No menu items!
20.1 C
Sri Lanka
19 January,2025

රත්ගම තරුණයන් ඝාතනය සහ පොලීසිය ගැන වෙනත් කතාවක්

Must read


‘ඔය ස්පෙෂල් යුනිට්වල වැඩකරන උන්ගේ ඔළුව ඉදිමෙනවා. මොකද උන් කෙලින්ම වගකියන්නේ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිටනේ. ඉතිං ඒ ඌෂ්ණෙන් තමයි මේ යක්කු වැඩකරන්නේ. ඔය මාතර සිද්ධියත් මම දන්න විදිහට ප‍්‍රශ්න කරන්න අරං ගිහිං ගහලා තියෙනවා. එහෙම ගහනකොට එකෙක් මැරුණා. සාක්ෂි සඟවන්න අනික් පුද්ගලයාත් ඝාතනය කරලා තිබෙනවා. මේක අනවශ්‍ය වැඩක්. මේ සිද්ධියෙන් මුළු පොලිසියම දැන් අපකීර්තියට පත්වෙලා තිබෙන්නේ. මේ යුනිට් එක අධීක්ෂණය කළේ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන. එයා දකුණත් බලන්න ඕනෑ, සබරගමුවත් බලන්න ඕනෑ. ඉතිං ඔය සමහර සිද්ධි දන්නේ නැතුවත් ඇති. ඒත් මේ ඔපරේෂන් එක ගැන එයා දැනගෙන ඉඳලා තියෙනවා කියලා ආරංචියි. ඒක එහෙම නම් මේකට පැහැදිලිවම නියෝජ්‍ය පොලිස්පති වගකියන්න ඕනෑ. අනික් කාරණය තමයි, අපි කුඩු අල්ලනවා කියමු, නියෝජ්‍ය පොලිස්පති තමයි ලකුණු දාගන්නේ. ඒක එහෙම නම් මෙහෙම වැරැුද්දක් වුණාම ඒකටත් නියෝජ්‍ය පොලිස්පති වගකියන්න ඕනෑනේ.’


මේ ඉහළ පොලිස් නිලධාරියෙකු රත්ගම තරුණයන් දෙදෙනාගේ ඝාතනයන් පිළිබඳව දක්වන අදහසය. පොලීසිය මෙම ඝාතනය කළ බවට දැන් සියල්ල පැහැදිලිය. මේ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇත. එහෙත් ඔහුගෙන් මේ පිළිබඳව ප‍්‍රකාශයක් හෝ සටහන් කරගත් බවක් දැනගන්නට නැත.


මේ ඝාතනය සිද්ධ වුණේ මොකක් හෝ දූෂණයක්, වංචාවක්, මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව ප‍්‍රශ්න කරන්න වධහිංසාව පාවිච්චි කිරීම නිසාද, එසේත් නැතිනම් කප්පම් ඉල්ලා දෙන්නට බැහැ යැ’යි කියූ නිසා ද, එසේත් නැතිනම් මාතර විශේෂ අපරාධ ඒකකයට පාතාලය සමග තිබුණු ගනුදෙනුවක් නිසා මේ ඝාතනය සිදුවුණිද?


දැන් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එහිදී වැදගත් තොරතුරු රැුසක් අනාවරණය වී ඇත. එම පොලිස් පරීක්ෂණවලින් ඔබ්බේ රත්ගම ප‍්‍රදේශයෙන් එන තොරතුරු සටහන් කර තිබීමද වැදගත් ය. ඒ සමාජ හිතකාමී සිවිල් පොලීසියක් නිර්මාණය කරගැනීම සඳහා එය අවැසි බැවිනි. ඒ නිසා අපි ඒ පිළිබඳව ටිකක් කතාකරන්නට සිතුවෙමු.


ඕඅයිසීගේ පොලිස් කල්කිරියාව හොඳ නෑ


පසුගිය මාර්තු 4 වෙනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය අරබයා දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවය. මේ කියන පොලිස් නිලධාරියා, මාතර මෙම ඒකකයේ ස්ථානාධිපති ලෙස වැඩ භාර ගැනීමට ප‍්‍රථම රත්ගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. රත්ගමින් එන තොරතුරු කියන්නේ මේ පොලිස් නිලධාරියා සහ ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනා එකල බොහෝ සමීපව කටයුතු කළ අයවලූන් බවය. එම කතාව මඳකට පසෙකින් තබා මේ නිලධාරියාගේ රත්ගම පොලිස් භූමිකාව පිළිබඳව කරුණු විමසා බලමු.


තතු දත් ආරංචි කියන්නේ මේ පොලිස් නිලධාරියා ප‍්‍රදේශවාසීන්ට බොහෝ හිරිහැර ගෙනදුන්, පොලිස් නිල ඇඳුම භාවිත කර මිනිසුන් තලාපෙළා කටයුතු කළ පුද්ගලයෙකු බවය.
විතාරණ ආනන්ද සමරවික‍්‍රම නැමැත්තෙකු 2018.07.16 වැනි දින ජාතික පොලිස් කොමිසමේ ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලයට මේ පොලිස් නිලධාරියා පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ එක්තරා සිදුවීමකින් පසුව මේ පොලිස් නිලධාරියා දිගින් දිගටම ආනන්ද සමරවික‍්‍රම සහ පවුලේ අයට කරන හිරිහැර පිළිබඳව සඳහන් කරමින් ය.


සිද්ධිය වී තිබෙන්නේ 201.10.25 වැනි දින රත්ගම පොලීසිය ඇතුළත දීය. එම දිනයේදී යම් පැමිණිල්ලක් විභාගය සඳහා රත්ගම පොලීසියට ගිය ආනන්ද සමරවික‍්‍රමට පොලීසිය තුළ රැුඳී සිටි පුද්ගලයෙක් ප‍්‍රහාරයක් එල්ලකර ඇත. එම ප‍්‍රහාරය පිළිබඳව මේ පොලිස් නිලධාරියාට ආනන්ද සමරවික‍්‍රම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහෙත් එවක රත්ගම වැඩබලන ස්ථානාධිපතිවරයා සේ කටයුතු කළ මේ පොලිස් නිලධාරියා පැමිණිල්ල භාරගෙන නැත. ඒ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ පැත්ත ගනිමින්ය. ඒ සම්බන්ධව ආනන්ද සමරවික‍්‍රම දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. ඒ අනුව කෙටි කාලයකට මෙම පොලිස් නිලධාරියා වෙනත් පොලීසියකට මාරුකර යවා ඇත.


පසුව මෙම පහරදීම, ගාල්ල උසාවියේදී (නඩු අංකය 72150* ප‍්‍රහාරය එල්ලකළ පුද්ගලයා විසින් පිළිගෙන ඇත. එම නඩුවෙන් පසුව මේ අසාධාරණය සහ එම සිද්ධියෙන් පසුව දිගින් දිගටම සිදුවන අසාධාරණයන් පිළිබඳව නැවතත් සමරවික‍්‍රම පොලිස් කොමිසම දනුවත් කර ඇත. එහෙත් පොලිස් කොමිසමේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, උසස් පොලිස් නිලධාරියා නීතියට අනුව කටයුතු කර ඇති බවය. පොලිස් කොමිසම කොතරම් දැනුවත් කළත් මේ නිලධාරියා (සමන් රෝහණ* ආනන්ද සමරවික‍්‍රමගෙන් දිගින් දිගටම පළිගෙන ඇත.


එම පළිගැනීමේම තවත් දිගුවක් ලෙස මෙම පොලිස් නිලධාරියා විසින් ආනන්ද සමරවික‍්‍රමගේ, යාපනය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබමින් සිටි පුත‍්‍රයා අත්අඩංගුවට ගනු ලබන්නේය. ඒ පොලීසිය ඇතුළත ජංගම දූරකථනයක් භාවිත කළා යැයි චෝදනා ගොනුකරමින් ය. ඒ 2018.01.16 වැනි දිනයේ රාත‍්‍රියේදීය. මේ පිළිබඳ නඩුකරය (ගාල්ල උසාවිය 85891* තවමත් පවතින බව දැනගන්නට ඇත. එහිදී රත්ගම පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලික නීතිඥයෙකුය.


2018.04.03 දින අවුරුදු සමයේ උදෑසන 9ට පමණ රත්ගම පොලිස් නිලධාරීන් පිරිසක් බූරුවා පිටියක් වටලා මුදල් සමග පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනුකරන කේ. සුනිල් නම් පුද්ගලයෙකු කියා සිටින්නේ, බූරුවා පිටියෙන් පොලීසිය රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් අත්අඩංගුවට ගත්තද, පසුදා අධිකරණයට ඉදිරිපත් කළේ රුපියල් 760ක් පමණක් බවය. මෙහිදී තමන් ළඟ රුපියල් 48,000ක් තිබුණ බවත්, තමන්ගේ බෑනා අත රුපියල් 23,000ක් තිබුණ බවත්, එම මුදල් පොලීසිය ආපසු නොදුන් බවත් ඔහු කියන්නේ ය. මේ පිළිබඳවද පොලිස් කොමිසම දැනුවත් කර ඇත. එහෙත් පොලිස් කොමිසම මෙම පොලිස් නිලධාරියාට විරුද්ධව පැමිණිලි විභාගකර හෝ දඬුවම් ලබාදී හෝ නැත. ඒ මෙම පොලිස් නිලධාරියාගේ මිතුරෙකු යැයි කියන බූස්ස ප‍්‍රදේශයේ පන්සලක හිමිනමකට, පොලිස් කොමිසමේ ගාල්ල කාර්යාලයේ උසස් නිලධාරියෙකු සමග තිබුණ ළඟ සම්බන්ධයට පිංසිදුවන්නටය. මේ, මේ පොලිස් නිලධාරියාගෙන් හිරිහැරයට පත් මිනිසුන් ගැන කතා කිහිපයක් පමණි. එකල පොලිස් කොමිසම මෙම නිලධාරියාට විරුද්ධව නියමාකාරව විනය පියවර ගෙන තිබුණේ නම් රත්ගම තරුණයන් දෙදෙනා තවමත් ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුණි.


පොලිස් නිලධාරියා සහ ඝාතනයවූවන් මිතුරෝ


මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සමන් රෝහණ සහ ඝාතනයට ලක්වූ දෙදෙනා මිතුරන් බව ප‍්‍රදේශවාසීහු පවසති. ඝාතනයට ලක්වූ රසීන් චින්තක සහ මංජුල අසේල කුමාරට ප‍්‍රදේශයේ තිබෙන්නේ හොඳ නමක් නොවන බව පැවසිය යුතුය. චණ්ඩිකම් ගැන, නීති විරෝධී වැඩ ගැන ඔවුන්ට චෝදනා එමටය. එක් අයෙකු ඝාතනය වන විට ඇප ලබා සිටියේ ඝාතනයක සැකකරුවෙකු ලෙස ය. ඒ ඔහු හමුදා සේවයේ සිටින අවධියේ වූ සිදුවීමකටය. ගිනි අවි පරිහරණය සම්බන්ධයෙන් ද මේ දෙදෙනාම කුප‍්‍රකටය. එලෙස චෝදනා තිබුණ පමණින් ඔවුන් ඝාතනය කරන්නට කාටවත් අයිතියක් නැත. පොලීසිය සතු වගකීම වන්නේ එවැනි චෝදනා තිබෙන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂා කර නීතිය සාධාරණව ක‍්‍රියාවේ යෙදවීමය. එහෙත් මෙහිදී නීතියේ ආරක්ෂකයන්ම නීතිය කෙළෙසා ඇත.


ඝාතනයට ලක්වූ එක් අයෙකුගේ මංගල සාදයකදී ගිනි අවියක් රතිඤ්ඤා මෙන් එක දිගට පත්තුවී ඇත. ඒ සතුටටය. ඒ අනුව පසුදා පැමිණි රත්ගම පොලීසිය මෙම ගිනි අවිය පොලීසිය භාරයට ගෙන, නැවත ඒ පුද්ගලයන්ටම ලබාදුන් බවට රත්ගම තිබෙන්නේ කටකතාය. ඒ හුවමාරුවට මේ කියන මිත‍්‍රත්වය හේතුවුණ බවද දැනගන්නට ඇත. මේ මිත‍්‍රත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කරන්නේ නම් මේ ඝාතනය පිළිබඳව තව තවත් තොරතුරු එළියට පැමිණිය හැකිය.


රත්ගම සිද්ධියේ ඉතිහාසය


2019.01.23 වෙනි දින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු පමණ විසින් වෑන් රථයකින් සහ කාරයකින් රත්ගම රත්න උදාන ගමට පැමිණ මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක පැහැරගෙන යනු ලබති. ඉන්පසු 2019.02.06 වැනි දින මංජුල අසේල කුමාරගේ බිරිඳ සමන්තිගේ නමට රෙජිස්ටර් තැපෑලෙන් පැමිණෙන ලිපියකින් කියවෙන්නේ ඉහත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම දෙදෙනා පැහැරගෙන ගොස් මරා පුළුස්සා දමනු ලැබ ඇති බවයි. ඉන්පසුව මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරන අතර, ඒ අනුව මුලින්ම අදාළ විමර්ශන ඒකකයේ කටයුතු කළ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගන්නා අතර, ඉන්පසුව එම ඒකකයේම උපපොලිස් පරීක්ෂක එච්ජී විරාජ් මධුසංඛ අත්අඩංගුවට ගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔහු පැය 48ක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කර ඇත. ඒ අනුව බොහෝ තොරතුරු අනාවරණය වී ඇත.


මේ වනවිට මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දැනට හෙළිවී ඇති තොරතුරුවලට අනුව ඝාතනය කරනු ලැබූ තරුණයන් දෙදෙනාගේ සිරුරු පුළුස්සා දමනු ලැබුවායැයි කියන වලස්මුල්ල කුණුමුල්දෙණිය රක්ෂිතය වලස්මුල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විසින් පසුගිය පෙබරවාරි 22 පරීක්ෂාවට ලක්කරන ලදි. එහි තිබී නොපිළිස්සුණු ශරීර කොටස් සොයා ගත්තේය. ඊට ප‍්‍රථම මෙම ඝාතනය සිදුවූවා යැ’යි සැකකරන ගාල්ල අක්මීමන ගොනාමුල්ලේ පාළු නිවස, පෙබරවාරි 21 වැනි දින ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා සහ කරාපිටිය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් පරීක්ෂාවට ලක්කරනු ලැබ ඇත. මාර්තු 3 වැනි දින ඝාතනය කරනු ලැබූ මෙම තරුණයන් දෙදෙනාගේ ජංගම දූරකථන දික්වැල්ල නගරයට සමීප නව බෙලිඅත්ත මාර්ගයේ කළපුවක තිබී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇත. ඊට අමතරව මෙම තරුණයන් පැහැරගැනීමට භාවිත කළ සහ ඝාතනය කළ පසු සිරුරු රක්ෂිතයට රැුගෙන යාමට භාවිත කළා යැ’යි කියන කාර් රථයක්, කේඞීඑච් වෑන් රථයක් සහ කැබ් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. අවසාන වශයෙන් කියන්නට වෙන්නේ ඝාතනයට ලක්වූ මෙම තරුණයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුවිය යුතු බවය. පොලිස් වධහිංසාවලට සහ ඝාතනවලට තිත තැබිය යුතු බවය. පොලීසිය සිවිල් ආයතනයක් ලෙස තවතවත් ජනතාවට සමීප කළ යුතු බවය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි