No menu items!
20.4 C
Sri Lanka
24 November,2024

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ජනාධිපති සිරිසේන ව්‍යවස්ථාව කඩලා තීන්දුව ඒකමතිකයි

Must read



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නොවැම්බර් 9වැනිදා නිකුත්කරන ලද ගැසට් පත්‍රය අවුරුදු හතරහමාරක කාලයට පෙර නිකුත්කිරීම නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වීම හේතුවෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කළේය.
ලංකා ඉතිහාසයේ, ජනාධිපතිවරයකු විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට තීන්දු කරන ලද ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි ය. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා බවටද මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වන්නේය.
ජනාධිපතිවරයාගේ නියෝගය අඩංගු ගැසට් පත්‍රයට එරෙහිව පෙත්සම්කරුවන් දහතුන් දෙනකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ආබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් දෙසැම්බර් 4,5,6 හා 7 යන දිනවල විභාග කරන ලදි. 13වැනි බ්‍රහස්පතින්දා සවස විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේ එම පෙත්සම්වලට අදාළ තීන්දුවයි. නඩුවේ තීන්දුව ඒකමතික වුවත් විනිසුරු සිසිර ආබෲ වෙනම කරුණු සහිත තීන්දුවක් ලියා තිබුණි.
පෙත්සම්කරුවන් හැටියට එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසය සමග නීතිඥ ලාල් විජේනායක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් ඇතුළු දහතුන් දෙනෙකු ඉදිරිපත් වී සිටියහ.
මීට පෙර නොවැම්බර් 13 වැනිදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික සලකා බැලිීම කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ජනාධිපතිවරයා නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය අත්හිටුවන්නට නියම කරන ලද අතර, මහමැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමෙන් මැතිවරණ කොමිෂන් සභාවද වළක්වනු ලැබිණ. පෙත්සම්වල අතරමැදි පාර්ශ්වය විභාගය සඳහා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරුන් හත්දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් පත්කරන ලදි. පෙත්සම් විභාගය දෙසැම්බර් 4,5,6 හා 7 යන දිනවලට නියම කරන ලදි. ඒ වන තෙක් ගැසට් පත්‍රය අත්හිටුවීමේ නියෝගයද දීර්ඝ කරන ලදි. එම අවස්ථාවේ පෙත්සම් සලකා බලන ලද්දේ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් විසිනි. පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කොට තිබුණේ, ජීඑල් පීරිස් හා උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක් විසිනි.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් පත්‍රය නිකුත්කොට ඇති බවට ඉල්ලුම්කරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ අතර, මේ තීන්දුවෙන්, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව තහවුරු වෙයි. ■

අරුණ ජයවර්ධන

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි