සමහර ක්රීඩාවකට අනුස්වරූප එකක් හෝ කිහිපයක් පැවතිය හැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල ක්රිකට් ක්රීඩාව එයට හොඳම උදාහරණයය. ක්රිකට් ගැසුවායැයි කියන බොහෝ අය ඔරිජිනල් ක්රිකට් හෙවත් ලෙදර් පන්දු ක්රිකට් ක්රීඩා කර නැත. ක්රීඩා කර ඇත්තේ සැහැල්ලූ පන්දු ක්රිකට්ය. ක්රිකට් ක්රීඩාවේ ශ්රී ලංකාවේ අනුස්වරූපය වන්නේ එයය. එම අනුස්වරූපය ශ්රී ලංකාව තුළ කොතෙක් වර්ධනය වීදැයි කිවහොත් සැහැල්ලූ පන්දු ක්රිකට් සම්මේලනයක් පවා පවතී. සැහැල්ලූ පන්දු ක්රිකට් සඳහා වෙනම නීති මාලාවක්ද එම නීති අනුව විනිශ්චයේ යෙදෙන ‘අනුමත විනිසුරුවෝද’ සිටිති. එපමණක් නොව සැහැල්ලූ පන්දු ජාතික කණ්ඩායම් අසල්වැසි ඉන්දියාවේ සංචාරය කර තරගකර ඇත.
සැහැල්ලූ පන්දු ක්රිකට් යනු ඒ අනුව ඔරිජිනල් ක්රිකට්වල අනුස්වරූපයය. නමෙහි වෙනසක් නැත. ක්රිකට්ය. විශේෂණ පදය පමණක් සැහැල්ලූ පන්දු වී ඇත. ඉන් එහාට එයට දේශීයත්වයක් හෝ පරිවර්තන සිංහල නාමයක් ලැබී නැත. ෆුට්බෝල් පාපන්දු වූවාට, බාස්කට්බෝල් පැසිපන්දු වූවාට, නෙට්බෝල් දැල්පන්දු වූවාට, ඇත්ලටික්ස් මලල ක්රීඩා වූවාට ක්රිකට් ක්රිකට්මය. හරියට ටෙනිස්, වොලිබෝල්, බොක්සිං, බැඞ්මින්ටන්, ජිම්නාස්ටික් හා රග්බි මෙන්ය. පරිවර්තිත නාම නැත.
හැබැයි වොලිබෝල්වලට 1990 දශකයේ පරිවර්තිත නාමයක් දැමීමට උත්සාහයක් දැරිණ. ඒ වොලිබෝල් අත්පන්දු යනුවෙන් නම් කරමින්ය. වොලිබෝල්වලට දේශීයත්වයක් ආරෝපණය කරමින් ජාතික ක්රීඩාව කිරීම සඳහාය. එහෙත් නිර්දේශයක් මිස ශ්රී ලංකාවට නිල ජාතික ක්රීඩාවක් නැත. එම අවධියේ ඔලිම්පික් ක්රීඩාවක් වන හෑන්ඞ්බෝල් ලංකාවේ තිබුණේ නැත. 2000 වර්ෂයේදී ශාරීරික අධ්යාපන ගුරුවරයෙකු වූ අතුල විජේනායක එය ලංකාවට හඳුන්වා දුනි. ඒ නිසා දැන් වොලිබෝල්වල දේශීය පරිවර්තන නාමය අත්පන්දු දකින්නට නැත. හෑන්ඞ්බෝල්වලට නම් එය ගැළපෙතැයි කිව හැකිය. පාපන්දු, පැසිපන්දු, දැල්පන්දු ලෙසය.
එහෙත් ශ්රී ලංකාවට ජාතික ක්රීඩාවක් නම් කිරීමට පත්කරන ලද මහදැනමුත්තන් තුන් දෙනෙකු 1990 වර්ෂයේදී අත්පන්දු නම්වූ දේශීය සම්භවයක් සහිත ක්රීඩාවක් හඳුනාගෙන තිබුණි. එම කමිටු වාර්තාවේ ශ්රී ලංකාවේ ජාතික ක්රීඩාව වශයෙන් ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ මේ අත්පන්දුය. ඒ හෑන්ඞ්බෝල් ශ්රී ලංකාවට ඒමට පෙර ඒ ගැන සිතුවාද විය හැකිය.
ක්රිකට්වලදීම මෙන්ම වොලිබෝල්වලද අනුස්වරූපයක් ශ්රී ලංකාවේ පවතී. එය ක්රීඩා කරන්නන් එයට කියන්නේ ‘ ඕවර්’ වොලිබෝල් කියාය. මේ එක් කණ්ඩායමක හය දෙනෙකුද, අවශ්ය නම් නව දෙනෙකුද සිටිය හැකිය. මේ සඳහාත් ඇත්තේ සම්මත වොලිබෝල් පිටියමය. දැලේ උස හා පිටියේ ප්රමාණය එකය. බෝලයද සම්මත වොලිබෝල් බෝලයමය. වෙනස ඇත්තේ ක්රීඩා කරන පිළිවෙළේය. පන්දුව පිරිනමන්නේ යටි අතින් හෙවත් බෝලයේ යටට අතින් පහරදෙමින්ය. පිරිනැමූ පන්දු අනෙක් පිලට ලැබීමෙන් පසු සම්මත වොලිබෝල් ක්රීඩාව මෙන් පන්දු ඔසවන්නා වෙතට යොමුකර ප්රහාරකයෙකු උඩ පැන අනෙක් පිලේ සීමාවේ පතිතවීම සඳහා තනි අතක ඇඟිලිවලින් වැරෙන් පහරදීමක් මෙහිදී සිදු නොවේ.
ලැබෙන බෝලය එක්වරම හෝ, දෙවරකට හෝ තුන්වරකට අනෙක් පිල වෙත දෑතින්ම යොමු කිරීම හෙවත් ගැසීම සිදුවේ. එහිදී දෑතින් බෝලයට ගැසීම බෝලයේ යටි පැත්තට මෙන්ම උඩු පැත්තටද සිදුකළ හැකිය. එවැනි පහරදීමකදී උඩපැන බෝලයේ උඩුපැත්තට තනි අතින් පහරදීම නීතිවිරෝධීය. ප්රතිවිරුද්ධ පිලෙන් යොමුවන පන්දුවකට පළමුවරම පහරදීමේදී පමණක් උඩ පැන එක් අතකින් හෝ පහරදිය හැකිය.
සම්මත වොලිබෝල් ක්රීඩාවේදී මෙන් පන්දු පිරිනැමීමේ පැතිමාරු අවස්ථාවකදී ක්රීඩකයන් රොටේට් හෙවත් තම සීමාවන් එක් දිසාවකට මාරු කරගන්නා අවස්ථාවද දක්නට නැත. පන්දු පිරිනැමීමේ අවස්ථාව පැතිමාරු වුවද ක්රීඩකයන්ට එකම ස්ථානයක සිට ක්රීඩා කළ හැකිය. එමෙන්ම පන්දු පිරිනැමීමද අවශ්ය නම් එකම ක්රීඩකයෙකුට කළ හැකිය.
පන්දු ඔසවන්නකු විසින් පන්දු ඔසවා ප්රහාරකයෙකු විසින් උඩ පැන පන්දුවට පහරදීමක් නොමැති නිසා ප්රතිවාදී ප්රහාරය වැළැක්වීමක්ද මෙහිදී දක්නට නැත. ඒ නිසාම වැඩි අතපය ක්රියාකාරීත්වයකින් තොරව තරබාරු හෝ වයසක අයටද වැඩිපුරම බෝලය නොලැබෙන පිටියේ මැද නොවන ස්ථානයක සිට මේ ඕවර් වොලිබෝල් ක්රීඩාවේ යෙදිය හැකිය. ඕවර් හෙවත් ඉහළින් යන නම මේ සඳහා යෙදී ඇත්තේද මෙම ක්රීඩාවේ විලාසයන් නිසා විය යුතුය. එහෙත් මේ ආකාරයේ ඕවර් වොලිබෝල් තරගාවලි පැවැත්වීමද එම අනුස්වරූපය පැතිරී ඇති ප්රදේශවල පවතී.
මේ ඕවර් වොලිබෝල් ක්රීඩාවට ආභාසය බීච් වොලිබෝල් ක්රීඩාවෙන් ලැබුණාද යන සැකයද ලියුම්කරු තුළ පවතී. ජාතික හා ජාත්යන්තර මට්ටමේ බීච් බෝල් ක්රීඩාවේදී එක් පිලකට දෙදෙනෙකු ක්රීඩා කරමින් ප්රධාන වොලිබෝල් ක්රීඩාවේ මෙන් පන්දු ඔසවා උඩ පැන පහරදීම් කරයි. විශේෂයෙන් සංචාරක කර්මාන්තය ආශ්රිත වෙරළ තීරුවල තරගකාරී ක්රීඩක ක්රීඩිකාවන් නොවන සංචාරකයන් වොලිබෝල් බෝලයේ යටට අත් දෙකෙන් ගසමින් බෝලය අනෙක් පැත්තට යොමු කිරීමට උත්සාහ කිරීම සිදුවේ. එම ආභාසය සමහරවිට ශ්රී ලංකාවේ මෙම ඕවර් වොලිබෝල් ක්රීඩාවට පදනම සකසන්නට ඇත.x