No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

20 සංශෝධනයට එකඟද?

Must read



විධායක ක්‍රමයේ වැරැද්දක් නැහැ


කාංචන විජේසේකර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් ප්‍රතිපත්තිමය හේතු අනුව එකඟ විය හැකි බවයි මිට පෙර සාකච්ඡා කොට තිබුණේ. නමුත් මේ පවතින තත්ත්වය අනුව එවැන්නක් වත්මන් පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න බැහැ. විධායක ජනාධිපතිධූරය හා ගැට ගැසී තිබෙන මැතිවරණ ක්‍රමයත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට වෙනස්කම් නොකර අපගේ සහයෝගය ලබා දෙන්න බැහැ කියන දේ තමයි අප සාකච්ඡා කරලා තිබුණේ. විධායක ජනාධිපති ක්‍රමයෙන් රටට අහිතකර බලපෑම් වෙලා තියෙනවා කියලා කියන්න බැහැ. අනෙක පුද්ගලිකව මම දකින්නේ නැහැ විධායක ජනාධිපතිධූරයේ ඒකාධිපති බලතල පාවිච්චි කරන්න අවස්ථාව දීලා තියෙනවා කියලා. අනික මේ වන කොට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වටා තිබුණ බලය කප්පාදු කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවටත් කැබ්නට් මණ්ඩලයටත් වග කිව යුතු අයෙක් බවට පත් කරලා තියෙනවා. විධායක ජනාධිපතිධූරය නිසා තමයි රටේ ගොඩක් ප්‍රශ්න විසඳන්න හැකියාව ලැබුණේ. ත්‍රස්තවාදය පරාජය කරන්න ඒ අවස්ථාවේදී විශාල සාධකයක් වුණේ විධායක ජනාධිපතිධූරය. ඒ නිසා විධායකය අහෝසි කිරීමෙන් පමණක් ඔවුන් අපේක්ෂා කරන දේවල් සිදු වෙන්නේ නැහැ. මා පෙර සඳහන් කළ ආකාරයේ එකිනෙකට බද්ධ වුණු කාරණා සම්බන්ධයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවධානය යොමු නොකළ නිසයි රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වුණා නම් ඇති වුණේ.



අනුරාධ ජයරත්න – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා නම් එය ඉතා හොඳ දෙයක්. ඒක වත්මන් පාර්ලිමේන්තුවේදී කොතරම් සාර්ථක වෙයිද කියලා කියන්න ටිකක් අමාරුයි. ඊට ප්‍රථමයෙන් සිදු කළ යුතු තවත් ව්‍යවස්ථා සංශෝධන තියෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වෙලා සම්මත කර ගත්ත 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා විධායකය වටා තිබුණු බලය යම් තාක් අඩු කර ගන්න ලැබුණා. එය හොඳ දෙයක්.


මේ ඇවිත් තියෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියෙන් කතා කරන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවේ සිටින 225 අතරින් ව්‍යවස්ථාදායකයට වගකියන අග්‍රාමාත්‍ය ධූරයක් ගැන. එතැනදී අප නැවත සිතා බැලිය යුතුයි ඒ තනතුරට පත් වන්නේත් මේ ඉන්න 225 අතරින් ම කෙනෙක් නේද කියලා. මේ ඉන්න අයම උදේ හවස පක්ෂ මාරු කරයි. මේ වගේ තත්ත්වයක අග්‍රාමාත්‍යධූරයත් විහිළුවක් වෙයි. පහු ගිය කාලේ ඒ දේ අපි දැක්කානේ. රටේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා නැති නිසා 20 වැනි සංශෝධනයට යන්න මේක හොඳම වෙලාව නෙවෙයි. මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අවශ්‍යතාව සම්පුර්ණ කර ගැනීමට උදව් දීම. 20 ත් එකේ කොටසක්. එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ කොහොමත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න බැහැ. ඔවුන්ට ජයග්‍රහණය කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් පොදුජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙකට කඩන එක. එහෙම කරගන්න බැරිවුණොත් ඔවුන් පාවිච්චි කරන අනෙක් එක තමයි මේ වෙලාවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න අවශ්‍යය කරන 20ට සහය සහය ඵල කිරීම. ඒ ඇරෙන්න විකල්පයක් නැහැ. මේ මොහොතේ 20 වන සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට එන්නේ ඔය වගේ තත්ත්වයක් මතයි.


අපි ආත්මාර්ථකාමී නැහැ


කාවින්ද ජයවර්ධන – එක්සත් ජාතික පක්ෂය
1978 දී විධායක ජනාධිපති ක්‍රමය ඇතිවීමෙන් අනතුරුව රට තුළ ඇති වූ දේශපාලන සංස්කෘතිය දෙස සාවධානව බැලූ විට පෙනෙනවා එය කොතෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධීද යන කාරණාව. ඒ අනුව ඉතිහාසය පුරාවටම එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපතිවරණවලදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශ වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. අපි ඒ ස්ථාවරයේ සිටියත් බලයට පත් වූ අනෙක් පක්ෂ කළේ විධායක ජනාධිපති තනතුර වටා බලය රැස් කර ගැනීමයි. නමුත් 2015 ජනවාරියේ ලැබුණු ජනවරමට හිස නවමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් අප 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්තා. ඒ අනුව විධායක ජනාධිපතිධූරය සතුව තිබුණු ඇතැම් බලතල ව්‍යවස්ථාදායකය වෙත ලබා දෙන්න හැකියාව ලැබුණා. එය අප ලද ජයග්‍රහණයක්.


නමුත් පසුගිය ඔක්තෝබර් මාසයේ ඇති වූ ඒ දේශපාලනික විපර්යාසය අපට තව දුරටත් පසක් කර සිටියා විධායක ජනාධිපතිධූරයේ තියෙන භයානකකම. දින 58 ක් ඇතුලත රට මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය නිසා ජාත්‍යන්තරය තුළ පවා රට අපකීර්තියට පත් වුණා. ඒ වගේම එය නැවත වතාවක් ඔප්පු කර සිටියා ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දැමීම සඳහා කොපමණ බලපෑමක් එම ධූරයට කළ හැකිද යන වග. මේ මොහොත වන විට ජනතා විමුක්ති පෙරමුණ ඉතා හොඳ චේතනාවකින් 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එහි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ඉන් අනතුරුව ව්‍යවස්ථාදායකය තුළ බලය බෙදී යන ආකාරය පිළිබඳව සාධනීය යෝජනාවන් අඩංගු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් අනෙකුත් පක්ෂ වගේම එක්සත් ජාතික පක්ෂයත් සමගත් සාකච්ඡා කළා. නමුත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම සාකච්ඡා වලදී දක්වා තිබුණු අදහස් අනුව පෙනී යන්නේ තමාට යලිත් වරක් ජනාධිපතිකම ලබා ගැනීමට ඇති නොහැකියාව මත 20ට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය ඵල කරන බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂය එවැනි ආත්මාර්ථකාමී තැනක නැහැ. එහිදී ජ.වි.පෙ යෝජනාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය එම සාකච්ඡාවේදී ඉදිරිපත් කළා. ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් ලබන සතියේ දී පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී ලැබෙයි.

වරුණ සූරියආරච්චි

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි