No menu items!
20.7 C
Sri Lanka
23 November,2024

චාල්ස්ගෙන් ගොඩ යන්න හැදූ රාජපක්‍ෂවාදී රේගු සටන

Must read



රටට රුපියල් කෝටි ගණනක බදු ආදායමක් හා ව්‍යාපාරික ප්‍රජාවට රුපියල් කෝටි ගණනාවක ආදායමක් අහිමි කරමින් ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ජනවාරි 05 වැනිදා අවසන් කරනු ලැබීය. ඒ හිටපු රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් පී.එස්.එම්. චාර්ලිස් මහත්මියව තවත් මාස තුනක කාලයකට රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයේ පිහිටුවීමත් සමගය.
රේගු වෘත්තීය සමිතිවල මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූයේ චාල්ස් මහත්මියව එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු වූ රියල් අද්මිරාල් ශ්‍යමාල් ප්‍රනාන්දු පත්කරනවා යැයි වූ ආරංචියය. කෙසේ වෙතත් මෙම විරෝධය හේතුවෙන් ශ්‍යාමල් ප්‍රනාන්දුව එම ධුරයට පත්නොකෙරුනු අතර රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයේ වැඩබැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පත් කරනු ලැබීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේදී රේගු වෘත්තීය සමිතිවල ඉල්ලීම වූයේ චාල්ස් මහත්මියව එම ධුරයට නැවත පත් කිරීම හෝ පරිපාලන සේවයේ හෝ රේගු සේවයේ පුද්ගලයකු එම තනතුරට පත්කරන ලෙසය. ශ්‍රී ලංකා රේගුවේ මෑත ඉතිහාසය දෙස බැලු විට එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයට පරිපාලන සේවයෙන් හෝ රේගු සේවයෙන් පිට පුද්ගලයකු පත්වී නැත. එහෙත් එම ධුරයේ සිටියඅය දේශපාලන නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා ධුරයෙන් ඉවත් කරනු ලැබූ බවට වූ උදාහරණ ඕනෑ තරම්ය. එහෙත් එම කිසිදු අවස්ථාවක රේගු වෘත්තීය සමිති මේ ආකාරයට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග සිදුකළ අයුරු දැක තිබුනේ නැත. නමුත් මෙවර රේගු වෘත්තීය සමිති සිය ක්‍රියාමාර්ග සාධාරණීය කිරීම සඳහා කියනු ලබන්නේ චාල්ස් මහත්මිය දේශපාලන නියෝගවලට අවනත නොවීම නිසා ඇයව ධුරයෙන් ඉවත් කළ බවය. එහෙත් ඇයට ආ දේශපාලන නියෝග මොනවාදැයි නිශ්චිතවම කියන්නේ නැත. නිල වශයෙන් නොවුනත් රේගු වෘත්තීය සමිතිවල මුලාශ්‍ර මඟින් වාර්තාකර ඇතැයි සැලකිය හැකි සිද්ධිය වන්නේ වෙයිකල්ස් ලංකා සමාගමේ හිමිකරු රේගුවට කළ බලපෑම් හේතුවෙන් ඔහුට රේගුවට ඇතුල්වීමට ලබාදී තිබූ අවසරය අවලංගු කිරීම හා එය ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් අචාර්ය ආර්. එච්.එස් සමරතුංග බලපෑම් කිරීමත්ය.
එම චෝදනාව නම් සත්‍ය විය හැකිය. එහෙත් එය මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නියෝගයක් මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකළ එකක් වශයෙන් සැලකිය නොහැකිය. මන්ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙහිකල්ස් ලංකා හිමිකරු හා අතීතයේ සිටම ළඟ හිතවත්කමක් තිබූ බව රේගු වෘත්තීය සමිති නායකයන් දන්නා නිසාය. ඔහු මීට පෙර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවක ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සමයේත් වෙහිකල්ස් ලංකා හිමිකම් වෙනුවෙන් විවිධ සහන ලබාදීමට උත්සාහ කරන ලද අයෙක්ය.
රාජපක්‍ෂ පිලේ දේශපාලනඥයන් මෙම සිදුවීම දඩමීමා කරගෙන ෆාම් ඔයිල්, කරුංකා , ගම්මිරිස් ආදි චෝදනා රාශියක් කරලියට ගෙනවිත් ඇත. මීට පෙර එම ජාවාරම් ගැන ලියා ඇති පරිදි ඒවා හැමදාම සිදුවූයේ ඒ සඳහා අවසර ලබා දෙන අමාත්‍යාංශයෙත්, රාජ්‍ය ආයතනයෙත්, රේගුවේත් සහයෝගී ක්‍රියාමාර්ග වශයෙන්ය. ආණ්ඩු මාරු වුණාට ඒවාහි ලොකු වෙනසක් සිදුවුයේ නැත. වෙහිකල්ස් ලංකා ගැටළුව දිගින් දිගටම ඇදී එන්නේ එහි හිමිකරු ඔහුට ඇති දේශපාලන සබඳතාත්, ඒමඟින් ඔහු ආරෝපණය කරගත් මැරබලයත් උපයෝගී කරගෙන පෞද්ගලිකවම ශ්‍රී ලංකා රේගුවටත්, එහි නිලධාරීන්ටත් බලපෑම් කිරීමේ චර්යාවය. නිසි තීරු බදු නොගෙවා එකලස් කිරීම සඳහා යැයි ඔහු විසින් ගෙන්වා ඇති නීත්‍යනුකූල නොවන සුඛෝපභෝගී වාහන දේශපාලනඥයන් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව භාවිතා කරන බවට තොරතුරු ඕනෑ තරම්ය. ඊට හොඳම උදාහරණය වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ අල්ලස් කොමිෂමේ සභාපතිත්වය දැරූ ජගත් බාලපටබැඳි ඔහුගේ එම ජාවාරම්කාර වාහනයක් භාවිත කිරීමය.
ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා රේගුවට අවශ්‍ය වන්නේ නීතියට අනුව කටයුතු කරන දේශපාලන නියෝගවලට අවනත නොවන, දූෂණයට වංචාවට වැට බඳින කොන්ද පණ ඇති ප්‍රධානියෙක්ය. රේගු වෘත්තීය සමිති අද කෑකෝ ගසන තරම් වූ එවන් පෞරුෂයක් චාල්ස් මහත්මිය දැක්වීද? රේගුව ගැන කරුණු දන්නා රේගුව තුළ සිටින හා ඉන්පිටත සිටින අයගේ මතය නම් නැත යන්නය. වෙහිකල්ස් ලංකා හිමිකරුගේ සිදුවීම ඇයට පෞද්ගලිකම බලනොපාන්නට එහි හිමිකරුට එවැනි නියෝගයක් පැන වෙන්නේ නැත. ඇගේ පාලන කාලය තුළදීම වෙහිකල්ස් ලංකා හිමිකරුගේ තර්ජනයට ලක්වූ රේගු නිලධාරීන් වෙනුවෙන් ඇය කළ ආරක්ෂාකාරී පියවර කුමක්ද?
පරිපාලන නිලධාරීනියක ලෙස ගත්තත් චාල්ස් මහත්මිය දක්ෂ පරිපාලන නිලධාරිනියක ලෙස හැඳින්වුයේ නැත. රේගුවට ඒමට පෙර ඇය මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස එහි ජනතාවගේ විරෝධයට ලක්වූ තැනැත්තියකි. රේගුවට පත්කිරීමට දේශපාලන අධිකාරිය සලකා බැලූ ඇයගේ එකම සුදුසුකම් ලෙස සිතන්නේ ඇය දෙමළ ජාතිකයෙක් වීම හා ස්ත්‍රියක යන පදනම විය හැකිය.
විවිධ ජාවාරම්වලට ආධාර අනුබල ලබාදෙන රේගුවේ නිලධාරීන් පිරිසක් ඔවුන්ට ඕනෑ ආකාරයට ඇයව මෙහෙයවූ බවට සාක්ෂි ඕනෑ තරම්ය. එය අවංක රේගු නිලදාරීන් දන්නා කාරණයක්ය. ඇය නිසා රේගුව අමුතු පණක් ලැබූ වේවත්, අවංක රේගු නිලධාරීන්ට ආරක්ෂාවක් ලැබුනේවත් නැත.
එහෙත් චාල්ස් මහත්මිය වෙනුවෙන් රේගු වෘත්තීය සමිති මෙතරම් මරාගෙන මැරෙන්නේ ඇයි? ඊට හේතු විවිධය. එකම මෙ රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයේ ප්‍රධාන නායකයන් බොහෝමයක් රාජපක්‍ෂ හිතවාදීන් වීම හා ජාතිකවාදී මාතවාදයට උදව්කරන්නන් වීමය. සමහරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඡන්දය ඉල්ලු පුද්ගලයින්ය. සමහරුන් ජාතික වාදී සංවිධානවල සම්මන්ත්‍රණවලට කැපී පෙනෙන උදව් කරන්නෝය.
අනෙක් පැත්තෙන් පරිපාලන සේවයේ හෝ රේගු සේවයේ කෙනෙකු නොවී හමුදා පසුබිමක් ඇති පුද්ගලයෙකු රේගුවට පත්වී රේගුව දෙපයින් සිටවනවාට මේ පිරිස බයය. ඊට හේතුව රේගුවේ බොහෝ අයගේ මසකට රුපියල් ලක්ෂ ගණනක් වන නීති විරෝධී අතිරේක ආදායම් නැතිවීමේ බියය.
ඒ විතරක් නොව රේගුවට පත් කරනවා යැයි කියූ රියල් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දුට බිය වීමට මේ පිරිසට තවත් හේතුවක් ද ඇත. ඒ ඔහු තරුණයින් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදී ඇති පුද්ගලයෙකු නිසාය. එම සිද්ධිය වන අවධියේ ඔහු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත..
ඉතිං එවැනි පුද්ගලයෙකු තනතුරකට පත් කිරීම රාජපක්‍ෂවාදීන්ට හා එහි සරණ යන මෛත්‍රීවාදීන්ට කොහෙත්ම දිරවන කරුණක් විය නොහැකිය. චාල්ස් මහත්මියව රේගුවෙන් ඉවත් කිරීම ඒ නිසාම අඩන්න සිටි අයට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා ලෙසටම සිදුවී ඇතිසේය. ශ්‍රී ලංකා රේගුව තුළ සිටින හා ඉන් පිටවී සිටින ස්වාධීන පුද්ගලයින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය හිතාගන්නටවත් බැරි ලෙස දකින්නේ ඒ නිසාය.
හරිනම් රේගු වෘත්තීය සමිතිවල ඉල්ලීම විය යුතුව තිබුණේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගව ඉවත් කරන ලෙස ඉල්ලීමය. මන්ද හේතුව වෙහිකල්ස් ලංකා සිදුවීම නම් එහි නිමිත්ත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වන බැවින්ය.■

■ ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි