No menu items!
21.7 C
Sri Lanka
21 November,2024

එපා පාර්ලිමේන්තුවද? පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයද?

Must read

හැම දවසක්ම අපට අලූත් පාඩමක් කියා දෙයි. වරද ඒ පාඩම් අප ගුරු කොට නොගැනීමය. යටත් පිරිසෙයින් කොරෝනා ව්‍යසනය පාදකකොට මේ පාඩම අලූත් කරගැනීම ජාතියක් ලෙස අප අධිෂ්ඨාන කරගත යුතුවේ. කොරෝනා හරහා අප තේරුම්ගත යුත්තේ ගෝඨාභයගේ නායකත්වය නිසා තත්වය කළමනාකරණය කරගත්තා කියා නොවේ. විනාසයක් හමුවේ හෝ අප එකිනෙකාට, අනෙකාට, අසල්වැසියාට  ළෙන්ගතු  නැති බවය. පාලකයා බලයෙන් මිස මොළයෙන් ක්‍රියා නොකරන බවය.  දේශපාලනය අපේ ආගම හා හෝ වෙනත් ගොන්කම් බිම තබා තනිපෙළට සිට ගැනීමට තරම් අප තුළ මනුස්සකම් නැත. මුස්ලිම් කී විට, දෙමළ කී විට රටේ බහුතරය හිතන විදිය වෙනස්ය. ආගම කී විට, අනෙක් මිනිසුන්ගේ ආරක්‍ෂාව අමතක කරන තැනට රට පත්ව ඇත. මේ දුර්වලකම ඇත්තේ සාමාන්‍ය ජනතාව තුළ පමණක් නොවේ. රවුෆ් හකීම් අර මොට්ට ප්‍රකාශය කළේ වගකීමෙන් නොවේ. භික්‍ෂූන්, වෘත්තිකයන්, දේශපාලනඥයන් පවා හැසිරෙන්නේ බෙහෙවින් අමන ර`ථ ස්වභභාවයකිනි. රටේ සෞඛ්‍ය ඇමතිවරිය වෘත්තියෙන් නීතිඥයෙකි. ඇය අප දිනන නිසා, ඡන්දය පවත්වන්න  ඕනැ කීම ඊට උදාහරණයකි. ඩලස් අලහප්පෙරුම, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, චමල් රාජපක්‍ෂ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කළ ප්‍රකාශ ඊට නිදසුන් වේ. ලෝකයම මේ වසංගතයෙන් මිදෙන විදියක් කල්පනා කරන විට රාජපක්‍ෂ කාණ්ඩය බලය ගැන කල්පනා කරති. විපක්‍ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය. පාලකයා ඒ ප්‍රශ්නයෙන් මගහැර බෞද්ධ භික්‍ෂුන් ලවා පාර්ලිමේන්තුව එපා කියවයි.

කාළකණ්ණයෙකු රටේ පාලකයා වූ විට රටට සිද්ධ වන දේ යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි 2017දී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ එල්ලකොටය. ඒ රනිල් වික්‍රමසිංහ දෙමාපියන්ට පින් පිණිස තම ධනයෙන් කොටසක් කැලණි පංසලට පූජා කළ බව කියති. ජේ.ආර්. ජයවර්ධන සිය ධනස්කන්ධය පොදු දේපල බවට පත්කර මියගියේය. බණ්ඩාරනායක මැරුම් කෑ රොස්මිඞ් පෙදෙසේ නිවෙස හරි නම් කෞතුකාගාරයක් කළ යුතුව තිබිණ. එහෙත් එය අද හෝටලයකි. රාජපක්‍ෂලා වැදූහැදූ දෙමාපිය සොහොන රජයේ මුදල් යොදා වංචනිකව ඉදිකළ බවට චෝදනා කරති. රටක් ගැන රටක ප්‍රශ්න ගැන අප කල්පනා කළ යුත්තේ කෙසේද?  ඊට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශය ප්‍රමාණවත්ය. 

සුවසැරිය ගිලන්රථ ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ ප්‍රකාශය ගැන අද ඔවුන්ට උත්තර බැඳිය හැකිද? හොඳ නරක හමුවේ අප හැසිරෙන ආකාරය අප තේරුම්ගත යුතුව ඇත. බොහෝ දෙනා කියන්නේ මෙවර රජයේ වෛද්‍ය නිලධාරි සංගමය බොක්කෙන් වැඩ කියාය. ඔවුන්ට කොරෝනා වසංගතයේ බරපතළකම විෂය බද්ධව තේරුම් ගැනීමට  නාම යෝජනා දී අවසන් වන තෙක් සිටියේ  නොදන්නාකම නිසා නොවේ. පවත්නා රජය වසංගතයට වඩා වැදගත් වූ නිසාය. විපක්‍ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.

පාලකයන් තමන් හැසිරෙන්නේ සිංහලයන් ලෙස යයි උපකල්පනය කරනවා විය හැකිය. එහෙත් නගන නාදය, පා තබන රිද්මය තුළ සිංහ ගතියක් නැත. ඔවුන් මේ වැඩ කරන්නේ අවංකවද යන්න අප විමසිය යුතුවේ. සෞඛ්‍ය සේවා, ග්‍රාම නිලධාරි ආදි රජයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සේවය කරති. එහෙත් රජය සහ ඔවුන්ට ළෙන්ගතු මාධ්‍ය ඔසවා තබන්නේ පොලිසිය සහ හමුදාව පමණකි. සෞඛ්‍ය සේවා, ග්‍රාම නිලධාරි ආදි රජයේ සේවා ඛණ්ඩයන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ ලැබී නැති බවට මැසිවිලි නැගේ. මෙහිදී වඩාත් බලවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ගොලූවී සිටියි. ඒ ඇයි? දේශපාලන න්‍යාය පත‍්‍රය අතහැර නැති බැවිනි. විපක්‍ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.

මාර්තු 16 වෙනිදාට වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 29කි.  මාර්තු 16 වෙනිදාට රෝගීන් 42කි. මාර්තු 17 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රෝගීන් 28ක් නිසා රට වහන්න පුළුවන්ද යනුවෙන් උපහාසයෙන් විමසීය. රට වහන්න අවශ්‍ය කොරෝනා ආසාදිතයන්ගේ හෝ මියගිය ලෙඩුන්ගේ ගණන හෙවත් ගණපූරණය කීයද? ඔහු අවදානම භාරගත යුතු පාලකයා ලෙස අදටත් නිසි තීරණ ගෙන නැත. මාවිල්ආරු ගේට්ටු විවෘත කළ බව කියන ගෝඨාභය රාජපක්ෂට බේරුවල පල්ලියේ ගේට්ටු ඇරිය නොහැකිය. හේතුව බැරිකම නොවේ. ළග එන ඡන්දයයි. මේ උදාව ඇත්තේ ව්‍යාප්ත වන වසංගතයට වගකිව යුතු කාළකණ්ණියා හෝ අවුරුදු කුමාරයා තෝරන අවස්ථාව නොවේ. මේ ව්‍යසනය හරහා පෙළගැසෙන නව තේමාවක් වෙනුවෙන් පෙනීසිටිය යුතු මොහොත වේ. නොමැරී ඉතිරිවන මිනිසුන් ගැහැනුන්ගේ යහපත පිණිස පෙළගැසිය යුතු හෝරාව වේ. විපක්‍ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.

එහෙත් ආණ්ඩුව හෙවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහු අගය කරන්නන් මේ වනවිට කොරෝනා වසංගතය ඔටුන්නක් කර ගනිමින් සිටිති. රට ලොක්අවුට් කිරීමට ආසාදිතයන් 28ක් මදි කී ජනාධිපති ගෝඨාභයගේ මාධ්‍ය සහ හිතවත්තු වසංගතය වර්ධනය වන තත්වය හමුවේ ඉතාලියේ සේවය කළ ලාංකිකයන් රෝගය බෝ කළා කියා චෝදනා කළහ. දෙවනුව ඒ චෝදනාව මුස්ලිම් ජාතිකයන් පිට පැටවූහ. තෙවනුව වසංගතය මත පාර්ලිමේන්තුවක අවශ්‍යතාවක් නැති බවට කරුණු කීහ. එහෙත් පළමවෙනි කොරෝනා රෝගියා සංචාරක චීන කාන්තාවකි. එය නිවැරදිව අධ්‍යයනය  කළා නම් බුද්ධිමත් පාලකයෙකු රට ලොක් කරන්නේ එදාය. චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගෙන්වූ ආණ්ඩුව ලංකාවට රට සල්ලි ගෙනා විදේශගත ශ‍්‍රමිකයන් අමතක කළහ. හේතුව  චීනයේ සිටි සිසුන් අතර සිටි දේශපාලනඥයන්ගේ දරුවන් සිටීම මිස මානව දයාවක් හෝ වසංගත තත්වය සැලකිල්ලට නොගැනීමය. ඒ සියල්ල එසේ තිබියේවා. හපන්කම් මෝඩකම් සහ කපටිකම් කෙසේ වෙතත් මේ වසංගතයෙන් බේරීමට අපට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සමග වැඩ කිරීමට සිදුව ඇත. අප මේ මතය ගොඩනගද්දී සමහර හිතවත්තු මෙසේ කියති. අපි එහෙම හිතුවාට, මේ ව්‍යසනය අස්සේ මේ මිනිස්සු දිගින් දිගටම කරන තක්කඩිකම් නිසා මරාගෙන මැරෙන්නට සිතෙන්නේ නැද්ද අසති.  ප්‍රශ්නය ඇත්තේ මෙතනය. හැම උර චක්‍රමාලයම පටවන්නේ ග්‍රාම නිලධාරීගේ කර මතය. එහෙත් සහන සේවා සැපයීමේදී ප‍්‍රාදේශීය සභා නියෝජිතයා මූලිකයා කරන රෙගුලාසි යනු එක්කෝ ගොන්කමකි. එක්කෝ තක්කඩිකමකි. දැන් සහන බෙදීමේ ක්‍රියාවලියේ ඉහළින්ම බැසිල් රාජපක්‍ෂය. බැසිල් යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බව පැත්තකින් තියමු. ලෝක ප්‍රකට උදයංග වීරතුංග යනු රාජපක්‍ෂලාගේ අම්මා කුඩම්මාගේ දරුවන්ය. එයාර් ලංකා විනාස කළ නිශාන්ත වික්‍රමසිංහ මහින්දගේ මස්සිනාය. නාමල් බෑනාගේ පරිහරණයට එයාර් ලංකාවෙන් කෙල්ලකු නිදහස් කර අරලියගහ මන්දිරයේ නේවාසික කරවන ලද්දේද මේ අපූරු මාමා විසිනි. ජාලිය වික්‍රමසූරිය කවුද? අමෙරිකා තාතාපති ලෙස මහින්ද රාජපක්‍ෂ පත්කළ පවුලේ ළග නෑ සහෝරදයෙකි. විපක්‍ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.

මිනිසුන් රෝ බියෙන් මරණ බියෙන් ගැහෙන වෙව්ලන මේ මොහොතේ එක්ව දුකසැප බෙදාගත යුතු මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කරන මේ විගඩම රාජ්‍ය පාලනය ලෙස අප කල්පනා කළ යුතුද? මේ තත්වය කතාකිරීමට රටේ පැවති එකම ආයතනය පාර්ලිමේන්තුව වේ. එය නැවත කැඳවිය යුතු බවට මතයක් පළවී ඇත. ඊට එරෙහිව කවදත් රාජපක්‍ෂලා වෙනුවෙන් කඬේ යන භික්‍ෂූන් කිහිප දෙනෙකු පාවිච්චි කරමින් සිටියි. රටක ව්‍යසන අවස්ථාවක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව තිබිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයේ භාවිතයකි. දෙවන ලෝක සංග්‍රාමය හමුවේ ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලය යුද්ධය අවසන් වන තෙක් දීර්ඝ කෙරිණ. ඒ ඓතිහාසික රාජ්‍ය භාවිතය මෙසේ යටපත් කරන්නේ තක්කඩිකම නිසා මිස, රාජ්‍යත්‍රාන්තික පරිචය නිසා නොවේ.

පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපති මැතිවරණයේදී එක්කෝටි පනස් නව ලක්‍ෂයක් ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ගෝඨාභයට පක්‍ෂව ලැබුණේ ඡුන්ද හැටනව ලක්‍ෂයකි. එය ලංකාවේ ලියාපදිංචි ඡුන්දදායක ප්‍රමාණයෙන් 43%කි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස ක්‍රියාකිරීමේදී මේ තත්වය අමතක කර ඇත. එහෙත් ඔහුට එරෙහිව පෙළගැසුණ ජනතාව ඒ ගැන සිටින්නේ මහත් උනන්දුවෙනි. ඒ උනන්දුව වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්විය යුතුවේ. ප්‍රධාන හේතුව විසුරුවා හැරිය පාර්ලිමේන්තුව රාජපක්‍ෂලාට බහුතරය නැති පාර්ලිමේන්තුවකි. නිසාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුවේ. 

ලංකාවේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණයෙන් 43%ක් කැමැත්තෙන් බලයට පත් ගෝඨාභය රාජපක්‍ෂට රට ලොක්ඩවුන් කිරීමට කොරෝනා රෝගීන් 28ක් ප්‍රමාණවත් නොවීය. අද ඔහු එදා කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක්වේ. ඒ තත්වය නිසා ඔහු තමන් කරන කියන දේ විමර්ශනය කිරිම පිණීස පාර්ලිමේන්තුව කැඳවිය යුතුවේ. 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි