No menu items!
20.1 C
Sri Lanka
19 January,2025

ක‍්‍රීඩාවේ ඛේදවාචකය කියාපාන රත්මලාන ක‍්‍රීඩා පාසැල

Must read


ක‍්‍රීඩා පාසැල් යනු ලංකාවේ ක‍්‍රීඩාවට අත්‍යාවශ්‍ය පාසැල් ප‍්‍රභේදයකි. ඈත ගම් දනව්වල බිහිවන ක‍්‍රීඩා හැකියාවක් ඇති දරුවන්ට අත්‍යාවශ්‍ය පෝෂණය ලබාදීමටත්, පුහුණුව ලබාදීමටත්, තමන් වැනිම ක‍්‍රීඩා හැකියා ඇති දරුවන් සමඟ හැදී වැඩෙමින් ක‍්‍රීඩා හැකියා ප‍්‍රගුණ කරගැනීමටත් ක‍්‍රීඩා පාසැල් අත්‍යාවශ්‍ය වෙයි. එහෙත් ක‍්‍රීඩා පාසැල් බිහිවෙන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට දැනට ක‍්‍රීඩා හැකියාවක් ඇති සිසුන්ට ඇති එකම අවස්ථාව වන්නේ ලංකාවේ ජනප‍්‍රිය පාසැල්වලින් ක‍්‍රීඩා හැකියාවක් ඇති සිසුන්ව බඳවාගැනීමය. එහෙත් ජනප‍්‍රිය පාසැල්වලින් සොයන්නේ ක‍්‍රිකට්, රග්බි, බාස්කට්බෝල් වැනි ජනප‍්‍රිය පාසැල් සංස්කෘතියේ උත්කර්ශයට නැංවූ ක‍්‍රීඩාවලට අයත් ක‍්‍රීඩකයන්වය. ඒ නිසා ක‍්‍රීඩා පාසැල් අත්‍යාවශ්‍ය වෙයි. එහෙත් ලංකාවේ ක‍්‍රීඩා පාසැල් සංවර්ධනය ගැන විධිමත් උනන්දුවක් බලධාරීන්ට නැත.


රත්මලාන හින්දු විද්‍යාලය පැරණි පාසැලකි. මෙම විද්‍යාලයට ක‍්‍රීඩා පාසැලක් ආරම්භ කර තිබුණේ 2018 ජනවාරි මාසයේදීය. ඒ ඉහත කී අඩුපාඩුව සම්පූර්ණ කරමින්ය. පාසැල පටන්ගෙන තිබුණේ සිසු සිසුවියන් 50 දෙනෙකුගෙන් සමන්විතවය. ක‍්‍රීඩා හැකියාවක් තිබෙන දෙමළ කතාකරන සිසු සිසුවියන් දිවයින පුරා සිටියද ඔවුන් හේතු රැුසක් නිසා ක‍්‍රීඩාවේ යෙදීමට පහසුකම් නොලැබෙයි. ඔවුන්ට ලැබෙන අවස්ථා ප‍්‍රමාණය සිංහල කතාකරන ශිෂ්‍යයන්ටත් වඩා අඩුය. ඒ නිසා රත්මලාන හින්දු විද්‍යාලයේ ක‍්‍රීඩා පාසැල ඉතා යහපත් තීන්දුවකි. මේ ක‍්‍රීඩා පාසැලේ සිසුන් වෙනුවෙන් නේවාසිකාගාරයකුත් බිහිකර තිබුණි.


ක‍්‍රීඩා පාසැල ආරම්භ කිරීම යහපත් කටයුත්තක් වුවද, මාස දහයක් ගෙවෙද්දීම ක‍්‍රීඩා කරන සිසු සිසුවියන්ට නොගැලපෙන තත්වයකට ක‍්‍රීඩා පාසැල වැටී ඇති බව වාර්තා වන කරුණය. 2018 ඔක්තෝබර් 08 වැනිදා මේ පාසැලේදී කරන ලද ස්ථානීය පරීක්ෂාවකින් පසුව පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පත්කළ පරීක්ෂණ මණ්ඩලයක් පෙන්වාදී ඇත්තේ මෙම පාසැලේ අඩුපාඩු රැුසක් පවතින බවයි. කොටින්ම කීවොත් මේ අඩුපාඩු නිසා මේ ක‍්‍රීඩා පාසැලෙහි අනාගතයේ බිහිවීමට නියමිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට යහපත් පහසුකම් නොලැබෙන බවය.


ආරම්භයේදී ක‍්‍රීඩා පාසැලෙහි සිසු සිසුවියන් 50 දෙනෙකු සිටියත්, ඔක්තෝබර් මාසය වෙද්දී ඉන්නේ සිසුන් 35 දෙනෙකු පමණක් බව රත්මලාන හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔක්තෝබර් 17 දිනැතිව ලිපියකින් දන්වා තිබේ. ඊට දින කිහිපයකට පෙර එනම්, ඔක්තෝබර් 08 වැනිදා ඉහත කී පරීක්ෂණ මණ්ඩලයෙන් පාසැලේ හා නේවාසිකාගාරයේ ස්ථානීය පරීක්ෂාවක් කර තිබුණි. එම පරීක්ෂාව අනුව ක‍්‍රීඩා පාසැලේ සිසුන් 50 දෙනෙකු අධ්‍යාපනය ලබන බව ක‍්‍රීඩා පාසැලේ ප‍්‍රධාන උපදේශකවරයා සහ සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙස කටයුතු කරන එම්. ධර්මපාලන් මයා පවසා ඇත. එහෙත් කටවචනයෙන් එසේ කී ඔහුට දත්ත මගින් එම සංඛ්‍යාව ක‍්‍රීඩා පාසැලේ සිටින බව තහවුරු කිරීමට නොහැකි වී තිබේ.


රත්මලාන හින්දු විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයෙහි ක‍්‍රීඩා පාසැලේ සිසුවියන් 8-10 අතර ප‍්‍රමාණයක් සිටියි. ඒ සමඟ පාසලේ සිසුවියන් 56 දෙනෙක් පමණ සිටියි. එහෙත් ඒ නේවාසිකාගාරයේ පාලිකාවක් නැත. එබැවින් සිසුවියන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම පැහැර හැර ඇති බවද එහි සඳහන් වෙයි. ආරක්ෂාව ගැන සහතිකයක් නැතිව නේවාසිකාගාරයේ සිසුවියන් නවාතැන් ගැනීම සිදු නොවෙයි.


කෙසේවෙතත් නේවාසිකාගාරයේ පාලිකාවක් නොමැති බැවින් දැනට කාන්තා නේවාසිකාගාරය භාරව කටයුතු කරන ගුරුවරිය, සහාය අධීක්ෂණ කටයුත භාර නියෝජ්‍ය විදුහල්පතිවරිය හෝ ක‍්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතුකරන ගුරුවරුන් තිදෙනාට පාසැලේ කාන්තා නේවාසිකාගාරයේ සිටින සත්‍ය සිසුන් සංඛ්‍යාව පැවසීමට අපොහොසත් වී තිබුණි. අනධ්‍යන සේවකයන්ද ඇතුලූ සියලූදෙනා එතැනදී නිරුත්තර වී තිබේ.


පිරිමි සිසුන්ගේ නේවාසිකාගාරයේද සිසුන් සංඛ්‍යාව පිළිබඳ විධිමත් දත්ත තිබී නැත. පාසල් නේවාසිකාගාරවල නැවතී සිටින සිසුන් ද ක‍්‍රීඩා පාසලේ අය ලෙස පෙන්වීමට උත්සාහ ගෙන තිබුණි. ක‍්‍රීඩා පාසැලේ නේවාසික සිසුන්ගේ නම් ලකුණු කිරීමක්ද විධිමත් ලෙස සිදුකර තිබී නැත.


මෙම ක‍්‍රීඩා පාසැල වෙනුවෙන් 2018 අපේ‍්‍රල් මාසයේ හා අගෝස්තු මාසයේ රුපියල් ලක්ෂ 15 බැගින් දෙවාරයක දී ලක්ෂ 30ක මුදලක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ලබා දී ඇත. එහෙත් සිසුන්ගේ නවාතැන් හා කෑම බීම ආදියට හැර අනෙක් මුඛ්‍ය අරමුනු වෙනුවෙන් එම මුදල් වියදම් කොට කටයුතු සම්පාදනය කර නොමැති බවද එම පරීක්ෂණ කණ්ඩායම සඳහන් කර ඇත. එමෙන්ම ක‍්‍රිඩා පාසැලේ සිසු සිසුවියන්ට ක‍්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය අන්දමේ කෑම වේලක් ලබා නොදෙන බවත්, ඒ වෙනුවට අල්ප ආහාර වේලක් ලබාදෙන බවත් නිරීක්ෂණය කර තිබුණි. සාමාන්‍යයෙන් ක‍්‍රීඩා පාසැල්වල එක් ප‍්‍රධාන අරමුණක් වන්නේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට තම තමන්ගේ නිවෙස්වල පරිසරයේදී නොලැබෙන අන්දමින්, පෝෂණය ලබාදීමයි. ක‍්‍රීඩා පාසැලේ සිසුන්ට ආහාර ලබාදීමට වෙන්කරන මුදල් පාසැලේ සියලූ නේවාසිකාගාර සිසු සිසුවියන්ට ආහාර ලබාදීමට වියදම් කර තිබුණි. ඒ නේවාසිකාගාරවල නැවතී සිටින පාසැලේ අනෙක් සිසු සිසුවියන්ගෙන් නේවාසිකාගාර ගාස්තුවක්ද අය කරද්දීය. ක‍්‍රීඩා පාසැලේ සිසු සිසුවියන්ට සෑම උදෑසනකම බිත්තරය බැගින් ලබාදීමට හා දහවල් හා රාත‍්‍රී ආහාර වෙල්වලට මස් හෝ මාළු ලබාදීමට උපදෙස් දී තිබුණද එම ආහාරවේල් ලබාදී තිබුණේ නැත.


ක‍්‍රීඩා පාසලේ ක‍්‍රීඩා ගුරුවරුන් ගේ මැදිහත්වීමෙන් සිදුකරන කෙටි පුහුණුවලට අමතරව සිසුන් සදහා ක‍්‍රීඩා පුහුණුවක්ද නොලැබෙන බව මෙම පරීක්ෂණ මඬුල්ල නිරීක්ෂණය කර ඇත. ඒ අනුව යහපත් ක‍්‍රියාවක් ලෙස ඇරඹුණු ක‍්‍රීඩා පාසැලකින් ක‍්‍රීඩකයන්ව බිහිකිරීම වෙනුවට නාස්තිය හා දූෂණය නිසා රජයේ මුදල් කාබාසිනියා කරන තැනක් බවට පත්ව ඇත.


ක‍්‍රීඩා පාසලේ ගිණුම් කටයුතු විධිමත් මුල්‍ය රෙගුලාසි හා චක‍්‍ර ලේඛවලට අනුව සිදු නොවන බවත් නීරීක්ෂණය වී තිබේ. භාණ්ඩ මිලදී ගැනිමේදී මිල ගණන් කැදවීමක් සිදු කර නොමැත. සමහර වව්චර්පත් වල වව්චර් අංක සදහන් කර නොතිබුණු අතර වව්චර් ලේඛනයක් පවත්වාගෙන යන්නේ ද නැත. සේවක දීමනා ගෙවීමේදී ගෙවීම් සිදු කරන ලද මාසය සම්බන්ධයෙන් වව්චර් පත්වල සඳහන් වී නැත. භාණ්ඩ මීලදී ගැනීම සදහා මෙන්ම ගෙවීම් සිදු කීරීම සදහාද පුර්ව අනුමැතිය ලබා ගෙන නැත. මේ සියලූ කාරණා නිසා රත්මලාන හින්දු විද්‍යාලයීය ක‍්‍රීඩා පාසැලෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව එම පරීක්ෂණ මණ්ඩලය දන්වා තිබුණි.


මෙම පරීක්ෂණ මණ්ඩලය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබුණි. වාර්තාවන ආකාරයට මේ වෙද්දීත් එම පාසැලේ කටයුතු බොහොමයක් නිවැරදි වී නොමැත. අප මෙහි කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳ පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා උපුලි ගුණසේකරගෙන් විමසුවෙමු. ඇය ප‍්‍රකාශ කළේ මෙම පාසැලේ විමර්ශනයෙහි තොරතුරු 2018 වසරේ ඔක්තෝබර් 31 වැනිදා වෙද්දී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කළ බව පමණි. මේ ක‍්‍රීඩා පාසැල පිළිබඳව පසුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් කර කරුණු අනාවරණය කරගෙන තිබුණත්, තවමත් මෙම අඩුපාඩු සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පියවරක් ගෙන තිබුණේ නැත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි