No menu items!
23.5 C
Sri Lanka
18 January,2025

අලි කොටි ගිවිසුම යළි කරළියට

Must read


■ කේ. සංජීව

බලය සඳහා ඕනෑම දෙයක් කරන්නට රාජපක්ෂ කල්ලිය සූදානම් ය. රට ලේ ගංගාවක ගිල්ලවා හෝ බලය ගත යුතුය. එය ජනවාරි 8 පරාජයෙන් පසුව මැදමුලනේ ජනෙල් කතාව අසා සිටි රාජ පාක්ෂකයෙක් කියූ ‘මරලා හරි ගන්න තිබුණේ’ පන්නයේ උවමනාවක් ය. ඔක්තෝම්බර් 26 සිරිසේනගේ කුමන්ත්‍රණයෙන් එම බලය ගැනීමේ අලු‍ත් සටන් මාදිලිය පෙරට දැමුණි. එම අලු‍ත් බල සෙල්ලම දැන් ලෙල්ලම වී ඇත. ඒ සමග රටට උදාවී ඇත්තේ අඳුරු යුගයක් ය. රට ඝන කළුවලාවකින් වසාගත්තද තමන්ගේ සුරතේ බලය රැඳෙනවානම් රාජපක්ෂවරුන්ට ඒ හොඳටම ඇති ය. දැන් ඔවුන් හත්පොලේ ගාගනිමින් සිටිති. ඔවුන් විසින්ම නිර්මාණය කළ අර්බූදය ජයගන්නට ඔවුන් විසින්ම යෝජනා කරමින් සිටින්නේ තවතවත් රට අර්බූදයේම ගිල්වන පන්නයේ විසඳුම් ය. ඒ බලය තමන් සතුවම පැවතිය යුතුයැයි සිතමින් හදන විසඳුම් නිසාය.
පසුගිය දෙසැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයේ විශ්වාසය තියෙන බවට වූ යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. එහිදී ආර් සම්බන්දන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය එජාප නායකත්වයට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබෙන බවට වූ යෝජනාවට සිය සහාය පලකළේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 දෙනෙක් රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානය මෙහිදී සහාය පළ කළේ ජනාධිපති සිරිසේන සහාය දෙන්න එපා යැයි ඉල්ලා තිබූ ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමින් බව සැලකිය යුතුය. මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමේ සෙල්ලමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට සිරිසේන පාර්ශවයෙන් ලංසු ඉදිරිපත්වූ බවද සැලකිය යුතුය. ඔවුන් එහිදී එක් අයෙකු බිලීබා ගත් ආකාරයද අපිට අමතක නැත. එහෙත් එජාපේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය, සන්ධානගතවූ විට දැන් සිදුවන්නේ කුමක්ද? එය මිදි තිත්තයි කියනා නරිකතාව වැනිමය. එහෙත් අද තත්ත්වය ඊට වඩා බරපතළය. මෙම ඉතිහාස ගත එකඟතාවය භාවිත කරමින් රට ගිනි තියන්න රාජපක්ෂ පාර්ශවය සූදානම්වන බවක් පෙනෙන්නට තිබීම එම බරපතළ තත්ත්වයයි. ජනමාධ්‍ය නොවන ජඩ මාධ්‍ය නැතිනම් සාටක මාධ්‍ය නැවත අලි, කොටි ගිවිසුමක් පිළිබඳව කෑගසන්නට පටන්ගෙන ඇත. මේ අනුව රාජපක්ෂ කල්ලිය ජාතිවාදයද, ආගම්වාදයද ඉරිදියේදී පාරට දමනු ඇත. ඒ බහුතර සිංහල ඡන්ද කුට්ටියෙන් ජනවරම සොයා යන්නටය.

අලි කොටි ගිවිසුම
අලි කොටි ගිවිසුම් කතාවට බොහෝ දුර ඉතිහාසයක් තිබෙන්නේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි සෑම විටම මේ ගිවිසුම දුහුවිලි ගසාබසා කරළියට ගන්නේ විපක්ෂයයි. ඔවුන් බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල ජාතිවාදීන් ය. 2001 දී අලි කොටි ගිවිසුමක් ගැන බරටම කතාකලේ මංගල සමරවීර බව මතක් කල යුතුය. ඔහු එකල එජාප නායක රනිල් වික්‍රමසිංහට විරුද්ධව නිර්මාණය කල, ප්‍රබන්ධ කල බොහෝ සටන් පාඨ අවලාද, අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි මූලයෙන් උපන් අනෙකුත් පක්ෂ කරගසාගෙන යන්නේය. රනිල් වික්‍රමසිංහට විරුද්ධව භාවිතා කරන්නේය.
ද්‍රවිඩ සන්ධානයයේ සහාය සිරිසේන පාර්ශවයට දිනාගන්නට බැරිවූ තැන නැවත අලි කොටි ගිවිසුම අළු දුහුවිලි මතින් නැගිට්ටවා ඇත. ඒ ඉදිරියේ එන ඕනිම ඡන්දයකින් ජයග්‍රහණය කිරීමටය. දැන් අලු‍ත් අලි,කොටි ගිවිසුම කුමක්ද?.. වර්තමානයේ උද්ගත වී තිබෙන අර්බූදය විසඳීම අරමුණු කරගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපය සමග සන්ධාන ගතවූ විට සිංහල බහුතර ජඩ මාධ්‍ය පතුරවන කතා මොනවාද?.. පසුගි ය 12 වෙනිදා දිනමිණ පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කරන්නේ මැතිසබේදී එජාපයට සහය දෙන්න ඔභ් කොන්දේසිවලට ලිඛිත පොරොන්දු ඉල්ලා ඇති බවය. එම පොරොන්දු මොනවාද? දෙමළ ජනතා ප්‍රශ්නවලට කඩිනම් ෆෙඩරල් විසඳුමක්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදා භාරයේ තිබෙන ඉඩම් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම, උතුරු නැගෙනහිර සංවර්ධනයේදී වැදගත් තනතුරු දෙමළ ජාතික සන්ධානයට ලබාදීම, මේ ඔවුන්ගේ පුවතයි. මෙම යෝජනා බොරු හෝ ඇත්ත වන්න පුළුවන්ය. විශ්වාස කටයුතු ආරංචි කියන්නේ මෙවැනි ලියවිල්ලක් හෝ ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇති වී නැති බවය. එහෙත් අපි මෙහෙම යෝජනාවලියක් හෝ කොන්දේසි මාලාවක් හෝ ගිවිසුමක් තිබෙන්නේ යැයි මොහොතකට සිතමු. එවැනි සිතිමක් තුළ කියන්නට වෙන්නේ මේ යෝජනා අලු‍ත් නැති බවය. මේ යෝජනා ජනාධිපතිවරණයේදී සිරිසේනද එකඟවූ යෝජනාවන් ය. එහෙත් ඔහු මේවා කිසිදෙයක් ඉටුනොකළ නිසා යළිත් එම යෝජනා ඉදිරියට දමාගන්නට ද්‍රවිඩ සන්ධානයට සිදුවී ඇත. එහි වැරද්ද කුමක්ද? මේ රට සංහිඳියාවෙන් ඉදිරියට නවීන අනාගතයකට ගෙනියන්නනම් මේ යෝජනා කිසිවක් අපිට මගහැරීමට නොහැකිය. පසුගියදා මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමේ කානිවල් කාලයේ රාජපක්ෂ පුත්කුමරා නාමල් රාජපක්ෂ සිය ටුවිටර් පණිවිඩයකින් කීවේ තම ආණ්ඩුවක් යටතේ ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවය. අනෙක් පැත්තෙන් 13 ප්ලස් දෙනවා කීවේ මහින්ද රාජපක්ෂය. එහෙත් ඈත මෑත මේ කිසිවක් සිංහල සමාජයට මතක නැත. එය කරුමයක් මය. හැමදෙයක්ම සතියකින් අමතක වීමේ මේ රෝගය නිසා අපි නැවත නැවතත් මේ අලිකොටි ගිවිසුම් කතාවට හොඳටම බයවෙනවාය. රාජපක්ෂ කල්ලිය මෙය හොඳින් දනී.
විමල් වීරවංශගේ යැයි කියන සී නිව්ස් නම් වෙබ් පඩංගුව අලි කොටි ගිවිසුම නැවත සමාජගත කිරීමට දැන් බොහෝ වෙහෙස වෙනබව පෙනෙයි. ඔවුන් පසුග ිය නොවැම්බර් 30 වෙනිදා පුවතක් පළකරමින් කියන්නේ 2019 පෙබ 4 වැනිදාට ප්‍රථම බලය බෙදන නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට රනිල් සම්බන්දන්ට එකඟවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන බවය. මේ ලියුම්කරු නම් කියන්නේ කරන්න පුළුවන්නම් එය කොතරම් හොඳද කියාය. 19 වැනි සංසෝධනය කරගන්නට කොතරම් මහන්සියක් කොතරම් කාලයක් වැය වුණිද? මෙම තත්ත්ව මත තබා කලබල නොවී තාර්කිකව මෙවැනි පුවත් කියවන්නට අපේ සමාජය හුරුවිය යුතුය. එය එසේ නොවෙන තාක් මේ බැටළු හම් පොරවාගත් කැනහිලුන්ට අපි රැවටෙනවාමය.
මෑත ඉතිහාසයේ මේ රටේ දියුණුවට අකුල් හෙළන ඒ සඳහා තමන්ගේ අපිරිසිදු මුඛය විවර කරන දේශපාලකයින් කවුරුන්ද? විමල් වීරවංශ, ඩලස් අහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ ඔවුන් අතර ප්‍රමුඛය. දේශපාලක වහන්තරාවෙන් මිදී මේ කාර්යය කරන්නවුන් අතර ගුණදාස අමරසේකර ගෙවිඳු කුමාරතුංග වැන්නවුන් ප්‍රමුඛය. අද මේ සියල්ලෝ සැරසී සිටින්නේ යළිත් අලි කොටි ගිවිසුමට පණ දෙන්නය. අපි මොකද්දෝ කරුමයකට මේ කරුම හඬවල්වලට තවමත් අවනතය.
දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය. කතා දෙකක් නැත. අතුරුදන්වූවන් පිළිබඳව ඉක්මන් ප්‍රතිචාර අවැසිය කතාදෙකක් නැත. උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් අවැසිය කතා දෙකක් නැත. අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත්කර එම ඉඩම් එහි මුල් පදිංචිකරුවන්ට නිදහස් කළ යුතුය කතා දෙක නැත. උතුරු නැගෙනහිර සංවර්ධනයේදී ප්‍රමුඛතාවය ද්‍රවිඩ ජාතික සංධානයට මිස සිංහල දකුණට කුමකටද?.. එනිසා මේවාට එකගවීම හොඳය. එකඟවුණාට මදිය. ඒවා ඉක්මනින් දිනවීමට පාර්ශව දෙකම කටයුතු කළ යුතුය. එය එලෙස වුවහොත් නවීන සමගි සම්පන්න ලංකාවක් බිහිවෙනවා නියතය. එහිදී ඉහත කුණුකූඩයේ දේශපාලකයින්ගේ කතාවන්වලට අපි නෑසූ කන් ඇතිව සිටිය යුතුය.

ආගමික සහජීවනය ඉරා දැමීම
සිරිසේනගේ කුමන්ත්‍රණය අධිකරණය සිය තීන්දු මඟින් ප්‍රතික්ෂේප කරමින් තිබෙන්නේය. ඒ අධිකරණයට සිරිසේනට වඩා රටේ උත්තරීතර නීතිය වැදගත් වන නිසාය. සිරිසේන විසින් උමතුවෙන් මෙන් පාර්ලිමේන්තුව විසිරවීම නීතියට අනුකූලද නැතිද? දැන් ශේඨාධිකරණයේ අභියෝගයට ලක්වී තිබෙන්නේය. අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් විනිසිරු මඩුල්ලක් එම නඩුව විභාග කරමින් සිටිති. තීන්දුව මේ ලිපිය ලියවෙන 13 වැනි දින හෝ අනිද්දා පුවත්පත වෙළෙඳපොළට පැමිණෙන 14 වැනිදා හෝ දෙන්නට නියමිතය. එම තීන්දුව තමන්ට අවාසිසහගත වේයැයි මේ දිනවල රාජපක්ෂ කල්ලිය සිටින්නේ බියෙනි. තැති ගැනීමෙන්‍ ය. ඒ නිසා ගුණදාස අමරසේකර කියන්නේ රටේ ඉරණම් ප්‍රශ්නයක් විනිසුරුන් සත්දෙනෙකුට භාරදී අතපිසදමාගැනීම හොඳ නැතිබවය. ඒ නිසා වහාම ජනමත විචාරණයක් පවත්වා ජනතා මතය විමසිය යුතු බවය. මේ කතාවලින් නොනැවතී මේ නායකයින් ඔවුන්ගේ චක්ගෝලයින්ගේ මුහුණු පොත් බිත්ති තුළින් හඬ නගන්නේ මේ විනිසුරන්ගේ ආගම ගැනය. අගවිනිසුරුගේ ක්‍රිස්තියානිකම ගැනය. එම තත්ත්වය තුළ රාජපක්ෂ පාර්ශවයට අහිතකර ප්‍රතිපලයක් අධිකරණය තුළින් පැමිණිය හොත් ඔවුන් මේ ප්‍රශ්න කිරීම ඝෝෂාවක් දක්වා වර්ධනය කරනු නියතය. එය ආගමික උමතුවක් දක්වා පරිවර්තනය කරන්නට ඒ මඟින් ළඟ එන ඕනීම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ඒ මඟින් ඔවුන් උත්සාහ දරනු ඇත. රට, එහි සහජීවනය, මේ කිසිවක් මේ සාපරාදී ප්‍රජාවට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍යවන්නේ බලය ඩැහැගැනීම පමණි.

පරීක්ෂණ වෙනතක හැරවීම
අලි කොටි ගිවිසුම නැගිට්ටවීම, ආගමික වර්ගවාදය පැතිරවීම යන ප්‍රධාන කරුණුවලට අමතරව රාජපක්ෂ පාර්ශවය මීළඟට එන මැතිවරණ ඉලක්ක කරගනිමින් දැනට ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක පොලිස් පරීක්ෂ සහ අධිකරණ ක්‍රියාවලියන් නොමග යැවීමට අඩපන කිරීමට අවසානයේ නවතා දැමීමට කටයුතු කරනු ඇත. එම ක්‍රියාවලියේ ආරම්භය ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මාරුකර හරින්නේය. පසුව එම උපාය ව්‍යර්ථ වුණත් රාජපක්ෂ කල්ලිය වැඩ නතර කරීමට සූදානම් නැත. ඔවුන් ත්‍රිවිද හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප ලබාගත්තේ පොලිසිය අකර්මන්‍ය කරමින් ය. මෙම තත්ත්වයන් මෙලෙස ක්‍රියාත්මක වෙනවිට පිවිතුරු හෙළ උරුමයේ මදුමාධව අරවින්ද නම් ගායකයා සිය මුහුනු පොතට විෂ ලියවිල්ලක් එක්කර තිබෙනු දකින්නට පුළුවන් විය. ‘ප්‍රගීත් එක්නැළිගොඩ ජීවතුන් අතර’ එහි මාතෘකාව විය. මේ ලිපිය ලියන 13 වැනි දින උදෑසන වනවිට එම ලිපිය 1500කට ආසන්න වාර ගණනකදී සෙයාර් වී තිබුණි. කොමෙන්ටු 470කට වැඩිය. බොහෝ කොමෙන්ටුවලට මදුමාධව පිළිතුරු දී තිබෙනුද දකින්නට හැකිය. ත්‍රාසය භීතිය කුතුහලය අඩු නැතිව ලියා තිබෙන එම ලියවිල්ලට සිංහල ජාතියට අසීමිතව ආදරය කරන්නෙකුට කෝපය වෛරය එනවා නියතය. එම ලියවිල්ල එතරම් විෂ සහිතය. මෙම ලියවිල්ල මුහුණු පොතේ දුටු බොහෝ දෙනෙක් එහි කරුණු සත්‍ය සේ විශ්වාස කරන බවද පෙනෙයි. එහිදී මදුමාදව කියන්නේ ඉන්දියානු ගැහැනියක් සමග ප්‍රගීත් එක්නැළිගොඩ ඩුබායි හි ජීවත්වෙන බවය. ඩුබායි හිදී පැවති ප්‍රසංගයකින් අනතුරුව මිණගැසුණු තරුණයෙක් මේ තොරතුරු පැවසූබව මෙහිදී මදුමාධව එම තරුණයාගේ හඬින් ලියන්නේ සිංහල බෞද්ධ ඇගවල් හිරිවැටෙන්නය. මෙම පෝස්ටුව මගේ අදහසත් සමග මා මගේ මුහුනු පොතේ පළකළ විට මගේ මිතුරන් බොහෝ දෙනෙක්ද විමසූවේ මේ කතාව ඇත්ත විය නොහැකිද යන්නය. එය ඒතරමට විෂ සහිතව ලියා ඇත. මේ ලියුම්කරුට හිතෙන්නේ මේ ලියවිල්ලද මේ ඊනියා දේශප්‍රේමී රාජපක්ෂ කල්ලියේ මාස්ටර් සැළැස්මේම කොටසක් බවය. මෙවැනි කතා වැඩිවැඩියෙන් පැතිරවීම තුළ හමුදාවේ ඇතැම් සාමාජිකයින්ට මෙන්ම ගෝඨාභය රාජපක්ෂ වැනි රාජපකෂවරුන්ට විරුද්ධව කෙරෙන පරීක්ෂණවලට විරුද්ධ මතයක් බහුතර සිංහල සමාජය තුළ ගොඩනැගිය හැකිය. අනෙක් පැත්තෙන් එලබෙන ඕනීම ඡන්දයකදී සිංහල ඡන්ද සිය ඔඩොක්කුවට දාගැනීමටද එය ඔවුන්ට උපකාරයක් වනු ඇත.
මේ අනුව සිරිසේනගේ කුමන්ත්‍රණ නාටකය ඉදිරියේදී ලංකා සමාජය දරුණු ලෙස විනාශකරමින් කෙළවර දකිනු ඇත. එනිසා මේ වෙලාවේදී අලි කොටි ගිවිසුම් ගැනද, විනිසුරන් ගේ ආගමික මුල් ගැනද, රාජපක්ෂ සමයේ අපරාධ පිළිබඳවද ජඩ මාධ්‍ය විසින් කරන හෙළිදරව් කිරීම් නොසලකා කටයුතු කළ යුතුය. එයට විරුද්ධව සිට ගතයුතුය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි