No menu items!
20.2 C
Sri Lanka
19 January,2025

ආණ්ඩුව ගැන පිළිකුලක් තියෙනවා

Must read

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක
රවුෆ් හකීම්

( ජුනි 03 වැනිදා අරලියගහ මන්දිරයේදී කළ ප‍්‍රකාශය *


අපේ අමාත්‍ය මණ්ඩලය අග‍්‍රාමාත්‍යතුමන් හා අනෙකුත් අමාත්‍යතුමන්ලා සමඟ දීර්ඝ සාකච්ඡුාවක නිරත වුණා. ඉන්පසුව සාමූහික තීරණයක් ගැනීමට ඉඩ සලසා දුන්නා. ස්වෙච්ඡුාවෙන් අපට තීරණයක් ගැනීමට අවසරය ලබාදුන්නා. එයට අනුකූලව රජයේ නිලතල දරණ මුස්ලිම් සමාජය නියෝජනය කරන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සියලූදෙනාම ඉල්ලා අස්වෙන්න තීරණය කර තිබෙනවා.


අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සංහිඳියාව, සාමය නැවත ස්ථාපිත කරලා රටේ ඇතිවෙලා තියෙන කලබගෑනිය හා අනෙකුත් බලවේග එල්ලකරන චෝදනා පිළිබඳව හරියාකාරව පරීක්ෂණයක් පැවැත්වීමට. යම් චෝදනාවක් තියෙනවානම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා අඩුම වශයෙන් මාසයක් තුළ විමර්ශනයක් කරන්න ඕනෑ කියලා අපි ඉල්ලා සිටිනවා.


අපි මේ රටට හිතෛෂියි. මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒ සඳහා පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව අපේ ජනතාවත්, නායකයන් විදියට අපිත් උපරිම සහයෝගය ලබාදීලා තියෙනවා. නොයෙකුත් හිරිහැර මැද්දේ අපේ ජනතාව නිහඬව හිඳිමින් සහයෝගය ලබාදුන්නා. එසේ තිබියදීත් මේ රටේ වෛරය ඇතිකරන සිදුවීම් පිලිබඳව රජය ක‍්‍රියා කරන ආකාරය පිළිබඳව අපි පිළිකුලට පත්වෙලා තියෙනවා. මෙයට විසඳුමක් හැටියට අපි ආණ්ඩුවේ තනතුරු අත්හරිනවා. එහෙත් අපි මේ ආණ්ඩුව බලහීන කරන ක‍්‍රියාදාමයකට යන්නේ නැහැ. අපි මේ ආණ්ඩුව තුළ හිඳිමින් පසුපෙළ මන්ත‍්‍රීවරුන් හැටියට කටයුතු කරනවා. මේ ආණ්ඩුව රැුකීමටත් අපි ඉදිරිපත් වෙනවා. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අප නියෝජනය කරන ජනතාවට ආරක්ෂාව ලබාදේවි කියලා. එසේ නොවීම පිළිබඳව විශාල පිළිකුලක් අපේ ජනතාව අතර තියෙනවා.


ඊයේයි අදයි සිදුවූ නොයෙකුත් සිදුවීම් මධ්‍යයේ විශාල භීතිකාවක් අපේ ජනතාවට ඇතිවුණා. ඒ ජනතාව අහිංසකයි. සුළු කල්ලියක් කරපු මේ ක‍්‍රියාදාමයට මුස්ලිම් ජනතාව වින්දිතයන් වෙලා තියෙන අවස්ථාවක් මේක. මුස්ලිම් ජනතාව විදියට අපි වින්දිතයන් වීම ගැන කිසිම කණගාටුවක් නෑ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා මේකට විසඳුමක්. මේ රටේ ජාතීන් අතර සමගිය අවශයයි. මේ රට ගැන ජාත්‍යන්තරයේ තියෙන කීර්තිනාමයට කිසිම කැළඹීමක් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. චෝදනා කාට තිබුණත් ඒ චෝදනා ගැන කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා තුලින් මේකට විසඳුමක් දෙන්න හැකිවේවි කියලා. මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් ඕනෑ. කවුරුහරි වැරදිනම් ඒ පිළිබඳ දඬුවමක් ඕනෑ. ඒ පිළිබඳ කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒත් රට එක්සේසත් කළ යුතුයි.


භේද බින්න ඇතිකරන, ක්‍රෝධය වපුරුවන අය ගැනත් අපි අවධානයට ලක් කළ යුතුයි. මේ වගේ තත්වයන් නිසා ඇතිවෙන කැළඹීම් සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි. අපේ ජනතාව විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නවා. ඒ පීඩනය පිළිබඳව හරි අවධානය යොමුවිය යුතුයි කියන එක අපේ ඉල්ලීමක්. ඒ වගේම හිරගෙවල්වල ඉන්න අය අතරේ විශාල පිරිසක් අහිංසක අය ඉන්නා බව අපි හොඳට දන්නා කරණයක්. ඒ පිළිබඳව ඉක්මනින් විමර්ශන අවසන් කරලා, පරීක්ෂණ පවත්වලා ඒ පිළිබඳවත් හරියාකාරයට නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි තනතුරු පරිත්‍යාග කරනවා. වෙන මොකකටවත් නෙවෙයි, මේ රටේ සදාකල් ඇතිවන සාමය ඇතිවිය යුතුයි. සහජීවනය ඇතිවන වටපිටාවක් හැදිය යුතුයි. ඒ නිසා අපි මේ තීරණයට එළැඹී සිටිනවාය කියන එක අපි ඉතා බැගෑපත්ව කියා සිටිනවා.x

x අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි