේම අධ්‍යාපනයත් සමහර වෙලාවට මගහැරෙනවා. නමුත් ක්‍රීඩකයන් අතලොස්සක් තමන්ගේ ක්‍රීඩා කටයුතු සමග අනෙකුත් කටයුතුත්, විශේෂයෙන් ම අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යනවා. හොකී, බැඩ්මින්ටන්, ටෙනිස් වැනි ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන් බොහෝ විට සමබරතාවකින් සිය කටයුතු කරගෙන යන නමුත් ක්‍රිකට්, පාපන්දු, රග්බි වැනි ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයන්ට අධ්‍යාපන කටයුතු අගහැරීමට ඇති ඉඩකඩ වැඩියි. විශේෂයෙන් ම ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට බොහෝ දේවල් කැප කරලා ඒ තැනට එන්න සිදු වන නිසාම අධ්‍යාපන කටයුතු පවා ඇතැම් විට මග හැරෙන්න පුළුවන්. කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයන් සිය ක්‍රීඩාව සමගම උසස් අධ්‍යාපන කටයුතුත් කරගත්තා. නමුත් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ නම් එවැනි ක්‍රීඩකයන් සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. මේ වන විට පාපන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ජූඩ් සුමන් එවැනි ක්‍රීඩකයෙක්.


ජූඩ් සුමන් ජාතික කණ්ඩායමට එක්වන්නේ 2018 වසරේදී. ඔහු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා උපාධියක් හදාරන තෙවන වසරේ සිසුවෙක්. තමන් ක්‍රීඩාවට යොමු වුණු පසුබිම ගැන ජූඩ් ”අනිද්දා” සමග මෙසේ අත්දැකීම් බෙදාගත්තා.


”මම වසය අවුරුදු 10 දි තමයි පාපන්දු සෙල්ලම් කරන්න පටන් ගත්තේ. මගේ අයියලා දෙන්නෙක්ම පාපන්දු සෙල්ලම් කළා. එයාලා සෙල්ලම් කරනවා දැකලා ආස හිතිලා මමත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මම ගියේ යාපනයේ ඉලවලෛවල තියෙන ශාන්ත හෙන්රි විද්‍යාලයට. අපේ ඉස්කෝලෙ පාපන්දුවලට ගොඩක් ප්‍රසිද්ධයි.”


සහෝදර සහෝදරියන් රැසක් ඉන්න පවුලක ඉපදුණු සුමන්ගේ පවුලේ කිහිප දෙනෙක්ම ක්‍රීඩාවල නිරත වෙනවා. ඔහුගේ එක් සහෝදරියක් නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඇය දැනට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඊට අමතරව සුමන්ගේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වන සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කර තිබෙනවා.


”මගේ අයියා ඥානරූබන් විනෝත් මට කලින් ජාතික කණ්ඩායම නියෝජනය කළා. ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලයේ ඔහුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියක් උසස් අධ්‍යාපනයට හදාරන ගමන් තමයි ඔහු ක්‍රීඩා කළේ”


සුමන් උසස් පෙළ සඳහා පෙනී සිටින්නේ 2018 වසරේදි. ඔහුව ජාතික කණ්ඩායමට තේරෙන්නෙත් ඒ වසරේ. ”මම උසස් පෙළට සූදානම් වුණේ ඉතාම අඩු කාලයකින්. මාස තුනක් වගේ පාඩම් කළේ. මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනී හිටියා. මගේ වැඩ සමබරව කරගෙන යන්න මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වෙනකොටත් මගේ සහෝදර සහෝදරියන් විවිධ ක්‍රීඩාවල නිරත වෙලා හිටපු නිසා පවුලේ අයට යම් අවබෝධයක් තිබුණා”


එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්. ඔවුන් දෙදෙනාට අමතරව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකුත් මේ වන විට පාපන්දු ජාතික සංචිතය නියෝජනය කරනවා. මේ වන විට සුමන්ගේ සහෝදරයා ජාතික කණ්ඩායමෙන් ඉවත්ව ගොසින්.


සුමන් 2015 සිට ක්‍රීඩා සමාජ හරහා පාපන්දු ක්‍රීඩාවේ නියැළී තිබෙනවා. ඊට අමතරව ඔහු පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ජයග්‍රහණ රැසක් ලබා ගෙන තිබෙනවා. අවුරුදු 30කට පස්සේ තමන්ගේ පාසල වෙත ජාතික මට්ටමේ ජයග්‍රහණයක් සිය කණ්ඩාමේ නායකයා වශයෙන් ක්‍රීඩා කරමින් ගෙනඒමට සුමන් සමත් වෙනවා. ඒ පාපන්දු පාසල් ශූරතාවේදී අනුශූරයන් බවට පත් වෙමින්. නැවතත් වසර 40කට පසු ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි 2018 වසරේ ශූරයන් වීමට උතුරු පළාත් පාපන්දු කණ්ඩායමට හැකි වුණා. සුමන් හා ඔහුගේ සහෝදරයා ඥානරූබන් ඒ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.


ජූඩ් සුමන් පළමුවෙන්ම ක්‍රීඩා කර තිබෙන්නේ Solid FC ත්‍ක්‍ ක්‍රීඩා සමාජයටයි. 2015 සිට 2018 දක්වා එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන ඔහු 2018 දී Renown SC ක්‍රීඩා සමාජය සමගින් එක් වෙනවා. පාපන්දු සංගමය විසින් 2019 දී පැවැත් වූ පාපන්දු ශූරතාවලියේ Renown SC ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙන්නේ ද ජූඩ් සුමන් විසින්.


”මගේ පළමු ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේ 2018 දී බංග්ලාදේශයට එරෙහිව. එතකොට මගේ වයස අවුරුදු 19යි. පළමු වරට ජාත්‍යන්තර පිටියේ ගෝලයක් රැස් කරගත්තේ 2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ නේපාලයට එරෙහිව”


”මට පාපන්දු ජීවිතයේ අමතක නොවනම සිදුවීම තමයි 2019 බංග බන්ධු රන් කුසලානය වෙනුවෙන් බංග්ලාදේශය සමග පැවති තරගයේ දී මටත් මගේ සහෝදරයාටත් එකට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට ලැබීම. මට පාසල් කාලයේ ගොඩක්ම ක්‍රීඩාව ගැන කියලා දුන්නේ මගේ අයියලා දෙන්නා. අයියා සමග ක්‍රීඩා කරන්නට ලැබීම ලොකු සතුටක්”


”මම කුඩා කාලයේ ක්‍රීඩාවල නියැලෙන කොට අපේ පවුලට පොඩි පොඩි ආර්ථික අපහසුතා තිබුණා. නමුත් ඒ දේවල් ක්‍රීඩාවට බාධාවක් කර නොගෙන මම ඇතුළු මගේ පවුලේ ක්‍රීඩාවල නිරත වෙන අය ක්‍රීඩාව කරගෙන ගියා. පස්සෙ කාලෙක අයියලා මට පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන්න ගොඩක් උදවු කළ. මට උදවු කළ අයගෙන් මට අමතක නොවන චරිතයක් තමයි මාස්ටර් සුමිත් කියන්නේ. මම අවුරුදු 15න් පහළ සංචිතයේ සිටි කාලයෙ වගේම 19න් පහළ සංචිතයේ සිටි කාලයේ, මම ජාතික කණ්ඩායමට ඇතුළත් වන තුරුම පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළා. ඔහු මට ගොඩක් උදවු කළා ක්‍රීඩා හැකියාවන් දියුණු කරගන්න. දැන් ඉන්න කණ්ඩායමෙනුත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.”


පසුගිය දිනවල මාලදිවයිනේ පැවති දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය සඳහා ද ජූඩ් සුමන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. එහිදී හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මේ දිනවල ඔහු ප්‍රතිකාර ලබාගෙන යාපනයේ නිවසට වී විවේකීව සිටිනවා.


ජූඩ් සුමන් යාපනයේ ඉඳන් ජාතික කණ්ඩයමට එකතු වුණු දක්ෂ ක්‍රීඩකයෙක්. තවමත් වයස තවමත් වයස අවුරුදු 23ක් වන ඔහුට තවත් ඉදිරියට ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙනවා. තමන්ගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්නයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ තිබෙන අනාගත බලාපොරොත්තුව ගැන සුමන් අවසාන වශයෙන් මේ විදිහට කිව්වා.


”මගේ අනාගත ඉලක්කය වසර ගණනාවකින් ලංකාවට ගේන්න බැරිවුණු දකුණු ආසියානු පාපන්දු ශූරතාව ලංකාවට දිනලා දෙන එක”■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි