No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

අදීන විහිළුකාරයා ඩේව් චැපෙල්

Must read

  • වීරයෙකුගේ කකුල පැටලුණාම බයගුල්ලන් සාද දමනවා.
  • මට අනුව ඩේව් ඔයා තමයි ශ්‍රේෂ්ඨතමයා. මේක හාස්‍ය කලාව ගිලී ගිය කාලයක්.

‘ඩේව් අනෙක් හැමෝටම වඩා ගොඩක් බුද්ධිමත්. ඩේව් බොහෝ විට ලොව බිහි වූ විදග්ධම කොමීඩියන් වෙන්න ඇති. සංස්කෘතියට කළ බලපෑම එක්ක ඔහු තමයි ඔහුගේ පරම්පරාවේ හඬ. කවුරුත් ඔහුගේ ළඟින්වත් තියන්න බැහැ.’
ප්‍රහසන ක්ෂේත්‍රයේ ප්‍රවීණතම කලාකරුවෙකු වන එඩී මර්ෆි එසේ කීවේ ඩේව් චැපෙල්ට ඇමෙරිකාවේ ප්‍රහසන කලාවට අයත් ඉහළම සම්මානය වන ‘මාක් ට්වේන්’ සම්මානය 2019 දී ලැබුණු මොහොතේ, එම වැඩසටහන වෙනුවෙන්.
ශ්‍රී ලංකාවේ ඇතැම් අය ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ කලාව ගැන උනන්දුවක් නැතිව ඇති. උනන්දු අයත් අතරින් පතර ඇති. කොහොම වුණත් ඇමෙරිකාවේ හැදී වැඩුණු ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ ලොව අංක එකේ කලා ප්‍රවණතාවක්. මෑත කාලයේ ජෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ලංකාවේ ජනප්‍රිය වූ නිසා, ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ කලාව ගැනත් සංවාදයක් හැදුණා.
වේදිකාවක සිටින තනි පුද්ගලයෙක්, දැවැන්ත ප්‍රේක්ෂාගාරයක් දීර්ඝ කාලයක් තිස්සේ හිනස්සන්නේ කොහොම? කම්මැලි නොසිතී, උනන්දුව අවුස්සාගෙන ප්‍රේක්ෂාගාරය තබාගන්නේ කොහොමද? ඒ අතින් සලකද්දී ස්ටෑන්ඩ් අප් කොමඩි ලොව අසීරුම කලාවක්. කලාකරුවා අසමත් වුණොත් සජීවී ප්‍රේක්ෂාගාරයේදීම එය පෙනේවි.
ප්‍රේක්ෂාගාරය සජීවීව තබාගන්නේ රසවත් මාතෘකා කතා කරමින්. පුදුම සහගත කතන්දර, අත්දැකීම් මතු කරමින්. ඒ සියල්ලට යටින්, අසා සිටින්නන්ගේ සිතීම වෙනස් කරන නිරීක්ෂණ ඉදිරිපත් කරමින්. ප්‍රේක්ෂකයන් කිසිදා නොසිතු පැත්තට ඔවුන්ගේ මනස ගෙනයමින්.
ඕනෑම සාර්ථක ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් විශේෂ කලාකරුවෙක් වන්නේ ඒ ආකෘතිය නිසා. ඒත්, ඩේව් ඒ කලාවේ සිටින අය අතරිනුත් අද්විතීයයි.
‘ඩේව් මෘගයෙක්. මගේ හිතට බයක් ඇතුළු කරන එකම කෙනා ඔහු.’ වත්මන් ලොව වැඩිම ආදායමක් උපයන ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් වන ක්‍රිස් රොක් කියා තිබුණා.
ඩේව් ගැන අප මෙහි අකුරු කරන්නේ හාස්‍ය කලාව ගැන උනන්දුවක් දක්වන අයට තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඕනෑම කලාවක් ගැන උනන්දු කෙනෙක්ට ඩේව්ගේ අදීනත්වය තේරුම් ගැනීම වටිනවා.

කතා කියන්නා
2020 ජුනි 12 වැනිදා ඔහු නෙට්ෆ්ලික්ස් ආයතනයට අයත් යූටියුබ් නාළිකාවකින් පැය භාගයකට ආසන්න විශේෂ ප්‍රසංගයක් විකාශය කර තිබුණා. එය ඔහුගේ නිවස අසල කළ එකක්. වසංගත සමය වන නිසා නිරෝධායන නීති අනුව එකිනෙකාට දුරින් ආසන පනවා, කුඩා පිරිසක් කැඳවාගෙන කළ එකක්. මේ පටිගත කිරීම ඇමෙරිකාවේ ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝෝෂණ මාලාව තිබුණු කාලයේ.
‘8.46’ එම ප්‍රසංගයේ නම වුණා. පැය භාගයක් තිස්සේ ඔහු කළ වැඩසටහනේදී විහිළු කළේ නැති තරම්. ඔහු සැහැල්ලුවෙන් කතා කරන්නට පටන්ගත්තා. මේ ප්‍රසංගයට නම ලැබුණේ කෙලෙසද කියා නරඹන්නන්ට වැටහුණේත් නෑ. ඔහු හරියටම මාතෘකාවට එද්දී, ඇඟ හිරිවැටෙන්නට ගත්තා. සිදු වුණේ කුමක්දැයි කියන්න බැහැ. එය අහද්දී සිරුරම පණ නැති වුණා. ඔහු කතා කළේ ඇමෙරිකාවේදී පොලීසිය ඝාතනය කළ ජෝජ් ෆ්ලොයිඩ් ගැන. විනාඩි අටයි තත්පර 46ක් ෆ්ලොයිඩ්ගේ බෙල්ල සිර කරගෙන හිටියා. ඩේව් චැපෙල්ගේ උපන් වෙලාවත් 8.46.
ඔහුගේ අදහස්වලටත් වඩා ප්‍රබල වුණේ ඔහුගේ කතාවේ උද්වේගය සහ ජවය. ඔහු කියන දේ අනුව එය උස් පහත් වූ හැටි. ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය ගැන කළ බල සම්පන්නම කතාව වන්නේ, අවිවාදිතවම එය.
මිලියන 29ක් නැරඹූ මේ පැය භාගයක වීඩියෝවෙන් ඩේව් චැපෙල් කවුදැයි තේරුම් ගත හැකියි. ඔහුගේ කතා මිනිසුන් ඇහුවේ විහිළු නිසාම නෙවෙයි. අදහස් ගළපා කීමේ හැකියාව අද්විතීය නිසායි.

හිතුවක්කාරයා
‘වීරයෙකුගේ කකුල පැටලුණාම, බයගුල්ලන් සාද දමනවා.’ ඔහු 2021 පෙබරවාරි 12 වැනිදා ‘රිඩෙම්ප්ෂන් සෝන්ග්’ නම් විශේෂ වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් වෙත එකතු කරමින් කීවා. මේ වීඩියෝව හදිසියේ දුටු මොහොතේත් හිත හිරිවැටුණා.
‘දෙවියනේ’ පුදුමයෙන් සිතිවිලි නතර වුණා. ‘ඩේව් දැවැන්ත රූපවාහිනී සමාගමක් දණගස්වලා.’
රිඩෙම්ප්ෂන් සෝන්ග් වීඩියෝවත් ඩේව් චැපෙල් මෑත කාලයේ සමාජ මාධ්‍යවලට එකතු කළ තෙවැනි ප්‍රහසන නොවන වීඩියෝව.
පළවැන්න අප කලින් කී ‘8.46’. දෙවැන්න ‘අන්ෆොගිවන්’ නම් වීඩියෝව. රිඩෙම්ප්ෂන් සෝන්ග් කියන්නේ තුන්වැන්න.
‘අන්ෆොගිවන්’ නම් දෙවැනි වීඩියෝවෙන් ඔහු කොමඩි සෙන්ට්‍රල් ආයතනයට ඍජුව අභියෝග කළා. ඒ අභියෝගය පසුපස දීර්ඝ පසුබිම් කතාවක් තිබෙනවා.
ඩේව් චැපෙල් සාමාන්‍ය සමාජයේ අතිශය ජනප්‍රිය වුණේ 2003 දී කොමඩි සෙන්ට්‍රල් ආයතනයේ විකාශය වූ ‘ද චැපෙල් ෂෝ’ නම් හාස්‍යමය වැඩසටහන් මාලාව නිසායි. ඒ කාලයේ වැඩිම ඩීවීඩී ප්‍රමාණයක් අලෙවි වූ රූපවාහිනී ප්‍රහසන වැඩසටහන එය. වැඩිම පිරිසක් රූපවාහිනියෙන් නැරඹූ වැඩසටහනක් එය. කළු ඇමෙරිකානුවෙකුගේ ජීවිතය හාස්‍යමය අයුරින් රූපවාහිනියෙන් ඉදිරිපත් කළ ප්‍රබලම ප්‍රකාශනයක් එය.
එහෙත්, ඒ වැඩසටහන අතිශය ජනප්‍රියත්වයේ තිබියදී, වැඩසටහනේ තුන්වැනි කොටස් මාලාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ගිවිසුමක් අත්සන් කරන්නට සිටියදී, ඒ සියලු මුදල් සහ ජනප්‍රියත්වය අත්හැර චැපෙල් දකුණු අප්‍රිකාවට ගියා. එතැනින් පසු හොලිවුඩයට පා නොතබා කාලයක් හිටියා. මුළු රසික සමාජයම අන්දමන්ද වුණා.
ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් කියන්නේ ඒ කාලයේ කිසිම ප්‍රහසන කලාකරුවෙකුට සිතාගන්න බැරි මුදලක්. ඒ මුදලට පයින් ගැසීමත්, ඇමෙරිකාවේ සාර්ථකම රූපවාහිනී වැඩසහන අත්හැර ගෙදර යෑමත් විස්මිත, හිතුවක්කාර තීන්දුවක්. මුදලටත් වඩා තමාගේ නිදහස, තමා කරන දේ පිළිබඳ ආත්මීය බැඳීම සහ වෘත්තීය පීඩනය නිසා ස්වාධීන තීන්දුවක් ගැනීමට ඔහු එදා හිතුවා.
එතැනින් පසු ඩේව් ඔහායෝ ප්‍රාන්තයේ ගොවිපලක් දමාගෙන පාඩුවේ කල් ගෙව්වා. පුංචි සජීවී ප්‍රහසන වේදිකාවලට නැග නිදහසේ කතා කළා. ඒ කාලයේ ඩේව් පුංචි සාදයකට ගියත්, එය ටැබ්ලොයිඩ් පුවත්පත්වල අවධානයට යොමු වුණා.
ඩේව්ට දැවැන්ත නාළිකාවලින්, හොලිවුඩයෙන් ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළා. ඔහු තවදුරටත් හොලිවුඩය විශ්වාස කළේ නෑ. මැනේජර්වරුන්, දැන්වීම් හිමිකරුවන්, සූට් ඇඳගත් මිනිසුන් පිරුණු හොලිවුඩයට ඔහු කැමති වුනේ නෑ.
චැපෙල් ෂෝ වෙනුවෙන් ඩේව් අත්සන් කළ ගිවිසුම් අනුව, එම වැඩසටහනේ නාමය අයිති කොමඩි සෙන්ට්‍රල් ආයතනයට. බුද්ධිමය අයිතියත් ඔවුන්ට. ඒ වැඩසටහන නැවත නැවතත් විකාශය කරමින් ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම කොමඩි සෙන්ට්‍රල් ආයතනයට.
දීර්ඝ කාලයක් ගොවිපළේ දිවි ගෙවූ ඩේව් පසුගිය දශකයේ අන්තිම කාලයේ නෙට්ෆ්ලික්ස් ආයතනයේ කොමඩි ප්‍රසංග කිහිපයකිනුයි නැවත පැමිණියේ. (මේ ප්‍රසංග තුන සහ කලින් සඳහන් කළ සමාජ මාධ්‍ය වීඩියෝ තුනත් එකිනෙකට වෙනස්.) නෙට්ෆ්ලික්ස් සමඟ ඔහු වැඩ කළේ එම ආයතනය ඩේව්ට අවැසි නිදහස දීමත්, සාධාරණ ගිවිසුම් අත්සන් කිරීමත් නිසා. ඒවා කලාව ගැනත්, අදහස් ප්‍රකාශනය ගැනත් උනන්දු ඕනෑ කෙනෙක් නැරඹිය යුතුම ප්‍රසංග. සරල බසින් කීවොත් මල් වෙඩි.
නැවත ඩේව් ප්‍රහසන ලොවේ පෙරමුණටම ආවා. අප කලින් සඳහන් කළ අන්ෆොගිවන් නම් දෙවැනි සමාජ මාධ්‍ය වීඩියෝවෙන් ඩේව් කීවේ තමන්ගේ මහන්සියෙන් තැනූ ‘චැපෙල් ෂෝ’ විකුණමින් අදටත් කොමඩි සෙන්ට්‍රල් ලාභ ලබන බව. එහෙත්, ගිවිසුම නිසා ඔහුට එයින් කිසිම මුදලක් නොලැබෙන බව. ගිවිසුම අනුව එය නිවැරදි වුණත්, තමන්ට මුදල් නොලැබීම අසාධාරණ බව ඩේව් කීවා. අන්ෆොගිවන් නම් දෙවැනි සමාජ මාධ්‍ය වීඩියෝව අවසානයේ චැපෙල් ෂෝ නැරඹීමෙන් වළකින ලෙස, වර්ජනය කරන ලෙස ඔහු තමන්ගේ සියළු ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළා.
‘ප්‍රේක්ෂක ඔබ මගේ ෂෝ එක බැලුවේ නෑ. මට මගේ නම ආපහු ලැබුණා. මගේ ෂෝ එක ලැබුණා. ඔවුන් මට ඩොලර් මිලියන ගාණක් ගෙව්වා. ඔබට ස්තූතියි.’ අප කලින් සඳහන් කළ රෙඩෙම්ප්ෂන් සෝන්ග් නම් තෙවැනි සමාජ මාධ්‍ය වීඩියෝවේදී ඔහු කීවා. දැන් ඔහුට අයිති ‘චැපෙල් ෂෝ’ යන නමෙන් නවතම කතා මාලාවක් නෙට්ෆ්ලික්ස් වෙත නිෂ්පාදනය කිරීමට නියමිතයි.
ඇමෙරිකාවේ හොලිවුඩ් ලෝකයෙහි රූපවාහිනී නාළිකාවකට අභියෝග කිරීම ලෙහෙසි නෑ. එසේ කරන කෙනෙක් අනෙකුත් නාළිකාවලින් පවා කොන් වෙනවා. ඒත්, ඩේව් රසිකයන් පෙළගස්වමින් රූපවාහිනී නාළිකාවක් දණගැස්සුවා. ඒ හිතුවක්කාරකම නිසයි.

අදීන කලාකරුවා
‘ඔබට වගකීමක් තියෙනවා ඔළමොට්ටල කතා කියන්න. නැත්නම් අපේ දරුවන්ට දැනගන්න බැරි වේවි, මෝඩ කතා කියන එකේ තේරුම මොකක්ද කියලා. වැරදි දෙයක් කීම මොනවගේද කියලා.’ මෙය ඔහු මාක් ට්වේන් සම්මානය ගත් මොහොතේ කී දෙයක්.
ගොවිපොළකට වී නිහඬව සිට, ඔහු හොලිවුඩ් ලෝකයට නැවත පා තැබුවේ පෙර සඳහන් කළ විශේෂ නෙට්ෆ්ලික්ස් විශේෂ ප්‍රසංග කිහිපයෙන්. ඒ ප්‍රසංග කිහිපය මල් වෙඩි බව අප කලින් කීවා.
ඒ ප්‍රසංගවලදී ඔහු මයිකල් ජැක්සන්ට තිබෙන ළමා අපචාර චෝදනා විහිළුවට ලක් කළා, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව විහිළුවට ලක් කළා. ප්‍රගතිශීලී යැයි සම්මත කෙනෙක් කිසිසේත් නොකියන කතා ඔහු කීවා. ජාතිවාදී යැයි සම්මත අදහස් ඔහු කීවා.
ඒ ප්‍රසංග තේරුම් නොගත් ‘ප්‍රගතිශීලී’ සහ නවීන අදහස් නියෝජනය කරන මාධ්‍ය පවා ඩේව් චැපෙල්ට විරෝධය එල්ල කළා.
එහෙත් ඩේව් ප්‍රශ්න කළා. සමකාමීන්ට සමාන අයිතිය ලබාදීම බහුතර මතයක් වූ නවීන ඇමෙරිකානු සමාජය තුළ, තවදුරටත් සමකාමීන් ගැන විහිළුවක් කියා සිනාසෙන්නට බැරි ඇයිදැයි ඔහු ප්‍රශ්න කළා. ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහි ලිංගික අපචාර චෝදනා කිරීමට ඉඩ පහසුකම් ඇති නූතන ලෝකයේ එවැනි ආතතිකාරී සිදුවීම් අල්ලාගෙන විහිළුවක් කළාම කුමක් වෙනවාදැයි ඔහු විමසුවා. ප්‍රහසන කියන්නේ සාමාන්‍ය ලෝකයේදී කතා කරන්නට බැරි, ආතතිකාරී මාතෘකාවලට බැස ඒවා ගැන විවෘතව කතා කරන කලාවක්.
හොලිවුඩය දැන් ඒ මාතෘකා ගැන කතා කරන්නට බයයි. වැරදි වචනයක් පිට වුණොත්, සමාජ මාධ්‍ය රැල්ලක් හැදී එයට විරුද්ධව හැදුණොත් ඒ හොලිවුඩ් තරුවට වැඩ වරදීවි. සමහර කලාකරුවන්ගේ කලාකෘති වර්ජනය කරන තැනට සමහර සමාජ මාධ්‍ය ප්‍රවණතා පත්තු වේවි. යම් යම් වෙළඳනාමවල නියෝජිතයන් ලෙස ලැබුණු දැවැන්ත මුදල්, රූපවාහිනී ආයතන සහ චිත්‍රපටි නිෂ්පාදන ආයතනවල ගිවිසුම් වැරදි වචනයක් පිටවුණොත් අවලංගු වේවි.
එහෙත් ඩේව් අදීන වන්නේ ඒ කිසිම බැඳීමක් නොතකා නිදහස් අදහස් කියන්නට ඔහු නිර්භය නිසයි.
‘ලිබරල් ප්‍රගතිශීලී’ ඇමෙරිකානු ඉහළ සමාජය තුළ සමහර මාතෘකා කතා කරන්නට ඇති සීමාවලට ඔහු කෙළින්ම අභියෝග කළා. ඒ තහනම් මාතෘකා ගැනම ඔහු කතා කළා. ඔහු සංක්‍රාන්ති ලිංගිකයන්ට විහිළු කළේ ඒ ප්‍රජාව ගැන ඔහුගේ හිතේ තරහක් තිබුණ නිසා නෙවෙයි, ඒ ප්‍රජාව ගැන විහිළු නොකරන ලෙස පනවා තිබුණ සීමා නිසයි.
කෙවින් හාට් දැන් ලොව වැඩිම මුදලක් උපයන හාස්‍ය ශිල්පියා. ඔහු වසර කිහිපයකට පෙර සමකාමීන් ගැන කළ විහිළුවකට අභියෝග එල්ල වීම නිසා 2019 ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවන්නා වීමට ඔහුට තිබුණ අවස්ථාවත් අහිමි වුණා. අන්තර්ජාල මාධ්‍යවේදී ජෝ රෝගන්ගේ වැඩසටහකදී චැපෙල් කවුදැයි කෙවින් විස්තර කළේ මෙහෙම.
‘මට ඉරිසියයි අපි හැමෝම නිදහස් වෙන්න ඕනැ කාලෙක ඩේව්ට නිදහසේ වැඩ කරන්න තියෙන හැකියාව ගැන. මම ඔහුට හිස නමා ආචාර කරනවා. මට තියෙන අංක කිසිදේකින් වැඩක් නෑ. මට අනුව ඩේව්, ඔයා තමයි ශ්‍රේෂ්ඨතමයා. මේක හාස්‍ය කලාව ගිලී ගිය කාලයක්. හාස්‍ය ශිල්පීන් බිත්තියට හේත්තු කළ කාලයක්.
කිසිදා නොසිතූ දේවල්වලට හාස්‍ය කලාකරුවන්ට චෝදනා කරද්දී ඩේව් ඓතිහාසික, ආන්දෝලනාත්මක බලපෑමක් කරනවා. ගින්දර වැඩිපුරම රත් වූ කාලෙක, පීඩනය වැඩිම කාලෙක කවුරුත් නොකරන දේ කරන්න ඔහුට හයිය තියෙනවා. ඔහු හාස්‍ය කලාව වෙනුවෙන් නැගී සිටියා.
වැරදි වචනයක් කීවොත්, කලා ජීවිතේම වනසනවා කියූ කාලෙක. ඕනෑ බම්බුවක් ගහගන්න, පුළුවන් දෙයක් කරන්න කියලා ඩේව් තමන්ට ඕනෑ දේ කරනවා. ඒක ඓතිහාසිකයි. ඒ තමයි ශ්‍රේෂ්ඨයෙකුගේ හැසිරීම. ඉතින්, මම ඔහුට හිස නමනවා.’
ලංකාවේ තියෙන්නේ හොලිවුඩය නෙවෙයි. ලංකාවේ තියෙන්නේ ප්‍රගතිශීලී සමාජයකුත් නෙවෙයි. එහෙත් ලංකාවේත් වාරණය කරන ලද, තහනම් කරන ලද මාතෘකා තියෙනවා. නිර්භයව, හිතුවක්කාරව, අදීන ලෙස, නිර්මාණශීලීව ඒවා ගැන කතා කිරීම අපේ කලාකරුවන්ගේ වගකීමක්.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි