No menu items!
19.5 C
Sri Lanka
20 January,2025

2018 ක්‍රීඩිකාවන්ගේ වර්ෂයක්

Must read



අවසාන වුණේ ක්‍රීඩිකාවන්ට හිමි වර්ෂයකි. ලෝකයේ හැම ක්‍රීඩාවකම පාහේ වැඩි තැනක් තිබෙන්නේ ක්‍රීඩකයන්ට මිස ක්‍රීඩිකාවන්ට නොවේ. බොහෝවිට ක්‍රීඩාවේ විස්කම් පෑවේ ක්‍රීඩකයන්ය. ක්‍රීඩිකාවන් යනු ක්‍රීඩාවේ දෙවැනි සිතුවිල්ලක් පමණක් විය. අද වුව ඒ තත්ත්වය වෙනස් වී නැත. එහෙත් 2018 වර්ෂය අවසාන වෙද්දී බොහෝ ක්‍රීඩාවල ක්‍රීඩකයන්ට තිබුණු අවධානය ක්‍රීඩිකාවන්ට යොමුවන අන්දමේ සිදුවීම් රැසක් සිදුව තිබුණි. ක්‍රීඩිකාවන්ගේ විස්කම් රැසක් කතාබහට ලක්ව තිබුණි. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රීඩිකාවන් විසින් සිදුකළ සටන් රැසක් කතාබහට ලක්ව තිබුණි. තමන්ට සිදුවූ අසාධාරණයන්ට එරෙහි වූ ක්‍රීඩිකාවන් රැසක් විය. ඒ නිසා 2018 වර්ෂය ක්‍රීඩිකාවන්ගේ වර්ෂයකි.

හොකී ආදරය
සාමයට සංකේතයක් වීමේ ඉහළම හැකියව ඇත්තේ කාන්තාවන්ටය. කොරියාවේ සියොල් නුවරදී පැවති ශීත ඔලිම්පික් උළෙලේදී දකුණු කොරියාවේ හා උතුරු කොරියාවේ කාන්තා හොකී කණඩායම් දෙක තරග කර තිබුණි. මීට පෙර 1988 දී දකුණු කොරියාවේ ඔලිම්පික් උළෙලක් පවත්වා තිබුණි. එම අවස්ථාවට සහභාගී වීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ උතුරු කොරියාව ඔලිම්පික් උළෙලේ සම සත්කාරකයන් කරගැනීම ඇතුළු කොන්දේසි රැසක් දකුණු කොරියාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඉන් වසර 30කට පසුව 2018 ශීත ඔලිම්පික් උළෙලේට එක්වීමට උතුරු කොරියාව කැමැත්ත පළ කර තිබුණි. ඒ අනුව මේ අසල්වැසි සතුරු රටවල් දෙක එකිනෙකා මුණගැසුණි. මුණගැසුණා පමණක් නොවේ. මේ සහෝදර රටවල් දෙකේ ක්‍රීඩා කණ්ඩායම් දෙක ආරම්භක උළෙලේදී එකම පෙළපාලියක ගමන් කිරීමට එකඟ වී තිබුණි. එපමණක් නොව, උතුරු හා දකුණු කොරියාව කාන්තා අයිස් හොකී තරඟාවලියට ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට එකඟ වී තිබුණි. ඒ අනුව මේ රටවල් අතර තිබෙන සීතල න්‍යෂ්ටික යුද්ධය මැද්දට ක්‍රීඩිකාවන් පැමිණ තිබුණේ අනාගත සාමයක් සඳහා ඉඟි සපයමිනි.

බැලන් දෝ’ර්
ෆිෆා බැලන් දෝ’ර් සම්මානය යනු වාර්ෂිකව වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට ලබාදෙන සම්මානයකි. මේ සම්මානය වසර ගණනාවක් තිස්සේ පිරිමි පාපන්දු ක්‍රීඩකයන්ට ලබා දී තිබුණි. එහෙත් පාපන්දු ක්‍රීඩිකාවන්ට මේ සම්මානය ලැබුණේ නැත. ඒ 2018 වර්ෂය තෙක් පමණි. 2018 දී පළමු වතාවට ක්‍රීඩිකාවන් වෙනුවෙන් බැලන් දෝ’ර් ෆෙමිනින් සම්මානය හඳුන්වාදුන්නේය. ඇඩා හෙගර්බර්ග් ලොව හොඳම පාපන්දු ක්‍රීඩිකාව ලෙස සම්මානය ලබා ඇත. ඇය නෝර්වේ ක්‍රීඩිකාවකි.

සෙරීනාගේ මායාව
සෙරීනා විලියම්ස් තමාගේ දරු උපතින් පසුව ප්‍රංශ විවෘත තරගාවලියේදී නැවත ක්‍රීඩාවට පැමිණ තිබුණි. වයස අවුරුදු 36 ක මේ විස්මයජනක ක්‍රීඩිකාව ග්‍රෑන්ඞ්ස්ලෑම් තරඟාවලි දෙකක අවසන් තරගයවලට එක්වෙමින් අනුශූරිය බවට පත්වුණාය. ඒ තරුණ හා වේගවත් ක්‍රීඩිකාවන් රැසක් පරාජය කරවමිනි. විම්බල්ටන් හා එක්සත් ජනපද විවෘත තරගාවලියේ අවසන් තරගවලට ඇය පැමිණියාය. කෙසේ වෙතත් සෙරීනා විලියම්ස් සමග එක්සත් ජනපද විවෘත තරගාවලියේ අවසන් තරගයට ආ නයෝමි ඔසාකාට 2018 වර්ෂය වැදගත් වර්ෂයක් විය. ඉහළම ශ්‍රේණිගත කිරීම් ලද ජපාන ටෙනිස් ක්‍රීඩිකාව බවට ඇය පත්විය. ඊට අමතරව සෙරීනා විසින් තමන් කාන්තාවක් වීම නිසා අසාධාරණයට පත්වීම ගැන හඬ නඟා තිබුණි. ඒ ගැන විශාල ආන්දෝලනයක් ඇතිවිය. ටෙනිස් ක්‍රීඩාවේදී පිරිමි ක්‍රීඩකයන්ට ලැබෙන සහනයන් කාන්තා ක්‍රීඩකයන්ට නොලැබෙන බවට පුළුල් සංවාදයක් දියත් විය. ඒ නිසා ටෙනිස් විනිසුරුවරුන්ට 2019 සිට කාන්තා ක්‍රීඩිකාවන්ට සහ පිරිමි ක්‍රීඩකයන්ට එක ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ගැන සැලකිලිමත් වීමට සිදුවනු ඇත.

යුක්තිය
ක්‍රීඩිකාවන් මුහුණදෙන ලොකුම අභියෝගය වන්නේ ක්‍රීඩාවේ මුවාවෙන් ක්‍රීඩිකාවන්ට අතවර සිදුකරන නිලධාරීන් බව පැහැදිළිය. ලංකාවේද ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අතවර කළ නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් පවා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබාදී ඇත. එහෙත් පියවර ගෙන නැත. බොහෝ තැන්වල මෙවැනි අතවර සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රීඩිකාවන්ට යුක්තිය ඉටු නොවන අන්දම දකින්නට ඇත. ඇතැම් විටෙක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවේ ඉහළට යන්නට ලිංගි ක අල්ලස් ලබාදෙන්නට සිදුවෙයි. කෙසේ වෙතත් ලෝක ක්‍රීඩාවේ ක්‍රීඩිකාවන්ට යුක්තිය ඉටු වූ අවස්ථා රැසක් 2018 වර්ෂයේදී දකින්නට ලැබුණි.
වඩා සංවේදීම සිදුවීමක්ව තිබුණේ අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ අධිකරණය ඉදිරියට ලෝරන්ස් ජී නසර් නම් කාන්තා අපයෝජක ක්‍රීඩා වෛද්‍යවරයාව ඉදිරිපත් කිරීමයි. වසර 20 ක කාලයක් තිස්සේ ඔහු විසින් ක්‍රීඩිකාවන්ව අපචාරයට ලක් කර තිබුණි. ඔහු ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ වෛද්‍යවරයා විය. ඔහු අතින් අපචාරයට ලක්වූ කාන්තාවන් 150ක් පමණ ඉදිරිපත් විය. ඒ අතර සිටි ඇතැම් අය අතිදක්ෂ ක්‍රීඩිකාවන්ද විය.
ජිම්නාස්ටික් වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් වන ඇලි රෙයිස්මාන් විසින් අධිකරණයේදී කියා තිබුණේ ‘අපට කිසිදු බලයක් හෝ හඬක් නැතිවුණායැයි සිතන්න. මේ කිසිදු සිදුවීමක් එළියට එන එකක් නැහැ. එහෙත් මට බලය වගේම හඬක් තියෙනවා. මෙතැන ඉන්න බොහෝ නිර්භීත ක්‍රීඩිකාවන්ට බලය හා හඬක් තියෙනවා. අපි ඒ හඬ ඔබට එරෙහිව පාවිච්චි කරනවා. ඔබට හිමි දඬුවම ලබාදෙන්න අපි ඒ හඬ පාවිච්චි කරනවා. ඔබේ ඉදිරි ජීවිත කාලය වේදනාවෙන් පිරී තියෙයි. ඒ ජීවිත කාලය පුරාවට මේ නිර්භීත හා බලවත් කාන්තාවන්ගේ හමුදාවේ හඬවල් යළි යළිත් සිහිපත් කරමින් දුක්විඳින්නට සිදුවේ.’ කියායි.
හැකියාවෙන් පිරිපුන් ක්‍රීඩිකාවන් රැසක් ඉදිරියට පැමිණ ක්‍රීඩිකාවන් ලෙස තමන් ඉපැයූ බලය පාවිච්චි කොට, ක්‍රීඩිකාවන්ට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් යුක්තිය දිනාගත් අන්දම දකින්නට ලැබුණා.
ඇෆ්ගනිස්ථානයේ අතවරයට ලක්වූ කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ෆිෆා ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. ඇෆ්ගනිස්ථානු පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් හා නිලධාරීන් අතින් ක්‍රීඩිකාවන් අතවරයට ලක්ව ඇතැයි චෝදනා ඉල්ල වී තිබුණි.
මේ වසරේදී අන්තර්ජාතික ක්‍රීඩාවේ ඉහළ පුටුවලට කාන්තාවන් රැසක් පත්ව තිබුණි. එයද කාන්තා ක්‍රීඩාවේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.■

■ අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි