No menu items!
22.8 C
Sri Lanka
8 October,2024

රට නගන්න රජෙක් හොයන
රාජ මිථ්‍යාව

Must read

ජනතාව විසින් බලයෙන් පහකරනු ලැබීමට පෙර බි්‍රතාන්‍යයන් විසින් රැගෙන ගිය නිසා, ශ්‍රී ලාංකික අපගේ සිතෙන් මිථ්‍යාවක් වන ‘සුන්දර රාජ සිහිනය’
තවමත් පහව ගොස් නොමැත.

සිංහල රාජ වංශයට අයිති වන්නේ යැයි සැලකෙන රජවරුන්ගෙන් 7 දෙනෙකු ඉන්දියාවේ උපත ලද දේශීය සම්භවයක් නොමැති අයයි. සිංහාසනාරූඪ වූ අයගෙන් 26 දෙනකු බලයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටි රජු බලයෙන් පහකර දැමීමෙනි. ලක් ඉතිහාසයේ තමන්ට පෙර සිටි රජු මරාදමා බලයට පැමිණි රජවරු
29 දෙනෙකි.

■ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අනේ කුහුඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ
අපට නැත එන්නේ
ඒ නිසාවෙනි අපි තැවෙන්නේ

රජෙකු ලැබුණෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤම්
පෙරහැර කරඤ්ඤම්
සාදු නාදෙන් ගිගුම් දෙඤ්ඤම්


නුවර රජකම් කළ ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කළ පසු, එකල විසූ කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතළය. නන්දා මාලිනිය ‘පවන’‍ ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරළියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ වේදිකාවල මෙම කව ගිරවුන් මෙන් ගැයූ ඇතැම් ‘ලලනාවෝ’‍, රට කිරීමට රජෙකු පැතූහ. ඒ මෙම කව ලියූ හිමිනම ගැන හෝ ලංකාව පාලනය කළ රජවරුන්ගේ බහුතරයකින් රටට සෙතක් වීද නැද්ද යන්න ගැන නිසි අවබෝධයකින් තොරව විය යුතුය.


පළමුව මෙය ලියූ කුංකුනාවේ ධම්මරක්ඛිත හිමිනම ගැන විමසමු. 1963 වර්ෂයේ එම්.ඩී. ගුණසේන සමාගම විසින් පළකරන ලද ඇම්. මේලියස් සිල්වා මහතාගේ ‘අපේ අන්තිම රජතුමා’ පොතෙහි, කුංකුනාවේ හිමිනම ගැන වැදගත් තොරතුරු රැසක් ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වන්දිභට්ට කවි කීමට තිබු කවිකාර මඩුවේ සාමාජිකයෙකුවූ උන්වහන්සේ වඩා ප්‍රසිද්ධව සිටියේ වස් කවි කීමටය. නුවර නාථ දේවාලයේ වහලට බාධාවක්වූ බෝ අත්තක් උන්වහන්සේ වස්කවියක් කීමෙන් ඉවත් කළ බව එහි සඳහන් වේ. මල්වත්තේ මහනාහිමි පුද්ගලික තරහකට කුංකුනාවේ හිමිනම සිටි වල්ලාගල පන්සලින් ඉවත් කළ විට, උන්වහන්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සෙත් පතා පාලි බසින් ‘රාම සංදේශය’ නම් කව් පොතක් ලිවීය. තමන් අතිශයෝක්තියෙන් වර්ණනා කෙරෙන ගාථා හැටකින් යුතූ එයින් සතුටුවූ රජ, උන්වහන්සේට අලු‍ත් පන්සලක් තනාදුනි. එමනිසා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුද්දන් විසින් පැහැරගෙන යනු ලැබීම ගැන උන්වහන්සේ දුක්වීම සාධාරණය. උන්වහන්සේ බි්‍රතාන්‍යයන් විසින් සිරගත කළ බැව් සනාථ වන මූලාශ්‍රයක් මට හමුවී නැත. මුක්කමක් සහිත මුහුණක් තිබූ, විපත් ගෙනදෙන වස්කවි ලියූ උන්වහන්සේ අමනාප කරගැනීමට රජ පවා බියවිය. ගැමි විශ්වාසයන්ට අනුව වස්කවි ලියන්නෙකුගෙන් සෙත්කවි ලියාගැනීම ඉතා අසුබය. ඔවුන් සිතන ආකාරයට එවන් කවියකින් සිදුවන්නේ අවැඩකි. වස්කවියක් බඳු මෙම කවිය අපට අවැඩක් කර ඇත්තේ එය ‘රට නැගිය හැක්කේ රජෙකුට පමණි’‍ යන මිථ්‍යාව හොඳින් ජනගත කර ඇති නිසාය.


ලංකාවේ සිටි රජවරුන් නිසාත්, රාජවංශයන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කළ නිසාත් ලංකාව චිරාත් කාලයක් තිස්සේ ලොවෙහි මුදුන් හිනිපෙත්තේ වැජඹුණු බව ශ්‍රී ලංකික බොහෝ දෙනාගේ විශ්වාසයයි. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් ජනගත වී ඇති මිථ්‍යාව වන්නේ ‘වසර දෙදහස් පන්සියයක් තිස්සේ මේ උතුම් දිවයින සිංහල, බෞද්ධ, ධාර්මික, අභීත, ජනතා සුවසෙත සැලසූ රජවරු පාලනය කර විජාතිකයන්ගෙන් රැකගෙන නිර්මල, ථෙරවාදී බුදුදහමද ආරක්ෂා කළෝය.’ යන්නයි. ‘අනාගතයේදීද මේ රට ලොව විශිෂ්ටතම දේශයක් කළ හැක්කේ එවන් රජකුට පමණි.’ යන්නයි. ලංකාවේ සත්‍ය ඉතිහාසය දෙස විමසිල්ලන් නොබැලීම මෙම වැරදි වැටහීමට හේතුවයි. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීම කළ යුතු කල එළඹ තිබේ.


විජය රජුගෙන් ඇරඹෙන ලාංකික රාජවංශය අවසන් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙනි. මේ කාලය තුළ ලංකාවේ අගනුවර ලෙස පැවති ස්ථානයන්හි රජවූ රජවරුන් ගණන 182කි. මෙම අය අතුරින් ඉතිහාසයේ සනිටුහන් වන යමක් කළ රජවරුන් ඇත්තේ 10කට අඩු වැඩි ප්‍රමාණයකි. ඒ පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, වසභ, මහාසේන, ධාතුසේන, සීගිරි කාශ්‍යප, විජයබාහු, පණ්ඩුකාභය, සවැනි පැරකුම්බා, මායාදුන්නේ, රාජසිංහ රජුන් පමණි.


සිංහල රාජ වංශයට අයිති වන්නේ යැයි සැලකෙන රජවරුන්ගෙන් 7 දෙනෙකු ඉන්දියාවේ උපත ලද දේශීය සම්භවයක් නොමැති අයයි. සිංහාසනාරූඪ වූ අයගෙන් 26 දෙනකු බලයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටි රජු බලයෙන් පහකර දැමීමෙනි. ලක් ඉතිහාසයේ තමන්ට පෙර සිටි රජු මරාදමා බලයට පැමිණි රජුන් 29 දෙනෙකි. අප රජවරුන් අතුරින් 39 දෙනෙක් සෙනෙවියන්, තම සොයුරන්, දරුවන් හෝ තම බිරිඳ අතින් ඝාතනය වූහ. තවත් එක් රජෙකු (කානිරජානුතිස්ස, ක්‍රි.ව. 30-33) මිහින්තලා විහාරයේදී භික්ෂූන් වහන්සේලා හැට නමකගේ මුෂ්ටි ප්‍රහාරයකට ලක්ව අසීරුවෙන් දිවිගලවා නොගත්තේ නම්, මෙම ලැයිස්තුව තවත් එකකින් දිගුවනු ඇත. අප රජුන් අතුරින් ආක්‍රමණිකයන් අතින් ඝාතනය වී ඇත්තේ කිහිපදෙනෙකි. 23 දෙනෙක් අභ්‍යන්තර කැරලි කෝලාහල නිසා බලයෙන් පහවූහ. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයවූ අනුරාධපුර යුගයේ විසූ රජවරුන්ගෙන් දෙදෙනෙකු මියගියේ බීමත්කමිනි. මෙයට නුවර යුගයේ නරේන්ද්‍රසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ එක්වූ විට ලංකාවේ රජවරුන්ගෙන් 4 දෙනෙක් ප්‍රසිද්ධ බේබද්දෝ වූහ. අනුරාධපුරයේ රජවරුන්ගෙන් 4 දෙනෙක් සතුරන් සමඟ යුදයට ගොස් පරාජය වී සිය දිවි හානි කර ගත්හ. ඒ පරසතුරන් සමඟ නොව තම රටෙහි සතුරන් සමඟ සටන් කොටය.
වසර 2300 පමණ වන අප ඉතිහාසයෙන් බි්‍රතාන්‍යයන් යටත් කර ගැනීමට පෙර කාලයේදී පවා වසර 181ක් සිරිලක අගනුවර පාලනය කළෝ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝය. ලංකාවේ රජවරුන් බොහොමයක් විජාතිකයන්ට විරුද්ධව සටන්කොට රට රැකි බවද අසත්‍යයකි. විජාතික ආක්‍රමණිකයන් පන්නා දමා බලයට පැමිණ ඇත්තේ රජවරුන් 6 දෙනකු පමණි. මෙයට ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන්කළ දඹදෙණි පරාක්‍රමබාහු, මායාදුන්නේ, සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය හා දෙවැනි රාජසිංහ රජවරුන්ද එක්කළ විට එය 10කට අඩුවැඩි ගණනක් වේ.


විජය රජු ලංකාවේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම රජු වුවත් ඔහුගේ ක්‍රියාකලාපය අගය කරන අයෙකු නැති තරම්ය. අපගේ විමසුමට ලක්වන රජවරුන් අතරින් අගය කළ යුතු රජෙකු ලෙස ජනගත වී ඇති පළමු රජු පණ්ඩුකාභයයි. ඒ අනුරාධපුරය නගරය ගොඩනැගීමත්, ලංකාවේ ප්‍රථම වැව යැයි සැලකෙන බසවක්කුලම තැනීමත් නිසාය. එතුමා ලංකාවේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් හා ඉන්දියානු සංක්‍රමණිකයන් එක්කොට සිංහල ජාතියට අඩිතාලම දැමුවේ යැයි මතයක් මෑත කලෙක ඇතිවී තිබේ. එතුමා පවා බලයට පැමිණියේ තම මාමාවරුන් 8 දෙනෙකු සහ මහා පිරිසක් මරා දමාය. අවසන් යුද්ධයේදී කැපූ හිස් ලබු ගෙඩි මෙන් එකතු කළ ‘ලබ්බුගාමක’‍ අද දින ලබුනෝරුවයි.


දේවානම්පියතිස්ස රජු ලංකාවේ බුදුදහම ස්ථාපිත කිරීමට කළ මෙහෙය අතිමහත්ය. ඉන්පසු දුටුගැමුණු, සද්ධාතිස්ස දෙබෑයන් අබෞද්ධ එළාර පලවා හැර රට එක්සේසත් කළ අයුරු මහාවංශයේ මැනැවින් පැහැදිලි කරයි. එයට පරම්පරා තුනකට පසු වළගම්බා රජු දවස නැවත පරසතුරෝ අගනගරය යටත් කර ගත්තෝය. වළගම්බා රජු රට නැවත අත්පත් කරගැනීමට සටන් කළ නමුත්, දැඩි මානයෙන් යුතු අයෙකු නිසා, ඔහුගේ සෙබළු කිහිපවිටක් ඔහුට විරුද්ධව කැරලි ගැසුවෝය. මහායානය ලංකාවේ ස්ථාපිත වීමට මුල්වූ අභයගිරිය තැනුවේ එතුමාය. මෙයින් ථෙරවාදයට වන හානිය වටහාගත්, නියඟයකින්ද බැටකෑ භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ රාජ්‍ය අනුග්‍රහයෙන්, අගනුවර වූ අනුරාධපුරයේදී නොව, ඇමතිවරයෙකුගේ උදවුවෙන් මාතුල දනව්වේ දිය.


අනුරාධපුර යුගයේ විසූ රජවරුන්ගෙන් අවම වශයෙන් 10 දෙනෙක් මහාවිහාරයට පිටුපා, ථෙරවාදයට වඩා මහායානයට උදවු දුන්හ. මෙයිනුත් මහාසේන රජුගේ අනුග්‍රහයෙන් ලෝවාමහාපාය කැබලි වුණි. මහාසේන ප්‍රසිද්ධියට පත්වුණේ විශාල වැව් තැනූ නිසා වුවත් මහා වංසය ඔහුගේ කතාව සමාප්ත කරන්නේ හොඳ නරක දෙකම කළ රජෙකු ලෙස සඳහන් කරමිනි. මින්නේරි දෙවියන් ලෙස වැඳුම් ලබන එතුමා, මියයන විටද මහායානය අත් නොහැරි බැව්, මහා වංස කථාවෙන් පැහැදිලිවේ.


වසභ රජු ගැන බොහෝ අය නොදැනගත්තත්, ඊට පෙර රජකළ සුබ රජු මරා බලයට පැමිණි ඔහු, විශාල වාරිකර්මාන්ත ආරම්භ කළේය. පරදේසක්කාර සතුරන් පලවා හැර, කලාවැව වැනි මහා වාපි කර්මාන්ත කළ නිසා ගෞරවයට පාත්‍ර වන ධාතුසේන රජතුමාද, නොකළ වරදකට තම සොයුරිය පණපිටින් පුළුස්සා දැමීමටද, අහිංසක තවුසෙකු පණපිටින් වළලා දැමීමටද තරම් සැහැසි විය. අවසානයේදී තම පුතුගේ අණින් කලාවැවේ බැම්මට තබා වැළලුණු එතුමාගේ පුත් කාශ්‍යප, සීගිරිය තනා ඉතිහාසගත වුවත්, තම සොයුරා සමඟ යුද වැද සියදිවි හානි කරගත්තේය.


මේ රජවරුන් අතර මහා විජයබාහු අද්විතීය ස්ථානයක් ගනී. රජෙකුට දාව නොඉපිද, දකුණු ලක දුෂ්කර පෙදෙසක ගඩාගෙඩි කමින් ජීවත්ව, තම උත්සාහයෙන් ගරිල්ලා හමුදාවක් තනා, ඉන්දුනීසියාව දක්වා තම බල පරාක්‍රමය පතුරුවා සිටි චෝල අධිරාජ්‍යය පරාජය කිරීමට එතුමාට හැකිවිය. සසුනට වැඩ කළද, මහා දාගැබ් නොතැනූ නිසාදෝ, එතුමාගේ නම විරු නාමාවලියේ සඳහන් වන්නේ මඳක් පහළිනි. වැවු අමුණු තනා රට සශ්‍රීක කළ, බුරුමයට පවා පහරදුන්, බලවත් ශාසන සංශෝධනයක් කළ මහා පරාක්‍රමබාහු රජතුමා අපගේ ගෞරවයට පාත්‍රවේ. එහෙත් එතුමා ජනතාවගෙන් අධික ලෙස බදු අයකළ බව, ඉන්පසු බලයට පැමිණි රජවරුන්ගේ සෙල්ලිපි කිහිපයකින් පැහැදිලිවේ. රුහුණෙහි පැවති රාජධානිය විනාශකොට, එහි අගනුවර මුළුමනින්ම ගිනිබත් කොට, නැවත හිස නොඔසවන තැනට බිම හෙළීමට, විජාතික භටයන්ගෙන් සැදි හමුදාවන් එතුමා යෙදවූ අයුරු ‘පුරාතන රෝහණය’‍ ග්‍රන්ථයෙහි ආචාර්ය අලු‍ත්වැව සෝරත හිමි මැනැවින් පැහැදිලි කරයි.


අපගේ ඉතිහාසය, විමසිල්ලෙන් හදාරා පාඩම් උගත යුතු විෂයයක් නොකොට, නොවිමසා පිදිය යුතු පූජා භාණ්ඩයක් බවට පත්කිරීම, මෑත කාලීන ප්‍රවණතාවකි. මෙම ප්‍රවණතාවේ ප්‍රතිඵලයක් ලෙස පරම සුන්දර දශරාජ ධර්මයෙන් රජ කර, අප රට නැවතත් ලොවෙහි උතුම් රට බවට පත්කරන රජෙකු සොයමින් අද දින ලාංකිකයෝ අඳුරෙහි අතපතගාති. 15 වෙනි සියවසේ ලියැවුණු ‘පැරකුම්බා සිරිත’‍ කව් පොතෙහි සඳහන් වන කවි පදයක් ඇසුරින් 1950 දශකයේ සිට ජනතාව තුළ පැළපදියම් කළ ‘දියසෙන් කුමරු’ මිථ්‍යාවද මෙයට පොහොර දමයි. අද දින ලාංකිකයන්ට වඩා තම රජුන් ගැන යථා අවබෝධයකින් සිටි අනුරාධපුර යුගයේ මිනිසුන්, ගරු කළයුත්තන්ට ගරු කළත්, රජවරුන්ට වන්දනාමාන නොකළ බව මහාවංසයේ ඔවුන් හැඳින්වෙන වන ඇතැම් නම්වලින් පැහැදිලි වේ. වංකනාසික (ඇද නහයක් ඇති) තිස්ස, චෝර (හොර) නාග, ගෝථාභය (මිටි අභය), කුඨකණ්ණ (ඇද කනක් ඇති) තිස්ස මෙවන් නම් වේ. එනමුත් ඇතැම් රජවරුන්ගේ ගුණාංග අගය කිරීමටද ඔවුන් පසුබට නොවූ වග සමහර රජවරුන්ගේ පූර්ව නාමවලින් පෙනේ. සධ්ධා (ශර්ධාව ඇති) තිස්ස, වෝහාරික (නීති ගරුක) තිස්ස, ආමන්ද (සිත් සතුටු කළ) ගාමිණී මෙවන් නම් වේ.


පාලි බසින් ලියැවුණු නිසාදෝ වත්මන බොහෝ දෙනා ‘මහාවංසය’ වංස කතාවක් ලෙස නොසලකා ආගමික ග්‍රන්ථයක් ලෙස පුදති. එනමුත් මහාවංස කතුතුමා පවා රජවරුන්ගේ ක්‍රියා දෙස වියුක්තව බැලූ බව මහාවංසයේ එක් එක් පරිච්ඡෙදයෙහි සමාප්ත වාක්‍යයන් කියවන විට පැහැදිලි වේ. උදාහරණයක් ලෙස විජය රජුගේ කතාව අවසන් කරෙන්නේ ඔහු ‘විෂම වූ සිය පෙර සිරිත් අතහැර’ රාජ්‍යය කළ බව පැවසීමෙනි. ලංකාවේ රජකළ රජවරුන් දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනීයන්නේ මෙරටට විශිෂ්ට සේවයක් කළ රජවරුන් අතලොස්සක් සිටියද, බහුතරයක් කිසිදු වැදගත් දෙයක් නොකළ අය බවයි.
මෙය අත්විඳි, ලොව ඇති බහුතරයක් රටවල මිනිස්සු රජුන් බලයෙන් පහ කළහ. ඇතැම්හු මරාදැමුණහ. අද රජුන් වසන සෑම රටකම ජනතාව ඔවුන්ගේ බලය අඩුකොට, නාමික රජුන් බවට පත්කොට ඇත. ආසියාවේ පවා රජවරුන් සිටි රටවල් ස්වෝත්සාහයෙන් රජවරුන් එළවා දමා හෝ බල සුන්කර තිබේ. ජපානය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල එවන් දළ සිඳුණු රජුන් සිටින අතර, බි්‍රතාන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඉන්දියාවේ මහාරාජාවරුන්ගේ දළ බිඳුණේ නිදහස ලැබුණු පසුයි. මෙම රටවල් බටහිර අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දෙන ලද නිසා අපට නොගැළපෙන්නේ යැයි ඇතැම් ඊනියා දේශප්‍රේමීන් පවසන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉදිරියට ඇදෙයි. ජනතාව විසින් බලයෙන් පහකරනු ලැබීමට පෙර බි්‍රතාන්‍යයන් විසින් රැගෙන ගිය නිසා, ශ්‍රී ලාංකික අපගේ සිතින් මිථ්‍යාවක් වන ‘සුන්දර රාජ සිහිනය’ තවමත් පහව ගොස් නොමැත. අද දින ලොවෙහි සැලකිය යුතු පිරිසක් රට තැනීමට රජෙකු සොයන යම් රටක් ඇත්නම්, එය ශ්‍රී ලංකාව පමණක් විය යුතුය. බටහිර වේවා පෙරදිග වේවා හොඳ දේ අනුගත කරගැනීමට තරම් විචාර බුද්ධියක් අපට නොමැත.


මෙම ‘රාජ මිථ්‍යාව’ දෙස නැවත සිත්යොමු කිරීමට ශ්‍රී ලාංකිකයන් පෙළඹුණු අනෙක් හේතුව නම් රජෙකුට තරම් බලතල ඇති ජනපති ධුරයක් 1978 දී ඇති කිරීමයි. අලු‍තෙන් තැනූ ඒ රජ පුටුවේ වාඩි වියයුත්තේ රජෙකු පමණි යැයිද, ඔහු රජෙකු ලෙස හැසිරිය යුතුයැයිද, ඇතැම්හු සිතා සිටිති. ගෙදරින් තම කෑමවේල ගෙන ඒම රජෙකුට නොහොබින්නේ යැයිද, රජෙකු ආහාර ගත යුත්තේ රජෙකු ලෙසද බැව් කියමින්, ඇතැම් ජනපතිවරුන් විහිළුවටද ලක්වුණි. උද්ධච්ඡකමද, දැඩි මානයද, අධික ලෙස ජනතාවගේ මුදල් වියදම් කිරීමද සැබෑ රජෙකු සතු ගුණධර්ම ලෙස සිතා, රජු බලයේ සිටි කල සිදුවූ සියලු‍ හොඳ දේ රජුගේ ගිණුමට පමණක් බැර කර, රජු දුටු තැන වැඳ වැටීම යහගුණයක් යයි සිතන ජනතාවක් සිටින තුරු නවීන ලෝකය සමඟ ඉදිරියට යාම සිහිනියකි. නිහතමානිකම, අන් මතවලට සවන්දී තීරණ ගැනීම, දරදඬු නොවීම, නොදන්නා දේ නොදන්නේ යැයි පැවසීම, ‘රජෙකුට’‍ නොගැළපෙන ගතිගුණ යැයි සිතන ‘රජුන්’ ‍අපට මග පෙන්වන තුරු, රට ගොඩනැගිය නොහැක. මෙවන් ‘රජෙකු ලෙස හැසිරෙන රජෙකු’ පතන ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස විමසිල්ලෙන් බැලු‍වහොත්, අප පත් කර ගන්නා රජෙකු හොඳ රජෙකු වීමේ සම්භාවිතාව සියයට හතකට (7%) වඩා අඩු බව වටහා ගනු ඇත. අප ඉතිහාසයෙන්, අප උගතයුතු පාඩම එයයි.


(මෙම ලිපිය ලිවීමට මහාවංසයේ විවිධ සංස්කරණත්,University of Ceylon- History of Ceylon ග්‍රන්ථ ද්විත්වයත්, එහි සංක්ෂිප්ත සංස්කරණයත් උපයෝගි කරගතිමි.)

(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ යාවජිව සාමාජිකයෙකි.)

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි