No menu items!
23.7 C
Sri Lanka
23 November,2024

ඔහු පක්ෂයෙන් ඉවත්කරනවා

Must read

 

එම්.ඒ. සුමන්තිරන්
දෙමළ ජාතික සන්ධානය

 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට නිකුත් කළ ගැසට් නිවේදනයක් තාවකාලිකව අත්හිටුවා තිබියදී පාර්ලිමේන්තුව රැස්වීම නීති විරෝධීයැයි නීති විරෝධී ආණ්ඩුව ප්‍රකාශ කරනවා නේද?
පාර්ලිමේන්තුව නීති විරෝධීයි කියන්න බැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තුව තමයි තීන්දු කරන්නේ. වෙන ආයතනයකට ඒ ගැන කියන්න බැහැ. පාර්ලිමේන්තුවේ යම් වැරැද්දක් වෙලා තියෙනවා නම් පාර්ලිමේන්තුවේදී තමයි ඒක නිවැරදි කරන්න ඕනෑ. ඒ නිසා එහෙම කියන එක පිළිගන්න බැහැ. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය දැනට ක්‍රියාත්මක තත්වයේ නැහැ. ඒ නිසා ඒ ගැසට් නිවේදනය මත පාර්ලිමේන්තුව කටයුතු නොකර ඉන්න බැහැ.

දෙමළ ජාතික සන්ධානය රාජපක්ෂලාගේ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙන්නේ මොන පදනමකින්ද? එය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක අන්දමින් ක්‍රියා කිරීමක්ද?
අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව තමයි ක්‍රියා කරන්නේ. ව්‍යවස්ථාවේ පැහැදිලිව කියන ස්ථාවරයක් තියෙනවා. ඒකට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු කළා. ජනාධිපතිවරයාගේ ඒ ක්‍රියාවට විරුද්ධව අපි කටයුතු කරනවා. අපි දැන් සිටින ස්ථාවරයේම ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඉන්නවා වෙන්න ඇති. ඔවුන්ගේ ස්ථාවරයන්ට හේතු අපි දන්නේ නැහැ. අපේ ස්ථාවරයේ අපි ඉන්නේ ඔවුන් නිසා නොවෙයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබෙන වා. දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නවාද?
අපි ඔහු සම්බන්ධයෙන් විනය පියවර අරගෙන තියෙනවා. එතුමාගෙන් අපි කරුණු විමසනවා. පරීක්ෂණයක් පවත්වනවා. වැරදිකරු වුණොත් අපි ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා. පක්ෂයෙන් ඉවත් කළොත් ඔහුගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය අහෝසි වෙනවා.

ජ.වි.පෙ. සහ දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ නීති විරෝධී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහයෝගය පළකළත් නිල වශයෙන් එජාපයට සහයෝගය පළ කරන්නේ නැහැ. එහෙම වුණොත් එජාපයටත් බහුතරයක් තිබේදැයි ගැටලු‍වක් පැනනඟිනවා නේද?
රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දරන ආණ්ඩුවක් තිබුණා. ඔක්තෝබර් 26 වැනිදා ඒ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මුදල් පනතකුත් සම්මත කරගත්තා. ඒ නිසා ඒ වෙලාවේ වෙනත් අගමැතිවරයෙක්ව පත් කරන්න ජනාධිපතිවරයාට බලයක් තිබුණේ නැහැ. අපි කියන්නේ එදින තිබුණු තත්වයට පාර්ලිමේන්තුව යළිත් යන්නට ඕනෑ බව. ඉන්පස්සේ එජාපයට බහුතරයක් නැත්නම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඒ වෙද්දී එජාපයට සහයෝගය පළකළා නේද?
අපේ ස්ථාවරය තමයි එජනිසය ආණ්ඩුවෙන් ඉවත්වුණා නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන්න තිබුණා. ඒ වෙලාවෙ අපට තීරණයක් ගන්න පුළුවන් සහයෝගය දෙන්නේ කාටද කියලා. අප්‍රේල් මාසයේදී අපි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට පක්ෂව. අපි පමණක් නෙවෙයි ශ්‍රීලනිපයත් එදින විශ්වාසභංගයට විරුද්ධ වුණා. දැනට ඒ තීරණයේ වෙනසක් නැහැ. නැවතත් බහුතරය ගැන ප්‍රශ්නයක් ආවොත් අපට ඒ වෙලාවේදී තීරණයක් ගන්න පුළුවන්. දැනට තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයට පක්ෂද විරුද්ධද කියන කාරණයයි.

යහපාලන රජය සමග දෙමළ ජාතික සන්ධානය සහයෝගිතා ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒකෙන් දෙමළ ජාතික සන්ධා නය බලාපොරොත්තු වුණේ කුමක්ද?
අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලියට තමයි සහයෝගය දුන්නේ. ඒක සම්මත කරගන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට අවශ්‍යයි. ඒ බලය ලබාදීම සඳහා අපි සහයෝගය දුන්නා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පෙන්වන්නට අවශ්‍ය වුණා. අපි ඒ කටයුත්තේ හිටියා. ව්‍යවස්ථාව සඳහා කෙටුම්පතකුත් හදමින් හිටියා. ව්‍යවස්ථාව තමයි දෙමළ ජනතාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. අපට අවශ්‍ය වුණේ ජනවාර්ගික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් ලබා ගැනීම. අපි කටයුතු කළේ ඒ වෙනුවෙන්.

දෙමළ ජාතික සන්ධානය 2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්නේ දෙමළ ජනතාවගේ අපේක්ෂා රැසක් සමග. ජනාධිපතිවරයා ඒ අපේක්ෂාවන්ට පිටුපෑ බව හිතනවාද?
අපි ජනාධිපතිතුමා එක්කත් ජනවාර්ගික ප්‍රශ්නයට සුළු හෝ විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් ගැන කතාකරලා තිබුණා. අපි එතුමාටත් කියලා තිබුණා ඔබතුමා තමයි මේකට නායකත්වය දිය යුත්තේ කියලා. එතුමා කීවේ කෙටුම්පතක් ආවොත් සහයෝගය දිය හැකිද නැද්ද කියා බලන්න පුළුවන් කියලා. පිළිගත හැකි කෙටුම්පතක් නම් ජනතාව ඉදිරියට ඔහු එය රැගෙන යන බව කීවා. බඩු නැතිව විකුණන්නේ කොහොමද කියලා ඔහු ඇහුවා. පාර්ලිමේන්තුවෙන් කෙටුම්පතක් දුන්නොත් තමන් ඒක ජනතාව අතරට රැගෙන යන බව ඔහු කීවා. නොවැම්බර් 07 වැනිදා කෙටුම්පතක් එන්නට නියමිතව තිබුණා. ඒක තමයි මඟ ඇනහිටියේ. මේ අර්බුදය අවසාන වුණාම අපි කෙටුම්පත අවසන් කරන්න ඕනෑ. ඉන්පසුව ජනාධිපතිවරයාට ඒක ඉදිරිපත් කරන්න ඕනෑ, ඔහුගෙන් ඉල්ලන්න ඕනෑ මේකට ජනතාවගේ සහයෝගය ලබාගන්න කියලා.

මේ අර්බුදයේ සැබෑ වින්දිතයන් වන්නේ දෙමළ ජනතාවයැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කියා තිබුණා. ඔහු එසේ කීවේ ඇයි?
අපි නිතරම දකින කාරණයක් ඒක. ඉතිහාසය පුරාම වුණේ ඒක. රටේ දේශපාලන අර්බුදයක් එද්දී ඒක සුළු ජාතිකයන්ට එරෙහි තැනට හැරෙනවා. රටේ දේශපාලන අර්බුද යටපත් කරන්නට ජාතිවාදය ඇවිස්සීමේ පුරුද්දක් ලංකාවේ දේශපාලනයට තියෙනවා. ඒක තමයි අපි කිව්වෙ මේක ජාතිවාදය පැත්තට හැරෙන බව. ඒ නිසා තමයි දෙමළ ජනතාව වින්දිතයන් බවට පත්වෙන්නේ.

මේ තත්ත්වය අවසාන වූ පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ අනුමැතිය ලබාගෙන මැතිවරණයක් පැවැත්විය යුතු බව ඔබ විශ්වාස කරනවාද?
අපේ ස්ථාවරය තමයි මේක අවුරුදු පහකට දුන් ජනවරමක් බව. දැන් මැතිවරණයකට යන්න අවශ්‍ය නැහැ. ඒත් ඕනෑ වෙලාවක ඡන්දයකට මුහුණදෙන්න අපට ගැටලු‍වක් නැහැ.

2019 ජනවාරි 08 වැනිදායින් පසුව ජනාධිපතිවරණයක් අවශ්‍ය බව හිතනවාද?
ඇත්තටම ජනාධිපතිවරණයක් තමයි මුලින් අවශ්‍ය වෙන්නේ. ජනාධිපතිවරයා තමයි ජනවරමට පිටින් කටයුතු කරලා තියෙන්නේ. එතුමා තමන්ගේ මතවාදය වෙනස් කරගෙන තියෙනවා. ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ නව දේශපාලන මතවාදයට ජනවරමක් ලබාගන්නට. එතුමා කලින් නියෝජනය කරපු දේශපාලන මතවාදයටත් නව ජනවරමක් ලබාගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඉදිරියේදී රටේ සමස්ත පුරවැසියන්ගෙන් 50% කට වැඩි පිරිසක් කැමති කුමන මතවාදයටදැයි ජනාධිපතිවරණයකදී බලාගත හැකියි.

මේ වෙද්දී පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී කුමක් සිදුවේවිද?
මේක වෙනස් වේවි කියලා අපි හිතනවා. දැන් අධිකරණයට ගිහින් තියෙනවා. අධිකරණයේ නඩු තුනක් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාග වෙනවා. ඊට අමතරව විශ්වාසභංගයක් සම්මතවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නීතිවිරෝධී ලෙස අගමැතිධුරයේ කටයුතු කිරීමට එරෙහිව අධිකරණයට ගිහින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය ඒවා සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනීවි කියලා. ඒ තීන්දුව ලැබීමෙන් පසුව අපට පුළුවන් මේ අර්බුදය යථා තත්වයට පත් කරන්නට.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි