2018 ඔක්තෝබර් 26 වැනිදා, මුළු ලෝකයේම අපවාදයට පාත්රවනසුලු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදා සිට මේ දක්වා කිසිම රටක සංචාරය කළේ නැත. තතු දත් අය කියන්නේ, සිරිසේන ජනාධිපතිවරයා ලෝකය ඉදිරියේ අවමානයට පාත්රවූ තරම නිසා, ලෝකයේ දියුණු රටවලින් ඔහුට මින් පසු සංචාර සඳහා ආරාධනා නොලැබෙනු ඇති බවයි. මීට පෙර නම නියමකරගත් සංචාරවල යෙදෙනු ඇති නමුත්, 2015 ජනවාරියේ සිට, ලෝකයේ විවිධ රටවල් විශාල ප්‍රමාණයකින් ලැබුණු හිත හොඳ මත පදනම් වුණු සංචාරක ඇරියුම් තවදුරටත් ඔහුට නොලැබෙනු ඇත.
එසේ තිබියදී ඔහු මේ සතියේ පිලිපීනයේ සංචාරයක යෙදුණේය.
පිලිපීනයේ ඉන්නේද ලෝකයේ ශිෂ්ට රටවල් කිසිවක් විසින්වත් පිළි නොගැනෙන හිතුවක්කාර, නීතිය නොතකන. ඝාතනයම ජීවිතය කරගත්, නායකයෙකු වන රොඞ්රිගෝ ඩුටර්ටේය. ඔහු පසුගිය කාලයේ තම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්, පාවිච්චි කරන්නන් මරා දමා රට පිරිසිදු කිරීමේ ඝාතන ක්‍රියාන්විතයක් පවත්වාගෙන ගියේය. ඒ හරහා ලෝකයේ මානව අයිතිවාසිකම් ගැන උනන්දුවන රටවල් හා සංවිධානවල අවමානයට පාත්‍ර වූයේය.
ඔහු අනුව යමින්දෝ ජනාධිපති සිරිසේනද රටේ සිරගෙවල්වල සිටින, මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වී මරණ දඬුවම හිමිවූවන්, එල්ලා මරා දමන්නට සැරසුණේය. එහෙත් ලෝක සම්මතයට පිටුපා යන්නට සිරිසේන ජනාධිපතිවරයා වැන්නකුට පණ මදි වුණු නිසා, ඒ ඝාතන ක්‍රියාන්විතය ලංකාවේ ක්‍රියාත්මක වුණේ නැත.
කොහොම වුණත්, ජනාධිපති සිරිසේන ආඩම්බරයෙන් සංචාරයේ යෙදුණ පිලිපීනය ගැන කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම මේ ලියවිල්ලේ අරමුණයි. ඒවා කියවූ විට අපේ ජනාධිපතිතුමාගේ අලුත් මිතුරෝ කවරහුදැයි රටේ වැසියන්ට දැනගත හැකිවනු ඇත.
2016 මාර්තුවේ බලයට ආ වහාම ඩුටර්ටේ, පිලිපීනයේ පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාවිච්චි කරන්නන් සොයාගොස් මරාදැමීමේ ඝාතන මෙහෙයුමක් සඳහා යෙදෙව්වේය. ඔහුගේ බලාපොරොත්තු වුණේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය අවසාන වන විට අඩුම ගණනේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පිලිපීන වැසියන් 20,000ක් 30,000ක් අතර ප්‍රමාණයක් මරා දමන්නටය. හෙවත් සියල්ලන් මරා ප්රශ්නය විසඳන්නටය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඇස්තමේන්තු සඳහන් කරන ආකාරයට මේ වන විට අඩුගණනේ 12,000ක් වත් මරා දමා තිබේ. තමාගේ ධුර කාලය අවසන් වන තුරු හෝ අන්තිම මත්ද්‍රව්‍ය සැකකරුත් මරාදමන තුරු හෝ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය අවසන් නොකරන බව ඩුටර්ටේ කියයි. ඒ ක්‍රියාන්විතය තුළ ඝාතනය වුවන් අතර අවුරුදු 5ක වැනි දරුවන්ද සිටින බව මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතර, මේ මහා අපරාධයට එරෙහි වන මානව හිමිකම් ක්‍රියාධරයන්, උපදේශකයන්, නීතිඥයන්, රාජ්‍ය නොවන සංවිධාන ක්රියාකාරිකයන් හා පරිසර ක්රියාකාරිකයන් විශාල පිරිසක්ද ඩුටර්ටේගේ ඝාතන ලැයිස්තුවල හිඳ තිබේ. 2018 මාර්තු මාසයේ මැනිලා අධිකරණය ඉදිරියේ ගොනුකළ ඝාතන ලැයිස්තුවක ඔවුන්ගේ නම් සඳහන් වෙයි.
ඩුටර්ටේ පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු මාරියා ලෝඞ්ස් සෙරිනෝ ධුරයෙන් පහකලේය. මානව හිමිකම් ගැන මැදිහත්වුණු පිලිපීන මානව හිමිකම් කොමිෂන් සභාවට ප්‍රසිද්ධියේ අවලාද නැගුවේය. ඊට රජයෙන් ලබා දෙන වාර්ෂික මුදල් කපා හරින බවට තර්ජනය කොට තිබේ. රටේ මූලික ප්රජාතන්ත්රවාදී ආයතන විශාල ප්‍රමාණයක් නොසලකා හැර ඇත. මානව හිමිකම් ගැන සොයා බැලීමට පිලිපිනයට එන විදේශිකයන් කිසිවකුට රට තුළට ඇතුළුවීමට පිලිපීන රජය අවසර දෙන්නේ නැත.
පිලිපීනයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වුණු, අවුරුදු 20ක් එරටේ වාසය කළ, 76 හැවිරිදි ඕස්ටේ්රලියානු ජාතික කන්‍යා සොයුරියක වූ පැට්‍රිෂියා ෆොක්ස් රටින් පිටුවහල් කරන්නට ඩුටර්ටේ රජය පසුගි යදා ක්‍රියා කළේය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආදිවාසි ජනතාව පිළිබඳ විශේෂ වාර්තාකරු, පිලිපීන ජාතික වික්ටෝරියා ටවුලි කෝපුස්ද ඩුටර්ටේගේ ප්‍රහාර ලැයිස්තුවේ සිටින නිසා, දැන් සිය රට ඒමට බියෙන් සිටියි.
ධුරයට පත්වුණු වහාම, ඩුටර්ටේ ජනාධිපති මන්දිරයේදී ව්‍යාපාරිකයන්ට ප්‍රසිද්ධියේ කියා සිටියේ තමා ඩවාවෝහි නගරාධිපතිවරයා හැටියට සිටි කාලයේ තනිවම මෝටර් බයිසිකලයක නැගී ගොස් ස්ත්‍රී දූෂණ හා පැහැරගැනීම්වලට චෝදනා ලත් මිනිසුන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. ඒ කියන්නේ උසාවියත්, දඬුවම් දෙන්නාත් ඔහු බවය. අන් අයටද එසේ කරන ලෙස ඔහු දිරිගැන්වුයේය. බීබීසීය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීද ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කීවේය. නගරාධිපතිවරයා හැටියට සිටියදී, අඩුගණනේ තුන්දෙනකු තමා ඝාතනය කළ බව ඔහු බීබීසීයට කියා තිබේ. 1988 සිට 2016 දක්වා ඔහු තුන් වරක් නගරාධිපති ලෙස පත්වී තිබේ. මේ තරම් ප්‍රසිද්ධියේ ඝාතන කළ බවට කියා ඇති නමුත් පිලිපීනයේ පොලිසිය ඔහු සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් අරඹා නැත්තේය.
රොඞ්රිගෝ ඩුටර්ටේගේ කල්ක්‍රියාව සැලකූ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් පැවසුවේ, 2016 මාර්තුවේදී බලයට පත්වුණු ඩුටර්ටේ ජනාධිපතිවරයා මානසික රෝග පරීක්ෂාවකට ඉදිරිපත් කළ යුතු මට්ටමේ කෙනෙකු බවයි.
මේ ස්වල්ප තොරතුරු ප්‍රමාණය අනුව වුවද ඩුටර්ටේ ඝාතකයෙකි. මානව වර්ගයාට එරෙහි අපරාධවල යෙදුණෙකි. මානව හිමිකම් විරෝධියෙකි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවමානයට පත් සාමාජිකයෙකි. අපේ ජනාධිපතිතුමා සිනා මුසු මුහුණින් ගොස්, මහත් හරසරයට ලක්වුණා යැයි වාර්තා වුණේ මෙවැනි අශිෂ්ට, ම්ලේච්ඡ හා හිතුවක්කාර ජනාධිපතිවරයකු අතිනි.■
අරුණ ජයවර්ධන