No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

යහපාලනය තවමත් ජීවමානය

Must read

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලංකාව සිංගප්පූරුවක් කිරීමට ජනතාව ඒකරාශී කළ හැකිවේ. එහෙත් ලී ක්වාන් යූ කෙනෙකු සොයා ගත හැකිද? 2015දී යහ පාලනය ජයග්‍රහණය කරවූ සිවිල් සමාජ ව්‍යාපාරයේ දේශපාලනයක් තිබුණේම නැත. යහ පාලනය පොළොවේ පැළ කිරීමට භාර ගත් රනිල්-සිරිසේන ඩබල තමුන්ද විනාස වෙමින් රාජපක්‍ෂලාට ඉඩ සැලසූහ. ඊට හේතුව යහ පාලනය පිළිබඳ සිවිල් සමාජය තුළ පවත්නා අවබෝධය විශ්වාසය සහ ගෞරවය 38 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තෙවරක් රටේ අගමැති තනතුර දැරූ රනිල් වික්‍රමසිංහ තුළ නොතිබීමය. ඩඩ්ලි සිරිසේනගේ අයියාගේ පැටිකිරිය කතාකිරීමත් පාපයකි. හේතුව යහ පාලනය නිර්මාණය රටට ආදරය කළ මිනිසුන්ගේ මූණට කෙළ ගසමින්, ඔක්තෝබරයේ රනිල් නෙරපා මහින්ද අගමැති ලෙස පත්කරමින් කළ පාවාදීමය.

රනිල් හිතමිත්‍ර අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුව භාරදීමත්, සිරිසේන සිය සොහොයුරා ටෙලිකොම් සභාපති කරවීමත් දෙකම සුදුස්සාට සුදුස්සන් තෝරාගැනීමේ යහ පාලන රීතියට පටහැනි වේ. එතැන් පටන් කොට, සකල ආණ්ඩුවම තමන්නට රිසි සේ හැසිරුණාහ. පොලිසිය අවශ්‍යව සිටි ගාමිණි සේදර මාරුවෙන් මාරුවට වජිර අබේවර්ධන, සාගල රත්නායක යන කැබිනට් ඇමතිවරුන් දෙදෙනාගේ නිවෙස්වල ආරක්‍ෂාව ලැබූ බව ලංකාවට රහසක් නොවීය. මාතර නිලමේ කෙනෙකු අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති ජයසුන්දර මහ සභාවක් අමතමින් සිටියදීම සාගල රත්නායක ඇමතිවරයාට පොරොන්දු වුණේ ලංකාවටම ඇසෙන්නටය. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරයට ගිනිඅවි නිකුත් කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දමයන්ති විජේරත්න නම් නිලධාරිනියට විමර්ශනවලට මුහුණ නොදී රටින් පලායාම ගැන වජිර අබේවර්ධනට ඇඟිල්ල දිගුවිය. සිල්රෙදි නඩුවේ දෙවන විත්තිකාර මහාධිකරණ ඇප පිට සිටි අනුෂ පැල්පිට අතිරේක ලේකම් තනතුරට පත්කිරීමට නිර්දේශ කරන්නේද, වජිර අබේවර්ධනය. මේ වජිර අබේවර්ධන වර්තමාන එජාපයේ සභාපති වේ. අප සාගල වජිර දෙදෙනාටම සමාව දිය යුතුවේ. හේතුව රනිල් වික්‍රමසිංහ හඳුනා නොගත් යහ පාලන සංකල්ප අර දෙදෙනා දැනසිටිය නොහැකි නිසාය. යහ පාලනයට පිටුපා ක්‍රියාකළ දේශපාලනඥයන් පල් හොරුන්ද යන්න ජනතාව මැනවින් දනී.

යහ පාලනය ගැන හයහතර නොදැන රනිල්ලා සිරිසේනලා එසේ හැසිරුණාට, යහ පාලන යගදාව අතින් ගත් එදවස නීල මහා යෝධයන් සිටි බව, ඉතිහාසයේ ලියැවී හමාරය. අධිකරණය මෙන්ම, ස්වාධීන කොමිෂන් සභා තේජෝ බලසම්පන්න වෙමින් යහ පාලන හතර මායිම් ලකුණු කිරීමට සමත් විය. මහින්ද අගමැති කරවීමෙන් සිරිසේන ඔප්පු කළ උපන් ගෙහි නැහැදිච්චිකමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය ඓතිහාසික එකකි. පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මාරු කිරීමට ජනාධිපති සිරිසේන කළ නියෝගය විසි කිරීමට, පොලිස් කොමිසමට හයිය තිබිණ. ක්‍රමවේදයෙන් පිට පැන විදුහල්පතිවරුන් පත් කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගත් තීරණය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ප්‍රතික්‍ෂේප විය. මේ ගැන විමසීමට අගමැති රනිල් රාජ්‍ය සේවා කොමිසම තමන් වෙත කැඳවීය. ඒ රැස්වීමට සහභාගි නොවීමට කොමිෂන් සභාවේ සභාපති ධර්මසේන දිසානායක තීරණයක් ගෙන තිබිණ. නැවත අගමැති පුද්ගලිකව කළ කැඳවීමක් නිසා, අගමැති හමුවූ රාජ්‍ය සේවා කොමිෂන් සභාපතිවරයා අගමැතිට පළමුව කතාකළේය. ඔහු කීවේ රටේ අගමැති නිසා ආවා මිස, ඔබතුමාට මා කැඳවීමට අයිතියක් බලයක් නැත කියාය. සමහර විට අද මේවා අසන පොහොට්ටුකාරයන් ඒවා කොහෙද සර් එක්ක කියා සිනාසිය හැකිය. එහෙත් මේවා මේ ආකාරයට සිද්ධ විය. එහෙම වුණේ යහ පාලනය නිසාය. සමාජ මාධ්‍ය රටේ ජනාධිපතිට ගෝනි සීටා කියන්නේ යහ පාලන හයියෙනි. නීතියෙන් ඒ හැසිරීම් වෙනස් කළ නොහැකි වේ. සතොස සභාපතිට යන්න වුණේ යහ පාලනය නිසාය. ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කුණු මාළු කෑල්ලක් බවට පත්වුණේ රටේ යහ පාලනය තවම පවත්නා හෙයිනි. තවත් මොනවාද?

ජනතාව තරාතිරම නොතකා ප්‍රශ්න කරමින් සිටිති. ඡන්ද කාලෙට යහපාලනය යට ගොස් බොරුව ඉස්මතු විය. ගෝඨා ජනාධිපති වුණේද මහින්ද 2020 අගමැති වුණේද එහෙමය. ආණ්ඩුව පත්වූ සැණින් කුවේණිගේ සාපය මෙන් යහ පාලනය ඉස්මතු වෙමින් තිබේ. දේශපාලන පළිගැනීම් කොමිසම, ස්වාධීන අධිකරණයක් රටේ පවත්නා බවට සහතිකයකි. වර්තමාන පාලකයන් අධිකරණයට මාර බයය. නඩු ඇසුවොත් එල්ලුම් ගස් යාමට නියමිත නඩරාජා රවිරාජ්ගේ ජෝෂප් පරරාජසිංහම්ගේ වැලිකඩ සිරකරුවන්ගේ තාජුදීන්ගේ මිනිමරුවන් කොමිෂන් දමා බේරා ගන්නේ යහ පාලනය නිසාය. අල්ලස් කොමිසම නඩු අස් කර ගැනීමේ කොමිසම වී ඇත. කොමිසමේ සංයුතියෙන් තුනෙන් දෙකක් හිටපු විනිසුරුවරුය. ගෝඨාභය පත් කළ එකම කොමිසමක හෝ සාමාජිකයෙකුට ධර්මසේන දිසානායක විය නොහැකිය. නිදහස් මතධාරි ක්‍රිස්තු භක්තික මිතුරෙකු කී ආකාරයට ජේසුස් ක්‍රිස්තුස් උත්ථානය, යහ පාලනය රටේ නැවත කෙළින් වෙනවාය.

සන්ඩේ ලිඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට අසූචි කන ඊරිය කියා මරණ බිය ඇති කළ යුගයක් පැවති බව වර්තමාන ජනාධිපතිවරයා දනී. හරින් ප්‍රනාන්දුට බල්ලෙකු මෙන් ප්‍රභාකරන් මරා දැමූ සිද්ධිය සිහිපත් කළාට තවමත් යමක් සිදුවී නැත. කෝප් කමිටු සභාපතිව සිටි විජයදාස රාජපක්‍ෂ යහ පාලනයෙන් රාජපක්‍ෂලාට මාරුවුණේ වාසියට මිස යහ පාලනය වෙනුවෙන් නොවන බව රටම දනී. ඇවන්ගාර්ඩ් රැක්ක විජයදාස සමහරුන්ගේ සිහින ජනාධිපති වෙලාය.

මුරුත්තෙට්ටුවේලා විජයදාස රාජපක්‍ෂලා කරන්නේ කොන්ත්‍රාත්ය. සමහර විට, පනත පාස් වෙන්න ඉස්සර විජයදාස රාජපක්‍ෂ සෞඛ්‍ය ඇමති ද, විය හැකිය.

රටක යහ පාලනය සහ පාලකයන් අතර, වෙනස රටේ මිනිස්සු රාජපක්‍ෂලා හරහා තේරුම් ගනිමින් සිටිති. සත්තකින්ම මේ සිද්ධ වෙන්නේ කුමක්ද? 2014 දෙසැම්බර් මාසයේ 8 වෙනිදාට ඉස්සර රටේ කිසිදු නිලධාරියෙකු දේවානි ජයතිලක මෙන් කතා කරන්නට හැසිරෙන්නට හිතන්නේවත් නැත. කතා කෙරුවොත් දෙවන දවසක් උදා වන්නේම නැත. ලසන්ත මහපාරේදී මැරුම් කෑමත්, සන්ඩේ ලීඩර් පත්‍රයේ කතුවරියට ගූ කන බැල්ලි කියා බැනවැදීමත්, කෝප් කමිටු සභපති තම පාලනයෙන් මිදෙනු දැක විජයදාස රාජපක්‍ෂට කතා කළ ආකාරයත් අපට අමතක නැත. වර්තමාන රාජපක්‍ෂ පාලනයෙන් රටේ මිනිස්සු අපේක්‍ෂා කළේ වඩාත් බරපතළ තත්වයකි. එහෙත් දැන් සිද්ධ වෙන්නේ කුමක්ද? 2014ට පෙර තත්වය සමග සසඳන කල රාජපක්‍ෂලා පේල් යයි සමහරු කියති. ඒත් ඇත්තටම සිදුවී ඇත්තේ දේශපාලන ක්‍රිඩාවට අලුත් නීතිරීති එක්ව තිබීමය. ඒවාට අනුගතව, රාජපක්‍ෂලාට සෙල්ලම් කිරිමේ අපහසුවක් ඇත. 2014ට පෙර රාජපක්‍ෂලාට කැමති උසක් පනින්නට කිසිවෙකුගෙන් බාධාවක් නැත. මම අඩි අටක් උස පනිනවා කීවොත් පනිනවාමය. දැන් තමන්ට අවශ්‍ය උසට සහ නිශ්චිත ක්‍රීඩා රීති අතර, පොල්ලක් ඇත. එහෙත් දැන් රජ්ජුරුවෝ හෙළුවෙන් කියන්න කිසිවෙකු බය නැත. ඒ කාලේ උස පෙන්වන පොල්ලක් සීමාවත් තිබුණේ නැත.

මහින්ද අගමැති කරවීමෙන් සිරිසේන ඔප්පු කළ නැහැදිච්චිකම ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ශක්තියක් තිබිණ. සිරිසේන පොලිස් පරික්‍ෂකයෙකු මාරු කළ ක්‍රියාව ප්‍රතික්‍ෂේප කිරීමට පොලිස් කොමිසමට හයිය තිබිණ. එදා උස් පහත් වෙමින් යහ පාලනය එසේ පැවතියා මිස විනාස වුණේවත්, ඒ මතවාදය ප්‍රතික්‍ෂේප වුණේවත් නැත. වර්තමාන ආණ්ඩුව පේල් වෙලාද? නැත. ඔවුන්ට සෙල්ලම් කළ හැකි වපසරිය හැකිළී ඇතුවා පමණය. එහෙම කියන්නේ කෙසේද? අතීතයට එබී බලමු. 2014 දෙසැම්බරයට පෙර නම්, දේවානි ජයතිලකට, භාග්‍යා අබේරත්නට කුමක් වේද? ලසන්තට කළ දේ මතකද? සිරසට ගිනි නොතැබුවෙහිද? කීත් නොයාර් උපාලි තෙන්නකෝන් මතකද? ඒ කියන්නේ රාජපක්‍ෂලා සිල් අරන් කියාද? නැත. හරින් ප්‍රනාන්දු ඇමතු ආකාරයෙන් සහ විජේදාස රාජපක්‍ෂගේ ප්‍රකාශය අනුසාරයෙන් රාජපක්‍ෂලා තවම එහෙමය. එහෙත් ඔවුන්ට හතරේ සීමාවෙන් පිට යන්න බැරිය. අසූ හැවිරිදි චමල් රාජපක්‍ෂ ගහගන්න කතා කළේ වියරුවෙන් නොවේ. පුරුද්දටය.

රාජපක්‍ෂලාට විලංගු වැටී ඇති බව ජාතියම දැනගත යුතුවේ. එය පහදා දෙන්න කෙනෙක් නැත. හේතුව දේශපාලන කුහකකමය. සජිත්ට අවශ්‍ය අතීතයක් නැති රටක ඕපපාතික සතෙකු වීමටය. ජවිපෙට අවශ්‍ය කුමක්දැයි ඔවුහුවත් නොදනිති. යහ පාලනයේ සාපයෙන් ආණ්ඩුවට කුෂ්ටයක් වැළඳී ඇති බව කිසිවෙකුට පෙනීගොස් තිබේද?

කුහකකම නිසා යහ පාලන ජයග්‍රහණ ගැන සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාරලා කතා නොකරති. රාජපක්‍ෂලාට තුනෙන් දෙක දානය කළ සජිත් ගැන කතාකිරීමත් පවකි. අනුර කුමාර විනාඩියට වචන පනස් දෙකක් පැහැදිලිව පාවිච්චි කරමින් කියන දේ රටට හොඳින් දැනෙනවාය. එහෙත් පිළිගත් යාන්ත්‍රණයක් ඔවුනට නැත. බලපත්‍ර නැති රියැදුරෙකු හසුරුවන, රක්‍ෂණයද කර නැති වාර්ෂික ආදායම් බලපත්‍රද නැති වාහනයක ධාවනය පිළිබඳව පවත්නා අනියත බිය මෙන් සැකයක් බියක් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතාව තුළ පවතී. යහ පාලනය ගැන ජවිපෙය කතා නොකරන්නේ රතු අලි අවලාදයට බියෙන් විය හැකිය. බිංදුවට දැවුණ එජාපය ගැන අදත් පවත්නා විශ්වාසය ජනතා විමුක්ති පෙරමුණ ගැන නැත. සමගි ජනබල වේගයට අලියා සමග එක් නොවී කිසි විටෙක තමන් ලද විසිපන් ලක්‍ෂය පනස් ලක්‍ෂයක් කරගත නොහැකිය. එහෙත් අලියාගේ සභාපති කවුද? මේ විස්තර කළේ රාජපක්‍ෂ පාලනයට එරෙහිව ප්‍රතිවිරෝධතා ගැනය.

ග්‍රික බැඳුම්කර වංචාව සම්බන්ධව වගකීම භාරගත් අජිත් නිවාඩ් කබ්රාල්, පෝට් සිටි පනත ගැනද වගකීම භාර ගන්නා බව කියයි. ඒ කතාව රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකීම භාර ගත්තා වාගේ එකකි. රනිල් වෙනුවට, කබ්රාල්ද, අර්ජුන් ඇලෝසියස් වෙනුවට, පී.බී.ජයසුන්දරද වැඩේ දිගටම කරගෙන යති.

20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි ව්‍යවස්ථාව හමාර කොට, ස්වාධීන කොමිෂන් සභා ආදි යහ පාලන තිරිංග ගලවා වීසි කළහ. සජිත්ගේ උදව්වෙන් තුනෙන් දෙක ගත්තාට, අල්ලස් කොමිසමේ උදව්වෙන් පල් හොරුන් නිදහස් කළාට, පරණ පුරුද්දට හැසිරෙන රාජපක්‍ෂලා තැන තැන ලිස්සා වැටෙමින් සිටින්නාහ. සමහරුන්ට හිට්ලර් සිහි වන්නේ මේ අල්ලපනල්ලේය. ඔක්තෝබර් අඩව්වට පසුව, දූෂණ වංචා අංශයේ සිටි නිශාන්ත සිල්වා මාරු කිරීමට ජනාධිපති සිරිසේන දුන් නියෝගය පොලිස් කොමිසම ඉරා විසි කළේය. දැන් ඒ බලය කොමිසමට නැතද, වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මාරු කිරීමෙන් ආණ්ඩුව සවුත්තු විය. බැසිල් විල්පත්තුව රිෂාඩ් බදියුදීන්ට ලියා දුන් අවස්ථාවේ වන සංරක්‍ෂණ නිලධාරින්ට නොතිබුණ ශක්තියක් දේවානි ජයතිලකට ලැබුණේත්, මීමුරේ එනසල් වැවීමට ගෝඨාභය තීරණය කළ විට, නීතිය අනුව එසේ කළ නොහැකි බව අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර කීවේත් යහ පාලන ආකල්ප නිසාය. වන විනාසය ගැන භාග්‍යා අබේරත්න කතා කළ වචන හත අට සිද්ධ පත්තිනි අවතාරය දුටුවා මෙන්, රාජපක්‍ෂලා බියපත් වූහ. 2014ට පෙර රාජපක්‍ෂලාට මෙවැනි බාධා තිබුණේ නැත.

සිංහල අවුරුදු උත්සවයේදී එක ගමක, සයිකල් රේස් එක හැමදාම දිනුවේ ගමේ පාන්කාරයාය. රත්නපුරේ සිට කොලොන්නාවට දිනපතා වැඩට බයිසිකලයෙන් ආ සුමනවීර පාපැදි ශූරයා වුණා වාගේය. එහෙත් 2018 සයිකල් කප් එක පාන්කාරයාට අහිමි විය. දිනුවේ කසිප්පුකාරයෙකි. තරගය නිමවී වරුවක් යාමට පෙර, පෙර ගමේ මිනිසුන් ඇත්ත වටහා ගත්හ. මග දිගට සයිකල් පදින්නන්ට සුබ පතන්නන් අතර සිටි එකෙක්, පාන්කාරයාට තැලූ කිතුල් ඇට මිශ්‍ර වතුර බාල්දියක් විසි කළේය. කැසිල්ල හැදුණේත් රේස් එක පැරදුණේත් එහෙමය. හේතුව එයයි. එහෙම ගේම් ගහන පොහොට්ටුවෝ තාමත් වැඩක් සැලසුම් කරමින් සිටිති.

2018 පාස්කු ප්‍රහාරය සිදුවේ. 2019 ගෝඨාභය ජනාධිපති වේ. 2020 සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී වේ. බලයට කෑදරව, මෙසේ අවතක්සේරුවූ රටේ පළමුවෙනි විධායක ජනාධිපති සිරිසේන නොවේ. මේ සිද්ධ වෙන්නේ දෙපැත්තේම හිස් මොළේ ඇත්තන් බුද්ධියෙන් ක්‍රියා කළ යුතු බවය.

ජාතිවාදය තවදුරටත් රටේ අලෙවි කළ නොහැකි බව දොස්තර සාෆි ඔප්පු කළේය. පාස්කු ප්‍රහාරය දේශපාලන බිම් බෝම්බයකි. පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධි මාලාවක් ගැන ඉතිහාසය කරුණු විමසමින් සිටියි. එය ආරම්භ වන්නේ සිරිසේන ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් සැප්තැම්බර් 12 දින හෙළිවීමෙනි. අදාළ ප්‍රකාශය කරන්නේ 2016 ජූනි 29 වෙනි දින අංක පීඑස්/ඩීපි/1 යන ලිපිය අනුව, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්ට ස්වේච්ඡා සේවකයෙකු ලෙස ජනාධිපති සිරිසේන දැන සිටි නාමල් කුමාර නම් අයෙකි. කාදිනල් මැල්කම් කරන සමහර ප්‍රකාශ අනුව, පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් පවා ජනතාගේ හාස්‍යයට ලක්ව හමාරය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි