No menu items!
20.2 C
Sri Lanka
19 January,2025

ඩොබුවාගේ හීනය

Must read


බි‍්‍රතාන්‍යයේ කැනින් නගරයේ පීකොක් ජිම් එක ඉදිරියේ මියගිය බොක්සින් ක‍්‍රීඩකයෙකුගේ පිළිරුවක් තියෙනවා. ‘හීන හඹායද්දී ජීවිතය අහිමි වූ නිර්භීත තරුණයා, බ‍්‍රැඞ්ලි ස්ටෝන්ගේ ආදරණීය මතකයෙන්.’ පිළිරුව අසල ලියා තිබෙනවා.


බ‍්‍රැඞ්ලි ස්ටෝන් 1994 දී රිචී වෙන්ටන් නම් ක‍්‍රීඩකයා සමඟ බොක්සින් තරඟයකදී හිසට වැදුණු පහරවල් නිසා මියගොස් තිබුණා. බොක්සින් තරඟයේ 10 වැනි වටයේදී හිසට පහර කිහිපයක් වැදීමෙන් පසුව විනිසුරුවරයා තරඟය නවත්වා, පරීක්ෂා කිරීමෙන් පසුව ස්ටෝන්ව ගෙදර යවා තිබුණත්, නිවසේදී ඔහු බිම ඇදවැටී කෝමා තත්වයට පත්ව තිබුණා. දවස් දෙකක් තිස්සේ හිසේ අභ්‍යන්තර ලේ ගැලීම් වලින් පීඩාවිඳි ඔහු රෝහලේදී මියගියා. මේ හදිසි මරණයට මුහුණදෙද්දී ස්ටෝන්ගේ වයස අවුරුදු 23යි, ඒත් මේ සිදුවීමෙන් පසුව බොක්සින් ක‍්‍රීඩාව තහනම් කිරීම පිළිබඳ සංවාදය බි‍්‍රතාන්‍යයේ යළිත් මතුව තිබුණා. අද වෙනතුරු බොක්සින් තහනම් වී නැහැ. එදා මෙදාතුර ලෝකයේ විවිධ තැන්වල විවිධ සිදුවීම් නිසා බොක්සින් ක‍්‍රීඩාව දියුණු ශිෂ්ඨාචාරයකට නොසුදුසු බවට සංවාද මතුව තිබුණත්, භයානකකම ඇතුලේම බොක්සින් ක‍්‍රීඩා රසය විඳීමේ අසීමිත ආශාව ලොවපුරා රසිකයන්ට තිබෙනවා. ඒ ආශාව විසින්ම ඩැනියෙල් ඩොබුවා නම් තරුණයාවත් බොක්සින් ක‍්‍රීඩකයෙක් බවට පත්කරවනවා.


ඒ ඛේදජනක සිදුවීමෙන් වසර තුනකට පසුව ඩැනියෙල් ඩොබුවා උපත ලබා තිබෙනවා. මේ පීකොක් ජිම් එකේදීම පුහුණුව ලබමින් බොක්සින් ක‍්‍රීඩාවට පැමිණ, අද ලෝකයේ කතාබහට ලක්වෙන්නට පටන්ගෙන තිබෙනවා. උදේ හවස බ‍්‍රැඞ්ලි ස්ටෝන්ගේ පිළිමය පසු කොට ගියද, ඩැනියෙල් ඩොබුවාට බොක්සින් ක‍්‍රීඩාව ගැන බියක් හෝ, වේදනාවට බියක් දැනී නැහැ. ඒ වෙනුවට බොක්සින් ක‍්‍රීඩාවෙන් උපරිමයට යෑමේ ආශාවෙන් ඔහු පසුවෙනවා. ඔහු බි‍්‍රතාන්‍ය බොක්සින් ක‍්‍රීඩාවේ අනාගත තරුව වනු ඇතැයි ඇතැමුන් කියනවා.


ඩැනියෙල් ඩොබුවා කියන්නේ මේ වෙද්දී බි‍්‍රතාන්‍යයේ සිටින විශිෂ්ඨම තරුණ හෙවිවේට් බොක්සින් ක‍්‍රීඩකයන් අතරින් කෙනෙක්. ඩොබුවා මේ වෙද්දී තරඟ 9ක් අපරාජිතයි. එක් තරඟයක් හැර අනෙක් තරඟ සියල්ලෙහිදී ඔහු ප‍්‍රතිවාදියාව බිම හෙළා තිබෙනවා. මාර්තු 08 වැනිදා රස්වාන් කොජානු නම් අත්දැකීම් සහිත ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයාව පරාජය කිරීම නිසා ඩොබුවා ක‍්‍රීඩා ලෝකයේ කතාබහට ලක්ව තිබුණා. ඔහු ලෝක හෙවිවේට් ශූරයෙකු වනු ඇතැයි ඇතැමුන් කියනවා.
බොක්සින් වලින් ඕනෑ කුමක්දැයි විමසද්දී ඔහු පවසන්නේ ‘හැමදේම.‘ කියායි.
බ‍්‍රැඞ්ලි ස්ටෝන් එදා බි‍්‍රතාන්‍යයේ සුපර් බැන්ටම්වෙයිට් බොක්සින් ශූරයාව සිටියා. එයින් වසර 25කට පසුව ඩොබුවා බි‍්‍රතාන්‍යයේ හෙවිවේට් ශුරයා බවට පත්ව සිටිනවා. අතීතයේ බියකරු සිහින වලින් බියට පත්වීම වෙනුවට මේ වෙද්දී ඩොබුවා සිහින දකින්නේ ලෝක හෙවිවේට් ශුරයා බවට පත්වීමටයි. බොක්සින් කියන්නේ මගේ දෙයක්. ඒ නිසා මට වේදනාවට පත්වීම ගැන කිසිම බියක් නැහැ. ඔහු එසේ කියනවා.
තවත් මනුෂ්‍යයෙක්ට පහරදී වේදනාවට පත්කිරීම ගැන ඔහුට හැගෙන්නේ කුමක්දැයි ගාඩියන් මාධ්‍යවේදියෙකු වන ඩොනල්ඞ් මැක්රේ ඔහුගෙන් විමසා තිබුණා. ‘මම ඒ ගැන හිතන්නෙ නැහැ. මම කවදාවත් ඒක සැලකිල්ලට ගන්නේවත් නැහැ’. ‘මම වළල්ල ඇතුලට ගියාම, මම ඉන්නෙ ප‍්‍රතිවාදියාට රිද්දන්න තමයි. ප‍්‍රතිවාදියාගේ ශරීර සෞඛ්‍යය මට අදාල නැහැ’ ඩොබුවා එසේ කියනවා.


ඔබේ ප‍්‍රතිවාදියා වේදනාවට පත්වුණාම ඔබට සතුටක් දැනෙනවාදැයි විමසද්දී ඩොබුවා උත්තර දෙන්නේ ‘ඔව්’ කියායි. ඩොබුවාගේ ප‍්‍රියතම බොක්සින් ක‍්‍රීඩකයා මයික් ටයිසන්. හෝලිෆීල්ඞ්ගේ කණ හපාකමින් වුව, ප‍්‍රතිවාදියාට රිද්දන්නට ක‍්‍රම සෙවූ ටයිසන් ගැන ඩොබුවා ගෞරවයෙන් කතාකරනවා. ‘ටයිසන් මේක ටිකක් දුරදිග අරන් ගියා. ඒත් වළල්ල ඇතුලේදී මිනිස්සු වේදනාවට පත්වෙනවා තමයි, ජීවිත අවදානමට ලක්වෙනවා තමයි.’ ඔහු කියනවා. කෙසේ වෙතත් ඩොබුවාව මුණගැසුණු ක‍්‍රීඩා මාධ්‍යවේදී ඩොනල්ඞ් මැක්රේ කියන්නේ, ටයිසන් සමඟ සම්මුඛ සාකච්ඡුාවලදී ලද අත්දැකීමට වඩා ඩොබුවා බොහෝ වෙනස් බවයි. ටයිසන්ට වඩා නිවුණු ස්වභාවයක් ඩොබුවාට තිබුණු බව ඩොනල්ඞ් මැක්රේ ගාර්ඩියන් වෙත ලියනවා.


‘බොක්සින් ක‍්‍රීඩකයො විදියට අපි සාමාන්‍ය මිනිස්සුන්ට සමාන නැහැ. ටික කාලයක් මේක කළාම ඔබට කලබලකාරී හැඟීම් එනවා. ඒ හැඟීම් පාලනයක් නැති, දරුණු හැඟීම් බවට පත්වෙන්න පුළුවන්. මට මාව පාලනය කරගන්න වෙනවා. බොක්සින් කියන්නෙ ඒක තමයි. තමන්ව පාලනය කරගැනීම.’
බොක්සින් වල කරන්නට අමාරුම දේ තමයි තමන්ව පාලනය කරගැනීම. විනයෙන් යුතුවීම හා තමන්ව පාලනය කරගැනීම ලෙහෙසි නැති බව ඔහු කියනවා.
ඩැනියෙල් ඩොබුවා ගැන කතාබහක් මුලින්ම ඇතිවුණේ පුහුණු වටයකදී ඇන්තනි ජෝෂුවාව පහරදී බිමහෙළන්නට ඩොබුවා සමත්වූ බවට පළවූ වාර්තා නිසායි. මේ වෙද්දී බි‍්‍රතාන්‍යයෙහි ජනප‍්‍රි ඩැනියෙල් ඩොබුවා දෙසට නැවත අවධානය යොමුව තිබුණේ රස්වාන් කොජානුව ප‍්‍රසිද්ධ තරඟයකදී පරාජය කරන්නට ඔහු සමත්වීම නිසායි.


ඩොබුවා අතින් පුහුණු වටයකදී බිමහෙළූ බව කියන ඇන්තනි ජෝෂුවා කියන්නේ මේ වෙද්දී බොක්සින් වළල්ලේ ක‍්‍රීඩා කරන වෘත්තිමය හෙවීවේට් බොක්සින් ක‍්‍රීඩකයන් අතරින් විශිෂ්ඨතමයෙක්. මේ වෙද්දී ජීවත්වෙන විශිෂ්ඨතම බි‍්‍රතාන්‍ය බොක්සින් ශූරයා ඔහු බව විශ්වාස කරන බොහෝ දෙනෙක් කියනවා. ජෝෂුවා දැන් බි‍්‍රතාන්‍යයට සීමා නොවූ ලෝක මට්ටමේ ශූරයෙක්.
අයි.බී.එෆ්. හා ඩබ්ලිව්.බී. ඕ. හෙවීවේට් බොක්සින් ශූරතාවය යන ප‍්‍රධාන බොක්සින් ශූරතා දෙකක්ම ඔහු සතුව තිබෙනවා. ඊට අමතරව ඩබ්ලිව්.බී.ඒ. සුපර් ශූරතාවයත් ඔහු සතුව තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කමක්ද ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා. අපරාජිත ක‍්‍රීඩකයෙක් වන ඔහු තරඟ 22ක් ජයගෙන තිබෙනවා. ඉන් 21ක් නොකවුට් ජයග‍්‍රහණ. එහෙව් ජෝෂුවා සමඟ පුහුණු සැසියකට සහභාගී වීමට අවස්ථාව ලැබීම තරුණ ක‍්‍රීඩකයෙකුට සිහිනයක්. ඩැනියෙල් ඩුබොයිස්ට ඒ පුහුණු සැසියේදී ඇන්තනි ජෝෂුවාව බිම හෙළන්නට හැකිවූ බවට තිබෙන කතාව සැබෑවක්නම් එය විශ්මයක්.


ගාර්ඩියන් මාධ්‍යවේදියා විසින් ජෝෂුවාව බිම හෙළීම ගැන කතාව සැබෑවක්දැයි විමසද්දී ඩොබුවා නිහඬව සිනහවී තිබුණා. ඒ සිනහව ‘ඔව්’ යැයි බාරගන්නදැයි මාධ්‍යවේදියා විමසා තිබුණා. ඔබ විසින් වමත් පහරකින් ජෝෂුවාව බිම හෙළූ බව. මාධ්‍යවේදියා කී විට ඩොබුවා පිළිතුරු දී තිබුණේ ‘ඔව්, ඒක හොඳ පාරක්.’ කියලයි.
ජෝෂුවා ඒ පහරින් පුදුමයට පත්වුණාදැයි ඔහු විමසා තිබුණා. ‘මාත් එක්ක සටන් කරපු හැම සටන්කාරයෙක්ම මගේ පහරවල් නිසා පුදුමයට පත්වෙලා තියෙනවා.’ ඩොබුවා පිළිතුරු දී තිබුණා.
ඩොබුවා බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ඉහළම ක‍්‍රීඩකයන් සමඟ මුහුණට මුහුණ හමුවීමටයි. දැනට ලොව සිටින දැවැන්තම බොක්සින් ක‍්‍රීඩකයන් තිදෙනා වන ඇන්තනි ජෝෂුවා, ටයිසන් ෆියුරි සහ වයිල්ඩර් යන ශුරයන් තිදෙනාම මේ වෙද්දී ලෝකයේ සිටින අපරාජිත හෙවිවේට් ශූරයන් තිදෙනා ලෙස සැලකෙනවා. ලෝකයේ ප‍්‍රධාන පෙළේ හෙවිවේට් ශූරතා මේ තුන්දෙනාගේ නම්වලට ලියැවී තිබෙනවා.


ඒ තිදෙනා සමඟ තරඟ කරන්නේ කවදාදැයි විමසද්දී ඩොබුවා පිළිතුරු දී තිබුණේ ‘තව අවුරුදු දෙකකින්’ කියායි.
බොක්සින් ක‍්‍රීඩාව පැවතිය යුතුද නැද්ද යන පැනයට උත්තර සෙවීම අසීරුයි. ගෝත‍්‍රික යුගයකදී මෙන්, ප‍්‍රසිද්ධියේ පුද්ගලයන් ගහමරාගැනීම ශිෂ්ඨ සමාජයකට නොගැලපෙන බව කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත් ඩොබුවා වැනි විශිෂ්ඨයන් ක‍්‍රීඩාවට යොමුවී, ක‍්‍රීඩාව ගැන සිහින දකින තාක් මෙවැනි ක‍්‍රීඩා පවතින ඇති බවත් විශ්වාස කළ හැකියි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි