ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ අතර නව සන්ධානයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුමගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් වාර්තාවක් සකස් කරමින් සිටින නමුත්, එම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ ඇතුළත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.
ඉහත කී කමිටුවේ සභාපති ඩලස් අලහප්පෙරුම පැවසුවේ නව සන්ධානයෙහි ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිත්වය, ලේකම් ධුරය හා භාණ්ඩාගාරික ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නියෝජිතයන්ට ලබාදීමට එකඟ වී ඇති බවයි. නව සන්ධානයෙහි විධායක කමිටුවෙන් 51%ක නියෝජිතයන් ප්‍රමාණයක්ද පොදුජන පෙරමුණට ලබාදීමට එකඟ වී ඇතැයි ඔහු කීය.
නව සන්ධානයේ ව්‍යවස්ථාව හා ප්‍රතිපත්ති පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ ප්‍රතිපත්ති අතරින් සියලුම දෙනා එකඟ විය හැකි ප්‍රතිපත්ති පිළිබඳව මේ වනවිට සලකා බලමින් සිටින බවත් ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ ජනවාරි 29 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී එම කමිටුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බවයි. එම සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ කිහිපය ඇතුළත් වන බව ඔහු කීය.
ආරුමුගම් තොණ්ඩමාන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය හා ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී. පක්ෂයද මෙම සන්ධානයට ඇතුළත් වනු ඇතැයි ඔහු කීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ තවත් සති එකහමාරක පමණ කාලයක් ඇතුළත එම කමිටුවේ කටයුතු අවසාන කරනු ඇති බවත්, ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ සන්ධානය එළිදැක්විය හැකි බවත්ය. එම සන්ධානය බිහිකිරීමෙන් පසුව ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවද අලහප්පෙරුම මහතා කීය.
මෙම කමිටුව 2018 ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමඟ එකතුවීමට පෙර ඇතිකරගත් එකක් බවත්, ඉහත කී යෝජනා සියල්ල ඉදිරිපත් කෙරුණේ ඔක්තෝබර් 26 වැනිදාට පෙර බවත් ‘අනිද්දා’ සමග අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය. ශ්‍රීලනිපයද ඉහත කී සන්ධානයටම පාර්ශ්වකරුවෙකු ලෙස එකතු කරගන්නවාද, ශ්‍රීලනිපය සමඟ වෙනම ගිවිසුමක් ඇති කරගන්නවාද යන්න ඉදිරියේදී සාකච්ඡා කළ යුතුයැයි ද ඔහු කීය. ■