No menu items!
20.5 C
Sri Lanka
24 November,2024

අපටත් ඇලඩින්ගේ පුදුම පහනක්

Must read

x කෞශල්‍යා ප‍්‍රනාන්දු

මම පසුගිය දාක මගේ දරුවන් දෙදෙනා සමග වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වන නවතම ඇලඩින් නිෂ්පාදනය බැලීමට සිනමාහලට ගියෙමි. ප‍්‍රධාන චිත‍්‍රපටිය ආරම්භ වීමට පෙර ඉදිරියේ තිරගත වීමට නියමිත චිත‍්‍රපට දහයක පමණ කොටස් (ඔර්සකැරි* අපට අකමැත්තෙන් හෝ නැරඹීමට සිදුවිය. ඉන් බොහොමයක් හොලිවුඞ් නිෂ්පාදන විය. ආරම්භයේ සිටම දෙකන් බිහිරි කරවන තරමේ ශබ්ද නිකුත් කරමින් නොයෙක් මාදිලියේ අවි ආයුධ මගින් මිනිසුන්, රටවල්, සතුන්, පරිසරය විනාශ කරන දමන දර්ශන රැුගත් මෙම චිත‍්‍රපට ඛණ්ඩ, අප පුදුමාකාර පීඩනයකට ලක් කළේය. ඇතැම් චිත‍්‍රපටි විකාරරූපී මුහුණු සහිත සතුන් හා පුද්ගලයන්ගෙන් යුක්ත විය.

ඇතැම් චිත‍්‍රපට හොරර් වර්ගයේ හොල්මන් චිත‍්‍රපට විය. කුඩා ළමුන් අවතාර මෙන් රඟපාමින් පවුල් සහ මිනිස් මනස ව්‍යාකුලත්වයට පත් කරන අයුරු මේවායේ දිස්විය. මෙම චිත‍්‍රපට අප ඉදිරියේ නැරඹුවේ නැතත් එම ඛණ්ඩ කිහිපය නැරඹීමෙන් අපි බොහෝ සේ පීඩනයට පත්වූයෙමු. මේවා දකින අතරවාරයේ මගේ සිහියට ආවේ මෙම නිර්මාණ නරඹන රසික මනස කෙසේ විය හැකිද යන්නය. මා දන්නා පරිදි ඇතැම් දරුවන්, තරුණයන් මෙම චිත‍්‍රපට මාලා නැරඹීමට ඇබ්බැහි වී ඇත. මෙවැනි චිත‍්‍රපට ගණනාවක් නැරඹීමෙන් පසු රටක් නොව මුළු ලෝකයම විනාශ කරන තරමට මානසිකත්වයන් වර්ධනය විය හැකි බවට සැකයක් නැත. මෙම චිත‍්‍රපට නැරඹුමෙන් කිසියම් කෙනෙකු කෙරෙහි අනුකම්පාව, දයාව, කරුණාව යන හැඟීම් කිසිසේත්ම ඇති විය නොහැක. පළිගැනීම, වෛරය, භීෂණය, විනාශය මනස් තුළ පැළපදියම් වනවා නොඅනුමානය.


එම මහා ව්‍යසනයෙන් පසු අපි ඇලඩින් දුටුවෙමු. මා තුළ සියුම් සතුටක්, සැහැල්ලූවක් එය නැරඹීමෙන් ඇති විය. අර විනාශය ලොව පුරා පතුරන හොලිවුඩයම හෘදයංගම හදවතක් ඇති ඇලඩින් කෙනෙකු සහ භූතයෙකු (ජීනි* නිර්මාණය කොට ඇත. පළමුවෙන්ම කිව යුත්තේ ඔවුන් භූතයා ලෙස ජනප‍්‍රිය හොලිවුඞ් නළු කළු ඇමරිකානු විල් ස්මිත් යොදා ගැනීමම සංකේතාත්මකව ලෝකයට කියන පණිවුඩය විශිෂ්ට බවයි. ඇලඩින් ලෙස මුස්ලිම් සම්භවයක් ඇති නවක නළුවෙකු වන මේනා මසූඞ් යොදාගෙන ඇත.

මේ භූතයා අවුරුදු දාහක් මෙම පහන තුළ සිරවී සිට ඇලඩින්ගේ පිහිටෙන් එළියට පැමිණෙයි. එහෙත් භූතයාට නිදහස ලැබීමට නම් ඇලඩින් සඳහා ඔහු ප‍්‍රදානය කරන වර තුනකින් එකක් භාවිත කළ යුතුයි. අනාථ දුප්පත් තරුණයෙකු වූ ඇලඩින් තමාට පුද්ගලික අවශ්‍යතා කොතෙක් තිබුණද, – රටේ රජ කුමරිය අවාහ කරගැනීම ඇතුළුව- තම මිතුරු භූතයාගේ නිදහස වෙනුවෙන් එක වරයක් ඔහු පරිත්‍යාග කරයි. එය එම චිත‍්‍රපටයේ ඉතාම සුන්දර වූත් හෘදයංගම වූත් අවස්ථාවකි. අපට මනුෂ්‍යයා කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි බව ඉන් මට හැඟුණි.


අපේ රටේ මෙන්ම එම රටේද බලය සඳහා කෑදරකමෙන් දඟලන පුද්ගලයෝ ඇත. ඉන් එක් පුද්ගලයකුහට මුළු ලෝකයේම වඩාත්ම බලසම්පන්න පුද්ගලයා බවට පත් වීමට ඇති කෑදරකම නිසා ඔහු භූතයාගෙන් ඉල්ලා සිටින්නේ තමන් එම තත්වයට පත් කරන ලෙසයි. ඔහු ඉල්ලූ පරිදි භූතයා ඔහු රටේම වඩාත්ම බලසම්පන්න පුද්ගලයා බවට පත් කරමින් අවුරුදු දාහකට පුදුම පහන තුළ සිර කරයි. අප රටේ ද බල කෑදරත්වයෙන් රටට වින කටින දේශපාලනඥයන් අල්ලා සිර කිරීමට අපටත් ඇලඩින්ට මෙන් එවැනි පුදුම පහනක් තිබුණේ නම් යැයි මට අනේක වාරයක් සිතුණි.


තවමත් අඳුරු වළාකුළු අතර රිදී රේඛාවක් ඇතැයි මට මෙම නිර්මාණය බලද්දී සිතුණි. ළමා නාට්‍ය නිෂ්පාදකවරියක වූ මාගේ මව, සෝමලතා සුබසිංහ සෑම විටම තම නිර්මාණ තුළින් දරුවාහට බලාපොරොත්තු සහගත සුන්දර විස්මිත හෘදයංගම ළමා ලෝකයක් නිර්මාණය කිරීමට උත්සුක වූයේ කුඩා කල සිට ඇසුරු කරන දේ තුළින් දරුවාගේ මානසික වර්ධනය සිදුවේය යන පරම සත්‍යය සිතෙහි තබාගෙනය. දරුවාගේ මනස සුවපත් කිරීම කොයි තරම් වැදගත්ද යන්න දැන් අන් කිසි කලෙකට වඩා වඩාත්ම දැනෙන කාලය බවට පත් වී ඇත. සෝමලතා සුබසිංහගෙන් පසු ළමා නාට්‍ය කලාව සම්බන්ධයෙන් ගැඹුරින් හැදෑරීමට ඉදිරිපත් වූ අය නැති තරම්ය. එයට නොයෙක් හේතු තිබිය හැක. එහෙත් අද අප සමාජය පත් වී ඇති මේ භයංකර තත්ත්වය තුළින් කැළඹී ඇති දරුවන්ගේ මනස සුවපත් කිරීමට විශේෂයෙන් ළමා නිර්මාණ වඩා වඩා අවශ්‍යය. කෙසේ හෝ දේශපාලනඥයන්ගේ අමනකම් සහ ආත්මාර්ථකාමී යටිකූට්ටු කල්ක‍්‍රියාව හේතුකොටගෙන ව්‍යාකුලත්වයට පත්ව විනාශයට යමින් සිටින අපගේ සමාජයේ විවිධ ජනවර්ග අතර ඇති විශ්වාසය කැඞී බිඳී යන මෙවැනි මොහොතක අප පුරවැසියන් වශයෙන් ඉන් මිදීමට පාලකයන්ගේ හෝ නායකයන්ගේ පොරොන්දුවලට නොරැුවටී අපේම ශක්තියෙන් අප රට මුදවා ගත යුතුවේ. මේ වෙනුවෙන් කලාකරුවන්ට විශේෂ කාර්යභාරයක් පැවරෙයි.


2015 මැයි මාසයේ 30 වනදා අප අතරින් වියෝ වූ සෝමලතා සුබසිංහ මගේ මෑණියන් සිහිපත් කිරීමේදී මට අද සමාජයේ ඇති වී තිබෙන මෙම ඛේදනීය තත්ත්වයෙන් වියුක්තව ඇය ගැන සිතිය නොහැක. ඇය පවා ඊට එකඟ වන බව මම දනිමි. මගේ මව ළමා ලෝකයට දුන් එම නිර්මාණ සදාකාලික බවත්, විශ්වීය බවත් මම විශ්වාස කරමි. තව බොහෝ කාලයක් අප සමාජයේ දරුවන්ගේ මනස සුවපත් කිරීමට එම නිර්මාණ උදව් උපකාර වේවා යැයි මම ඇය වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරමි. x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි