No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

Must read


මහාචාර්ය කුමාර් ඬේවිඞ්

ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡුන්දය හෙවත් උපායශීලීව ඡුන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡුන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහි, ප‍්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා ඡුන්දදායකයන් විසින් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා, පැසුණු සහ බුද්ධිමත් මෙවලමකි. අනේ අපොයි, එහෙම තත්වයක් මේ සිරිලංකාවේ දකිනට නැත.

මෙවැනි තත්වයක් ගැන හිතාගන්න: ‘සී’ නමැති පක්ෂයට සෑහෙන ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමේ හැකියාව තිබේ. එහෙත් එම ඡුන්ද ප‍්‍රමාණය එකී මැතිවරණය ජයගැනීමට තරම් ප‍්‍රමාණවත් නැත. ඒ සමගම එම පක්ෂය තවත් දෙයක්ද හොඳින් දනී. එනම්, මේ ඡුන්දයට ඉදිරිපත් වන ‘ඒ’ නමැති අපේක්ෂකයා ඒකාධිපතියෙකු වීමට ඉඩ ඇති බවත්, ‘බී’ නමැති අපේක්ෂකයා තමන්ගේ පංති හතුරෙකු වුණත් ෆැසිස්ට්වාදියෙකු නොවන බවත් ය. එසේ තිබියදී, ‘සී’ නමැති පක්ෂය තමන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ කථිකයන්ටත්, ප‍්‍රචාරක කණ්ඩායම්වලටත් මෙසේ කියයි: ‘‘අඩු අනතුරක් තියෙන ‘බී’ අපේක්ෂකයාට දෙවැනි මනාපයක් දීම ගැන කතා කරන්න එපා. මොකද, එහෙම කිව්වොත් මිනිස්සු හිතන්න පුළුවන්, අපිට මේ ඡුන්දය දිනන්න බැහැ කියලා.’’ උපක‍්‍රමික දෙවැනි මනාපයක් ගැන කතා කිරීමෙන් වැළැකීමෙන් තමන්ගේ ඡුන්ද ගොඩ මිලියන ගාණකින් වැඩි කරගත හැකිය යන මායාවක කෙනෙකුට සිටිය හැකිද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් වශයෙන් තමන්ම සලකන ‘ඒ’ පරාජය කර ගැනීමට වඩා එවැනි මායාවක කෙනෙකු කෙසේ නම් ගිලෙන්නද? එය නම් අමු ගොබ්බකමකි.

මෙසේ උපක‍්‍රමික ඡුන්දයක් භාවිත කිරීම නොමැති වීම සහ ජනතාව මුග්ධයන් සේ ගැනීමේ මානසිකත්වය මගේ සොයා ගැනීමක් නොවේ. මා මේ නිරීක්ෂණය සඳහන් කරන්නේ, මේ අවස්ථාවේ එළැඹීමට නියමිත ජනාධිපතිවරණයේ ස්වභාවය සැලකිල්ලට ගැනීමෙනි. අපේක්ෂකයෝ 35 දෙනෙක් සිටිති. එයින් 33 දෙනෙකු, ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මිලියන 6 ක් ඡුන්ද තමන්ට ලබාගත හැකි යැයි නොසිතිය යුතුය. දෙවැනි මනාපයක් ගැන කතා නොකර සිටියොත්, තමන්ට මේ තරගයේදී පළමු හෝ දෙවැනි තැනට පැමිණිය හැකි යැයි ඔවුන්ට සිතිය හැකිද? විකාරෟ මේ මිනිසුන් තමන්ගේ මොළ ගාල් කොට ඇත්තේ කොහේද?

ලෝකයේ වෙනත් තැන්වල මෙවැනි දේශපාලනික බොළඳකමක් මා දැක නැත. උපක‍්‍රමිකව ඡුන්දය පාවිච්චි කරන ආකාරය විවෘතව ඒ තැන්වල සාකච්ඡුා කරනු ලැබේ. විවිධ ප‍්‍රවේශයන් තුළ ඇති වැදගත් ප‍්‍රතිඵල සංසන්දනය කරනු ලැබේ. එහෙත් අපේ ‘ජනතා බලය’ සහෝදරවරුන්ගෙන් විටෙක ඇසෙන්ට ලැබෙන්නේ හිස් ප‍්‍රලාප ය. ගෝඨාගේ හෝ සජිත්ගේ පිළේ නොසිටීමෙන් අපට ජයග‍්‍රහණය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එය කවුරුත් දනිති. අප කරන්නේ ජනාධිපතිවරණයෙන් එහා අනාගතයක් ගැන සැලසුම් කිරීමයි. එහෙත් ඒ අනාගත ප‍්‍රගතිය සඳහා කිසිවක් කිරීමට, අප විසින් අපවම රවටා ගැනීමෙන් සහ අපේ කාඩර්වරුන් රැුවටීමෙන් අපට හැකි වන්නේ නැත.

කිසි අපේක්ෂකයෙකු සියයට 50ක් සහ තව එක ඡුන්දයක් ලබා නොගත්තොත් සිදුවන්නේ කුමක්දැයි සමහරු මගෙන් අසති. සියයට 100ක් යනු ඡුන්දදායකයන් 100ක් යැයි අපි සිතමු. ‘ඒ’ නමැති අපේක්ෂකයා ඡුන්ද 46ක්ද, ‘බී’ නමැති අපේක්ෂකයා ඡුන්ද 44ක්ද, ඉතිරි සියලූ අපේක්ෂකයන් ඉතිරි ඡුන්ද 10ද ලබාගන්නේ යැයි සිතමු. මෙහිදී කිසිවෙකු සියයට 50ට වැඩියෙන් ලබාගෙන නැති බව පෙනේ. එවිට කෙරෙන්නේ, ‘ඒ’ සහ ‘බී’ නමැති අපේක්ෂකයන් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂකයන් සඳහා පාවිච්චි කොට ඇති දෙවැනි මනාප ප‍්‍රමාණය ගණන් කිරීමයි.

මේ තත්වය තුළ මෙවැනි අන්ත දෙකක් ගැන සිතාගන්න:

(1* පළමු දෙදෙනා හැරුණු කොට ඉතිරි සියල්ලන් වෙනුවෙන් අවසාන ඡුන්ද 10 පාවිච්චි කළ කිසිවෙකු දෙවැනි මනාපයක් පාවිච්චි කොට නැත. එවිට මුළු ඡුන්ද ප‍්‍රමාණය වශයෙන් සැලකෙන්නේ, පළමු දෙදෙනා ලබාගෙන ඇති ඡුන්ද 90 පමණි. එහිදී, එම ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 50ට වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් (46* ලබාගෙන ඇති ‘ඒ’ නමැති අපේක්ෂකයා ජයග‍්‍රාහකයා වන්නේය.

(2* ඉහත කී අවසාන ඡුන්ද 10 පාවිච්චි කළ පිරිසෙන් 3 දෙනෙකු පමණක් දෙවැනි මනාපයක් පාවිච්චි කොට ඇති බවත්, ඒ මනාප තුනම පාවිච්චි කොට ඇත්තේ ‘බී’ නමැති අපේක්ෂකයාට බවත් හිතන්න. දැන් පළමු දෙදෙනාගේ මුළු ඡුන්ද ප‍්‍රමාණය වශයෙන් සැලකෙන ප‍්‍රමාණය ඡුන්ද 93ක් වන්නේය. එයින් සියයට 50ට වැඩි ප‍්‍රමාණයක් හෙවත් ඡුන්ද 47ක් ලබාගෙන ඇති ‘බී’ නමැති අපේක්ෂකයා ජයග‍්‍රාහකයා වන්නේය.

මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ, අවසානයේ ගණනය කරනු ලබන්නේ, පළමු දෙදෙනා වෙනුවෙන් සෙසු අයගේ ඡුන්ද පත‍්‍රිකාවල පාවිච්චි වී ඇති මනාප ප‍්‍රමාණය පමණක් බව ය. ඉහත කී ඉතිරි අපේක්ෂයන්ගේ ඡුන්ද පත‍්‍රිකාවල වෙන කිසිවෙකු වෙනුවෙන් පාවිච්චි වී ඇති කිසි ඡුන්දයක් ගණනය කරන්නේ නැත.

මේ ගැන මා මෙතරම් කරදර වන්නේ, ගෝඨා හෝ සජිත් යන දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ මුළු ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 50 වැඩි ප‍්‍රතිශතයක් ලැබීමට ඉඩක් නැති නිසා බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඉතිං, ඊළඟට වැඩිම ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ඇති පුද්ගලයා අනුර කුමාර දිසානායකයි. එහි අදහස වන්නේ, අනුර කුමාර වෙනුවෙන් පාවිච්චි වන ඡුන්දය සමග සටහන් කෙරෙන මනාපයක් වෙතොත් එය තීරණාත්මක වන බව ය. එහෙත් ඔහුගේ අනුගාමිකයන් දෙවැනි මනාපයක් පාවිච්චි නොකිරීමට තරම් මුග්ධ කට්ටිවාදී වුණොත්, එය ගෝඨාට ජයග‍්‍රහණය කිරීමට ඉඩ හැරීමකි. මා සිතන පරිදි, ඔවුන්ට අවශ්‍ය නොකරන්නේම එයයි. අනුර කුමාරට ඡුන්දය පාවිච්චි කරන ඡුන්දදායකයා තමන්ගේ දෙවැනි මනාපය (නහය වහගෙන හෝ* සජිත්ට පාවිච්චි කිරීම, දුෂ්කර වුවත්, අත්‍යවශ්‍ය ය. ඉදිරියේදී ප‍්‍රශ්නය එසේ නිරාකරණය වෙතැයි සිතිය හැකිය.

අනුරට පළමු ඡුන්දය දී දෙවැනි ඡුන්දය සජිත්ට දෙන්නැයි ඉල්ලීමෙන් මා කරන්නේ වම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අතර පවතින සහජීවනයට හානි කිරීමකැයි මට වඩා තරමක් වයසින් බාල සමසමාජකාරයෙක් කීවේය. එය අන්දකයිප්පු කතාවකි. අමුම විකාරය වන්නේ ඔහුගේම පක්ෂය විසිනුත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට තිබීම ය. දැන් ඔහු ජනතාවට කියන්නේ කුමක්ද? පළමු ඡුන්දය සජිත්ට දී දෙවැනි මනාපය ඔහුගේ අපේක්ෂකයාට දිය යුතුයි කියා ද?

ගෝඨා හෝ සජිත් සියයට 50ට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් ගත්තොත්, කතාව එතැනින්ම අහවර ය. එසේ නොවන්නේ නම්, පළමු ඡුන්දය තරමටම දෙවැනි ඡුන්දයත් වැදගත් වන්නේය. ඒ දෙකටම ඇත්තේ එකම අගයකි. එසේ හෙයින්, ගෝඨා පරාජය කිරීම සඳහා කටයුතු කිරීමෙන් කිසිවෙකුට අවැඩක් වන්නේ නැත. ‘පළමු ඡුන්දය අනුරට සහ දෙවැනි මනාපය සජිත්ට’ යැයි කීමෙන් සිදු විය හැක්කේ අනාගතය ගොඩනැගීම සඳහා සුගතියක්ම ය.


(2019 ඔක්තෝබර් 9 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Immature Opposition to Second Preference Voting ලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.*

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි