No menu items!
21.5 C
Sri Lanka
19 January,2025

ශ‍්‍රී ලාංකික සොයාගැනීමක් හිසරුදාවට භෞත චිකිත්සක ප‍්‍රතිකාර

Must read


භෞත චිකිත්සක ප‍්‍රතිකාර කී සැණින් බොහෝ විට අපගේ මතකයට එන්නේ යම් අනතුරකට ලක්වී අස්ථි කැඞී යෑමක් හෝ බිඳුමකින් පසු අත්පාවල ක‍්‍රියාකාරීත්වය යථා තත්වයට පත්කිරීම සඳහා කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙනි.


ඊට අමතරව යම් දැනුවත් භාවයක් ඇති පිරිස් මස්පිඬු හා සන්ධි ආබාධ තත්වයන්හිදී භෞත චිකිත්සක ප‍්‍රතිකාර කරනු ලබයි.


හිසරුදාව කී සැණින් වෛද්‍යවරයකු හමුවී ප‍්‍රතිකාර ගැනීම හැර වෙනකක් ගැන ඔබේ කල්පනාවට නොඑන බවට සැකයක් නැත. ඔබ පරීක්ෂා කරන වෛද්‍යවරයා තාවකාලික සහනයක් වශයෙන් වේදනා නාශක ඖෂධ ඔබට ලබා දිය හැකිය. මොළයේ හෝ හිස කොටසේ යම් ආබාධ තත්වයක් තිබේදැයි ඔබ පරීක්ෂණවලට යොමුකළ හැකිය. ශල්‍යකර්මයක් කළ යුතු අවස්ථාවක නම් එය කරනු ඇත. ලේගැටිති වැනි තත්වයක් නම් එය යථා තත්වයට පත් කිරීම සඳහා ඖෂධ ප‍්‍රතිකාර ලබාදිය හැක.


එහෙත් එවැනි ශල්‍යකර්මයක් හෝ ඖෂධ ප‍්‍රතිකාරයක් අවශ්‍ය නැති හිසරුදා අවස්ථා තිබිය හැකිය. එසේ වුවද හිසරුදාවේ අඩුවක් නැත. මෙවැනි හිසරුදාවකට අපගේ පොදු හඳුනාගැනීම වන්නේ ඉරුවාරදය යන්නය. එය බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මොළයට රුධිරය සැපයීම අඩු තත්ත්වයක් බවට සමහර විට නිශ්චය කරනු ලබයි. ඒ සඳහා ලබා දෙන්නේද ඖෂධ ප‍්‍රතිකාරයකි. ඒ රුධිර නාල ප‍්‍රසාරණ කිරීම සඳහා ලබාදෙන ඖෂධයන්ය. එමගින් රුධිරය බාධාවකින් තොරව මොළයට ගමන් කරනවා යැයි උපකල්පනය කරනු ලැබේ.
මොළයේ හෝ හිසේ ගෙඩියක් හෝ වෙනත් ආකාරයේ ආබාධයක් නොවන හිසරුදාවක් සඳහා දැන් භෞත චිකිත්සක ප‍්‍රතිකාරයක් හදුන්වාදී තිබේ. ඒ ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු විසින්ය. ඔවුන් වන්නේ භෞත චිකිත්සක සුජීව වීරසිංහ හා භෞත චිකිත්සක කුමාර පතිරණය. වෛද්‍ය විද්‍යාවේ හෝ විද්‍යා තාක්ෂණ අංශයකින් ලොවට යම් යම් දේ දායාද කළ ශ‍්‍රී ලාංකිකයන් අපට බොහෝවිට හමුවන්නේ විදේශයක සේවය කරමින් සිටියදීය. විශේෂත්වය වන්නේ මේ දෙදෙනා රට තුළ භෞත චිකිත්සක ප‍්‍රතිකාර කරමින් එය ලොවට හඳුන්වාදීමය.


ලොව භෞත චිකිත්සක සංගමයේ ආසියා ශාන්තිකර කලාපීය සමුළුව තායිවානයේ චායිචුං නුවර පවත්වා තිබුණේ තිබුණේ 2013 වසරේදීය. හිසරුදාව සඳහා වූ භෞත චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමය සුජීව වීරසිංහ හා කුමාර පතිරණ ඉදිරිපත් කර තිබුණේ එම සමුළුවටය. ඒ සඳහා සංකල්ප පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට හිමිවී තිබුණි.
මොළයේ හෝ හිසේ ගෙඩියක් හෝ වෙනත් ආබාධ තත්ත්වයක් නොවන දීර්ඝකාලීන හිසරුදාවට බොහෝ විට හේතු වශයෙන් වැරදි ඉරියව් භාවිත කිරීම නිසා බෙල්ල ආශ‍්‍රිත මාංශපේශින් සංකෝචනය වීම බවයි භෞත චිකිත්සක සුජිව වීරසිංහ පවසන්නේ. ඒ හේතුවෙන් මොළයට, හිස් කබලට හා මුහුණේ මාංශපේශිවලට රුධිර සම්පාදනය කරන නාළවල පීඩන අවහිරතා ඇතිවන බව ඔහු පවසයි. නිසි පරිදි රුධිර සංසරණය වීම අඩාල වීම නිසා මේ හිසරුදා තත්ත්වය ඇතිවන බව ඔහුගේ අදහසයි. මේ බෙල්ලේ මාංශ පේශි තදවී පැවතීම නිසා පේශි තන්තු පටක තරලයේ ඇලී තදවී පවතින බවත්, ඒ මගින් මොළයට හිස් කබලට හා මුහුණේ මාංශ පේශීන්ට රුධිර සංසරණ බාධා ඇතිවන බවත්, එහි අවසන් ප‍්‍රතිඵලය හිසරදය ඇතිවීම බවත් ඔහු පවසයි. ඒ මගින් සිදුවන්නේ රුධිර නාළවලින් රුධිර සම්පාදනය හිසේ ඉහත කොටස්වලට යෑම අඩාල වීමය.


මෙහිදී මෙම භෞත චිකිත්සකයන් දෙදෙනා මුහුණදී ඇති බරපතළ කාරණය වී ඇත්තේ ශරීරයේ වෙනත් ස්ථානවල මාංශපේශී තදවීම නිසා ඇලූණු පටක නිර්වින්දනය ලබාදී නැවත ගැලවීම කළ හැකිවුවද, බෙල්ල ප‍්‍රදේශයේ එසේ කළ නොහැකිවීමය. ඒ සුෂුම්නාව හා බෙල්ල ආශ‍්‍රිත ස්නායුවලට ඒ මගින් හානියක් වීමට ඉඩ ඇති නිසාය. ශරීරයේ වෙනත් ස්ථානවල සන්ධි චලනය කරන ආකාරයෙන් මෙහිදී සන්ධි චලනය කළ නොහැකි බවත්, ඒ නිසාම භෞත චිකිත්සක මූලධර්මවලට අනුව ඉතාම සියුම් සන්ධි චනල ක‍්‍රියාකාරීත්වයක් සිදුකර බෙල්ලේ ඇලූණු තන්තු හානියකින් තොරව නැවත යථාතත්වයට පත් කිරීම ඔවුන්ගේ භෞත චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමය බවත් ඔහු විස්තර කරයි. ඒ මගින් රුධිර නාලවල ඇති පීඩනය අවම කර රුධිර සම්පාදනය මොළයට හිස් කබලට හා මුහුණේ මාංශපේශිවලට ලබාදීම සිදුකළ හැකි බවත් ඔහු පවසයි.
මේ ප‍්‍රතිකාරය වසර 12ක කාලයක් තුළ ඔවුන් දෙදෙනා පරීක්ෂණයට ලක් කර ඇත. ලෝක භෞත චිකිත්සක සංගමයේ ආසියා ශාන්තිකර සමුළුවට එය ඉදිරිපත් කර ඇත්තේ ඉන් පසුවය. මේ වනවිට එම ප‍්‍රතිකාර ක‍්‍රමයට ලෝක භෞත චිකිත්සක සංගමයද අනුමැතිය ලබාදී ඇත.


මේ ප‍්‍රතිකාරය කිරීමට පෙර රෝගියාගේ මොළයේ යම් ආබාධ තත්වයක් තිබේදැයි පරීක්ෂා කිරීම සිදුකරන බවත්, ඊට අමතරව රුධිර පීඩනය වැනි වෙනස් රෝග නොමැතිදැයි තහවුරු කරන වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන බවත් භෞත චිකිත්සක සුජීව වීරසිංහ පවසයි.
ඒ මෙන්ම හිසරුදාව සඳහා භෞත චිකිත්සක ප‍්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර හිසරුදාවේ තත්වය පිළිබඳ තක්සේරුවක් කරන බවද භෞත චිකිත්සක සුජීව වීරසිංහ පවසයි. එම මුල් තක්සේරුව ඉන්පසු ප‍්‍රතිකාර අවස්ථාවලදී නැවත නැවත ඇගැයීමට ලක්කිරීමෙන් හිස රුදාවේ තත්වය මැනබලනු ලැබේ. මේ හිසරුදාවේ තක්සේරුව හඳුන්වන්නේ ‘කුමා ඇන්ඞ් සුජීව සිම්ප්ටම්ස් ඉවැලූවේෂන් චාර්ට්‘ වශයෙන්ය.


මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ වේදනා නාශක ඖෂධ දිගින් දිගටම භාවිත කිරීම නිසා අනාගතයේ ඇතිවිය හැකි අක්මා හා වකුගඩු ආබාධවලින් වැළකී සිටීමට හැකිවීමයි. මොළයේ හෝ හිස තුළ වෙනත් ආබාධිත තත්වයන් නැති දීර්ඝකාලීන හිසරුදාවට තවදුරටත් ඖෂධ ගනිමින් සිටිනවාද නැතහොත් ඖෂධවලින් තොර භෞත චිකිත්සක ප‍්‍රතිකාරයකට මාරුවනවාද යන්න හිසරුදාවෙන් පීඩාවට පත්ව සිටින අයට දැන් අවස්ථාවක් ඇත. එය පහසුවක් වන්නේ මෙම භෞත චිකිත්සක ප‍්‍රතිකාරය ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හඳුන්වාදී ඇති එකක් වීමත් එම ප‍්‍රතිකාරය කිරීමට සුදුසුකම් ලත් භෞත චිකිත්සකයන් ශ‍්‍රී ලංකාව තුළ සිටීමත්ය.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි