No menu items!
20.1 C
Sri Lanka
19 January,2025

සංවිධානාත්මක ප‍්‍රහාරයක්

Must read

නාත්තන්ඩිය ප‍්‍රදේශයේ පසුගිය 13 වැනිදා මුස්ලිම් ජනතාව ඉලක්ක කර එල්ලවූ ප‍්‍රහාරය නාත්තන්ඩිය හා වෙන්නප්පුව යන ප‍්‍රදේශීය සභාවල පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් මෙහෙයවා ඇතැයි වාර්තා වේ.

වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙක් සහ නාත්තන්ඩිය ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙම ප‍්‍රහාර මෙහෙයවා ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඔවුන් එම ප‍්‍රහාර මෙහෙයවන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇතැයි දැනගන්නට ලැබේ.

වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප‍්‍රධානියා යතුරුපැදි 100ක පමණ කණ්ඩායමක් මෙම ප‍්‍රහාරය සඳහා මෙහෙයවා ඇතැයිද ඔවුන් නාත්තන්ඩිය නගරය වටා තිබෙන ගම්මානවලින් පැමිණ ඇතැයි ද වාර්තා වේ. මෙම පිරිස තුන්මෝදර මුස්ලිම් ගම්මානයට මුලින් ප‍්‍රහාරයක් එල්ලකර ඇත. ඉන් අනතුරුව කොට්ටාරමුල්ල වැනි ප‍්‍රදේශවලට එම ප‍්‍රහාරය ව්‍යාප්ත කර ඇතැයි ප‍්‍රකාශ වේ. මෙහිදී කොට්ටාරමුල්ල ප‍්‍රහාරයෙන් එක් මුස්ලිම් ජාතිකයකු මියගොස් ඇත.

පසුව මෙම පිරිස බුත්ගම්පොළ මුස්ලිම් ගම්මානයට සහ දංකොටුව නගරයට ප‍්‍රහාර එල්ලකර ඇත. මෙම පිරිස අතර වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප‍්‍රාදේශීය සභාවල සේවය කරන ඔවුන්ගේ ආධාරකරුවන්ද සිට ඇත.

මිනුවන්ගොඩ ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස් අතර එහි පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකුගේ ආධාරකරුවන් සිට ඇත. ඊට අමතරව අමිත් වීරසිංහගේ මහසෝන් බලකා සාමාජිකයන්ද පොහොට්ටු සාමාජිකයන් සමග එකතුවී මිනුවන්ගොඩ ප‍්‍රහාරය මෙහෙයවා ඇත.

නාත්තන්ඩිය ප‍්‍රහාරයට සම්බන්ධවූවන්  පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් බව දැනගන්නට ලැබෙන බැවින් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි මෙම පරීක්ෂණ භාර ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් අනිද්දා විමසීමක් කළ අතර, ඔහු ප‍්‍රකාශ කළේ තමන්ටත් එවැනි තොරතුරු ලැබී ඇති බවය. තව දින දෙක තුනක් යනවිට සියලූම සී.සී.ටී.වී. දර්ශන තමන් වෙත ලැබෙනු ඇතැයි ප‍්‍රකාශ කළ එම නිලධාරියා කියා සිටියේ ඒ අනුව අදාළ පුද්ගලයන් ඉදිරි කාලයේදී අත්අඩංගුවට ගන්නට කටයුතු කරන බවය.

මේ අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 60කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් අනිද්දාට පැවසීය. එම නිලධාරියා පැවසුවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් හඳුනාගත් පිරිස් අත්අඩංගුවට ගැනීම ඉදිරියටත් කරන බවය. දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව තවමත් නිවැරදිවම නොදන්නා බවත්, දැනට පොලිස් මාධ්‍ය ඒකකයට ලැබී ඇති තොරතුරු අනුව ඉහත ගණනය ඉදිරිපත් කළ හැකි බවත් ඔහු කීය. x

කේ. සංජීව / රේඛා නිලූක්ෂි හේරත්

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි