No menu items!
21.5 C
Sri Lanka
19 January,2025

පරිසර ඇමති නිදි!! තිස්ස අප්පෝ රත්නපුරේ විනාශ කරයි

Must read


සල්ලිවලට ලංකාවේ කරන්න බැරි දෙයක් නැත. ඒකත් හරියට ජේ.අර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව වාගේමය. රත්නපුරය කියූ පමණින් මතකයට එන්නේ මැණික් ය. මෙහි හැමතැනම සල්ලි කදු ගොඩ ගසාගත්ත මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයෝ පොකුරු ගණනින් ය. කුරුවිට පැරඩයිස් ඉසුරු පෙදෙසේ තිස්ස අප්පෝ නමින් ප්‍රකට තිස්ස ජයවර්ධනත් දෙස් විදෙස් ප්‍රකට මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් ය. දනට පිනට ලැදියැයි පෙන්වන දානපතියෙක් ය. අලු‍ත් අවුරුදු කාලයට ඔහුගෙන් තෑගි මුදල් ලබාගන්නට පැමිණෙන මිනිසුන් දිගු පෝලිම් ය. මේ පුද්ගලයා අවුරුදු කාලයට මුළු අවුරුද්දේම කළ පවු සෝදාගන්නේ ලක්ෂ ගණනින් මෙලෙස මුදල් විසිකිරීමෙන්‍ ය. ඒ පවු මොනවාද? ඒ පිළිබඳව කතාව කීමට ප්‍රථම ඔහුගේ සුළමුළ සොයා බැලිය යුතුය.
මෙම පුද්ගලයා කිරිඇල්ල ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු පුද්ගලයෙක්‍ ය. බිංදුවේ සිට ඉහළට නැගි දක්ෂ ව්‍යාපාරිකයෙක්‍ ය. මොහුගේ මුල්ම රැකියාව මැණික් සෙවීම සඳහා කළු ගඟේ වැලි ගැරීමය. ඊළඟට මොහු කිරිඇල්ලේ සිට පැමිණ 1970 දශකයේ මුල් කාලයේ රත්නපුර දිමියාව ප්‍රදේශයේ දලන් (වටිනාකමින් අඩු මැණික්) වෙළෙඳාම් කළ පුද්ගලයෙක් ය. දැන් ඔහු රත්නපුරේ බොහෝ දෙනෙක් කියන ලෙස, රත්නපුරේ සිටින ඉහළම ධනවතාය. ඔහු දැන් බිලියනපතියෙක් ය.
දැන් අපි මේ පුද්ගලයා රත්නපුරේට කරන විනාශය පිළිබඳව කතා කරමු. රත්නපුරේ සිටින ප්‍රධානතම බැකෝ පතල් හිමියා මේ පුද්ගලයා ය. මොහු පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ දී ද යහපාලන යුගයේ දී ද ජයටම බැකෝ ලයිසන් දමා දිගට හරහට පතල් කැපුවේය. ඔහුට ඝෘජුව හෝ වක්‍රව බැකෝ ලයිසන් සිය ගණනක් ඇති බව රත්නපුර ප්‍රදේශයේ කූප්‍රකටය. මේ පුද්ගලයා ළඟ බොහෝ දෙනෙක් පතල් කම්කරුවෝ රැකියාව කරන්නේ දෙනික සොච්චමකටය. සමහර තැනක සාම්ප්‍රදායික ගොඩපතල් අනුපාතයට සේවකයාට මැණික් ආදායම ලබා දෙන බවත් දැනගන්නට ඇත. ඒ කෙසේ වුවත් ඔහු මේ කරමින් සිටින්නේ බාගෙන කන්න තිබෙන වළ ඉහගෙන කෑමක් ය. මේ නිසා විශාල මැණික් පතල්කරුවන් ප්‍රමාණයක් අතරේ බෙදීයන්නට තිබෙන මැණික් ආදායමක් ඔහු සහ සුළු පිරිසක් අතර බෙදාගැනීමද මෙමඟින් සිද්ධ නොහොදක්ය. ඊළඟට බරපතළ පරිසර දූෂණයක් මේ බැකෝ පතල් රත්නපුරයට කරමින් තිබේ. එහි ප්‍රධාන වග උත්තර කරුවාද වෙන කවුරුත් නොව මේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයාය. අද ඔහුගේ මුදලට රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට බලධාරීන් සියල්ලෝම යටය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, එහි රත්නපුර ශාඛාව ඔහුගේ ගෙදර තරමට අද ඔහුට යටහත් ය. මේ තත්ත්වය තුළ පසුගිය අවුරුද්දේ අවසාන කාලයේ මේ කියන මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයා පොහොට්ටුවේ නිවිතිගල ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් සමග එකතුවී අලු‍ත් බැකෝ සෙල්ලමක් ආරම්භ කර ඇත.

ප්‍රධාන පාරක් වසාදමා හාරයි
රත්නපුර හංගමුව මාර්ගය රත්නපුර සිට කලවානට තිබෙන ළඟම ප්‍රවේශයයි. එම මාර්ගයේ මහ කඬේ මංසන්දියේ සිට රත්නපුර සිට ඇත්ඔය හරහා නිවිතිගල දක්වා දිවෙන ප්‍රධාන පාරට අතුරු මාර්ගයක් ඇත. එය නිවිතිගල ප්‍රදේශිය සභාවට අයත් පාරකි. හංගමුව ලබුවත්ත හපුගහවෙළ නම් එම මාර්ගයයි. මෙය යටත් විජිත යුගයට දිවෙන ඉතිහාසයක් තිබෙන වතු පාරක් ය. එය බලංගොඩ වතු සමාගමට අයත් රඹුක්කන්ද වතුයාය මතින් වැටී ඇත. මෙම මාර්ගය වැටී ඇත්තේ ඉපැරණි වැවක වැව් බැම්ම හරහාය. දැන් එම වැව ක්‍රියාත්මක තත්ත්වයේ නැති අතර එහෙත් වැවට පහළින් තිබෙන අක්කර සිය ගණනක කුඹුරු යාය තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ ය. මෙම වැව අයිති ප්‍රදේශය මෙන්ම ඊට ඉහළ සහ පහළ බිම් ප්‍රදේශ ද අයිති වන්නේ සපරගමු මහ සමන් දේවාලයටය. ඒ බව සපරගමු මහසමන් දේවාලයේ කොමසාරිස් පොත සාක්ෂි දරයි. දැන් අපි මේ පාරට නැවත පැමිණෙමු. දැන් මේ වැව් බැම්මේ මීටර් 60කට වැඩි ප්‍රමාණයක් බැකෝකර විශාල ආවාටයක් නිර්මාණය කර ඇත. දහස් ගණනක් දෙනිකව තමන්ගේ ගමන් අවශ්‍යතා සපුරාගත් මේ මාර්ගය දැන් එම තත්ත්වය නිසා, මගින් වසාදමා ඇත. ඒ නිවිතිගල ප්‍රදේශිය සභාවේ නියෝග මතින්‍ ය. මිනිසුන් බොහෝ ගණනක් භාවිතා කරන ගම් 50ක් පමණ එකිනෙකට සම්බන්ධ වන මේ මාර්ගය වසා දමා ඒ මතින් බැකෝ පතලක් දමා ඇත්තේ කවුරුන්ද? එයට බලය ලබා දුන්නේ කවුරුන්ද? රත්නපුර ප්‍රදේශයේ තිබෙන 90%ක් මහාමාර්ග යට මැණික් තිබෙන පසුබිමක එම මාර්ගත් මෙලෙස ජනතාවට අවහිර කර බැකෝ දමා හරා මැණික් ගරන්නට ජනාධිපතිවරයා හෝ රජය හෝ පොහොට්ටුව සතු පුංචි ආණ්ඩු හෝ සූදානම් ද? විමසිය යුතුය.


බැකෝ පතලේ කතාව
‘සුරංග ජයසූරිය කියලා අපේ ගමේ පුද්ගලයෙක් ඉන්නවා. මිනිහා පොහොට්ටුවේ නිවිතිගල ප්‍රදේශීය සභාවෙ මන්ත්‍රී. මිනිහා ඔය පාර අයිනේ වැව් බැම්මට කිට්ටුව කුඹුරේ තව කණ්ඩායමක් එක්ක පතලයක් කලා. එතන අනික් පැත්‍තේ තවත් කණ්ඩායමක් පතල් කලා. මේ දෙගොල්ලෝ අතර ආරවුලක් හැදුනා. ඒකත් එක්ක මේ සුරංග පතලෙන් අයින් වෙලා මෙතන පාර කඩනවා කියලා පාර ටෙන්ඩර් දාලා මැණික් ගරන්න දෙමු කියලා ප්‍රදේශිය සභාවේ සභාපතිට යෝජනාවක් කරලා තිබෙනවා. ඒ අනුව තමයි ප්‍රාදේශීය සභාවේ සභාපති මේක සභාවට දාලා අනුමැතියවත් ගන්නේ නැතුව මැණික් සංස්ථාවට ටෙන්ඩර් දාන්න කියලා ලියුම ගහලා තියෙන්නේ. ඒ අනුව මැණික් සංස්ථාව මේක ටෙන්ඩර් දානවා. දැම්මහම මේක ගන්නේ මේ කැනීම් ස්ථානය අයත් ඇලපාත කොට්ඨාසයේම ටී.ඕ කෙනෙක් විදිහට ඇලපාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වැඩකරන ඩිල්හාරි විරිත්තමුල්ල කියන නිලධාරිනිය.’ මේ හඬ මේ පාර සුරැකීම සඳහා ප්‍රදේශවාසීන් ගොඩනගාගෙන තිබෙන සංවිධානයේ සභාපති අනුර ගේය. මේ අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම පාරේ මේ කියන වැව් බැම්මේ මීටර් 60ක කොටසක් ටෙන්ඩර් දමන්නේ පසුගිය 2018/08/29 වැනි දිනයේදීය. ඒ අනුව ඉහත නම සඳහන් රාජ්‍ය නිලධාරිනිය රුපියල් තුන් කෝටි විසිහය ලක්ෂ තිස්පන්දාහක මුදලට මෙම ටෙන්ඩරය මිලදී ගෙන 2018/09/03 වෙනි දින මුදල් ගෙවා ඇත. ප්‍රදේශවාසින් කියන විදිහට මේ මුදල් ලබා දී තිබෙන්නේ තිස්ස ජයවර්ධන නොහොත් තිස්ස අප්පෝ නැමති කෝටිපති මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයාය. ලස්සනම කතාව වන්නේ මෙම ටෙන්ඩර් ගැනීමෙන් පසුව මේ පුද්ගලයා ලක්ෂ 20, ලක්ෂ 25 වැනි මුදල් යොදවමින් පාර දෙපස ඉඩම්ද යම් යම් පුද්ගලයින්ගෙන් ලබාගෙන සාංස්ථාව ලබාදුන් මීටර් 60 සීමාවද උල්ලංඝණය කරමින් විශාල ආවාටයක් නිර්මාණය කර මැණික් ගැරීමය.

දින 30කට දුන්නේ
‘මේක මේ තිස්ස අප්පෝ කියන මැණික් ව්‍යාපාරිකයා මේ දේශපාලකයෝ එක්ක එක්තුවෙලා මේ ගම්මානවල මිනිස්සුන්ට කරන බරපතළ අපරාධයක්. අපි මේගැන ජනාධිපතිගේ ඉඳලා හැම තැනක්ම දැනුවත් කලා. ඒත් කවුරුවත් ගනන් ගන්නේ නෑ. මේ ව්‍යාපාරිකයාගේ සල්ලිවලට හැවෝම යටවෙලා. හැමතැනටම සල්ලි දීලා ඒ තැන්වල ක්‍රියාකාරීත්වය නැතිකරලා දැන් තියෙන්නේ. මේ ප්‍රදේශවලට ගංවතුර ආවහම රත්නපුරේ ටවුමට යන්න තියෙන එකම ප්‍රවේශය මේක. අනික දැන් මේ විනාශ කරලා තියෙන විදිහට ගංවතුරක් ආවොත් වැව පහළ ගෙවල්, මගේ විහාරය මේ සේරම යටවෙනවා. විනාශ වෙනවා. අනික තමයි. ඊළඟට මේක ඉවර වුණාට පස්සේ පාර තිබුණ තත්ත්වයට ගන්න ප්‍රාදේශිය සභාව ඇස්තිමේන්තුකරලා තියෙන්නේ ලක්ෂ 57යි. දැන් කපලා තියෙන ආවාටේ හැටියට පාලමක් දාන්නේ නැතුව මේක හදන්න බෑ. ටෙන්ඩරෙන් ප්‍රාදේශිය සභාවට එන්නේ 40% ඒ මුදලෙන් මමනම් හිතන්නේ නෑ මේ පාර තිබුණ තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා.’ මේ හංගමුව ජයබෝධි විහාරයේ විහාරාධිපති හිමියන් වන මොදරවානේ ඤාණකිත්ති හිමියන්ගේ හඬට.
මේ තිබෙන තත්ත්වය මත තිස්ස අප්පෝ මැණික් ගරාගෙන යන්නට පුළුවන්‍ ය. ඉන්පසු පාරට කුමක් වේද? එය ප්‍රශ්නාර්ථයක්මය. මිනිසුන්ට ප්‍රවේශ මාර්ග යක් නැතිවීමේ කරුමයට එතනින් පසුව කරගහන්නට  වනු ඇත. මෙම කූට ව්‍යාපාරයට මූලිකත්වය ගත් පොහොට්ටුවේ නිවිතගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුරංග ජයසූරිය නැමැත්තා ප්‍රදේශයේ චංඩියෙක් සහ දූෂිතයෙක් සේ ප්‍රකට මිනීමැරුම් සැකකරු චොකා මල්ලී නොහොත් ප්‍රේමලාල් ජයසේකරගේ ප්‍රභල ආධාරකරුවෙක්‍ ය. ඔහු වැනිම මැරබලය අතටගත් චන්ඩියෙක් ය. ඔවුන් මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයනුත් දැලේ දමාගෙන මේ නීතියට පිටින් නටන්නේ යහපාලන ජනාධිපතිවරයෙක් සහ එජාප ආණ්ඩුවක් යටතේ බවත් අපි අමතක නොකළ යුතුය. අනාගතයේ පොහොට්ටු ආණ්ඩුවක් පිහිටවුවහොත් වෙන්නට පුලු‍වන් දේවල් මේ අනුව සිතාගන්නට බැරි නැත.
ඒනිසා මේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයාගේ පරිසර සංහාරික සහ සාම්ප්‍රදායික පතල්කරුවන්ගේ ආර්ථික සංහාරික බැකෝ පතල් ක්‍රමය නැතිකර දැමීමට රජය වහාම මැදිහත් විය යුතුය. අනික් පසින් මේ මහජන දේපළක් වූ මහාමාර්ගය විනාශ කිරීමට කරයුතු කළ මේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාගේ සිට මැණික් සංස්ථා සේවකයා දක්වා අදාළ පුද්ගලයින්ට විරුද්ධව පොදු දේපළ පිළිබඳ නිතිය ක්‍රියාතමක කළ යුතුය.
ජනාධිපතිවරයා පරිසරය ආරක්ෂා කරගන්න යැයි කියමින් විශේෂ බලකා සෙබළුන් යොදවා රත්නපුර ප්‍රදේශයේ ගංගා මත පතල් කරන පතල් කම්කරුවන් දිනපතා අත්අඩංගුවට ගනිමින් සිටියි. ඔවුන් දැන් තම දරුවන් සුරක්ෂා කරන්නට කීයක් හරි මුදලක් සොයාගන්නට මැණිකක් ගරන්නට ගඟට බසින්නේ රාත්‍රී 12ට පමණය. ඒ ජනාධිපති සිරිසේන දුප්පතා ඉදිරියේ පරිසරයට ආදරය කරන විදිහය. එහෙත් තිස්ස අප්පෝ ගේ පතල් කෙරුවාව ඉදිරියේ ඔහුගේ පරිසර ප්‍රතිපත්තිය කුජීතය. අවසානයේ මෙලෙසද කිව යුතුය. පසුගිය දා ජනපතිගේ තායිලන්ත සවාරියට සියළු සත්කාර සංග්‍රහ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් සැළසූ බව දැන ගන්නට ලැබුනේ පුවත්පතකින්ය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි