No menu items!
23.4 C
Sri Lanka
10 October,2024

ජීවමාන බොරුව සහ පරම සත්‍යය

Must read

x නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය නිකුත් විය. පරපුටු මනසින් ලෝකය දකින අපේ මිනිස්සු රාහුල් ගාන්ධි බලයට පැමිණේ යයි විශ්වාස කළහ. එසේ වී නම් පවුල්වාදය වෙත ඇදී ගිය ඉන්දියාවේ ගැම්මට ලංකාවේත් ආණ්ඩු මාරුවක් කළ හැකිය. එය එහෙම වුණේ නැත. නරේන්ද්‍ර මෝදි නැවත බලයට පත්වීමේ ලබාගත් පාර්ලිමේන්තු බහුතරය ලංකාවට නම් හීනයකි. රණසිංහ පේ‍්‍රමදාසට පින් සිද්ධ වෙන්න අපට කිසිදා ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරීමට නොහැකිය. අප මෙන් හූණු සාත්තරත් විශ්වාස කළ ඉන්දියාව මිසයිල් යවමින් සිටින්නේය.
විසි දෙහැවිරිදි අයිසැක් නිව්ටන් 1664දී තැබූ සටහනක් මෙසේය. ‘‘ප්ලේටෝ මාගේ මිතුරාය. ඇරිස්ටෝටල් ද මාගේ මිතුරාය. එහෙත් මාගේ හොඳම මිතුරා සත්‍යය නම් වේ’’ නිව්ටන් මේ පණිවිඩය සටහන තැබුවේ ඇරිස්ටෝටලියානු (කි‍්‍ර.පූ.384-322* ගතානුගතිකත්වයට යටවූ තම විද්‍යා නිකේතනය වූ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලය ගැන පැවති අවබා්ධය අනුව විය හැකිය. ඉන්දීය ප‍්‍රතිඵලය ගැන කල්පනා කරන විට, සිය මිතුරන් ලෙස සලකමින්, එජාපයත් ශී‍්‍රලනිපයත් සමග බෙදී භේදවී විනාසවෙමින් සිටින ලාංකික අප එකී මුග්ධ මිත‍්‍රත්වයට වඩා ශක්තිමත් යථාර්ථය හදාරමින් දේශීය දේශපාලනයේ ගුරුත්වාකර්ෂණය සොයා ගත යුතුව තිබේ.


හයේ පන්තියෙන් ඉහළට නොගිය ඞී.ඇස්. සේනානායක ඉන්දු ලංකා පුරවැසි ප‍්‍රශ්නවලදී නේරුලාට වඩා දගලන්නට ඉඩ දුන්නේ නැත. ඞී.ඇස්. හොරෙක් තක්කඩියෙක් නොවීය. අපට ඉන්නේ හොරුන් තක්කඩියන් පමණකි. ඞී.ඇස්. යටත් විජිත පාලනය තුළ ලංකාව වටා ජනාවාස ඇති කිරීමට සමත් විය. ඉතිහාසය සාරාංශ කළ විට, ඒ නිසාම ඞී.එස්. අදටත් මහාමාන්‍ය සේනානායකම වෙයි. බෞද්ධ භික්‍ෂූන් 1956දී තෝරා ගත් ආසියාවේ රීදී සීනුව වූ බණ්ඩාරනායක බලයේ සිව් වසර තුළ ‘සෙවල බණ්ඩා’ ලෙස නින්දා විඳිමින් සිට, භික්‍ෂුවක අතින් මැරුම් කෑවේය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ බොරුවෙන් බණ්ඩාරනායක පමණක් නොව පරම්පරා ගණනාවක ¥දරුවන් පසුබා ගියේ බෞද්ධ ශිෂ්ටාචාරය දේශපාලනයට මිශ‍්‍රවීම හේතුවෙනි. ඒ අපරාධය කළෝ අදටත් රට ආපස්සට අද්දවති. සේනානායකලා ලාංකේය චින්තනයෙන් පදම් කළ එජාපය මේ රටේ සාම්ප‍්‍රදායික (කන්සර්වෙටිව්වාදී* මිනිසුන්ගේ මිතුරා විය. 1973 පටන්, ගෙන්දගම් පොළොවේ උපන් ජේ.ආර්.ලා, පේ‍්‍රමදාසලා රනිල්ලා එකී පක්‍ෂය වළඳටත්, පොළොවටත් අහිමි බිඳී ගිය වළං කට්ටක් බවට පත්කළහ. එජාපයේ පේ‍්‍රමදාස 12.5%ක නොකවුට් එක 5% තෙක් බස්සා පාර්ලිමේන්තු සංයුතිය අවුල් කිරීමේ පාපයට ජාතියම පව් ගෙවයි. එය නොකළ යුතුව තිබිණ.

අද මුස්ලිම් අන්තවාදයට මුවාවී රිෂාඞ් බ¥ර්දීන්ට විශ්වාස භංග යෝජනා ගොනුකිරීම හරහා රාජපක්‍ෂලා වර්ගවාදය අවුස්සති. රාජපක්‍ෂලාත් එජාපයත් කළ යුත්තේ රිෂාඞ්ලා වැනි වර්ගවාදී පක්‍ෂ සමග ආණ්ඩු පිිහිටුවන්නේ නැති බවට ජාතියට ශපථ කිරීමය. ඒ බලපෑම හරහා සුළු ජාතින්ට මහා පක්‍ෂ සමග සහෝදරත්වයෙන් එක්වීමට කෙරෙන බලපෑම යනු නැවත රට තුළ ජාතික දේශපාලනයක් නිර්මාණය කර ගැනීමය. බුර්කාව තහනමට ගැසට් නිකුත් නොකළ සිරිසේන ගලගොඩඅත්තේ නිදහස් කර රටේ ජාතිවාදයට ගිනි තබා අවසන්ය. නිව්ටන්ට අනුව අප පසුකර යා යුතු අපේ මිත‍්‍රත්වය මෙවැන්නකි.

අප ළගා විය යුතු පරම සත්‍යය අවස්ථාවාදී සිරිසේන සමග නැත. විල්පත්තුව කපා ජනාවාස කිරීමට අවසර දුන් රාජපක්‍ෂලා විශ්වාසභංගය හරහා සිංහල ජාතිවාදය අවුලූවමින් සිටිති. නිව්ටන්ට අනුව අප ළගා විය යුතු පරම සත්‍යය රාජපක්‍ෂලා වෙත නැත. රනිල් ෆොක්ස්වැගන් කොම්පැනි බොරුවෙන් පටන් ගෙන මහ බැංකුව බිඳීමෙන් එජාපයේද පරම හතුරා වී හමාර ය. රනිල් මිතුරෙකු ලෙස සලකන්නෝ රටේ ඇත්තේම නැත. නිව්ටන් න්‍යාය හෙවත් මේ කියන සත්‍යය සොයා යාම ලංකාවේ හැට දෙලක්‍ෂයක් ජනතාව ආරම්භ කර හමාරය. පක්‍ෂ දෙක අතහැර ඔවුන් ඒ අභ්‍යාසය ආරම්භ කළේ 2010 පොදු අපේක්‍ෂකයා සංකල්පය හරහා ය. එදා ආරම්භ කළ නිර්දේශපාලන අභ්‍යාසය 2015 ජනවාරියේ පලදැරීය.

තක්කඩියන් දෙන්නෙක් ඒ ගමන අඩපණ කළහ. ජනවාරිය අනතුරට ලක් කරමින් රනිල් මහින්ද සමග ඞීල් ගැසිය. එයින් බියවූ සිරිසේන කළේ රනිල්ට එරෙහිව රාජපක්‍ෂට එකතු වීමය. සිරිසේන දණගස්වා නැවත ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමට අධිකරණයට අභියෝග කරමින් සිරිසේන-රනිල් ආණ්ඩුව ගලගොඩඅත්තේට සමාව දුන්නේය. එසේ සමාව දුන්නේ අධිකරණයට අපහාස කළ එකෙකුටය. විල්පත්තුව කැපුණේද, නීතියට පිටිනි. පිළිම කැඩූ එවුන් බේරා ගත්තේ නීතියට පිටිනි. සරත් සිල්වා හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද බේරුවේද නීතියට පිටිනි.

ලසන්ත තාජුදීන් ආදි ඝාතන යටයන්නේ නීතියට පිටිනි. අර්ජුන් මහේන්ද්‍රන් රැුකෙන්නේ නීතියට පිටිනි. නීතියේ ආධිපත්‍යය කෙළෙසෙන කිසිවෙකු රටට හිතවත් නැති බව අප තේරුම්ගත යුත්තේය. අප ළගාවිය යුතු නිව්ටන් කී පරම සත්‍යය නම් නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කර විනයගරුක රටක් නිර්මාණය කිරීමය. ඒ සඳහා සිරිසේන රනිල් රාජපක්‍ෂලා ප‍්‍රතික්‍ෂේප කළ යුතුවේ.


බිඳවැටුණ හෝටල් කර්මාන්තය නිසා රැුකියා අහිමිවූ තරුණයෙකු එකී ඛේදවාචකය දුටුවේ පාස්කු ප‍්‍රහාරයට අයිඑස්අයිඑස් උප්පැන්නය දුන්නා පමණකි යන්නය. පවතින තත්වය හරහා සත්‍යය දකිය යුත්තේ එවැනි සමීකරණ හරහාය. සිසුන් දෙමාපියන් බියගන්වා පාසල් වැස්සවීමේ ජාතික අපරාධය ආරම්භ කිරීමට බෞද්ධ කතෝලික පූජකයන් මුල්වීම දැකිය යුත්තේ එසේය. කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරයා හරහා රටේ අවුළුවන මුස්ලිම් විරෝධය තේරුම් ගැනීම සත්‍ය දැකීමකිි. මෙය පසුව පිටි ගුලියක්වූ තවත් වඳ පෙත්තක් විය හැකිය. සැක කටයුතු ලෙස ධනය ඉපයූ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නේ අල්ලස් හෝ ¥ෂණ කොමිසම නොවේ. ඒ වැරැුද්ද වැසීමට අතුරලියේ රතන හිමි ගොන් කතා කියමින් සිටියි. පේරාදෙණී සරසවියේ ඓතිහාසික පහන බිඳ විනාශ කළ රතන හිමි යනු සාසනේවත් ජාතියේවත් මිතුරෙක් නොවේ. ජනතාව සත්‍යය දැකීමේදී මේ තක්කඞීන් ප‍්‍රතික්‍ෂේප වෙනු ඇත.


අද ලාංකිකයන්ට තෝරා ගැනීමට දේශපාලන විකල්පයක් නැත. අවස්ථාවාදී දේශපාලනඥයෝ මේ අනතුුරෙන් වාසි ලබා ගැනීමට අධීකරණයට අපහාස කළ චීවරධාරියෙකු සමාජගත කළහ. දින කිහිපයකින් රටේ ආරක්‍ෂාව සහතික කළ ආරක්‍ෂක අංශ තුට්ටුවට දමමින් පාසල් වැසීමට ජනතාව බිය ගැන්වූහ.


නීතියේ ආධිපත්‍යය, ජනජීවිතයේ සුරක්‍ෂණය ජනවාරි සටනේ තේමාව විය. නීතියේ ආධිපත්‍යය ඔක්තෝබර කුමන්ත‍්‍රණය දිය කළේය. ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සමග අසුවූ වීරවංශ බේරා ගත් රනිල් වික‍්‍රමසිංහගේ එජාපය, නීතියට පිටින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය සිරිසේන මෙහෙයවන ශී‍්‍රලනිපය රටේ මිතුරන් නොවේ. හතුරෝ වෙති. පාස්කු ප‍්‍රහාරය මුවාවෙන් මිනිමරුවන් කිහිප දෙනෙකු අධිකරණයෙන් බේරා ගැනීමට තැත් කළ, රාජපක්‍ෂලා මෙහෙයවන පොහොට්ටුව රටේ මිතුරන් නොවේ. හතුරෝ වෙති. නිව්ටන් සත්‍යය සොයා යාමේදී ප්ලේටෝ ඇරිස්ටෝටල් දෙවනු කොට සැලකීය. අප රට වෙනුවෙන් සිරිසේනලා රනිල්ලා රාජපක්‍ෂලා නොරපා සත්‍යය කරා ගමන් කළ යුතුවේ.


රනිල් සිටින්නේ ගැංසි මානසිකත්වයකින් මිස නායකත්ව සත්තාවකින් නොවේ. එජාපයට සමීපව සිටි සාම්ප‍්‍රදායික කොන්සර්වෙටිව්වාදීන් සත්‍යය සොයා යාම ආරම්භ කළේ 2010දීය. ඔවුහු ජනවාරියේ මහින්ද පරාද කළ හැට දෙලක්‍ෂයෙන් 80%ක් වූහ. ඔවුන් අගෝස්තුවේ නැවත එජාපයට සමීප වුණේ අපේක්‍ෂා සහිතවය. එහෙත් මහ බැංකුව බිඳ දහඅතේ ගාගත්තේය. රාජපක්‍ෂලාගේ වංචා ¥ෂණ රැුක්කේය. එහි ප‍්‍රතිඵලය 2018 පෙබරවාරියේ එජාපය තිස් හයලක්‍ෂයට බස්සමින් සත්‍ය ගවේෂී සාම්ප‍්‍රදායික කොන්සර්වෙටිව්වාදීන් එජාපයෙන් නික්මීමය. ඔවුහු පෙබරවාරියේ සිරිසේනගේ කූඩාරමේ නතර වූහ.

දාහතර ලක්‍ෂයක් වූ සාම්ප‍්‍රදායික කන්සර්වෙටිව්වාදීහු ඔක්තෝබරයේ සිරිසේනටත් නොකියාම පාරට බැස නිව්ටන්ගේ න්‍යාය අනුව, හඳුනාගත් සත්‍යය වෙත ගොනු වෙමින් සිටිති. විවිධ අංඩ දැමූ සංධානවල කලිසම් ඇඳ ඇවිදින ශී‍්‍රලනිපය ඒඞ්ස් රෝගියෙකි. එය කෙටි කලක් තුළ දුමින්ද දිසානායකගෙන් රෝහණ ලක්‍ෂමන්ටද ඔහුගෙන් දයාසිරිගේද අතින් අතට යන රෝග වාහකයෙකු මිස පක්‍ෂයක් නොවේ.


නිදහස් ලංකාව අමාරුවේ දැමීමේ නඩුව පළමුවෙනි චුදිතයා ශී‍්‍රලනිපය වේ. එය 56දී තම වාසියට කී බොරු අද වන විට, ජාතිියේ මරඋගුල් බවට පත්ව ඇත. වාසිය දුටු තැන ඕනෑම කුප්පිදුකමක් කිරීමෙන් කුජීතවූ එකී ‘ශී‍්‍රලනිප නෙයියාඩගම’ දැන් සිරිසේන බැඳගත් වෙස් තට්ටුව බවට පත්ව ඇත. බැසිල් රාජපක්‍ෂ ගොනු කොට, සාක්කුවේ දමාගෙන සිටි හැට ලක්‍ෂයක ඡුන්ද පදනමෙන් ජනවාරියේ ලැබුණේ පනස් හත් ලක්‍ෂයකි. අගෝස්තුවේ එයින් දස ලක්‍ෂයක්ම අහිමි විය. 2018 පෙබරවාරිය වන විට රාජපක්‍ෂලාට ඉතිරිව ඇත්තේ හතලිස් නව ලක්‍ෂයකි. ඒ කියන්නේ ජනවාරියේ ඔවුන් අපේක්‍ෂා කළ හැට ලක්‍ෂයෙන් එකොළොස් ලක්‍ෂයක් ජනතාව රාජපක්‍ෂලා අතැර ගොස්ය. මේ දිනවල ඔවුන් පාස්කු ප‍්‍රහාරය හරහා ලේ මස් විකුණමින් දගලන්නේ පිරිස වැඩි කර ගැනීමටය. රාජපක්‍ෂලාට අහිමිවූ ලක්‍ෂ හතඅටක් කුමාර වෙල්ගමලා හරහා නිව්ටන්ගේ න්‍යාය අනුව, සත්‍යය වෙත ගොනු වෙමින් සිටිති. එජාපයෙන් පිටවූ දා හතර ලක්‍ෂයක් මහින්දට නැතිවූ හත් අට ලක්‍ෂයක් එක්වූ මේ ඡුන්ද විසි දෙලක්‍ෂය නිව්ටන් මෙන් මිත‍්‍රත්වය ඉක්මවා, හිතන බුද්ධිමත් සත්‍ය ගවේෂකයන් මිස වහල්ලූ නොවෙති.

ජනතා විමුක්ති පෙරමුණ සතු හත් ලක්‍ෂයද, ද්‍රවිඩ ජාතික සංධානය සතු පන් ලක්‍ෂයද එජාප ශී‍්‍රලනිප බොරුව තේරුම් ගෙන බොහෝ කල්ය. මෙසේ ප‍්‍රධාන පක්‍ෂවලින් බැහැර වූ තිස් ලක්‍ෂය ඉක්මවූ ශක්තිය ප‍්‍රධාන පක්‍ෂ දෙකේ අපේක්‍ෂයන්ට අභියෝග කරති. අප මෙහිදී අධිතක්සේරුවකට නොයා මේ සංඛ්‍යාවන් විසි ලක්‍ෂයකට ලඝු කළ යුතුවේ. ජනවාරි පදනම නිර්මාණය කළේ සාම්ප‍්‍රදායික පක්‍ෂ දේශපාලනයෙන් මිදී පෙළ ගැසුණ බලවේගයකි. මේ ශක්තිය පොඩියට තැකිය යුතු නොවේ. රට අතරමං කළ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ සීමා ඉසව් සටහන් වී අවසානය. ආපසු ඉන්දියාවට යයි නම් මෝදි හමුවේ පසුබා ගියේ ඉන්දියාව නිර්මාණය කළ නේරුගේ දරු මුණුපුරෝ වෙති.

නේරු යනු බුද්ධිමතෙකි. ඉන්දීය ජනගහනයෙන් සියයට තිස් ගණනක් කතාකළ හින්දි රාජ්‍ය භාෂාව කිරීමටද, වංග බසින් ලියැවුණ ගීයක් ඉන්දිය ජාතික ගීතය ලෙස තෝරා ගැනීමටද, ඔහු ඉන්දියාවට නායකත්වය දුන්නේය. කිසිවෙකුට වෙනස් කළ නොහැකි ජාතික ප‍්‍රතිපත්තියක් නේරු ඉන්දියාවට හිමිකර දී ඇත. අද සිරිසේන රනිල්ට හොරා චීනයට ගොස් ගිවිසුම් ගැසුවාට ඉන්දියාවේ ඒ සෙල්ලම් කිරීමට කිසිවෙකුටත්් බැරි නීතියක් රටක් නේරු නිර්මාණය කළේය.

කොටින්ම පල් හොරෙකු රටේ නායකයා කළත් ඉන්දියාවේ නීතියට පිටින් යා නොහැකිය. රාහුල් යනු ඒ පරපුරේ මුනුපුරෙකි. නේරු නිදහස් ඉන්දියාට දුන් පණිවිඩය රටක් පවුලක වහලූන් නොවන බවය. නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප‍්‍රසාද්ය. අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපති වුණේ මුස්ලිම් නිසාම නොවේ. ඉන්දියාවට ගැළපෙන පුරවැසියෙකු වූ හෙයිනි. නේරු පරපුර අබිබවා නැවත නැගී සිටි නරෙන්ද්‍ර මෝදි විශිෂ්ට දේශපාලකයෙකි. ඉන්දියානුවන් රට භාර දෙන්නේ උප්පැන්න සහතික මරණ සහතික බලා නොවේ. ජීවත්වන මිනිසෙකුගේ හෘදය ස්ඵන්දනයට කන් දෙමිනි. සාක්‍ෂරතාවෙන් දිළිඳු ඉන්දියාවට සත්‍යයේ හඬ වෙන් කර ගැනීමට පුරුදු කළේ නේරුලා විසිනි. ඒ රටේ සියල්ලට ඉහළින් නීතිය දිළිසෙයි. නීතිය නිසා රටත් පවතී. ජනාධිපති මන්දිරයේ නිදන කාමරයේ වහළ කාන්දුවීමකින් කලාම්ගේ ඇඳ තෙමිණ. ඔහු අවදිව ඇඳ පැත්තකට ඇද නිදා ගත්තේය.

ඒ බව රට දැන ගත්තේ ඔහු තනතුරෙන් නික්ම ගිය පසුවය. ඉන්දියාවට උචිත වන්නේ එවැනි මිනිසුන්ය. ලංකාවේ ජනාධිපති රාජපක්‍ෂ උතුරේ යුද්ධය පෙන්වා, ජනාධිපති මන්දිරයේ වායු සමනය කළ බංකර තනා ගත්තේය. රාජපක්‍ෂ එළවා ගෙන්වා ගත් සිරිසේන අද කරන්නේ රාජපක්‍ෂ අනුගමනය කිරීමය. මේක රටක්ද ගුබ්බෑයමක්ද ඇසීමට ඒ හොඳටම ප‍්‍රමාණවත්ය. අපට අවශ්‍ය නේරුලා කලාම්ලා වැනි මිනිසුන් ය. නිව්ටන් සත්‍යය සොයා ගියේ තමන් පරිශීලනය කළ, ුඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා පසුකරලාය. අප සත්‍යය සොයා යා යුත්තේ වීරවංශ, ගලගොඩඅත්තේ, ගම්මන්පිල ආදි අපේ කාලයේ කුශාග‍්‍ර බුද්ධිමතුන් පසුකරලාය. අප සත්‍යය සොයා යා යුත්තේ සමකාලීන නිදහස් ලංකා ඉතිහාසයට එරෙහිවය. අප නිදහස ලබන විට ලංකාව බෙහෙවින් ධනාත්මක විය.

ඉන්දු ලංකා ප‍්‍රශ්නය හමුවේ වතු දෙමළ ව්‍යාප්තිය ජාතික දේශපාලනයේ පදාසයක් වෙමින් තිබිණ. ඞී.එස්.සේනානායක, ද්‍රවිඩ සංගමය සමග ආණ්ඩු පිහිටුවා ජීජී පොන්නම්බලම්ලා සමග පුරවැසි පනත හරහා වතු දෙමළ ව්‍යාප්තිය අඩපණ කළේය. ඒ නිසාම 1952 මැතිවරණයේදී එජාපය කයිට්ස්, කන්කසන්තුරෙයි, චාවාකච්චේරි, මන්නාරම, කල්කුඩා, වැනි දමිළ ආසන දිනා ගැනීමට සමත් විය. ඒ යථාර්ථවාදී ප‍්‍රවේශය විනාස කළේ කවුද? ඊට ලැබෙන නිවැරදි උත්තරයට කියන්නේ සත්‍යය කියාය. අදත් ඒ සහෝදරත්වයට උතුර සූදානම් ය. ;

උතුරට අවශ්‍ය සහජීවනය පමණකි. උතුරේ සහෝදරත්වයට වඩා බුද්ධාගම රාජ්‍ය ආගම කිරීම දකුණට වැදගත්ය. පක්‍ෂ දෙකම ගලගොඩඅත්තේ භික්‍ෂුුව නිදහස් කර දකුණේ ජාතිවාදී ඡුන්දවලින් පෙට්ටි පුරවා සුථ ජාතින් පිනවීමට වෙර දරති. පාරටත් කැලේටත් වෙන් කළ රක්‍ෂිත බිම් සහ වෙරළ තීරය තෑගි දෙමින් කෙළින මේ දේශපාලනය වහා නතර කළ යුතුය. වර්ග ආගම් පරමාර්ථ මුල් කොටගත් දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතු වේ. පාරට කැලේට හිමි ඉඩම්වල පවත්නා සියලූ ඉදිකිරීම් ඉවත් කළ යුතු වේ. අදටත් හමුදාව අල්ලා ගත් උතුරේ ඉඩම් ආපසු භාරදී නැත.එහෙත් දකුණේ දේශපාලනය උතුර අහිමිවූ මුස්ලිම්වරුන් සඳහා විල්පත්තුව දන් දී හමාරය. ඒ අනීතික හයිය භීෂණය වමාරයි.


අප තේරුම් ගත යුතු සත්‍යය එය වේ. 18 වෙනි සංශෝධනය හරහා පවුලටම රට කරවන තැනට ව්‍යවස්ථාව වෙනස් කළ මහින්ද රාජපක්‍ෂ පළවා හැරියේ නිව්ටන්ගේ න්‍යාය තේරුම් ගත් බහුතරයකි. ඒ ග`ග ආපසු ගලන්නේ නැත. සත්‍යය තිත්ත යයි කතාවක් ඇත. කසායත් තිත්තය. ප‍්‍රතිඵලය සනීපදායකය.x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි